Posted by: lrrp | July 13, 2013

වරිග පොඡ්ජට නිවන් දොර ඇර දෙන්ට සසුන් ගතවූ නාමල් පොකුණේ ලොකු හාමුදුරුවෝ

සියවස්‌ ගණනාවක්‌ පුරාවට, දහස්‌ ගණනක්‌වූ මහ සඟරුවනට සෙවණ දුන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉතිහාසය පණ්‌ඩුකාභය රජ සමය දක්‌වා දිවෙන්නෙකි. අනුරාධපුර, පොළොන්නරු යුගවලදී දෙස්‌ විදෙස්‌ භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥනය ප්‍රගුණ කළ විද්‍යාපීඨයක්‌ වූ මෙම පින් බිම සොළී ආක්‍රමණත් සමඟ තවත් සියවස්‌ ගණනක්‌ කැලයෙන් වැසී ගියේය.

පසුව ආදි වාසීන්ගේ වාස භූමියවූ මෙය ඔවුන් සම්බුදු සසුනට පූජාකර ඇත්තේ තම දරු පැටවුන් දොළොස්‌ දෙනෙකුද සමගිනි. අද දිඹුලාගල නාමල්පොකුණ රජමහා විහාරාධිපතිව වැඩ වසන මිල්ලානේ සිරියාලංකාර හාමුදුරුවන් වහන්සේ ආදි වාසී පරපුරෙන් සසුන්ගතවූ දිඹුලාගල නාහිමිගේ පළමු ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේය. එදා මෙදාතුර තම ජීවන ගමනේ සොඳුරු මතකයන් උන්වහන්සේ මෙසේ ආවර්ජනය කළහ.

අපි පුංචිම කාලේ හිටියෙ ගල්ලෙන්වල. ඒ කාලෙ අපේ උවමනා එපාකම් සම්පුර්ණ කරගන්න සල්ලි තිබුණෙ නැහැ. සල්ලිවලට කිව්වේ රිදී පෝරු, තඹ පෝරු කියලා. යම් කිසි උවමනාවක්‌ උනාම මී පැණි, වේලපු දඩමස්‌, මොර, ගල් සියඹලා, වීර, පලු වගේ දේවල් කදුරුවෙලට අරගෙන යනවා. අරගෙන යන බඩු විකුණන්නෙ ගොඩවල් විදිහට. ඒවා කඩවල්වලට දීලා ලුණු, සීනි, තේකොළ, බුලත්, පුවක්‌ ගන්නවා. ලෙඩක්‌ දුකක්‌ හැදුනම කැලෑ බෙහෙත් කරනවා. බෙහෙත්වලට සනීප නොවුණොත් නෑ යකා, ඉදිගොල්ල යකා වැනි අයට ස්‌තෝත්‍ර කියනවා. එයිනුත් සනීප නොවුණොත් ඖෂධ පොකුණෙන් නාවනවා. ඖෂධ පොකුණ තියෙන්නේ නාමල් පොකුණ පුදබිමේ ඉහළම ලෙන් පර්වතයක. පොකුණෙන් නෑවම ඕනෑම ලෙඩක්‌ සුවවෙනවා කියලා තවමත් මතයක්‌ තිබෙනවා. ඒ කාලෙ අපිට කිරි හරක්‌ හිටියා. කරත්ත තිබුණා.

අපේ ගල්ලෙන් නායක හාමුදුරුවන්ට පූජා කළාට පස්‌සේ උන් වහන්සේ අපේ අයට මැටි ගෙවල් හදලා දුන්නා. පොළොන්නරුව, මින්නේරිය පැත්තෙන් පැමිණි උදවිය ශ්‍රමදාන මට්‌ටමින් උදව් කළා. මේ පැල්පත්වල ඉඳන් අපේ අය හේන් වගා කළා. ගමට ආදී වාසී නායකයෙක්‌ හිටියා. එයා අපේ තාත්තා, තාත්තගෙ නම මිල්ලාන. නමුත් නායක හාමුදුරුවො ඒක යාපා කියලා වෙනස්‌ කළා. හේන්වල කුරක්‌කන්, බඩ ඉරිඟු, මිරිස්‌ වගේ වගාවන් කළා. සතුන්ගෙන් හානි උනේ නැහැ. සතුන්ගේ හානි වලක්‌වා ගන්න අපි විවිධ කෙම් ක්‍රම භාවිතා කළා. වගාවන් නැති කාලෙ කැලේ ගිහිං මී, බඹර කඩල පැණි එකතු කළා. දැන් කාලේ වගේ නොවෙයි. ඒ දවස්‌වල ඌරො එන්නේ කඩිරැල වගේ. අලි, වලස්‌සු රංචු පිටින් හඳපාන්විල, විල්ලුවට එනවා කෑම, වතුර හොයාගෙන. ඒ කාලේ යක්‌කුරේ, දළුකාන, කලුකැලේ, අලවාකුඹුර, සොරිවිල, මිල්ලාන වගේ ගම්වල, මිනිස්‌සු පදිංචිවෙලා හිටියා.

අපේ මේ ගම්මාන අතර නෑ සබඳකම් තිබුණා. නෑගම් යන්නේ කැවුම් හදාගෙන, මස්‌, බඩ ඉරිඟු ඇට වගේ දේවල් අරගෙන. නායක හාමුදුරුවො අපිට සොරිවිල ඉස්‌කෝලයක්‌ හදල දුන්නා. අපි ගල්ලෑල්ල, ගල්කූර අරගෙන ඉස්‌කෝලෙ ගියා. දවල් කිරි එකක්‌ එක්‌ක බනිස්‌ ගෙඩියක්‌ දුන්නා. ඒක කාල, එන ගමන් වැව්වලට පැනල නාල තමයි ගෙදර එන්නේ.

1965 අවුරුද්දෙ ජුනි 17 වැනිදා මම දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පැවිදි උනා. මා එක්‌ක තව එකොළොස්‌ දෙනෙක්‌ පැවිදි උනා. එතකොට මට වයස අවුරුදු හතයි. වැදි දරුවො දොළහක්‌ පැවිදිබිමට කියලා එදා දවස පත්තරේ ලොකු ලිපියකුත් දාලා තිබුණා.

සරල කෙළිලොල් ජීවිතය පැවිදිවීමත් සමඟ වෙනස්‌ වූ ආකාරයත් තම පරපුරේ සම්ප්‍රදායික ජීවන රටාව සිංහල මහා සමාජයට අනුගතවූ ස්‌වරූපය උන් වහන්සේ අපූරුවට විග්‍රහ කළහ. දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේගේ දැඩි විනය තමන් වහන්සේගේ ජීවිතය සාර්ථක වීමට බලපෑ ප්‍රධානතම හේතුව බව උන් වහන්සේ කෘතවේදීව සිහිපත් කළහ.

මිල්ලානේ සිරියාලංකාර නමින් පැවිදි වූ මගේ ගුරු හාමුදුරුවන් මාතර කිතලගම සිරි සීලාලංකාර හාමුදුරුවො වගේම උඩුපිල්ලේගොඩ ප්‍රඥාලංකාර හාමුදුරුවොත් වෙනවා. අපි දොළොස්‌ දෙනා පාන්දර හතරට අවදිවෙනවා. දානෙ දෙන අය අපිට කැඳ දෙනවා. මූණ කට සෝදලා කැඳ වළඳලා පැයක්‌ සක්‌මන් කරමින් පිළිකුල් භාවනාව කරනවා. ඊට පස්‌සේ ගෙඩිය ගැහුවම බුද්ධ පූජාවට වඩිනවා. බුද්ධ පූජාව ඉවර උනාම දානේ වළඳන්න වඩිනවා. දානේ අවසන්වෙලා උදේ 9 වන තුරු අපිට විවේකයක්‌ ලැබෙනවා. 9.30 ට පැන් පහසුවෙන්න ගල්පොත්තට හරි මහවැලි ගඟට හරි හැමෝම යනවා. නාල ඇවිත් බුද්ධ පූජාව තියලා. දානේ වළඳලා පිරිවෙන් යන්න ඕනෑ. ඒ කාලෙ පිරිවෙන් නිවාඩු දුන්නේ හතර පෝයට විතරයි. 1968 වනකොට පිරිවෙන පටන්ගෙන තිබුණා. පිරිවෙනේ යක්‌කුරේ රතනසාර කියලා හාමුදුරුවන් වහන්සේ නමක්‌ උගැන්නුවා.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් එක්‌ක අපේ ආදිවාසී අයට වගේම පිට පළාත්වල අයටත් මෙහෙ ඉඩම් ලැබුණා. සාම්ප්‍රදායික ජීවන රටාව අතහැරලා අපේ අය ගොවිතැනට හුරු උනා. පිරිවෙන මහ පිරිවෙනක්‌ උනා. දිඹුලාගල කේන්ද්‍රකරගෙන රාජ්‍ය ආයතන බොහොමයක්‌ පටන් ගත්තා. මහවැලිය පටන් ගෙන ටික කාලෙකින් කොටි කලබල ඇති උනා. ඒ නිසා මිනිස්‌සුන්ට තුවක්‌කු ලැබුණා. මුවෙක්‌, ගෝනෙක්‌, වළහෙක්‌ ආසාවට දැක ගන්න නැතිවෙන්න මේ මිනිස්‌සු වැඩ කළා. තුවක්‌කු නැති අය කැලේ කඳන් බැන්දා. අද අහිංසක සත්තු සේරම ඉවරයි.

දිඹුලාගල ගිරි ශිඛරයේම පිහිටි නාමල් පොකුණ වන්දනාකරුවන් වැඩි දෙනකුගේ අවධානය යොමු නොවූ පුද බිමකි.

විහාරස්‌ථානයේ ඉතිහාසය පිළිබඳව වන්දනාකරුවන් උදෙසා සරලව පැහැදිලි කිරීමක්‌ කරන්නත් උන්වහන්සේ අමතක කළේ නැත.

දිඹුලාගල නාමල් පොකුණ විහාරස්‌ථානයේ ඉතිහාසය පණ්‌ඩුකාභය රජතුමා දක්‌වා දිවෙනවා. අනුරාධපුර, පොළොන්නරුව යුගවල දිඹුලාගල කීර්තිමක්‌ විහාරස්‌ථානයක්‌ වෙලා තිබුණා. ගුරුළුගෝමී, විද්‍යා චක්‍රවර්තී වැනි පඬිවරු මේ පුද බිමේ ශිල්ප හදාරාලා තිබෙනවා. ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවස දක්‌වා දිවෙන අභිමානවත් ඉතිහාසයක්‌ තිබෙන මේ විහාර සංකීර්ණය අද දකින්න තිබෙන තත්ත්වයට ගෙන ආවේ අපවත්වී වදාළ දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේ. වත්මන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවන් වහන්සේ අපත්වූ නායක හාමුදුරුවන් වහන්සේගේ සාසනික සමාජීය මෙහෙවර ඉදිරියට අරගෙන යනවා. ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේත් මේ විහාරස්‌ථානයේ. දිඹුලාගල නාමල් පොකුණ ඇතුළුව දවසක්‌ බලල ඉවරකරන්න බැරි තරමේ වැදගත් නටබුන් මෙහි තිබෙනවා. දිඹුලාගල වඳින්න එන පින්වතුන්ට නාමල් පොකුණටත් එන්න කියාල කියනවා. ඒ වගේම විහාරස්‌ථානයකට ගැලපෙන සංවරකමකින් එන්න කියලත් කියන්න වෙනවා. සාමාන්‍යයෙන් සමාජයේ දඩබ්බර, අපිළිවෙළකට වැඩකරන, අයට වැද්දා කියලා අන්වර්ථ නමකින් කථා කරනවා අපිට ඇහිලා තිබෙනවා. නමුත් එදා අමුඩ කෙටියකින් විලිවහගෙන, හේනක්‌, කුඹුරක්‌ කරගෙන හිටිය ආදිවාසී වගේම පැරැණි සිංහල, දෙමළ, ගැමියා තූළ තිබුණ සමගිය, ගුණදහම් ටයිකෝට්‌ අඳින දියුණු සමාජයේ බහුතරයක්‌ මිනිස්‌සු ළඟ නැහැ.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: