Posted by: lrrp | July 3, 2013

මියගිය අම්මාගෙන් දුවට මල් මිටක්

තිරිසන් සත්තු තමන්ගේ පැටවුනට දුව පැන ආහාර සොයා ගත හැකි වයසට පැමිණෙන විට උන්ට නිදහස දී පන්නා දමති. මිනිසා එසේ නොවේ. විශේෂයෙන් ම දුව පැන ඇවිදින කතා බහ කරන වයස අවුරුදු තුන හතර පමණ වන විට වඩාත් දරුවා ප්‍රවේශම් කරයි. මේ වගකීම වඩාත් පැවරී ඇත්තේත් පවරා ගෙන ඇත්තේත් අම්මාට ය. දරුවා දුව පැන ගොස් වැටී තුවාල කර ගනී ද? වාහන එන විට පාර පනීවි ද? ළිඳ ළඟට යාවි ද? විදුලි සැර අල්ලා විද? නුසුදුසු දේ කටේ දමා ගනීවි ද? මේ ආදී දහසක් දෙයින් දරුවා ප්‍රවේශම් කරයි. එසේ ම ඔහු කියන කරන දේ බලා ඒවා හපන්කම් ලෙස සලකා සතුටු වෙයි. වැලඳ ගනියි. සිප ගනියි. ඒ අම්මලා ගේ හැටිය. ඒ මාතෘත්වයේ හැටිය. දරුවා පෝෂණය කරන්නට නිතර ම වග බලා ගනී.

ෂර්මිලා රජරට ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි තරුණ විවාහක බිරියකි. අතපය රුදාව, පපුව හිරවීම, ආදි කායික රෝග පීඩාවලින් දුක් විඳින ඇය ඊට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොලැබුවාය. ඊටත් අමතරව ඇගේ මියගිය අම්මා හීනෙන් පෙනී ඇයට මල්මිටක් පිළිගන්වන්නීය. ඊට පහුවදා මොකක් හෝ ලොකු කරදරයක් ඇයට හෝ සැමියාට හෝ එළැඹේ. එය ඔවුන්ට ළඟ එන කරදරයක් අඟවන සලකුණකැයි පෙර නිමිත්තකැයි ඔවුහු හොඳින් ම දනිති. එසේ ම ෂර්මිලා උදේ නින්දෙන් නැගිටින විට ඇගේ ශරීරයේ සිරීම් සලකුණු ද දකින්නට ලැබෙයි.

රෝගාබාධයන්ගෙන් මිදීම සඳහා කාලයක සිට කරන ලද ප්‍රතිකාර වත් පිළිවෙත්වලින් සුවයක් නොලද නිසා ෂර්මිලා “සිළුමිණ” පත්‍රයේ සඳහන් “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවා සැමියා සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියාය.

පළමු දිනයේ ගවේෂකවරයා කිරණ එල්ල කරන විට ෂර්මිලා ගැස්සී ගොස් පැද්දෙන්නට වූවාය. ඇයට දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස නියම කළේය.

දෙවැනි දිනයේ ෂර්මිලා ප්‍රලයව මහ හඬින් ඉකි බිඳ දිගට ම හඬන්නට වූවාය. හැඬීම නතර නොකරන බැවින් නැවතත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි නියම කළේය.

තුන්වැනි දිනයේ ද ඇය ප්‍රලයව හඬන විට කිරණ ශක්තිය අල්ලා පාලනය කළේය.

“අනේ! මහත්තයා, පිච්චෙනවා, දැවිල්ලයි දැවිල්ලයි.”

“එහෙනම් කියන්න මේ කවුද කියලා”

“මම අනුලාවතී. මේ දුවගෙ අම්මා”

“ඇයි ඉතින් දුවගෙ ඇඟට රිංගුවේ?”

“මේ මගේ කෙලි පැටික්කි. මගේ දුවට මම ආදරෙයි. මගේ දුව දාලා මට යන්න බෑ.”

“එතකොට අනුලාවතී මැරුණෙ මොනවා වෙලා ද?”

“මහත්තයා! මගේ මනුස්සයා මාවයි දුවයි දාල ගියා. ඒත් මගේ මනුස්සයාගෙ අම්මා – මගේ නැන්දම්මා මටයි දුවටයි ආදරෙයි. උන්දැ මගේ දැරිවි බලා කියා ගත්තා. මම ජීවිකාව ගෙනියන්න මල් කඩලා වික්කා. වැවේ ඔරුවෙන් ගිහින් මල් කඩලා වන්දනා කාරයන්ට මල් විකුණන කඩවලට වික්කා. ඒකෙන් තමයි අපි ජීවත්වුණේ. දවසක් වැවේ මල් කඩද්දි ඔරුව පෙරළිලා මැරුණා. එතකොට මගේ දුවට වයස අවුරුදු තුනයි.”

“එහෙනම් අනුලාවතී මැරුණා.”

“ඔව්”

“ඇයි ඉතින් මේ තවමත් දූ ළඟ.”

“මහත්තයා! මම මැරිලා මගේ මිනිය ළඟ – මිනී පෙට්ටිය යට ඉඳගෙන දුව බෝනික්කෙක් තියා ගෙන සෙල්ලම් කළා.”

“ඉතින්?”

“සමහර අඳුනන අය ආවා ම’අම්මා නිදි. මල් කඩන්න ගිහින් ඇවිත් මාන්සියි, ඇහැරවන්න එපා’ කියලා. දුව කිව්වා. ඒ අතරේ බෝනික්කා නැළෙව්වා. මම කියා දීපු කවි කියලා.”

දොයි… දොයි… දොයි… දොයිය පුතා
බයි… බයි… බයි… බයිය පුතා
උඹෙ අම්මා කිරට ගියා…
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ග‍ඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගියා
දොයි… දොයි… දොයි… දොයිය පුතා
බයි… බයි… බයි… බයිය පුතා
උඹෙ අම්මා වැවට ගියා
මල් නෙළාන එන්න ගියා
මල් විකුණලා බනිස් ගෙනෙයි
උඹ නාඬා දොයිය පුතා

ඒ මම දුව නළවන කොට කියපු කවි. ඒවා දුවට පාඩම්. දුව මගේ මිනී පෙට්ටිය යට වාඩි වෙලා ඒ කවි කියලා එයා ගෙ බෝනික්කව නැළෙව්වා. මට දුක උහුළා ගන්න බැරුව ගියා. මගේ මිනිය බලන්න එන නෑදැයින්ට මම අඬලා මගේ දුක කිව්වා. ඒ අයට ඇහුණේ නෑ. අනේ මගේ දූ සිඟිත්ත බලාගන්න කියලා ඇඬුවා. ඒ කාටවත් ඇහුණේ නෑ. ඊට පස්සෙ දවසේ මගේ මිනිය වළ දමන්න කනත්තට ගෙන ගියා. මගේ අක්කා කෙනෙක් දුව වඩා ගෙන ගියා. මිනී පෙට්ටි වළට දාන්න හදන කොට ම “එපා… එපා… අම්මා… අම්මා… කියලා දුව ඇඬුවා. මමත් වෙන කොහේවත් ගියේ නෑ.

මම දුව ළඟින් ම ගෙදර ආවා. දුව ළඟට ම වෙලා හිටියා. මට නම් මගේ දුව දාලා යන්න කියන්න එපා. දුවට අම්මටයි තාත්තටයි දෙන්නට ම ඉන්නේ මම විතරයි. මටනම් යන්න බෑ.”

නැවතත් දින දහ හතරක් බෝධි පූජා පවත්වා එන්නැයි ෂර්මිලාට උපදෙස් දුන්නේ ය.

ඒ බෝධි පූජාවට ඒ වැවට ම ඔරුවෙන් ගිහින් සුදු නෙළුම් කඩා ගෙන ඇවිත් පූජා කරන ලෙසට ද ෂර්මිලාට පවසා “ඒ මල් නෙළන්න දුව සමඟ ගොස් මල් නෙළන ලෙසටත් මල්වලට අත ගසා සාදු කියන ලෙසටත් ප්‍රේත ජීවියාට ද උපදෙස් දුන්නේ ය. මල් පහන් පූජා කිරීමෙන් පසු ‘බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, ඒ බුදු ගුණ බලයෙන් මම සුවපත් වේවා…

දහම් ගුණ අනන්තයි, දහම් ගුණ අනන්ත ය, දහම් ගුණ අනන්ත ය ඒ දහම් ගුණ බලයෙන් මම සුවපත් වෙම්වා…

සඟ ගුණ අනන්ත ය, සඟ ගුණ අනන්ත ය, සඟ ගුණ අනන්ත ය ඒ සඟ ගුණ බලයෙන් මම සුවපත් වෙම්වා…

තෙරුවන් ගුණ අනන්ත ය, තෙරුවන් ගුණ අනන්ත ය, තෙරුවන් ගුණ අනන්ත ය, ඒ තෙරුවන් ගුණ බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා… යි තාලයට හඬ නඟා සත් වරක් ගායනා කරන ලෙස ද නියම කළේ ය. මේ බෝධි පූජාවට ගොස් සහභාගි වුණොත් දුව අතහැර යන්නට නොකියන බව ද ප්‍රේත ජීවියාට කීවේ ය.

ඒ බෝධි පූජාව අවසන් කොට ඇය නැවත පැමිණියාය. එදින ද ෂර්මිලා ප්‍රලය වූවාය.

“කවුද මේ?”

“මම මේ දුවගෙ අම්මා”

“දැන් කොහොම ද?”

“හොඳයි මහත්තයා ඒ බෝධි පූජාවලට මමත් ගියා මහත්තයා කියපු විදිහට. මගේ ලොකු වෙනසක් සැහැල්ලුවක් වගේ දැනුණා.”

“දැන් දුවට කොහොම ද?”

“දුවටත් හොඳයි”

“දුවගෙ ඇ‍ඟේ සිරීම් තිබුණා කියලා කලින් කීවා නේද?”

“ඒ මම දුවගෙ ශරීරය ආදරේට අත ගාන කොට සීරෙන්න ඇති. දැන් එහෙම වෙන්නෙ නෑ. මම දුව අත ගාන්නෙ නැති නිසා.”

“දැන් දුවගේ පවුල් ජිවිතේ කොහොම ද?”

“ඒක නම් කලිනුත් හොඳයි මහත්තයා. මගේ දුවගෙ මහත්තයා හරිම හොඳ ගුණ යහපත් දරුවා.”

“දැන් තමුන්ට පැහැදිලියි නේද? අනුලාවතී මැරිලා දැන් ඉන්නේ ප්‍රේත ජීවියෙක් කියලා.”

“ඒ ප්‍රේත වචනය අහන්නත් දැන් ලැජ්ජයි මහත්තයා. දුවයි බෑනයි පහුගිය දවස්වල කරපු බෝධි පූජා දන් පැන්වලට සහභාගි වෙලා පින් අනුමෝදන් වෙලා මම දැන් කලින් හිටියාට වඩා ඉහළ තලයකට ඇවිත් ඉන්නවා.”

“හොඳයි එහෙනම් තව දුරටත් දුව ළඟට ම වෙලා ඉන්නවා ද?”

“නෑ නෑ මහත්තයා මම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යන්න කැමැතියි.”

“තනියම යන්න පුළුවන් ද? අපි උදව් කරන්න ද?”

“තනියම යන්න පුළුවන්”

“ඒත් ඔබ හොඳ අම්මා කෙනෙක්. දුවට ආදරය කිරීම සාධාරණයි. ඒ දැඩි ඇල්ම නිසා ඔබ දුගතිගාමී ස්වභාවයකයි හිටියේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. කොයි එක වුණත් මම දුවට කියන්නම් අටපිරිකර සහිත සාංඝික දානයක් පිරිනමා පැන් වඩා පින් අනුමෝදන් කරන්න කියලා. ඒ පිනත් අරගෙන තවත් උසස් වී අනුරාධපුරයට යන්නැÓයි උපදෙස් දුන්නේ ය.

එසේ දානයක් පිරිනමන ලෙස ෂර්මිලාට ද උපදෙස් දුන්නේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: