Posted by: lrrp | June 9, 2013

මට පුතා එපා මං කතරගම යනවා

ලෝකයේ මව්පිය දෙදෙනා සහ දූ දරුවන් අතර පවතින සම්බන්ධතාවය සංසාරික ගනුදෙනුවකි. දාරක ප්‍රේමය නමැති විශ්ව ධර්මතාව හේතු කොට ගෙනෙ කිරිසප්පයා හඬන හඬන වාරයක් පාසා ඕනෑ එපාකම් ඉටු කරති. එසේ ම බහුතරයක් මව්පියෝ ද කාලයාගේ ඇවෑමෙන් දරුවන්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙති.

එහෙත් ඒ වන විට ඒ දරුවෝ ද මව්පිය පදවි ලබා ඊළඟ තුන්වැනි පරපුරක් බිහි කරමින් ඒ දරුවන් ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමේ මහා හෙයියන්මාරුවේ යෙදී සිටිති.

මේ වන විට පළමුවැනි පරපුරේ මව්පියෝ අතපය වාරු නැතිව ද දෙවැනි පරපුර වෙනුවෙන් තමන්ගේ තරමට තොග රැස්කරති. එහෙත් පළමු පරපුරේ අය මේ අම්බලම අතහැර ඊළඟ අම්බලමට පියවර මනින විට එසේ රැස් කළ භෞතික සම්පත් අතින් අතහැර යති.

එහෙත් බහුතරයක් දෙනා ඒවා අතින් අතහැර යන්නේ ගෙන යා නොහැකි බැවිනි. එසේ ඒවා ගෙන යා නොහැකි වුවද හිතින් අතහැර දමන්නට නොහැකිව තණ්හා, ආශා, බලාපොරොත්තු, පසුතැවීම් හා දුක්ඛ දෝමනස්සයන් පොදි බැඳ ගෙන යති.

එසේ අලුත් අම්බලමකට යන සමහරු කලින් සිටි අම්බලම දෙස ආපසු හැරී බලති. තවත් සමහරු වෙස් මාරු කැරගෙන පරණ අම්බලමේම ලගිති. තවත් කෙනෙක් තණ්හාවේ අයිතිය හා උරුමයට අනුව අලුත් අම්බලම් සිට පරණ අම්බලමට නෑගම් පැමිණෙති.

එසේ පැමිණ කලින් පරිහරණය කළ භෞතික සම්පත් අතපත ගාති. මේවා “මගේ” යැයි සිතින් අත් නොහළ ඒ සම්පත්වලට තම දූදරුවන්ගෙන් හානි පැමිණි විට හඬා වැලපෙති. හූල්ලති. ශක්ති සම්පන්නයෝ පළිගනිති. රිදවති. තවත් සමහරු තමන්ගේ ඕනෑ එපාකම් දූදරුවන් ලවා ඉටු කැරවා ගැනීමට මාන බලති.

මයිකල් අතුරුගිරියට ආසන්න ගමක පදිංචි තිස් පස් හැවිරිදි පුද්ගලයෙකි. මෙයින් වසර පහළොවකට පමණ පෙර මයිකල් ගේ පියා මිය ගියේය. පියා ජීවත්ව සිටිය දී තොවිල් පවිල් කළ ඇදුරෙකි. මත්පැනට ඇබ්බැහි වූවෙකි. පියා මියගොස් ඔහුගේ සත්දින දානය දුන් දා පටන් දහවල් එකොළහ වන විට මයිකල් ගේ සිරුරට අමුත්තක් දැනෙන්නට පටන් ගත්තේය. ඒ වේලාවට මයිකල්ට අරක්කු බෝතල් තුන්කාලක් බොන්නට අවශ්‍ය වේ.

එය එක හුස්මට බීගෙන බීගෙන යන ඔහු පවුලේ අයට අනතුරු ඇඟවීම් කරයි. “උඹ හෙට බයිසිකලයෙන් වැටෙනවා”, “උඹ හෙට තුවාල වෙනවා” ආදී වශයෙන් ඔහු අනතුරු හඟවයි. ඒවා ද එසේ ම සිදුවෙයි. ඒ අවස්ථාවල මයිකල් ගේ හැසිරීම් හා කතාව මියගිය පියාගේ ස්වරූපයෙන් ම නිසා එසේ සිදුවන්නේ පියා ආවේශ වීමෙන් බව කවුරුත් විශ්වාස කළහ.

දිනපතා දහවලට අරක්කු තුන්කාලක් බීමට සිදුවීම නිසා මයිකල් ගේ ආර්ථිකය පහළට බැස්සේ ය.

එසේ ඔහුගේ ශරීරය මේ තරම් අරක්කු ප්‍රමාණයකට හුරුවීම නිසා හැන්දෑවට ද අරක්කු ටිකක් පානය නොකළොත් ඇඟට දැඩි අපහසුතාවයක් දැනෙන්ට පටන් ගත්තේය. ඒ නිසා හැන්දෑවට ද අරක්කුª බීමට මයිකල් පටන් ගත්තේය.

එහෙත් හැන්දෑවට නම් අරක්කු තුන්කාලක්ම අවශ්‍ය වූයේ නැත. හැන්දෑවට තාත්තා ආවේශ වූයේ ද නැත. දහවලට නොවරදවා ම අරක්කු පානය අවශ්‍ය වීම නිසා රැකියාවක් හෝ කුලී වැඩක් පවා කැර ගන්නට ඔහුට නොහැකි විය. ආදායමක් නැති විය. ඉඩම් විකුණා ජීවත් වීමට තරම් තත්ත්වයකට මයිකල්ගේ පවුලේ අය පත් වූහ.

මේ තත්ත්වයෙන් ගොඩ එන්නට තොවිල් පවිල් ශාන්ති කර්ම ගණනාවක් සිදු කළත් එයින් පලක් වූයේ නැත. සමහර ශාන්තිකර්මවලදී මයිකල් ආවිශ්ට වී ශාන්ති කර්මයට පැමිණි ඇදුරන් පවා පුදුමයට පත් කරවමින් ඔවුන් නොදන්නා බලවත් මන්ත්‍ර මයිකල් ගේ කටින් පිටවෙන්නට විය.

එයින් බියපත් වූ ඇදුරෝ ඒ බවක් නිවැසියන්ට නොදක්වා ශාන්තිකර්මය නිසි අයුරින් සිදු නොකොට ගනුදෙනුව පමණක් කඩාගෙන ගියහ. සමහර අවස්ථාවල මයිකල් කෙරෙන් මහා ආඩම්බරකාර බවක් ප්‍රදර්ශනය වෙමින් “මම අසවලා. තොපි මාව අඳුනන්නේ නැද්දැ”යි ගෝරනාඩු කරන විට ඇතැම් ඇදුරෝ ආ කාරිය අතහැර පලා ගියහ.

”මේ ශරීරයට ඇතුළුවී ඉන්නේ කවුද?”

”හඞ.. හඞ.. හා.. ඇයි අඳුනන්නේ නැද්ද මාව. මම බොහෝ ම බලසම්පන්නයි.” කියා මයිකල් මන්ත්‍ර කියන්නට පටන් ගනී.

”හා.. හා.. මේ ස්ථානය මගේ. තමුන්ට උවමනා විදිහට නටන්න දඟලන්න බෑ. අහන දේට උත්තර දෙන්න ඕනෑ. කව්ද මේ?”

”මං තමයි පොඩි රාල කට්ටාඬි මහත්තයා”

”ඉතින් කට්ටඬි මහත්තයා දැන් මැරිලානෙ”

”ඒ වුණාට මගේ දේවල් බලන්න මම එනවා. මට බොන්න උවමනා වුණා ම මම එනවා”

”කොහේ ඉඳල ද එන්නේ?”

”කතරගම ඉඳලා”

”ඇයි? ඉතින් මෙහේ එන්නේ? කතරගමම හිටියාම හරිනෙ”

”බැහැ … බැහැ… මම කතරගම දේවාලයට යනවා. ආපහු එනවා. මට එහේ නවතින්න බැහැ”

”ඇයි නවතින්න බැරි”

”මම කැමැති නැහැ කතරගම නතර වෙන්න. මම එසේ මෙසේ කෙනෙක් නොවෙයි. මං කැමැති නෑ. එහේදි මගෙන් එක එක වැඩ ගන්නවා. එක එක ගෙවල් ගානෙ යවනවා”

”ඇයි එක එක ගෙවල් ගානෙ යවන්නෙ?”

”ඇයි? මිනිස්සු කතරගම දෙවියන්ට අඬගහනවා පහන් පත්තු කරලා පුද පූජා තියලා. කතරගම දෙවියෝ මහා බලසම්පන්න කෙනෙක්. මිනිස් වෙසක් මවාගෙන භාවනා කරන බලසම්පන්න දෙවි කෙනෙක්. මේ යාතිකා කර කර අඬගහන කොට අපිව තමයි යවන්නෙ. අපිත් ඔය වස විස ගහපු පලතුරු කන්න කැමැති නෑ. අපිරිසිදු වඩේ මුරුක්කු කන්නේ මළ පෙරේතයෝ. උන් ඔය අපිරිසුදුවට පහන් තියෙන තැන්වල සිය ගණන් රොක්වෙලා ඉන්නවා. මමත් බලසම්පන්නයි. මමත් කැමැති නැහැ ඒ වගේ තැන්වලට මාව යවනවට. නියම කළාම ඉතින් නොගිහිනුත් බෑ. ඒක නිසා මම එතැනින් පැනලා මගේ ගෙදරට එනවා.

ඉස්සර වගේම මම දැනුත් අඩි ගහන්න කැමැතියි. ඉතින් මයිකල් පුතාගෙ ඇඟට රිංගලා අරක්කු බොන්න මම ගෙදර එනවා. මම යන්නෙ නෑ. කව්රු කිව්වත් මම මයිකල්ව දාලා යන්නේ නෑ”

”ඇයි දාලා නොයන්නේ?”

”මයිකල් තුළින්නෙ මම අරක්කු බොන්නෙ”

”හොඳයි හොඳයි අපි නැවත වෙනත් දවසක කතා කරමුකො”යි කියා දින දාහතරක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස මයිකල්ට උපදෙස් දුන්නේය.

එහෙත් දින කීපයකින් මයිකල් නැවතත් පැමිණ බෝධි පූජාව එක් දිනකට වඩා තියන්නට නොහැකි වූ බව කීවේය.

ඒ සමඟම මයිකල්ගේ සිරුරට පියා ආවිශ්ට විය.

”හඞ .. හඞ.. හා තිබ්බද බෝධි පූජාව? මම බෝධි පූජා තියන්න දෙන්නේ නෑ”

”ඇයි බෝධි පූජාවට බාධා කරන්නේ?”

”මම කැමැති නෑ මයිකල් පන්සිල් සමාදන් වෙනවාට”

”ඇයි අකමැති?”

”මයිකල් පන්සිල් සමාදන් වුණොත් සුරාමේරයෙන් වැළකුණොත් මම කොහොමද අරක්කු බොන්නේ? මම අඟහරුවාදා මයිකල්ව අසනීප කළා. එක දවසයි බෝධි පූජාව තියන්න දුන්නේ. මෙයාට බෝධි පූජාවට යන්න මම ඉඩ දෙන්නේ නෑ”යි අභියෝගාත්මකව භූතාත්මය ප්‍රකාශ කළේය.

එදින මයිකල්ට පිරිත් නූලක් ගැට ගසා පිරිත් පැන් බෝතලයක් දී “මේ පිරිත් පැන් පානය කොට බෝධි පූජාව දින දාහතරක් පවත්වා නැවත එන්නැ”යි උපදෙස් දුන්නේය.

”මම මෙයාට බෝධි පූජාවට යන්න දෙන්නේ නෑ… නෑ… නෑ.. ම”යි නැවතත් භූතාත්මය කීවේය.

එදින මයිකල් ආපසු නිවෙස බලා යමින් සිටය දී ඔහු ගමන් කළ යතුරුපැදිය පෙරළුවේය. මයිකල් එයින් සිදුවූ සුළු තුවාලවලට බෙහෙත් දමාගෙන ගෙදර ගියේය. ඔහු එදින ම බෝධි පූජා පැවැත්වීම ආරම්භ කළේය. උදේ පාන්දර අවදි වූ හැටියේ පිරිත් පැන් පානය කොට දවස ආරම්භ කළේය. එදින රාත්‍රි නිවසේ විදුලි බුබුළු පුපුරන්නට විය.

රාත්‍රි විදුලි පහන් පුපුරා නිවී ගිය පසු නිවස ඇතුළතත් පිටතත් සද්ද බද්ද පටන් ගත්තේය. දොර ජනෙල්වලට තට්ටු කිරීම්, වතුර කරාම ඇරදැමීම් සිදුවිය. මේ සියලු කරදර බාධක මැද්දේ ඒවා විඳ දරා ගෙන මයිකල් දින දහහතරම බෝධි පූජාව පැවැත්වීය. නිවසේ මස් මාලු කරවල බිත්තර පරිභෝජනය සම්පූර්ණයෙන් ම නතර කොට නිවසේත් ආගමික වතාවත් කළේය.

බෝධි පූජාව අවසන් කොට මයිකල් නැවතත් උපදෙස් ලබාගැනීමට ගියේය. එදිනත් මයිකල්ට ආවිශ්ට වූ පියාගේ භූතාත්මය කෑගසන්නට විය. “යන්න බෑ යන්න බෑ මම යන්නේ ම නෑ”යි කියමින් බිම පෙරැළී මන්ත්‍ර කියන්නට පටන් ගත්තේය. මොහු පාලනය කරන්නට බැරි ම තැන පිරිත් සජ්ඣායනා කොට, භාවනා ශක්තීන් ක්‍රියාත්මක කර විෂ්ණු දේව පාර්ශවයේ යක්ෂ සේනාධිපතියකු ගෙන්වා භූ®තයා පාලනය කළේය.

අවසානයේ භූතාත්මය හඬන්නට පටන් ගත්තේ ය. සමාව ඉල්ලා කෑගැසුවේය. අන්තිමේ “මට පුතාව එපා. මම කරගමට යනවා. මම යනවා”යි යටිගිරියෙන් හූ තියාගෙන මයිකල් බිම ඇදවැටුණේය.

ඉන්පසු දානයක් දී මියගිය පියාගේ භූත්තාමයට පින් අනුමෝදන් කැරවූහ. පින් අනුමෝදන් වූ භූතාත්මය උසස් තත්ත්වයකට පත්විය. දැන් මයිකල්ට මත්පැන් අවශ්‍ය නැත. අරක්කු දකින කොටත් ඔහුට දැන් වමනය යන තත්ත්වයක් උදාවිය. මයිකල් පවුලේ ඥාතීන්ගේ ද උදව් ඇතිව නැවතත් දානයක් දී කතරගම ගොස් පියාණන්ට පින් අනුමෝදන් කළේය. දැන් මයිකල් සම්පූර්ණයෙන්ම මත්පැනින් ඉවත් වූ පුද්ගලයෙකි. උදේ හවස ආගමික වතාවත්වල නොවරදවා යෙදෙයි. ඔහු දැන් අලුත් ජීවිතයකට පරිවර්තනය වෙමින් සිටී.

කෙනෙකු මිනිස් භාවයේ උපත ලබන විට කලින් භවයන්හි පොදි බැඳගත් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල තිහේතුක මූල උපාදාන බරට බරේ රැගෙන එති. ඒ බව නොදන්නා මිනිසා මෝහයෙන් අන්ධව තණ්හාවෙන් හඹා යමින් තව තවත් උපාදානයන් තොග රැස් කොට මල්ල පුරවා ගනී.

එවිට මළදාට ශරීර කූ®ඩුව අත්හරින්නට සිදුවුවත් පුරුදු සිතුම් පැතුම් තණ්හාවක් අත්නොහැරීම නිසා ඔහුගේ හෝ ඇගේ උපාදානස්කන්ධ සංයුතිය ආපසු සිටි තැනටම පැමිණ ජීවත්වෙන අඹු දරුවන්ට හිරිහැරයක් වන සේ කටයුතු කරයි.

මිනිසෙකුට ආහාර ගත හැක්කේ සීමිත ප්‍රමාණයකි. එය ඉක්මවා යෑමට නොහැකිය. ජලය පානය කළ හැක්කේ ද සීමිත ප්‍රමාණයකි. මිනිස් ශරීරයක් නීරෝගීව පවත්වා ගෙන යෑමට දිනකට වතුර බෝතල් හයක් පානය කළ යුතුය. මේ බව නොදන්නා කෙනෙකු නැත. එහෙත් එසේ වතුර බෝතල් හයක් නොවරදවා පානය කරන කෙනෙකු දකින්නට නැත.

මිනිස් ශරීරයට ඇල්කොහොල් ඉතා සීමිත ප්‍රමාණයක් අවශ්‍යය. එය බත් වැනි ආහාරවලින් සැපයේ. එහෙත් මත්පැනට ඇබ්බැහි වූවෝ ස්වකීය ශරීරයට අවශ්‍ය නැති, ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ශරීරගත කැර ගන්නේ ඇයි? එය නරක බව ද ඔහු දනී. එහෙත් නොබී ඉන්නට බැරිය.

මේ බේබදු ඇබ්බැහිකම අත් හරින්නට නොහැක්කේ ඇයි? ශරීරයට, සෞඛ්‍යයට, ආර්ථිකයට, පවුලේ සමඟියට හා මනසට මේ තරම් අහිතකර දෙයක් තවත් නැති බව දැන දැන ම එය අත්හරින්නට ඔහු ගේ සිත නොපෙළඹෙන්නේ ඇයි? එය බාහිර භූතාත්මයක බලපෑමක්, උවමනාවක් නිසා සිදුවිය නොහැකි ද? මෙය නුවණින් සිතා බලන සමහරු බෞද්ධ පිළිවෙත් මඟින් හා බුදුරජාණන් වහන්සේ නාලාගිරි ඇතු දමනය කළ ගාථා භාවිතා කරමින් සුරාපානයෙන් වළකිති. මෙලොවත් පරලොවත් දෙක ම ජයගනිති.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: