Posted by: lrrp | July 13, 2013

මේ ශරීරයෙන් නොගියොත් බැඳලා මූදෙ දානවා දින 14 ක් ඇතුළත යන්නම යන්න ඕනෑ

“මම මැරුණෙ හරිම හිතේ අමාරුවෙන්. වේදනාවෙන්. මාව මරපු පළිය ගන්නවා ගන්නවා ම යි.” ප්‍රේතියක් සිය පුතාට දිෂ්ටි වී කියයි.

“පළිගන්න බැරියැ පස්සෙ. ඊට කලින් මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ කවුද කියලා කියනව ද?” ගවේෂකවරයා අසයි.

“මම සිරියාවතී”

“කවුද සිරියාවතී කියන්නෙ?”

“මේ සපුමල් පුතාගෙ අම්මා”

“ඇයි මේ පුතාගෙන් පළිගන්නෙ?”

“මම පුතාගෙන් පළිගන්නෙ නෑ. මම මගේ පුතාට ආදරෙයි. මම මගේ පුතාව මගේ ළඟට අරගෙන යනවා. මම පළිගන්නෙ සෙපාලිකාගෙන්. පුතාව මගේ ළඟට ගත්තාම සේපාලිකාගෙන් පළිගන්න ලේසියි.”

“කවුද සේපාලිකා කියන්නෙ?”

“ඔය පුතා ළඟින් වාඩිවෙලා ඉන්නෙ, ඕකි මගේ දෑහැට පේන්න බෑ. උඹ හිටපං කුමාරි හාමියෙ, උඹෙන් පළිගන්න හැටි මමයි දන්නෙ.”

“මේ සේපාලිකා මොකක්ද තමුන්ට කළ වැරැද්ද?”

“ඕකිගෙ අම්මා තමයි මාව නැති කරන්න උදව් කළේ.”

“තමුන් මැරුණේ මොනව වෙලා ද?”

“මගේ මිනිහා මට වස දුන්නා. ඒකෙන් අසනීප වෙලා මං මැරුණා.”

“ඇයි? තමුන්ගෙ සැමියා තමුන්ට වස දුන්නෙ?”

“ඌට හොර ගෑනියෙක් හිටියනේ. ඒ හොර මඟුලට ඔය සේපාලිකාගෙ අම්මා තමයි උදව් කළේ?”

“සේපාලිකත් උදව් කළා ද?”

“නෑ මේකිගෙ අම්මා උදව් කළේ”

“ඉතින් එයාගෙන් පළිගන්න එපායැ.”

“බැහැ. ඒ ගෑනිගෙන් පළිගන්න මට බැහැ. මේකිගෙන් නම් පළිගන්න මට පුළුවන්. ඒක පහසුයි. පුතාව මගේ ළඟට ගත්තාම ඒක තවත් පහසුයි.” ප්‍රේතිය තද ස්ථාවරයක සිට දිගින් දිගට පිළිතුරු දෙන්නීය.

සපුමල් රත්නපුර ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි දෙදරු පියෙකි. සේපාලිකා ඔහුගේ බිරියයි. සපුමල්ගේ මවගේ සහෝදරයාගේ දියණිය වන සේපාලිකා ඇවැස්ස නෑනාය. සපුමල් රාත්‍රි නින්දෙන් බිය වී කෑ ගසා අවදි වීමත්, කෑම අරුචිය නිසා ශරීරය හා ශක්තිය දුර්වල වීමත් නිසා වෛද්‍ය ප්‍රතිකාර, මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඇදුරන් ලවා ශාන්ති කර්ම ආදියට සෑහෙන වියදම් කොට ප්‍රතිඵලයක් නොවූයෙන් අවසානයේ ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා බිරිය සමඟ පැමිණියේය.

එහි පැමිණි ප්‍රථම දිනයේ සපුමල් ගේ ශරීරයට ආවිශ්ට වූ ඔහුගේ මියගිය මෑණියන් පළිගැනීමේ චේතනාවෙන් කරන කියන දෑ ප්‍රශ්න කොට අසා සිටී. ගවේෂකවරයා ප්‍රේතිය නම්‍යශීලී නොවන බැවින් ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේ ය. අසනීපයකින් මියගිය ඇය සිතා සිටියේ තම ස්වාමි පුරුෂයා විසින් වස දෙන ලදුව එයින් අසනීප වී මියගිය බවය.

එයින් ඇති වූ වෛරී චේතනාව නිසා පළි ගැනීමට ක්‍රියාකාරකම්වල යෙදෙයි. එසේ ම දුගතිගාමී වූවන් ගේ සිතුම් පැතුම්වලට අනුව තමන් දුක්ඛිත වූ ප්‍රේතාත්මයක උපත ලබා සිටියත් ආදරය නිසා තමන්ගේ පුතාව ද තමන් ළඟට ගැනීමට අදහස් කරයි. ප්‍රේතයෝ අවබෝධයක් නැතිකම නිසා මෙසේ අත්තනෝමතිකව ක්‍රියා කරති.

දෙවැනි දිනයේ ද ප්‍රේත ජීවියා සපුමල්ට ආවිශ්ට වූවාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා නැවත සාකච්ඡා ආරම්භ කළේය.

“තමුන් දැන් ඔය වෛරී සිතුවිලිවලින් මිදෙන්න ඕනෑ. පාපකාරී දුගතිගාමී භවයක ඉපදී සිටින නිසා තමුන්ට දැනෙන්නෙ නෑ. තේරෙන්නෙ නෑ ඔය විඳින්නෙ මහා දුකක් බව. වෛරය නිසා හටගත් මනෝමය ගින්නකින් දැවෙනවා. දැන් ඔය අදහස් අත හරින්න. මම උදව් කරන්නම්, ඔය දුක්ඛිත ප්‍රේතාත්මයෙන් මිදී ඉහළට යන්න.”

“බැහැ බැහැ එතකොට කොහොමද මම පළිගන්නෙ?”

“මොකටද පළිගන්නෙ?”

“මහත්තයට තේරෙන්නෙ නැද්ද? මට වහ දීලා මැරුවා.”

“තමුන් දැක්ක ද වහ දෙනවා. තමුන්ගෙ කෑමකට වහ මිශ්‍ර කරනවා.”

“නැහැ”

“වෛද්‍යවරු කිව්ව ද වහ දීලා තියලා?”

“නැහැ”

“මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා ද?”

“දන්නෙ නෑ”

“ඉතින් තමුන් කොහොම ද වහ දුන්නැයි කියන්නෙ? ඇයි ස්වාමි පුරුෂයාගෙන් පළිගන්නෙ නැත්තෙ? මේ අහක ඉන්න නෑනා ගැන, සහෝදරයාගෙ බිරිය ගැන සැක කරලා එයාගෙ දුවගෙන් පළිගන්න හදන්නෙ. තමන්ගෙ පුතාවත් මරාගන්න හදන්නෙ?”

“ඔව් මරනවා මරනවාමයි”

“මේ අහපං පෙරේතියෙ. මම උඹට දැන් දවස් දෙකක් ම කරුණු පැහැදිලා කළා. මම මේ වෙනකම් කිසි ම අමනුස්සයෙක්ව බැඳල දාලා නෑ. උඹට කොයි තරම් කිව්වත් වැඩක් නෑ. මේ අහිංසක දෙන්නෙක් මරලා තවත් අහිංසක දරුවො දෙන්නෙක් අනාථ කරන්නයි හදන්නෙ. උඹ අම්මා කෙනෙක් ද? මේ වගේ වැඩ කරන්නෙ.

අවුරුදු කෝටි ගණනක් දුක් විඳින්නයි හදන්නෙ. දැන්නම් උඹ වගේ ජරා දුෂ්ට පෙරේතියක් වෙනුවෙන් කාලය නාස්ති කළා ඇති. දෙයියන්පල්ලා තෝව නම් බැඳලා මූදට දානවා මේ ජීවිත හතර බේරා ගත්ත. උඹට මාත් දවස් දහහතරක් කල් දෙනවා” යි තරවටු කොට සපුමල්ටත් සේපාලිකාටත් දින දහහතරක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය.

ඊළඟ දිනයේ ද සපුමල් ප්‍රලය වූයේය. ආධ්‍යාත්මීය උපදේශකවරයා ප්‍රේතියට කතා කළේය.

“දැන්වත් මේ අය අතහැරලා යන්න කැමති ද?”

“ම්… ම්… ම්… ම්…”

“හුං… හුං… ගාලා හරියන්නෙ නෑ. දැන් මම අහන ඒවාට උත්තර දෙන්න ඕනැ.”

“තමුන් ජීවත්ව ඉන්දැද්දි තමුන්ගෙ ස්වාමි පුරුෂයාට ආදරෙන් කතා කළා ද? ඇත්ත ම කියන්න ඕනෑ.”

“………..” ප්‍රේතිය නිහඬ ය.

“ස්වාමි පුරුෂයා ගෙ ඇඳුම් සෝදලා දුන්නා ද?”

“……….” ප්‍රේතිය නිහඬ ය.

“ස්වාමි පුරුෂයාට කටට රසට කෑම ටික උයලා ආදරෙන් සංග්‍රහ කළා ද?”

“……….” ප්‍රේතිය නිහඬය.

“ස්වාමි පුරුෂයා වෙනත් ගැහැනියක් සමඟ සම්බන්ධකම් පවත්වන බව ඇස් දෙකෙන් දැක්ක ද?”

“නැහැ”

“කවුද කිව්වෙ?”

“මට හිතුණා. අයියලගෙ ගෙදර ගිහින් කාල බීල එනකොට නෑනා ඕවට උදව් කරනවා ඇති කියලා.”

“වෙන මොනවා ද කියන්න තියෙන්නෙ?”

“මුන් මට දානයක් දීලා පින් දුන්නෙ නෑ.”

“මතක වස්ත්‍ර දීලා හත් දවසෙ, තුන් මාසෙ, අවුරුද්දෙ පින්කම් කළේ නැද්ද?”

“කළා ඊට පස්සෙ කළේ නෑ.”

“පෙරේතියෙ උඹ තමන්ගෙ ස්වාමි පුරුෂයාට හරියට ආදරෙන් සැලකිලි නොකොට උඹට ඒ පිරිමියා ආදරෙන් සලකාවි ද? කල්පනා කර බලපං. නෑනා වරදක් කළැයි කියන්න සාධක නෑ. සාක්කි නෑ. වරදක් කළත් එයාගෙ දුවගෙන් පළිගන්න කිසිම සාධාරණ අයිතියක් නෑ. නීතියක් නෑ. මම සපුමල්ටත් සේපාලිකාටත් කියලා තවත් දානයක් දීලා පින් අනුමෝදන් කරවන්නම්” කී උපදේශකවරයා සපුමල් ඇමැතීය.

“මොනවා කළත් මේ තමුන්ගෙ අම්මා දස මාසයක් කුස තුළ දරාගෙන වදලා ලේ කිරිකර පොවලා හදලා වඩලා ලොකු මහත් කරපු අම්මා. තමුන් මනුස්සයෙක් වශයෙන් ලෝකයට බිහි කළ අම්මා. පස්සෙ ඇතිවුණ වැරදි සිතුවිලි නිසා සිත කිළුටු කරගෙන, තරහ මරහ හිතේ තියා‍ ගෙන ලෙඩ වුණා. සිත කිලුටු වීමෙන් ශරීරය දුර්වල වෙනවා.

ලෙඩ වෙනවා. ඒ ලෙඩෙන් ම දුක් විඳලා මැරුණා. පිනක් දහමක් කරලා නෑ. බණක් දහමක් අහලා නෑ. ඇහුවත් අවධානයෙන් අහලා නෑ. භාවනාවක් කරලා නෑ. සිතේ වෛරී සිතුවිලි ගොඩ ගැහිලා. අනුන් ගැන තරහෙන් ම ඉඳලා, අවසන් මොහොතේත් ඒ වැරදි වෛරී සිතුවිලි චුති චිත්තයේ පහළ වුණ නිසා ප්‍රේතියෙක් වෙලා ඉපදිලා දුක් විඳිනවා.

අනුන් මරා ගන්න අදහසින් තවත් පව් කරගන්නවා. සසර දිග් කර ගන්නවා. එයාව ඒ දුකින් මුදවන එක දරුවන් ගේ යුතුකම. ඒ නිසා ගෙදරට හාමුදුරුවරු දහ පහළොස් නමක් වඩම්මලා අම්මා ගැන කරුණාවෙන් දන් පිළිගන්වා, අට පිරිකර සහිත පිරිකර පූජා කර පින් දෙන්න. පැන් වඩා පින් අනුමෝදන් කරවන්නැÓයි කීවේ ය.

දානය පිරිනමා නැවත පැමිණි විට වැටකෙය්යා මලක් සහිත සුදුමල් වට්ටියකට සම්බන්ධ කොට අනුරාධපුර ශ්‍රී මහ බෝධි පරිශ්‍රයට යැවීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: