Posted by: lrrp | June 9, 2013

බාහිර ඔපයට වඩා ආධ්‍යාත්මික පිරිසුදු බවට මුල් තැන දෙන්න

මිනිසුන් ලෙස උපත ලද අපි සමාජයීය සත්ත්වයෝ වෙමු. ඒ සමාජයේ ජීවත්වන කල්හි දම්වැල් පුරුක් මෙන් එකිනෙකා හා සම්බන්ධ වෙමු. ඒ සම්බන්ධතා විවිධාකාර විය හැකි වුව ද කිසිවෙකුටත් පෞද්ගලිකත්වයට ඉඩක් නැත. ඒ ඒ පුද්ගල ප්‍රමාණයේ හැටියට මේ සමාජයට ඉටු විය යුතු යුතුකම් හා වගකීම් ප්‍රමාණයක් ඇති බැවිනි. ඒ අතරම සමාජ හිතකාමී වන ලෙස අපගේ හැසිරීම් හසුරුවා ගත යුතු ය. සමාජයීය සත්ත්වයෙක් ලෙස අප ගේ පැවැත්ම තහවුරු කරගත හැක්කේ එවිට ය.

ආහාර ගැනීම, නිද්‍රාව, භය, මෛථුනය යන මේ සතර චර්යාවන් මිනිසුන්ට මෙන් ම තිරිසනුන්ට ද පොදු ය. වෙනස ඇත්තේ මේ චර්යාවන් ඇතුළු සියලු මානව හැසිරීම් සංයමය, විනයානුකූල බව, පරිසර හා සමාජ හිතකාමී බව ආදී ධර්මතාවන්ට අනුව පාලනය වන බැවිනි.

‘දුක්ඛෙ ලොකො පතිට්ඨිතො’ මේ ලෝකය දුකෙහි පිහිටියේ ය.

ශාස්ත්‍රපති මහකච්චකොඩියේ

පඤ්ඤාසේකර හිමි

සියල්ල අස්ථිරය. ඒ නිසා ම දුක ය. යමක් නිත්‍ය නොවන්නේ නම්, අනිත්‍ය නම් එය දුකකි. යමක් දුක් සහිත නම් එය අනාත්මය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ තිලකුණු බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම වුව ද ගිහියා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම එහි ප්‍රතික්ෂේප කැරෙන්නේ නැත. ගිහියා දුකෙන්, පසුතැවිල්ලෙන්, කනගාටුවෙන් සිටිය යුතු යැයි අප තථාගතයන් වහන්සේ දේශනා නොකළහ. සරලව කියනවා නම් බුදු දහම සර්ව අශුභ වාදී දර්ශනයක් නොවන්නේ ය. අප ජීවිතය ප්‍රීතිමත් කරගත යුතු වන්නේ ධර්ම මාර්ගයෙනි. ධර්ම චර්යාවේ හැසිරීමෙනි. එහිදී පුද්ගල ආධ්‍යාත්මය පිරිසිදු වීම කෙරෙහි වැඩි නැඹුරුවක් තිබිය යුතු ය.

අප ගේ සංස්කෘතිය ගොඩනැඟී තිබෙන්නේ බුදු දහමට අනුව ය. ගත සරසන, එසේත් නැතිනම් විළිවසා ගන්නා වස්ත්‍රය, එහි ප්‍රධාන අංශයකි. සමාජයේ වැඩි කතා බහට ලක්වන්නේ ස්ත්‍රිය ගේ ඇඳුම පැලඳුම පිළිබඳව ය. බෞද්ධ කුල කාන්තාවක ගේ ඇඳුම අන්‍යයන් කෙරෙහි රාගය, ආශාව, ද්වේශය ඇති නොවන සේ සකස් කර ගැනීම වැදගත් ය.

අද අපි ජීවත්වන වටපිටාව නිර්මාණය වී තිබෙන්නේ ලෝකයට විවෘත වන ලෙස ය. ආර්ථිකමය වශයෙන් පමණක් නොව සමාජයීය හා සංස්කෘතිකමය වශයෙන් ද බොහෝ දේ ලාංකික සමාජයට අවතීර්ණ වේ. මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ අපට උචිත දේ අප ගේ, සංස්කෘතියට පටහැනි නොවන දේ පමණක් තෝරා බේරා ගන්නට ය. බටහිර බොහෝ විලාසිතා සිංහල බෞද්ධ සංස්කෘතියට නොගැළපෙන බව විශේෂයෙන් තරුණ තරුණියන් අවබෝධ කරගත යුතු ය.

අද බොහෝ තරුණියන් පමණක් නොව තරුණ දරුවන් සිටින ඇතැම් අම්මාවරු ද අඩ නිරුවතින් සැරසී පොදු වාහනවල, මහ මඟ ගමන් කරනු පෙනේ. සිරුරෙන් අඩක් නිරුවත් වන ලෙස සැකසූ වස්ත්‍රය බටහිරට අමුත්තක් නොවේ. එහෙත් එය අපේ සමාජයට අසංවර ය. මේ බව නොදැන හෝ නොසලකා හැර හෝ තෝරාගන්නා ඇඳුම් පැලඳුම් නිසා හෙල කුල කාන්තාව සමාජයේ පරිභවයට, අපහාසයට, උපහාසයට ලක්වන අවස්ථා සුලභ ය. විවිධ අපයෝජනයන්ට ගොදුරු වන අවස්ථා බොහෝ ය. මේ සමාජයේ ජීවත්වන මිනිසුන් සියලු දෙනා පාලනය කරගත් ඉඳුරන් ඇත්තෝ නොවෙති. ඇතැම් පිරිස් සුළු කරුණක දී වුව රාගයෙන් ඇවිස්සෙති. ඊට සාධක දෙන අය වෙත වැඩියෙන් ආකර්ශනය වෙති. සමාජය වරදට පොලඹවාලීමට අනුබල දී, වරද සිදු වූ තැන පසුතැවෙනවාට වඩා වැරදි අවම වන තැනට තමන් ගේ හැසිරීම් හසුරුවා ගැනීම වැදගත් ය. කතාබහ, ගමන බිමන, ඇඳුම, පැලඳුම පිළිබඳ සැලකිලිමත් වන සංවරශීලී කාන්තාවකට නොමනා විහිළුවක් හෝ කිරීමට සලෙලු පවා බිය වෙති. රාගය ඇවිස්සෙන සුළු ඇඳුම පැලඳුම බෞද්ධ සංස්කෘතියට ඔබින්නේ නැත.

අනෙක් අතට සමහර තරුණ තරුණියන්, උසස් යැයි සලකන අඩ නිරුවත් වස්ත්‍රාභරණ සලෙලු දනන්ගේ හැර ගුණ දහම් අගයන සමාජයේ පිළිගැනීමට ලක්වන්නේ නැත. මේ නිසා ම තමන් ගේ වයස, තරාතිරම, තැන නොතැන නොබලා එසේ හැසිරෙන පිරිස් ගුණගරුක වැඩිහිටියන් ගේ දෝෂාරෝපණයට, පරිභවයට ලක්වීම වැළැක්විය නොහැකි ය. තමන්ගේ හැසිරීම් තවත් කෙනෙකු තුළ ද්වේශය ඇතිවන ලෙස පවත්වා ගැනීම ධර්ම මාර්ගයේ ගමන් ගන්නා කාන්තාව අනුදකින්නේ නැත.

බොහෝ දෙනා විකාර රූප විලාසිතාවන්ට මුල් තැන දෙන්නේ තමන්ගේ බාහිර ස්වරූපය අලංකාර කර ගැනීම සඳහා ය. අන්‍යයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා ය. එහෙත් අපගේ ජීවිතය වඩාත් යහපත් තැනකට ගෙන යා හැක්කේ බාහිර ඔපයට වඩා ආධ්‍යාත්මික පිරිසිදු බවට මුල් තැන දීමෙනි.

කෙනෙකු ගේ හැසිරීමෙන් ඉස්මතු වන්නේ ඔහුගේ සිතිවිලි ය. ඔහු කෙරෙහි රාගය, ලෝභය, ද්වේශය ආදී වූ ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය ඔහුගේ කතාවෙන්, ඇඳුමෙන් පැලඳුමෙන්, ක්‍රියාවෙන් ද දර්ශනය වේ. වැදගත් වන්නේ ආධ්‍යාත්මය අපිරිසිදු කරන මේ ක්ලේශ ප්‍රහීණ කිරීමට උත්සාහ කිරීම ය. එවිට ආයාසයකින් තොරව ම බාහිර ස්වරූපය ද ප්‍රිය මනාප වේ.

අල්පේච්ඡ බව බුදු දහමේ අගය කැරෙන ඉතා වටිනා සංකල්පයකි. බෞද්ධ භික්ෂූන් වහන්සේ ඒ සඳහා උදාහරණ කොට ගත හැකිය. උන්වහන්සේ ගේ චීවරය කුඩා කැබලි මූට්ටුකර මසා ඇති නිසා වටිනාකමක් නැත. තම වස්ත්‍රය පිළිබඳ හෝ උන්වහන්සේට ආශාවක් ඇල්මක් නැත. සොරකුට හෝ වෙනත් කෙනෙකුට හෝ ඒ පිළිබඳව ආශාවක් උපදින්නේ ද නැත. බුදු දහමේ වස්ත්‍රය පිළිබඳ දී ඇති තැන මෙයින් පැහැදිලි ය. බෞද්ධ උපාසක උපාසිකාවන් මුල් තැන දෙන සුදු පැහැති ඇඳුම, ළමා සාරිය ද පිරිසිදු බවේ සංකේතයක් වැන්න. කිසිවෙක් කෙරෙහි අනවශ්‍ය රාගාදී චේතනා ඇති කරන්නේ ද නැත. ශ්‍රද්ධාවන්තවන්ත බව, දැහැමින් ජීවත්වන බව සංකේතවත් කරන්නේ ය.

ජීවිතයේ අල්පේච්ඡ බව පසක් කරන්නේ ය. අප ජීවිතයට වඩාත් සමීප කරගත යුතු වන්නේ මේ ධර්මතාවයන් ය. පුද්ගල හිතකාමී, සමාජ හිතකාමී, ඒ චර්යා ධර්මයන් ස්ව ජීවිතය යහපත් මාවතකට යොමු කරන්නේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: