Posted by: lrrp | June 18, 2013

යන්න ගිය භූතාත්මය පුතා සිහිපත් වී යළිත් ඇවිල්ලා

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මේ මිනිස් ලොව ජීවත්වන මිනිසුන් මරණයට පත් වූ විට එයින් කීයෙන් කී දෙනෙක් සුගතියට (දෙව් ලෝ හයයි මිනිස් ලොවයි) යන්නේදැයි දිනක් එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් විමසීය.

පයේ නිය මතට පස් ටිකක් ගෙන පෙන්වා “මහණෙනි! මේ පෘථිවිය පුරා ඇති සියලු පස් වැලි මිනිස් ගහනයට සම වේ ද ඒ මිනිසුන් අතරින් සුගතිගාමී වන්නේ මේන්න මේ තරම් සුළු ප්‍රමාණයකÓයි වදාළහ. ඊට හේතුව මිනිසා මිථ්‍යා දෘෂ්ටියෙන්, අසීමිත තණ්හාවෙන් හා විෂම ලෝභයෙන් පෙළීමයි.

මලවුන්ගෙන් බහුතරයක් ම වස්තු තණ්හාවෙන් යුතුව මියගොස් මෙහිම දුගතිගාමීව ප්‍රේතයන් වී උපදිති. නිවසකට හෝ ඉඩමකට, හෝ පුද්ගලයකුට හෝ ඇල්මෙන් ආදරයෙන් හෝ තරහෙන් වෛරයෙන් යම් අමනුෂ‍්‍යයෙක් සමීපව හෝ ශරීරගතව හෝ සිටී ද ඒ හේතු කොට ගෙන රෝගාබාධ, දුක් කරදර හා පරිහානියට කරුණු යෙදීමට පුළුවන.

එයින් මිදීමට නම් කළ යුත්තේ මිනිසා දැහැමිව ස්වකීය ආධ්‍යාත්මීය ශක්තිය දියුණු කැර ගැනීම යි. දාන ශීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීම යි. උදේ සවස තෙරුවන් වැඳ ශීලයක පිහිටා යටත් පිරිසෙයින් මෛත්‍රී භාවනාව හෝ බුදු ගුණ භාවනාව හෝ විනාඩි පහළොවත් වැඩීමයි.

බිරිය උදේ හවස මල් පහන් පුදා වත් පිළිවෙත් කළාට පුරුෂයාටවත් දරුවන්ටවත් වැඩක් නැත. පුරුෂයා එසේ පිළිවෙත් කළාට බිරියටවත් දරුවන්ටවත් වැඩක් නැත. තමන්ගේ ආධ්‍යාත්මීය ශක්තිය තමන් ම ගොඩ නඟා ගත යුතුය.

නිශාන්ත කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි අවිවාහකයෙකි. ඔහුගේ අම්මා රට රැකියාවකට ගොස් සිටි බැවින් කුඩා කල සිට ම හැදුණේ වැඩුණේ ලොකු අම්මා ළඟ ය. ලොකු අම්මා හදිසි හෘදයාබාධයකින් මිය ගියාය.

නිශාන්ත පසු කලෙක රෝගාබාධයන් ගෙන් පෙළෙන්නට විය. ඇඟ පත දැඩි රුදාව, ශරීරයේ විශාල බරක් දැනීම, පපුවේ වේදනාව ආදී රෝගාබාධවලින් පීඩා වින්දේය. ඊට අමතරව මියගිය ලොකු අම්මා ශාලයේ පුටුවක හිඳ ගෙන සිටින අයුරු රාත්‍රී කාලයේත් හිටි හැටියේ දහවල් කාලයේත් ඔහුට දර්ශනය වෙමින් පැවතුණි.

මේ තත්ත්වයන් ගෙන් මිදීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගත්තත්, විවිධ වත් පිළිවෙත් කළත් ඔහුට සුවයක් සහනයක් නොලැබුණි. අවසානයේ “සිළුමිණ” පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ගියේය.

එහි දී ආධ්‍යාත්මික උපදේශකවරයා ඉදිරිපිට දී නිශාන්ත ගේ ශරීරය පැද්දෙන්නට විය. එදින ඉන් එහා යමක් සිදු වූයේ නැත.

නිශාන්ත ගේ කායික හා මානසික ශක්තිය දුර්වලව පැවතුණු බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

දෙවැනි දිනයේ පැමිණි විට නිශාන්ත ප්‍රලය වූයේය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය. හිටි හැටියේ නිශාන්ත ඉකි බිඳ අඬන්නට පටන් ගත්තේය.

“කවුද මේ අඬන්නෙ?”

“මම මියුරින්”

“කවුද මේ මියුරින් කියන්නෙ?”

“මේ නිශාන්ත පුතා ගෙ ලොකු අම්මා”

“ඇයි මේ අඬන්නෙ?”

“මට මේ පුතාව දාලා යන්න වෙනවා. ඒ දුකට යි අඬන්නෙ. මමයි මේ පුතාව හදා වඩා ගත්තේ. මම විවාහයක් කර ගත්තෙත් නෑ. පුතාට ආදරෙන් හදා වඩා ගත්තා. මම පුතාට ආදරෙයි. පුතාව දාලා යන්න බෑ. ඒකයි ඇඬුවේ.

“මොනවා වෙලා ද මියුරින් මැරුණේ?”

“පපුවේ අමාරුව හැදිලා මැරුණේ.”

“මැරුණට පස්සෙත් ඒ පපුවේ වේදනාව දැනුණා ද?”

“ඔව් ඒ වේදනාව දිගට ම දැනුණා. පුතා බෝධි පූජා තියන කොට ඒ වේදනාව අඩු වුණා. පුතා ‘සබ්බ පාපස්ස’ ගාථාව කියමින්, ඒ ගාථාවෙ අදහස මෙනෙහි කරමින් පැන් කළ හතකින් බෝධීන් වහන්සේ පැදකුණු කොට මේ සිසිල් පැන්වලින් බෝධීන් වහන්සේ සිසිල් වේවා කියා බෝධි මූලය දෝවනය කළා.

පුතා ඒවා මුමුන මුමුනා කියමින් බෝධිය වටා පැදකුණු කරන කොට මමත් ඒ පැන් කළයට අත තියා ගෙන පුතත් එක්ක ගමන් කළා. ඒ වගේ ම පුතා මෛත්‍රී භාවනාව වඩන කොට පුතාගෙ ශරීරයෙන් නිකුත් වුණු සිසිල් කිරණ මම ස්පර්ශ කළා. එතකොට මගේ වේදනාව අඩුවුණා.”

“මියුරින් මැරුණයි කිව්වා නේද?”

“ඔව් මම මැරුණා. පුතා මගේ අවසන් කටයුතු හොඳට කළා.”

“මියුරින් මැරුණා නම්, ආදාහනාගා‍රයේ දී ශරීරය දවා අළු වී ගියා නම්, දැන් ඔය කතා කරන්නේ කවුද?”

“ම්… ම්…. ම්… මට තේරෙන්නෙ නෑ. මම මියුරින්ම කියලයි හිතා ගෙන ඉන්නේ.”

“නෑ ඒ මියුරින් මළා. දැන් ඔය ඉන්නේ ප්‍රේත ජීවියෙක්. ඔබ බරපතළ පව් නොකළ නිසා දරුණු දුක් විඳින ප්‍රේතියක් නොවෙයි. ඔබට පින් අරගෙන ඉහළ තත්ත්වයකට යන්න පුළුවන්. ඔබ ජීවත්ව සිටිය දී කළ පින්කම් මෙනෙහි කරන්න.

ඒ පින්වල ශක්තියෙන් වාසනා ශක්තිය මතුවේවි. එතකොට ඉහළ තත්ත්වයකට යන්න පුළුවන්. පුතාට ආදරේ එක ඇත්ත. ඒ වුණාට තමන්ගේ ආත්මය ගලවා ගන්නත් ඕනෑ නේද? ඒ නිසා කුසල් සිත් ඇති කැර ගන්න.”

“ඔව් මහත්තයා මම මළාට පස්සෙත් පුතා දාන මාන දීලා මට පින් දුන්නා. ඒ පින් අනුමෝදන් වෙලා මට යන්න හිතුණෙ නෑ පුතාව දාලා. පුතා තනියම ඉන්න නිසා.”

“හොඳයි. මම පුතාට කියලා නැවතත් දානයක් දී පින් අනුමෝදන් කරවන්නම්. පින් අනුමෝදන් කරන කොට ඒ දානය පිළිබඳ සිතා සතුටු වෙන්න. සිත පිනා යෑම තමයි පින කියන්නේ. ඒ නිසා පුතා දෙන දානය බලා සතුටු වෙන්නැÓයි ද ගවේෂකවරයා පැවසීය.

නිවසට භික්ෂුන් වහන්සේ වඩම්මා සාංඝික දානයක් පිරිනමා අට පිරිකර පූජා කොට ලොකු අම්මාගේ නම සඳහන් කොට පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි නිශාන්තට උපදෙස් දුන්නේ ය.

නිශාන්ත ඉතා ම ශ්‍රද්ධාවෙන් එම පින්කම් ඉටුකොට නැවත පැමිණියේය. එදින ද ගවේෂකවරයා ඔහු දිෂ්ටි ගැන්වීය.

“කවුද මේ?”

“නිශාන්ත පුතාගෙ ලොකු අම්මා”

“මියුරින් ලොකු අම්මා මැරුණා. දැන් ඉන්නේ ප්‍රේත ජීවියෙක්.”

“නෑ… මහත්තයා මම පින් අරගෙන ටිකක් ඉහළට ගියා.”

“එහෙම නම් ඔය ගෙවල් දොරවල් ගැන තණ්හාව අතහැරලා නිශාන්තගෙ ජරාවට පත්වෙන ශරීරය අතහැරලා ඉහළට යන්න. අනුරාධපුරය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යන්න.”

“හොඳයි මහත්මයා. ඉස්සර මම අනුරාධපුරේ වන්දනාවේ ගියා මතකයි. මම යනවා. මම යනවා. මම මේ දැන් යනවා” යි භූතාත්මය සැණින් ඉවත්වගියාය.

එයින් සුවපත් වූ නිශාන්ත යළිත් මාස හතකට පසු නැවතත් ආධ්‍යාත්මීය උපදේශකවරයා සොයා ගෙන ආවේ ය. නැවතත් ලොකු අම්මා ගේ දර්ශනය නිවසේ සැරිසරණ බව කීවේය.

යළිත් නිශාන්ත දිෂ්ටි ගැන්වූයේය.

“කවුද මේ ශරීරයේ ඉන්නෙ?”

“නිශාන්ත ගෙ ලොකු අම්මා”

“ඇයි? අනුරාධපුරයට යනවා කියා ඉවත්ව ගියා නේද?”

“ඔව් මහත්තයා”

“ඉතින් ආයෙත් ආවේ?”

“පුතා මාව නිතර මතක් කරනවා. දැනට දවස් තුනකට කලින් පුතා මගේ උපන් දිනයට බත් පැකට් වගයක් හිඟන්නන්ට දුන්නා. පුතා එදා ඉතාම තදින් මාව මතක් කළා. සිහිපත් කළා.

මා ගැන හිත හිතා දුක් වුණා. පුතා එහෙම හිතන කොට මට ඒක දැනුණා. පුතා ගෙ චිත්ත තරංග ඉතා ම බලවත්ව මට දැනුණා. මා ආකර්ෂණය වුණා. මට නෑවිත් ඉන්න බැරි වුණා. ඉතින් මට නැවතත් එන්න සිද්ධ වුණා.”

මෙය මියගිය ලොකු අම්මාටත්, තමන්ටත් දුකක් කරදරයක් ම මිස කිසිවෙකුට යහපතක් නොවන බව නිශාන්තට වටහා දුන්නේය. මියගිය ලොකු අම්මාගේ ප්‍රාණකාරයාට ද ඒ ගැන විස්තර කරන විට ම එය තේරුම් ගත් භූතාත්මය වහාම ඉවත්ව ගියාය.

මිය ගිය අය පිළිබඳ නිතර සිහිපත් නොකරන ලෙස ද ඔවුන්ට නිදහසේ තමන් ලැබූ භවයේ සිටින්නට ඉඩ දිය යුතු බව ද නිශාන්ත තේරුම් කොට දුන්නේය.

නිවසේ මළ ගිය අය ගේ පින්තූරයක් වේ නම් එයට මල් මාලයක් පලඳවා තැබිය යුතු බවත්, එවිට ඉඳහිට හෝ ගෙවල් දොරවල් මතක් වී භූතාත්ම පැමිණියත් ඒ මල්මාලා දැකීමෙන් තමන් මළ බව සිහිපත් වී ඔවුන් ආපසු යන බව ද පැහැදිලි කළේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: