Posted by: lrrp | July 13, 2013

ජීවිතය නිවැරැදි නම් බියක් තැති ගැන්මක් ඇති නොවේ

යාන වාහන, ගේ දොර, මිල මුදල් ආදී භෞතික සැප සම්පතින් ආඪ්‍ය වුවද මානසික සුවය නොවේ නම් ජීවිතය කරදරකාරීය. ඒ කරදරකාරී බවම අප රෝගීන් බවට පත් කරන්නේ ය. සැනසිලිදායක බව උදුරා ගන්නේය. ධාර්මික බව තුළ විශාල සැනසීමක් හිමි වේ. එය ආධ්‍යාත්මික සැනසීමකි. ජීවිතය නිවැරැදි වූ විට බියක්, තැති ගැන්මක්, ලොමු දැහැගැන්වීමක් ඇති නොවේ. වැරැදි කරන පුද්ගලයා කවර මොහොතක තමන්ට විපාක ලැබේදැයි, දඬුවමට ලක්වන්නට සිදුවේදැයි අසහනකාරී සිතිවිල්ලෙන් පසු වේ.

මේ නිසා තමන් ගැන මෙන්ම අනුන් කෙරෙහි ද මෙත් සිතිවිලි පැතිරවීම වැදගත් වේ. සමාජය පිළිබඳ මෛත්‍රී සහගතව, අනුකම්පා සහගතව කටයුතු කරන පුද්ගලයා සුවසේ නිදන්නේ ය.

රාජ්‍ය පිළිබඳ ඇති වූ ලෝභී සිතින් අනුන් බස් අසා තම පිය රජු මරණයට පත් කළ අජාසත් ඒ පාපකාරී ක්‍රියාව නිසා ජීවිත කාලයටම නින්ද නොලැබුවේ ය. නෙත් පියවෙන මොහොතක් පාසා තමා කළ පාපය ඔහු ගේ සිත අසහනයට පත් කළේය. අනුන් හමු වේ හෙළි නොකළ ද වැරැදි කරන සියල්ලන්ට සිදු වන්නේ මෙවැනි කනගාටුදායක තත්ත්වයන්ට මුහුණ දීමට ය. නිවැරැදි තැනැත්තා සුව සේ නිදන්නා සේ ම සුව සේ පිබිදෙන්නේ ය. වෛරී සහගත, සිතිවිලිවලින් තොර නිසා නපුරු සිහින නොදකින්නේ ය. හේ මිනිසුන්ට ද ප්‍රිය ය. අමනුෂ්‍යයිනට ද ප්‍රිය ය. දෙවියෝ ද රකිති. ගින්නෙන්, ජලයෙන්, වස විසෙන්, අවි ආයුධවලින් වන විපත් කරදරවලින් මිදුණේ වන්නේ ය. මුහුණ ප්‍රිය වන්නේ ය. සිත වහා සමාධිගත වන්නේ ය. ඒ තැනැත්තා මරණයේ දී ද බිය නොවේ. ඔහුට මරණය ද සුව දායකය. නින්දෙන් පිබිදි අයකු සේ බ්‍රහ්ම දිව්‍ය ලෝකවල උපදින්නේ ය.

මෙවැනි වාසනාවන්ත සැනසිලි දායක දිවි පෙවතකට අපි කවුරුත් ප්‍රිය වෙමු. අප තථාගතයන් වහන්සේ දේශනා කළ පරිදි ගිහියන් වන ඔබට ඒ සඳහා අඩුම තරමින් පංචශීල ප්‍රතිපදාවට අනුව හෝ ජීවිතය හැඩ ගස්වා ගන්නට හැකි නම් සැනසිලිදායක ජීවිතයක උරුම කරුවෙක් වීම අපහසු වන්නේ නැත. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන දිනෙක කොසොල් රජ තෙමේ උන්වහන්සේ හමුවට පැමිණියේ ය. ඒ දැක බුදුරජාණන් වහන්සේ,

“කිමෙක් ද? මහ රජ! ඔබ මෙතෙක් දවස් නො දුටුවෙමි” යි විමසූ හ.

මේ කොසොල් රජු රාජකාරියට වඩා අලසව, සැප විඳීමෙහි ම ඇලී සිටියෙකි. තමා ගේ කටයුතු නිසි සේ සිදු නො කැර ප්‍රමාදයෙන් ම කල් යවන්නෙකි. දිගු කලකට පසු බුදුරජාණන් වහන්සේ බැහැ දුටු ඔහුට උන්වහන්සේ විමසූ ප්‍රශ්නයට දිය හැකි නිවැරැදි පිළිතුරක් නො වූයෙන්,

“තථාගතයන් වහන්ස, යම් යම් කටයුතු ඇති බැවින් පමා වීමි” යි කීය.

එවිට,

“මහ රජ ප්‍රමාදයෙන් කල් යැවීම මනුෂ්‍යයකුට තරම් නොවන්නේ ය. රජහු නම් රාජ කාර්යයෙහි නොපමා විය යුතුය. අගතියෙන් තොර විය යුතුය. දැහැමෙන් සෙමෙන් රජකම් කළ යුතු ය. රජ දැහැමි නම් වැසියන් ද දැහැමි ය.” යි දේශනා කළ බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට, යටගිය දවස බරණැස විසු ජනසන්ධ නම් රජකු තමාත් දැහැමිව රට වැසියන් ද ධාර්මික පුද්ගලයන් බවට පත්කළ ආකාරය විස්තර කළහ. එම කතා පුවතට අනුව පෙහෙවස් සමාදන් වූ ජනසන්ධ රජු වැසියන් අමතා පසුතැවිලි නොවන ජීවිතයකට මඟ කියා දුන්නේය. කරුණු දහයකින් යුත් එම සදූපදේශය ඔබට ද අගනා මාර්ගෝපදේශයකි.

ධනය ඉතිරි නොකිරීමෙන් මහලු වූ කළ පසුතැවිලි වීමට සිදුවන බව පළමු කරුණින් කියැවේ. තරුණ වියෙහි දී වෙළෙඳාම්, රැකී රක්ෂා කොට මිල මුදල් උපයා නම්, එහෙත් ඒවා ඒ ඒ වේලෙහි ම වියදම් කර මහලු වයසේ ප්‍රයෝජනයට ඉතිරි කර නොතැබූයේ නම්, මහලු වූ කල්හි හේ දුගී ව, දුක සේ දිවි ගෙවන්නේ ය. ධන සම්පත් බොහෝ වුව ඒවා විනාශ වී යන්නට ගත වන්නේ සුළු මොහොතකි. සොරුන් ගෙන්, ගින්නෙන්, ජලයෙන් ආදි අනේකවිධ ක්‍රමයන් ගෙන් ඒවා විනාශ වී යා හැකිය. එහෙත් තමා උගත් ශිල්පය සොරකුට හෝ පැහැර ගත නොහැකිය.
‘තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා

එසැඩ මනාවත් වතුරෙන් වළ නොහෙනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා’

යන කවෙන් කියැවෙන්නේ ද ඒ පණිවුඩයයි. කවර විපතක දී වුවද මනා ශිල්පය ලැබූවෙකුට ජීවන මාර්ගයක් සපයා ගැනීම අපහසු නො වන්නේ ය. බාල කාලයේ මේ ගැන නොසිතා බාල වියෙහි මනා ලෙස සිප් සතර නො උගත්තේ තරුණ වියේ හෝ මහලු වියේ මනා වූ ජීවනෝපාය මාර්ගයක් සොයා ගත නො හී සිප් සතර උගත් අය දෙස බලා මමත් සිප් සතර උගත්තේ නම් මොවුන් සේ ම රැකෙන්නේ නොවේ දැයි පසුතැවිලි වන්නේය. ඒ දෙවැනි සදූපදේශයයි.

තෙවැන්න නම් බොරු, කේළාම්, කීම නිසා වන තැවීමය. යමෙක් බොරු හා කේලාම් කියා, රළු පරොස් ව සිටියේ නම්, අවස්ථාව ලද විගස අත්ලස් ගත්තේ නම් මරණය ළං වූ කල අනේ මම මොන තරම් බොරු කීවා ද? කේලාම් කියා අනුන් කොටු වූවා ද, අත්ලස් ගෙන අනුන් පීඩාවට පත් කළේ ද? ඉදින් මරණින් මතු කුමක් නම් වේදැයි පසුතැවෙන්නේ ය.

ප්‍රාණවධ කළ තැනැත්තේ ද, අනුන් සතු දේ පැහැර ගත්, පරදාර සේවනය කළ තැනැත්තේ ද, අනේ මම මේ මේ පාප කර්මයන් කළේ යැයි පසුතැවෙන්නේ ය.

එකල මට බොහෝ සම්පත් තිබුණි. ඒත් මා ගේ සුඛ විහරණය පිණිසම ඒ ධනය වැය කළා මිස දන් පින් නොකෙළෙමි. මරණින් මතු කුමක් නම් වේදැයි තවත් කෙනෙක් පසු තැවෙන්නේය.

බොහෝ දුක් ගෙන කවා පොවා පෝෂණය කොට, සිත් සතර දී, මනා වූ ජීවිතයක් ළං කර දුන් මවුපියන්ට අබල දුබල වූ කල උවටැන් නොකොට මරණය ළං වූ තැන ‘අනේ මම මා ගේ මවුපියන් නොසලකා හැරියෙමි. කෑම් පීම් පවා නොදුන්නෙමි. මම මහා පාපයක් කළෙමියි තැවෙන්නේය.

යම් පුද්ගලයෙක් මේ ආදී ලෙස අප්‍රමාදීව, සැපයු ධනය නිකරුණේ විනාශ නොකර, අපදාවක දී ප්‍රයෝජනය පිණිස ඉතිරි කර, සිප් සතර මනා සේ ඉගෙන, බොරු, කේලාම්, පරොස් බස් නොකියා, ප්‍රාණවධයෙන් අදත්තාදානයෙන් වැළකී තුන්දොරින් පිරිසිදු වී කටයුතු කරනවා නම් ජීවිතයේ සැනසිලිදායක බව උදාකර ගැනීම අපහසු නොවන්නේ ය.


Responses

  1. mema kriyawa ithamath sath kriyawaki obata boho pin yamak kiyannata atha wachana type kirimedi waradi bohoya teruma wenaswe karunakara niwaridiwa type karanne nam apata obage daham sithivili godak pahadiliwa kiyawagathahakiwe Obata teruwan saranai

    ________________________________


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: