Posted by: lrrp | June 18, 2013

ගුණ දහම් අමතක වෙන්නේ අනුකරණය නිසයි

සංවරය නම් හික්මීමය. ස්වකීය චර්යාවන් හික්මවා ගත් පුද්ගලයා තමන්ට ප්‍රියය. අනුන්ට ද ප්‍රියය.

විවිධ විලාසිතාවන් ගෙන් හැඩ ගැන්වූ බාහිර ස්වරූපය මොන තරම් සිත්ගන්නා සුලු වුවද හැසිරීම පහත් නම් ඒ පුද්ගලයා සමාජයේ අවමන් මිස අබිමන් නොලබන්නේය.

අප හැසිරෙන්නේ හා ක්‍රියා කරන්නේ සිතිවිලි අනුවය.

‘මනො පුබ්බං ගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා’

සිතිවිලි උපදින්නට උදවු වන්නේ අප ගේ ඉන්ද්‍රියයන් හා ඒ සමඟ ගැටෙන අරමුණු වන බව තථාගතයන් වහන්සේ දේශනා කළහ. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන ඉන්ද්‍රියයන්ට හසුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම යන අරමුණුය.


දහම් සෙවණේ සිඟිත්තෝ’

ජාත්‍යන්තර ළමා සංවිධානයේ නිර්මාතෘ

සුදුහුම්පොළ විමලසාර හිමි

ඉඳුරන් හා මේ අරමුණු ගැටීම නිසා සිතිවිලි උපදී. අරමුණු දුර්වල නම්, නරක නම් උපදින සිතිවිලි ද නරක ය. එවිට පුද්ගල හැසිරීම ද දුර්වලය. අවැඩ සහිතය.

අප ගේ චර්යාවන් වඩාත් පහත් තත්ත්වයට ඇද දමන්නේ රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ආදි ක්ලේශයන් ය. එවැනි සිතිවිලි ඉපැදුණු කල ඒවාට අනුව ක්‍රියාත්මක වීම නිසා පුද්ගල හැසිරීම දුර්වල වේ. එවිට මනුෂ්‍යයා අමනුෂ්‍යයකු වැනි වේ.

තිරිසන් සතකුට සමාන වේ. සංවර බව වුවමනා කරන්නේ අප ගේ හැසිරීම තමන්ට මෙන්ම ගුරු දෙගුරුන් ඇතුළු සමාජයේ ද හිත පිණිසය. එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ හමුවට ආ උත්තර නම් මානවකයා ඉන්ද්‍රිය සංවරය පිළිබඳ වූ ඔවුන් ගේ ඉගැන්වීම ප්‍රකාශ කළේය.

එනම් සියලු ඉඳුරන් වසා සිටීමය. ඒ අවස්ථාවේ අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ එසේ නම් අන්ධයින් හා බිහිරන් අනෙක් අයට වඩා උසස් විය යුතු බවය.

බෞද්ධ ඉගැන්වීම එය නොවේ. සමාජය හා ගැටීමේ දී කෙනෙකු ගේ ඇසට මනාප දේ, අමනාප දේ මෙන් ම උපේක්ෂා සහගත (මධ්‍යස්ථ) දේ ද ලැබිය හැකිය. අප කළ යුතු වන්නේ ඒ සියල්ල සංස්කාර බව, ඕලාරික බව තේරුම් ගැනීමය.

හේතු ප්‍රත්‍යයන් ගේ ප්‍රතිඵල බව අවබෝධ කර ගැනීමය. එසේ නුවණින් වටහා ගන්නා තැනැත්තා මනාප වූ දෙයෙහි දැඩි ලෙස නොඇලෙන්නේය. අමනාප දෑ හි ද වේදනාවට පත් නොවන්නේය.

ඉන්ද්‍රිය සංවරය ඇති වන්නේ, නොමනා දේ හි නොපෙලඹෙන්නේ මෙසේ නුවණින් විමසා බලා කටයුතු කිරීමෙනි. කෙලෙස් ප්‍රහීන කළ හැකි ක්‍රම කිහිපයක් ධර්මයේ ඉගැන්වේ.

එහි දී ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම, සීල සංවරයෙන් යුතු වීම, වීර්ය ඇති කර ගැනීම, භාවනාව පුහුණු කිරීම, අවබෝධයෙන් ජීවත්වීම යනාදී කරුණු ප්‍රධාන වේ. ගිහියන්ට මෙම ගුණ ධර්ම ක්‍රමයෙන් පුරුදු පුහුණු කොට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගත හැකිය.

‘තුම්මෙහි කිච්චං ආතප්පං
අක්ඛතාරො තථාගතං’

බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ තමන් ගේ දියුණුව තමා විසින් ම සලසා ගත යුතු බවය. කෙනෙකු ගේ ජීවිතය තවත් කෙනෙකුට සකසා දිය නොහැකි ය. අවශ්‍ය මාර්ගෝපදේශය පමණක් දිය හැකි ය. තම තමන් ගේ ජීවිතවලට වග කිව යුතු එකම තැනැත්තා තමාමය.

අවංක වීම, ප්‍රතිපත්ති ගරුක වීම, සැලසුම් සහගත වීම, තමන්ට ආවේණික දක්ෂතාවයෙන් ඵල ප්‍රයෝජන ගැනීම ජීවිතයේ ජයග්‍රහණයට හේතු වේ.

බුදු දහමින් සුපෝෂිත වූ අපගේ මුතුන් මිත්තෝ ප්‍රතිපත්ති ගරුක, ගුණ යහපත් අය වූ හ. වර්තමානයේ ද සුළු පිරිසක් හැරෙන්නට එම උතුම් ගුණාංගවලින් පිරිපුන් බොහෝ පිරිස් ඇත. වත්මන් තරුණ දරුවන් ගෙන් වැඩි පිරිසක් උතුම් ගුණධර්ම ඇති අය වෙති.

බෞද්ධ ධර්මයේ පහස, ගමේ පන්සලේ ඇසුර, බෝ මළුවේ වැලි මළුවේ ස්පර්ශය ඒ උතුම් ගුණාංග ඔපමට්ටම් කර ඇත. ගුණයෙන්, නුවණින් කීකරු කමින් යුතු තරුණ දූ දරුවන් අතර සිටිනා අසංවර, අකීකරු සුළු පිරිසක් නිසා ඇතැම් විට තරුණ පරපුරම දෝෂ දර්ශනයට ලක්වනු පෙනේ. එහෙත් හැදියාවෙන් යුතු, යහපත් දරුවන් ගුණ ගරුක මිනිසුන් අතර කවදත් ඇගැයීමට ලක් වෙන්නේය.

කුඩා වියේ ආගමට දහමට අනුව මවුපියන්ට කීකරුව හැදෙන වැඩෙන ඇතැම් දරුවන් තරුණ විය එළඹෙත් ම ඒ සියලු ගුණ දහම් අමතක කරන්නේ අනුකරණයට හුරු වීම නිසා ය. එසේත් නැතිනම් සිත තුළ වූ කරුණාවන්ත බව නිසා අනුනට පොලඹවා ගැනීමේ හැකියාව නිසාය.

අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය මෙන් ම අවබෝධය ද ජීවිතයට වැදගත් ය. නැණ නුවණ හා සමාජය පිළිබඳ අවබෝධය ඇති දරුවන් තමන්ට නොගැළපෙන දේ අනුකරණය කරන්නේ හෝ රැවටිලි කරුවන්ට හසුවන්නේ හෝ නැත.

අසුන් ගැනීමේ දී, මහ මඟ ඇවිදින විට දී අනෙකුත් භික්ෂුන් වහන්සේට හිරිහැර වන ලෙස නොහික්මුණු ලෙස හැසිරුණු භික්ෂුවක නිසා කළකිරුණු මහ කාශ්‍යප මහ රහතන් වහන්සේ එම භික්ෂුවට අවවාද කිරීමට පවා තමන් වහන්සේ නොසතුටු බව එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට සැළ කර සිටියහ.

නොහික්මුණු, අය සමාජයේ අප්‍රසාදයට ලක්වන බවට ගුණවතුන් ගේ ඇසුරට නුසුදුසු බවට එය හොඳම උදාහරණයකි. මවුපිය, ගුරුවර, වැඩිහිටියන් ආදි ගරු කටයුතු අය ඉදිරියේ ගරු නොකිරීම වරදකි.

ඔවුන් සිත රිදවීම පවකි. ඇතැම් විට යම් ප්‍රශ්නයක් පිළිබඳ වැඩිහිටියන් දරන මතය වැරැදි වීමට පුළුවන. එවැනි අවස්ථාවක වුව කරුණු පැහැදිලි කළ යුතු වන්නේ ඉතා සංසුන්වය. ප්‍රියමනාප ලෙසය. එසේ කළ ද ඔවුන් පරණ මතයේ ම එල්බ සිටින්නේ නම් කළ යුතු හොඳම දේ නිශ්ශබ්ද වීමය.

ඇතැම් තරුණ දරුවන් අනුන් සමච්චලයට ලක් කරමින් ඔවුන්ට කරදර වන ලෙස හැසිරෙන ආකාරය දුම්රියේ, බස්රියේ සුලබ දසුන් ය. ඇතැම් පෙම්වතුන් ගේ හැසිරීම ඉතා අසංවරය.

තමන් ලෝකය දකින්නේ ඇස් දෙකකින් වුවද ලෝකයා ඇස් සිය දහස් ගණනකින් තමන් දෙස බලා සිටිනා බව අප ගේ දරුවන් හොඳින් මතක තබා ගත යුතුය. ලෝකයාගෙන් අපවාද, ගැරහුම් නො ලබන ලෙස ජීවිත පැවැත්ම සකසා ගන්නට උත්සාහ කළ යුතු ය. එක් අවස්ථාවක අප තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කළහ.

‘පුති මච්ඡං කුසග්ගෙන – යො නරො උපනය්හති
කුසාපි පූති වායන්ති – එවං බාලුපසෙවනා’

කුණු මස් එතූ කොළය ද කුණු ගඳ – දුර්ගන්ධය හමන්නාක් මෙන් බාලයන් සේවනය කරන හොඳ පුද්ගලයා ද හීන පුද්ගලයෙක් වන බව එහි අර්ථයයි.

මෙහි බාලයන් යනු වයසින් බාල කුඩා දරුවන් නොව පස් පව්, දස අකුසල් කරන ගුණ නුවණින් තොර පාපී පුද්ගලයන්ය.

එවැනි බාලයකු නොවී හික්මුණු හැසිරීම් ඇති ගුණ යහපත් අයකු වීමට උත්සාහ කරනවා නම් සමාජයේ ආදරය, ගෞරවය දිනා ගන්නා කෙනකු බවට පත්වීම අසිරූ වන්නේ නැත. එම ගුණ යහපත්කම ම ඔබගේ සැබෑ සුන්දරත්වය වනු ඇත.


Responses

  1. ithamath hoda aadarsamath lipiyak.. godak pin!!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: