Posted by: lrrp | June 30, 2013

ප්‍රසාදයත් ආරක්ෂාවත් ලබන්න නිහතමානී වන්න

උදේ සවස බුදු පිළිම වහන්සේ අභියස මල් පහන් පුදා තුන් සූත්‍රය කියවීම බොහෝ බෞද්ධයන් ගේ සිරිත ය. එය අගය කළ යුතු පුරුද්දකි. එහෙත් තුන් සූත්‍රයේ කියැවෙන කරුණු ජීවිතයට සම්බන්ධ කර ගන්නේ ඉතා සුළු පිරිසකි. කියන්නා සේ ම කිරීම ද බෞද්ධ ගුණ ධර්මයකි. තුන් සූත්‍රයේ අන්තර්ගත වන්නේ පුද්ගලයකු ගේ මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද සාර්ථක කර ගන්නට හේතු වන වටිනා සදූප දේශයන් ය.

කරණීය මෙත්ත සූත්‍රයට අවධානය යොමු කරන්න. එහි මුල්ම ගාථා ත්‍රිත්වයෙන් කියැවෙන්නේ අපගේ ජීවිතයට ඉතා වැදගත් ගුණධර්මයන් පසළොසක් පිළිබඳවය. එහි මෙසේ සඳහන් වේ. නිර්වාණයට පැමිණීමට කැමති, අභිවෘද්ධියේ දක්ෂයා විසින් කුමක් කළ යුතු ද? හේ දක්ෂ විය යුතු ය. මෘදු පුද්ගලයෙක් විය යුතුය. නිහතමානී පුද්ගලයෙක් විය යුතුය. සන්තෝස පුද්ගලයෙක් විය යුතුය. පහසුවෙන් පෝෂණය කළ හැකි තැනැත්තෙක් විය යුතුය. ස්වල්ප කටයුතු ඇත්තෙක් විය යුතුය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුය. සන්සුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතුය. ප්‍රඥාවන්තයෙක් විය යුතුය. අල්ප ආහාර ඇත්තෙක් විය යුතුය. කුලයන් හි මනා නොඇලුන පුද්ගලයෙක් විය යුතුය.

‘සක්කෝ’ නම් හැකියාව ය. ඕනෑම පුද්ගලයකුට කුමක් හෝ දෙයක් පිළිබඳ යම් වෘත්තියක් පිළිබඳ නිපුණතාවක්, විශේෂ ප්‍රාගුණ්‍යක් තිබිය යුතුය. එය ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන කරුණකි. අප ශිල්ප ලබන්නේ ඒ ප්‍රාගුණ්‍ය, ඇති කර ගනු පිණිස ය.

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ මවුපියන් විසින් දරුවන් ශිල්පයෙහි හික්ම විය යුතු බවය. ‘සික්ඛං සික්ඛාපේති’ යන්නෙන් අර්ථවත් වන්නේ ඒ ගුණධර්මයයි. දරුවන්ට ශිල්ප ලබා දෙනු පිණිස මවුපියන් බොහෝ කැප කිරීම් සිදු කිරීම අද සුලබ කරුණකි. එය ද ඉතා අගය කළ යුත්තකි. එහෙත් ශිල්ප ලබා දෙනවා හා සමඟම හික්මීම ද ඇති කළ යුතුය. පසුගිය දා වෛද්‍යවරයකු විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරියකට පිහි ඇනුමකින් දරුණු ප්‍රහාරයක් කළ පුවත ඔබ අසන්නට දකින්නට ඇත. ඒ ශිල්ප ලබා තිබුණ ද මනා හික්මීමක් නොලැබීමේ ප්‍රතිඵලය.

අද අපේ සමහර දරුවන්ට මවුපියන්ට තබා ගුරුවරයකුටවත් වරදක් පෙන්වා දිය නොහැකිය. අවවාදයක් කළ නොහැකිය. වරදකට දඬුවමක් දිය නොහැකිය. ගුරුවරුන්ට පවා අත ඔසවන්නට ඔවුන් මැළි වන්නේ නැත. ඒ තරමට හික්මීමෙන් තොරය. සුවච බවක් නැත. අතීතයේ අප දරුවන් කෙරෙහි වූ මුදු බව වත්මන් හි සමහර දරුවන් කෙරෙහි ඇත්තේ ම නැත. කායික මෙන් ම මානසික මුදු බව ද සීමා සහිත ය. මේ පුරුදු දරුවන්ට කුඩා වියේ සිට ම පුරුදු පුහුණු කළ යුතු දේ ය. ප්‍රසන්න ලෙස, කාගේත් සිත් ඇදගන්නා ලෙස කතා කරන්නට දරුවන් ඉගෙන ගන්නේ මවුපියන් ගෙනි. එය නිහතමානී බව සමඟ හැඩ ගැසෙන පුරුද්දකි. ඉහළට යත් ම, තනතුරු ලැබෙත් ම, නිහතමානී නොවන ඇතැම් අය උඬගු බව නිසා තමන්ට කරගන්නා හානිය සුළු පටු නොවේ. සමාජයේ ප්‍රසාදය මෙන් ම ආරක්ෂාව ද ලැබෙන්නේ උඩඟු පුද්ගලයාට නොව නිහතමානී තැනැත්තාට ය.

දරාගත නොහැකි තරමට විවිධ දේ බලාපොරොත්තු වීම තුළ හටගන්නේ අසීමාන්තික බවකි. ඒ අසීමාන්තික ආශාවන් සපුරා ගත නොහැකි වූ තැන බලාපොරොත්තු කඩ වීමෙන් වන පරාජිත මානසිකත්වයක් ඇති වේ. එය ජිවිතයේ අසාර්ථක බවට හේතු වේ.

පාරේ ගමන් කරන එක් පුද්ගලයෙක් තමන්ට මිරිවැඩි සඟළක් නොමැති වීම ගැන බොහෝ පසුතැවුණි. මඳ වේලාවකින් ඔහු ඉදිරියේ පෙනී සිටියේ මිරිවැඩ සඟළක් තබා දෙපා ද අහිමි වූ තැනැත්තෙකි. දෙපා ඇති පුද්ගලයා දුකෙන් තැවෙන අතරේ දෙපා නැති පුද්ගලයා තෘප්තිමත් බවින් ජීවිතයේ ඉදිරි කටයුතුවලට මුහුණ දුන්නේ ය.

සමාජයේ ජීවත්වන හැමට එක හා සමාන වත්කම්, දැන උගත්කම්, දක්ෂතා නැත. එහෙත් අප උත්සාහ කළ යුතු වන්නේ ජීවිතයේ ඉදිරිය ගොඩ නඟා ගන්නට උත්සාහ කරන අතර ම ලද දෙයින් සතුටු වීමට හැකි මනසක් නිර්මාණය කර ගැනීම ය. එසේ තෘප්තිමත් බවක් නොවූ තැන සිදුවන්නේ බොහෝ දේ පසුපස හඹා ගොස් ජීවන වියදම දරාගත නොහැකිව කබලෙන් ලිපට වැටීමය. මානසික ආතතිය වැඩි වී ජීවිතයම කළකිරීමය.

‘අප්පකිච්චෝ’ නම් වැඩ අඩු බ ව ය. විවේකය, විශ්‍රාන්තිය මනුෂ්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය ය. අලස බවක් ගැන මින් නොකිය වේ. කාල කළමනාකරණය කර ගැනීම පිළිබඳව අවධාරණය වේ.

‘සල්ලහුතවුත්ති’ යනු සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති බවය. ගමනක් බිමනක් යාමේදී, සමාජය හා ගැටීමේ දී අප ගේ හැසිරීම අන්‍යයන් ගේ අප්‍රසාදයට හේතු නො විය යුතුය. ඇඳුමෙන්, කතාබහෙන්, හැසිරීමෙන් අවිනීතකම, ප්‍රදර්ශනය කරන්නා සදාචාරවත් ජන සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.

විශේෂයෙන් කලබලකාරී නොවීම, සන්සුන් ගති පැවතුම්වලින් යුතු වීම තරුණ දරුවකුට අත්‍යවශ්‍යය. මංගල අවස්ථාවක දී හෝ වෙන යම් උත්සවයක දී, සාමූහික රැස්වීමක දී උසුළු විසුළු කරමින් කෑ කෝ ගසමින් අන්‍යන් ගේ අවධානය දිනා ගන්නට යාම නිසා ගරුත්වය පිරිහෙන බව තරුණ දරුවන් අවබෝධ කරගත යුතුය. සතුට, විනෝදය නොලැබිය යුතු බව මින් අවධාරණය නො කෙරේ. යම් යම් දේ පිළිබඳ තදින් නො ඇලීම, තමන්ටත් අනුන් අනර්ථයක් නොවන සේ හැසිරීම ගරුත්වය නැති කර ගැනීමකි.

නිපක ගුණය නම් නුවණැති බව ය. සමාජය පිළිබඳ අවබෝධයෙන් විමසා බැලීම පිළිබඳව මෙහි අවධාරණය වේ. විමර්ශන ගුණය ඇති විට වරදට නො පෙළඹේ. අපහසුතාවට පත් නොවේ. නුවණැති පුද්ගලයා උගතුන්, බුද්ධිමතුන් දොස් නඟන කුඩා වරදක්වත් නො කරන්නේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: