Posted by: lrrp | July 13, 2013

ඔබ හරිම අවිවේකී කෙනෙක්‌ද?

ආනාපාන සතිය වඩා සිත සන්සුන් කරගන්න

ඕනෑම කෙනෙක්‌ නිතරම කියන කතාවක්‌ තමයි මං ඉන්නෙ හරිම අවිවේකයෙන් කියන එක. මොකක්‌ද හැබෑටම කෙනෙකුට තියෙන මේ අවිවේකය. සමහර අය කියනව නිදා ගන්න තියා කන්නවත් වෙලාවක්‌ නෑ කියල. ඒ තරමටම වැඩ. එක දිගටම වැඩ. නොකා නොබී වැඩ.

මොකක්‌ද ඒ ජීවිතය. පසුගිය සතියෙත් අප සඳහන් කළා, ජීවිතය කියන්නෙ අභියෝගයක්‌ කියල. ජීවිතය නමැති ප්‍රශ්න පත්තරේ සමහර වෙලාවට උත්තර ලියා ගන්න, හොයා ගන්න බැරි ප්‍රශ්නයක්‌ තියෙනවා. ඔන්න එතකොට සමහරු ජීවිතය ගැන කලකිරෙනව. එක පාරටම කඩා වැටෙනව. ඒ ජීවිත ගත්තාම මුල, මැද, අග කියන තුනම අවුල්. අවුල් වෙන තරමට තැවුල් වැඩියි. තැවුල් නිසා දුක වැඩි වෙනව. දුක දරා ගන්න බැරිව ජීවිතයම එපා වෙන අයත් නැතුවම නෙවෙයි.

ජීවිතය හරියටම පිළිවෙළටම සැලසුම් කරන්න බෑ. ඉතාම දාර්ශනිකව බැලුවොත් ජීවිතය ජය ගැනීමට නම් ඒ හා බැඳුණු දුක නැති කළ යුතුයි. බුදුහාමුදුරුවො කියන්නෙ මේ සංසාරය දිගින් දිගටම දුක සමග ආව ගමනක ඵලයක්‌ බවනෙ. ඒත් අපට පුළුවන්ද මේ දුක කියන අකුරු දෙක තෝරල බේරල ඒ දුක නැති කරන්ට. බෑ, ඒ ශක්‌තිය, ඒ බලය ඒ ප්‍ර්‍රඥව බොහොම වෙර වීරියෙන්, අධිෂ්ඨානයෙන් ලබා ගත යුතුයි. එහෙම නම් බලන්න ඕනෑ කොහොමද ඒ දුක හඳුනගෙන ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්ද කියල.

මෙතනදි තමා “සිහිය” කියන දේ ඕනෑ වෙන්නෙ. සාමාන්‍යයෙන් ගත්තහම සිහිය කියන්නෙ තමන් කරන කියන දේ පිළිබඳ හොඳ අවබෝධයකින් වැටහීමකින් සිටීම. “සිහිය” දාර්ශනිකව ගත්තහම එය හුඟාක්‌ පුළුල් අරුතක්‌ දෙන වචනයක්‌. “සම්මා සති” කියන්නෙ ඒ නිවැරදි සිහියට නෙ.

සාමාන්‍ය ජීවිතයෙදි සිහි නුවණින් ක්‍රියා කරන එක තමා “සිහිය” කියල අපි කියන්නේ. දවස උදාවීමත් එක්‌කම අපත් දවසේ කටයුතු පටන් ගන්නවනෙ. උදේම අවදි වෙලා හැමදාම ඉටු කරන වැඩ කොටසකුත් තියෙනවනෙ. ඒ සියල්ල ඉවර වෙලා තමයි, අනෙක්‌ වැඩ පටන් ගන්නෙ. ඔන්න දරුවෙක්‌ නම් ඉස්‌කෝලෙට යනව. වැඩිහිටියෙක්‌ නම් රැකියාවට යනව. ඒ විදියට එක එක්‌ කෙනාගෙ තරාතිරම, ස්‌වභාවය අනුව කරගෙන යන දෛනික කාල සටහනකුත් අපට තියෙනව.

මේ කාලසටහන අතර විවේකයක්‌ විරාමයක්‌ නැති වීම තමා අපට තිබෙන ප්‍රශ්නය. මෙය කාලය කළමනාකරණය කිරීමක්‌ ලෙස සමහරු හඳුන්වනව. කාලය තියෙන්නෙ පැය 24 යි. එයින් අපේ ශාරීරික අවශ්‍යතාවන්ට කොපමණ වෙන් කරනවද? කෑම බීම, නින්ද වගේ දේවල් මේ අතර තිබෙනව. ඒ වගේම සිරුර නඩත්තු කරන්නත් ඕනෑ. සිරුර නිරෝගීව තබා ගන්නත් ඕනෑ, සිත නිරවුල්ව තබා ගන්ටත් ඕනෑ.

කෙනෙක්‌ කායිකව හා මානසිකව රෝගී වෙන්න පුළුවන්. තව කෙනෙක්‌ මානසිකව රෝගී වෙන්නත් පුළුවන්. මේ දෙකම බරපතල ඒ වගේම අවදානම් දෙයක්‌. . අනිත් එක තමයි එක දිගටම වැඩකළ යෙදිල ඉන්න කාටවත් බෑනෙ. සිරුර හා මනස සමබරව පවත්වා ගෙන යා යුතු වෙන්නේත් ඒ නිසයි. බුදුන් වහන්සේ මේ සඳහා අගනා උපදෙස්‌ මාලාවක්‌ අපට දීල තියෙනවනෙ.

සතිපට්‌ඨාන සූත්‍රයේ තමා, ඒ උපදෙස්‌ එන්නෙ. එතැන අපූරු විග්‍රහයක්‌ එනව. ඔබ ඇවිදින කොට ඒ ගැන හිතනවද? සාමාන්‍යයෙන් නෑ කියල ඔබ කියයි. ඕකත් හිත හිත ඉන්න ඕනෑද කියලත් අසාවි. ඇවිදින එක සාමාන්‍යයෙන් එකපාදයක්‌ පෙරට තබා පසුව අනෙක්‌ පාදය ඔසවා තබා කරන වැඩක්‌ නෙ. ඕක ඉබේටම සිද්ධ වෙනවනෙ. අමුතුවෙන් හිතන්න දෙයක්‌ යෑ. කියලත් ඔබම කියාවි.

හොඳයි අපි මෙහෙම හිතමු. ඔබ ඉවක්‌ බවක්‌ නැතුව පාරක, වීදියක ඇවිද්දොත් මොකද වෙන්නෙ. ඔබට කොච්චර දුරක්‌ ඇවිද ගෙන යන්න පුළුවන් වෙයිද? ඒ නිසා ඔබට සිදු වෙනව හොඳ සිහි කල්පනාවෙන් ඇවිදින්ට. එහෙම නොකළොත් ඉස්‌සරහට එන අයෙක්‌ ඔබේ ඇඟේ හැපේවි. වාහන එනව නම් ඒව හැපේවි. ඒ නිසා ඔබ බොහොම ප්‍රවේශමෙන් ඉස්‌සරහ බලාගෙන පා එසවිය යුතු වෙනව. කිසි කල්පනාවක්‌ නැතුව ගියොත් ඔබට වෙන දේ අමුතුවෙන් කියන්ට ඕනෑ නැහැනේ.

ඒ වගේම ඔබ කරන හැම කටයුත්තකදිම හොඳ සිහිය වුවමනායි. ඔබ නිදාගන්නව නම් ඒකත් හොඳ සිහියෙන් කළ යුතුයි. ඔබේ හිස ඔබේ අත් පා ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබ නිදා සිටින ඉරියව්ව ගැනත් හිතන්න ඕනෑ. ඔබේ ඉරියව්ව සිරුරට අපහසු ද නැත්නම් පහසුද කියන එක ගැනත් හොඳට හිතන්න ඕනෑ. නැත්නම් උදේට නින්දෙන් අවදි වෙන කොට මොකක්‌ හරි ආබාධයක්‌.

දැන් ඔබට තේරෙනව ඇති යමක්‌ කරන කොට සිහියෙන් කල්පනාවෙන් කරන්න ඕනෑ ඇයි කියල. ඒ නිසා කන, බොන, අඳින, නිදන, ඇවිදින, යන, එන, හිඳින හැම ක්‍රියාවකදීම සිහියෙන් හොඳ සිහියෙන් ඒවා ගැන හිතන්න. මං දැන් මේ දේ කරනවා. එය මෙසේ කළ යුතුයි කියා සිතා බැලීම ඉතා වැදගත්. ඔබේ සිතට එන ඕනෑම හැඟීමක්‌ පාලනය කරන්න ඔබට පුළුවන් හොඳ සිහිය තියෙනව නම්.

හිතට ඇතිවෙන හැඟීම, භාවය තමා ක්‍රියාවකට අපව යොමු කරන්නේ. හොඳ සිහිය තියෙනව නං කවදාවත් නරක දේවල් කරන්නේ නෑනෙ. ඊළඟ කාරණය තමයි සිහිය විකල් වීම. එය මානසික ආබාධයක්‌ නැත්නම් පිස්‌සුවක්‌ නම් ඒකට ප්‍රතිකාර ගන්ට වෙනව. එහෙම නැතුව මත් කුඩු, මත්පැන් වගේ දේකින් සිහිය විකල් වෙනවනෙ. එතකොට ඒ පුද්ගලයා කරන දේවල් එයාම දන්නෙ නෑ, බේබදුකම මොනතරම් විපත් සිද්ධ කරනවද? වැරදිවලට පොළඹවනවද?

මේ ළඟදි කවුදෝ අපේ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ බීමත්ව ගුවන්යානයේ දොරක්‌ අරින්න හැදුව කියල පුවතක්‌ තිබුණ. බැරිවෙලා හරි ඒ පිස්‌සු වැඩේ කළා නම් මොන විනාශයක්‌ වෙන්ට තිබුණද? ඒ නිසා සාමූහිකව ඉන්න වෙලාවක එක්‌ අයෙක්‌ අසිහියෙන් කරන දෙයක්‌ ගැනත් හොඳ සිහියෙන් නැත්නම් අවධානයෙන් ඉන්න වෙනව. පොදු සමාජය තුළ සිදුවෙන වැරදි ක්‍රියා වැළැක්‌වීමත් සිහි තිබෙන අයගේ වගකීමක්‌ වෙනව.

පන්සලට පල්ලියට කෝවිලට යන ඔබ එතැනදිත් හොඳ සිහියෙන්ම ඉන්ට ඕනෑ. බෝමළුව අසල වැලිබිම මත සන්සුන්ව වාඩිවෙන්න. ඉන්පසු දෑස්‌ පියාගන්න. බාහිර අරමුණු එකින් එක ඈත් කරල මෙත් සිතින් හැම දෙනා ගැනම හිතන කොට ඔබට දැනෙන සහනය අප්‍රමාණයි. ඔබේ සිත පිරිසිදු වෙනව. තරහ නැතිවෙනව. ඉඳුරන් සන්සුන් වෙනව. බෝමළුවෙන් නැගිටල තුනුරුවන් වැඳල ගෙදර යන්නෙ ශාන්ත ගුණයෙන් පිරුණුq කෙනෙක්‌. කිසිම කලබලයක්‌ නෑ. හදිස්‌සියක්‌ නෑ.

සිහිය ලබා ගැනීම සඳහා හොඳම භාවනාව තමයි, ආනාපාන සතිය. ඔබ හුස්‌ම ගන්නා විදිය ගැන සිහි කරන්න. බිම සන්සුන්ව වාඩිවී සිරුර කෙළින් තියාගෙන හුස්‌ම ගැනීම හා හුස්‌ම හෙලීම සිහියෙන් කිරීම අමාරු දෙයක්‌ නෙවෙයි. ආනාපාන අරමුණට හිත යොමු වූ විට සිරුරම සැහැල්ලු වෙනව. සිත බැහැරට යා නොදී එය දිගටම සුළු වේලාවක්‌ කරන්න. සිත හරිම චංචල දෙයක්‌. ඇස, කන, නාසය යනාදී පසිඳුරන්ගෙන් ලැබෙන අරමුණු ඔස්‌සේ තමයි හිත දුවන්නේ.

සිත මුළුමනින් දමනය කිරීම අසීරුයි. ඒ සඳහා භාවනා පුහුණු කරන්න ඕනෑ. ඒත් ආනාපානය වගේ ඉතා සරල භාවනාවක්‌ අපට දවසේ සුළු වේලාවක්‌ කරන්න පුළුවන්නෙ. දහ අතේ දිව යන සිත ඔබගේම සිහියෙන් මෙහෙය වන්න පුළුවන් නම් ඔබ දිනුම්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: