Posted by: lrrp | July 13, 2013

44 වතාවක් ලේ දන් දී වකුගඩුවකුත් දන්දුන් විජේතුංග

එදා මෙන් නොව අද සමාජය විවිධාකාරය.එදවස පිනට දහමට ලැදිව කටයුතු කළ මිනිසුන් මෙදා සමාජයේදී අපට නිතර දෙවේලේ හමු නොවේ.එහෙත් ඉදහිට දවසක මිනිසත්කම ඉහවහ ගිය මිනිසුන්ද හමුවේ .ඇතැමුන් ජීවත් වන්නේ තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙනි. අන් ජීවිත බේරා ගැනීමට තම ජීවිතය වුව පුදදීමට සුදානම් මිනිසෙකු පිළිබඳව තැබෙන සටහනකි මේ.

ඔහු. යු. ආර් කුමාර නිමල් වි‍ජේතුංග. ඔහු පනස් හය හැවිරිදිය. මහවැලි අධිකාරියේ සේවය කරන නිමල් සොයා පසුගිය දිනෙක අපි ඔහුගේ නිවෙසට ගියෙමු.පෙනුමින් බොහෝ අහිංසක ඔහුගේ සිතුම් පැතුම්ද එලෙසම අහිංසක යැයි ඔහු සමඟ කතාබහ කිරිමේ දී වැටහිණි.

“මට මගේ ජීවිතේ ගැන මහා ලොකු බලාපොරොත්තු නම් නැහැ. මට ඕන මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙදී නිකම්ම ඉඳලා මැරිලා යනවට වඩා ප්‍රයෝජනවත් යමක් කරලා මැරිලා යන්නයි.ඒ මම පුංචි කාලෙ ඉදලම හිතූ පැතූ විදිහ.මට ඉන්නේ එක දුවයි. ඇය මෙවර විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගට ලියනවා.ඇය තමයි අපට තිබෙන එකම සම්පත. මම මගේ මුළු සිරුරම දන්දුන්නේ මීට කාලෙකට කලින්.ඒ අතර මම ලේ දන් දුන්නා.

ලේ දන්දෙන්න පටන් ගත්තේ එක් දහස් නවසිය හැත්තැ අට කාලයේ.ඒ කාලයේ මම කාර්මික විද්‍යාලයේ ඉගෙන ගන්නවා.අපේ ගම කොටදෙනියාව.මගේ මව හෙදියක් ඇය රෝහල් කිහිපයකම සේවය කළා. තාත්තාත් ‍රජයේ රෝහලක ඕවසියර් කෙනෙක් .ඔවුන් දෙදෙනාම මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කිරීමට කැපව සිටි අය. මම හිතනවා අපත් මිනිසුන්ට උදව් කිරීමට ඉගෙන ගත්තේ ඔවුන්ගෙන් කියා.”

විජේතුංගට බොහෝ දේ කීමට ඇති සේය . තම ජීවිතය ගැන වුව නොතකා ඔහු කළ උතුම් පරිත්‍යාගය වෙසෙසින්ම පැසසිය යුතුය. මිල මුදල් ගෞරව සම්මාන කිසිවකට ආසාවක් නැති මේ මිනිසා ඔහු පිළිබඳ අතීත තොරතුරු කීවද ආසන්නයේ දීම කළ මහඟු පිංකම පිළිබඳව කීමට වුවද අදිමදි කළේය.ඒ එම සද් ක්‍රීයාවෙන් ඔහු කිසිවක්ම බලාපොරොත්තු නොවන නිසාය.

හතළිස් හතර වතාවක් ලේ දන්දුන් විජේතුංග අවසානයේ වකුගඩුවක් දන් දීමට ද හිත හදා ගත්තේය.මේ එම කතාවස්තුවයි.

“අපේ කාර්යාලයේ ජයසුමන දවසක් ටිකට් පොතක් විකුණන්න අරගෙන ආවා.ඒ වකුගඩු රෝගියෙකුට ආධාර පිණිස.ටිකට් එකක් රුපියල් පනහයි . මම ඔහුට කිව්වා ටිකට් ගන්න නම් බැහැ ඕනනම් වකුගඩුවක් දෙන්නම් කියා.ජයසුමන ඒ පණිවුඩය ඔවුන්ට කියා තිබුණා.මාස හතරක් පමණ මේ සම්බන්ධව පරික්ෂණ කෙරුණා. නමුත් සාර්ථක ‍වේවිද කියලා කියන්න බැරි නිසා මම වකුගඩුවක් දන්දෙන්න යන බව ගෙදර අයට කිව්වේ නැහැ.

ඒත් එන්ජියෝග්‍රැම් පරික්ෂණය සාර්ථක වීමෙන් පසුව ගෙදර අයට දැන් වුවා.නමුත් ගෙදර අය ඊට කැමැත්ත දුන්නේ නැහැ. ඒ වෙනකොට රෝගී දරුවා වගේම ඔවුන්ගේ පවුලේ අයත් බලාපොරොත්තු තබාගෙන හිටියේ.මේ නිසා මම තිරණය කළා ගෙදරට නොදන්වා වකුගඩුව පරිත්‍යාග කිරීමට.ඒ වෙනකොට රෝගී දරුවා හා ඔහුගේ පියා ඉතාම අසීරු තත්වයකට පත්වෙලා හිටියේ.ඔවුන් ප්‍රතිකාර ලබාගැනීම සදහා ගේ දොර ඉඩ කඩම් පවා විකුණා තිබුණේ.මුලින්ම ශල්‍ය කර්මය සඳහා දින යොදාගෙන තිබුණත් දෙවරම එය කල් ගියා. පසු ගිය සඳුදා තමයි මේ ශල්‍ය කර්මය සිදු කෙරුණේ.”

විජේතුංග ශල්‍යකර්මයට පෙර දින නිවෙසින් පිටව ගියේ මිත්‍රයෙකුගේ නිවෙසේ පැවැත්වෙන දානමය පිංකමකට සහභාගිවන බව දන්වාය.කොළඹ ජාතික රෝහලේදී සැත්කම සාර්ථකව නිම කෙරිණි. ඊට දින කිහිපයකට පසුව විජේතුංග රෝහලින් පිටව නිවෙසට පැමිණියේය.මේ කාලය අතුරතුරදී විජේතුංගේ දියණිය හා බිරිය ඔහු ගැන ආරංචියක් නොලැබ කලබල නොවුනාම නොවේ.කෙසේ වෙතත් විජේතුංග නිරුපද්‍රිතව නිවෙසට පැමිණිම ඔවුන්ගේ සතුටට හේතු විය.

“මම දන්නවා

 

මම නීරෝගියි කියලා .වෙද්‍යවරු පරික්ෂණය කරලා කරලා තමයි මේ දේ කළේ.මගෙ කය වගේම මගෙ මනසත් නීරෝගියි.ඒ නිසයි මම රෝහලින් පිටවෙච්ච දවසේ කෝච්චියේ නැගලා ගමට ආවේ.මම මේ පරිත්‍යාගය කළේ සතපහකවත් ලාබ ප්‍රයෝජනයක් ඇතිව කනාවෙයි.අද මම පුදුම තරමේ සතුටක් විදිනවා .මම නිසා තවත් කෙනෙක් ජීවත් වෙනවා දැකලා.මට පුතෙක් නැහැ.

(විජේතුංග මොහොතක් නිහඩව සිටියේය.ඒ නිහඩබව අපට දරා සිටින්නට බැරි තරම්ය.)ඒ පුතාගේ අම්මත් නැහැ. දරුවගේ තාත්තා තමයි හැම දේම දුවලා පැනලා කරන්නේ.මං මේ ජීවිතේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.කවද හරි මේ සිරුර පොළවට පස් වෙනවා.මේ තරුණකම නීරෝගිකම හැමදාම තියෙන්නේ නැහැ.දවසක අපේ අතපය වාරු නැතිව යනවා .එහෙම දවසට ජීවිතේ දිහා ආපහු හැරී බලද්දි අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතලා බලන්න දෙයක් මම කරලා තියෙනවානම් මට ඒ හොඳටම ඇති.අපි උපදින්නේ සතපහක්වත් නැතිව.කෝටි ගණනක් තිබුණත් අපි මිය යන්නේ හිස් අතින්.එහෙම එකේ අපි මොකටද පොදි බඳින්නේ.

ඒ විජේතුංගගේ අදහසය. විජේතුංග වසරකට දෙතුන් වරක් වත් ලේ පරිත්‍යාග කරයි.ඇතැම් විට ගමේ තිබෙන ලේ දන්දීමේ පිංකමදාට ඔහුගේ බිරිය ගෙදර වැස්සිගේ කිරිටික හෝ ඇය විසින් සාදන ලද කොළකැඳ ගෙන ගොස් ලේ පරිත්‍යාගශීලින්ට පිරිනමන්නිය.අනුන් වෙනුවෙන් තමන් ගේ සිරුරේ කොටසක් දන්දුන් ඔහු නිරාමිස සතුටක් විදින්නේය.

විජේතුංගගේ පරිත්‍යාගයෙන් හා වෛද්‍යවරුන්ගේ පිහිටෙන් තම පුතු සුව වනු බලා කුලරත්න ද සැනසුම් සුසුමක් හෙළන්නේය.

“මගෙ පුතාට අවුරුදු විසි අටයි .ඔහු රැකියාව කරමින් ඉන්න අතර තමයි රෝගී වුණේ.මුලින්ම පානදුර රෝහලේ ප්‍රතිකාර ගත්තේ .ඊට පසුව ජාතික රෝහලට මාරු කළා.එහිදී පුතා පරික්ෂා කළ වෛද්‍ය නසාර් මහතා තමයි පුතාට වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව කිව්වේ.පුතාට ගැලපෙන වකුගඩුවක් සෙවිමට අපි බොහෝ උත්සාහ දැරුවා.පුතාට ප්‍රතිකාර කිරීමට බොහෝ වියදම් දරන්න සිදුවුණා ‍.අවසානයේ ‍‍ගෙවල් දොරවලුත් විකුණන්න සිදුවුණා.විවිධ පරික්ෂණ වලට මුදල් වැය වුණා. අවසානයේ ප්‍රතිකාර සඳහා මුදල් සොයන්න තමයි ටිකට් පොත් ගැහුවේ.

මම මගේ මිත්‍රයන්ට මේ ටිකට් ‍ පොත් ලබා දුන්නා .මහවැලි අධිකාරියේ සේවය කරන ජයසුමන මිත්‍රයා නිසයි මට විජේතුංග මහතා ගැන දැනගන්න ලැබුණේ. ඔහු නිසා මට මගේ පුතා ජීවත් වෙනවා බලන්න වාසනාව ලැබුණා.ඔහු කළේ කිසිම දවසක මිලකරන්න බැරි උදව්වක්. මමත් මගෙ පුතාත් උදේ හවස ඔහුට පින්දෙනවා,නීරෝගීසුව ප්‍රාර්ථනය කරනවා මේ කළ පිංකමට.”

විජේතුංග කුලරත්නගේ ළඟින් හෝ දුරින් ඥාතියකු නොවේ. විජේතුංග කුලරත්නගේ මිත්‍රයකුද නොවේ.එහෙත් ඔහු කිසිදා නොහදුනන කුලරත්නගේ පුතු වෙනුවෙන් තම ශරිර සෞඛ්‍ය ගැන නොතකා පරිත්‍යාගයක් කළේය.සල්ලිය භාගය නොතිබුණද උතුම් මිනිසත් ගුණයෙන් හෙබි මිනිසුන් මෙවන් යුගයක රටට වාසනාවකි.

“මම බෝධිසත්වයෙක් නෙමෙයි.මම බුදු වෙන්න පෙරුම් පුරන්නෙත් නෑ.ඒත් මේ ජීවත්ව ඉන්න කාලෙදි පලක් ඇති යමක් කරන්නයි මට ඕන.”

ඒ විජේතුංගගේ දැක්මයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: