Posted by: lrrp | July 13, 2013

පුහු කාටූන් චරිත ළමා මනසට හානිකරයි

‘හැංගි මුත්තො හැංගියෝ
නොපෙනෙන තැනක හැංගියෝ
වත්තෙන් පහළට මුත්තා ඇරියා
එකයි දෙකයි තුනා…යි’

තදින් පියවුණු මුත්ත ගේ ඇස් ඇරෙන්නත් කලින් පුංචි දැරියෝ හැංගිලා ඉවරයි. හැමදාම සෙල්ලම් කළත් එපා නොවෙන තරමට එදා ගමේ දරුවො හැංගිමුත්තං සෙල්ලමට ප්‍රිය වුණා. පුංචි නංගිලා සැඟවෙන අතරේ ඊට වඩා වයසින් වැඩි අක්කලා අඹ කොට්ටං පැන්නා. කැබිලිත්තො සෙල්ලම් කළා. වෙල් ඉපනැල්ලේ දුව පනිමින් සරුංගල් යවන කොළු කුරුට්ටො ගෙදරට ගොඩවුණේ බිම් කරුවලත් එක්ක. මේ කෙළි සෙල්ලම්වලට වැඩිහිටියන් ගෙන් තහංචි නොවැටුණත් දරුවො කරන කියන දේ ගැන විමසිලිමත් වුණා. එදා ගමට ආගන්තුක නොවුණ මේ නිදහස් ළමා ලෝකය අද අතීත කතාවකට පමණක් සීමා වෙලා. ඒ අතීතයට වඩා වර්තමානය හුඟක් වෙනස් වෙලා. පාසලින් ගෙදරටත්, එතැනින් බාහිර පන්තියටත් යනවා නොව ඇදගෙන යන අද අපේ පුංචි දරුවන්ට පුංචි විරාමයක් ලැබෙන්නේ බොහෝ විට රූපවාහිනියේ කාටුන් වැඩසටහනක් නරඹන්නට පමණයි.

දවස පුරාම අකුරු ඉලක්කම් මැද හරඹ කරන ඔවුන් රූප පෙට්ටියේ හරඹ කරන කාඩ්බෝඩ් වීරයන් ගේ, ඉන්ද්‍රජාලිකයින් ගේ කතා අතර මංමුලා වෙලා. කාටුන් බලන්න දරුවො කැමැතියි. අධ්‍යාපන විද්‍යාවේ පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ කාටුන් දරුවන්ගේ පැත්තෙන් ප්‍රබල ඉගෙනුම් මාධ්‍යයක් වන බවයි. ආශාවෙන් ඉගෙන ගත හැකි, ඉක්මනින් ධාරණය කර ගත හැකි සුවිශේෂී අධ්‍යාපන මාධ්‍යයක් වන බවයි. ඒත් අපේ රටේ දරුවන් වෙනුවෙන් විකාශනය වන බොහෝ කාටුන් මේ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගන්නට බලපාන අයුරු විශාල ගැටලුවක්. දරුවා ගේ නිර්මාණ ශක්තිය, මානසික හැකියාවන්, සදාචාර වර්ධනය කරනවා වෙනුවට ඒ සියල්ල පරිහානිය කරා ගෙනයන බොහෝ කාටුන් වැඩසටහන් විදේශවලින් අඩු මුදලට ආනයනය කළ ළමා මනසට උචිත නොවන නිර්මාණයන්.

අපේ දරුවන්ට ගැළපෙන, ජිවිතය පිළිබඳව අවබෝධයක් ලබාදෙන නිර්මාණශීලීන් නිර්මාණය කළ හැකි, සාර ධර්ම තිළිණ කළ හැකි හොඳ මූලාශ්‍ර අප සතුයි. ඒ මූලාශ්‍ර ඇසුරින් අපුරු කාටුන් වැඩ සටහන් කරන්නට පුළුවන්. එහෙත් එවැනි උත්සාහයක් දරන දේශීය නිර්මාණ ශිල්පීන්ට මාධ්‍ය ආයතනවල දී පවා සිදුවන්නේ කෙණෙහිලිකම්. ඔවුන් ඒ කාර්යයේ අධෛර්යවත් වන්නේ ඒ නිසයි. දරුවන් ගේ හෙට දවස ගැන හිතන වැඩිහිටියන් විශේෂයෙන් සමාජය මෙහෙයවන මාධ්‍යකරුවන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

අද කාටුන් කලාව වගේ ම එදා අපේ ළමා කල, චිත්‍ර කලාව දරුවන් අතර ඉතාම ජනප්‍රියයි. පන්සල්වල විහාර ගෙය අලංකාර කළ මේ සිතුවම්වලට පාදක වුණේ ජාතක කතා පොත් වහන්සේ. අවුරුදු සිය ගණනක් ජීවත්වීමෙන් වුවද නොලැබිය හැකි අත්දැකීම් මේ සිතුවම්වලින් නිරූපණය වුණා. වැරදි කරන අයට ලැබෙන දඬුවම්, හොඳ නරක තෝරා බේරා ගන්නා හැටි, යහපතෙන් ම ජීවිතය දිනන හැටි මේ සිතුවම්වලින් අපූරුවට කියා දුන්න. දරුවන් ගේ අතින් අල්ලා ගෙන වෙහෙර බිමට එන මවුපියෝ මේ සිතුවම්වලින් පිළිබිඹු වන කතන්දරය දරුවන්ට කියා දුන්නා.

ඒ කතා දරුවන් ගේ මනස වගේ ම හැදියාව පෝෂණය කළා. මේ කතාවන්හි අනුන් විපතේ හෙළන්නන් කිසිම දිනෙක වීරයින් වුණේ නෑ. සත්පුරුෂයා ම වීරයා වුණා. ඔහු හැම මොහොතකම කළේ යහපතක්. අනුන්ට උදවු කිරීම, සාමූහිකව කටයුතු කිරිම ඈ ආදී මානුෂීය ගුණාංගවලින් ඒ චරිතය පෝෂණය වුණා. අපේ දරුවෝ ජීවිතයට ආදර්ශ කොට ගත්තේ එවැනි චරිත. පුහු වීරයන් ඔවුන් කෙරෙන් ප්‍රතික්ෂේප වුණා. මේ සිතුවම්වලට වගේ ම එදා ජනකතාවලට ද ජාතක කතා පොතේ ඇසුර ලැබුණා. බොහෝ ජනකතා නිර්මාණය වුණේ ඒ ආභාසයෙන්. කිරි අම්මලා කිරි අත්තලා මුනුපුරු මිනිබිරියන් වටකර ගෙන කී මේ කතන්දර පුංචි මනසේ අපූරු සිතුවම් ඇන්දා. ජීවිතය ගැන, ජීවිතය හැසිරවිය යුතු සැටි ගැන අවබෝධයක් ලබා දුන්නා.

එදා, කිරි අම්මා, කිරි අත්තා, පුංචි අම්මා, ලොකු අම්මා, බාප්පා ආදින් ගෙන් සැදුම්ලත් විස්තෘත පවුල අද විසිරිලා. ජීවිත සටන ජයගන්නට, මවුපියන් මහා අරගලයක. දරුවෝ පොත්පත් සමඟ අරගලයක. ආච්චි අම්මලා සීයලා තනිවෙලා. ඔවුන්ට විවේකය තිබුණත් දරුවන්ට විවේකය අහිමි වෙලා. ලැබෙන සුළු ඉඩ හසරත් රූපවාහිනියට සීමාවෙලා. ඊට ඇබ්බැහි වූ පමණින් දරුවන් වරදකරුවන් කළ නොහැකියි. සුදුසු දේ පමණක් තෝරා බේරා දී දරුවන් ඊට අනුගත කිරීම මවුපියන් ගේ වගකීමක්.

කාලය නිසි ලෙස කළමනාකරණය කරන අතරම දුවන්නට, පනින්නට, කෙළි සෙල්ලම් කරන්නට, යහළු මිත්‍රයන් හා ගැටෙන්නට දරුවන්ට ඉඩ දීම මවුපියන්ගේ යුතුකමක්. කායික වශයෙන්ම මානසිකව ද නිරෝගී දරුවන් පිරිසක් බිහිවන්නේත් දරුවන්ගේ ලෝකය ලස්සන වන්නේත් ඒ වගකීම් හා යුතුකම් නිවැරැදිව ඉටු වුණේ නම් පමණයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: