Posted by: lrrp | July 21, 2013

ලොකුම දායාදය පොතපතයි

කියවීමෙන් මිනිසකු සම්පූර්ණ වේ යනු පැරැණි කියමනකි. කියවීම නිසා අප කෙරෙහි පරිපූර්ණ දැනුමක් ඇතිවන බව එහි අදහසයි. ජීවිතයේ අනේකවිධ වූ ප්‍රශ්න හමුවේ නිරන්තරයෙන් පීඩාවට, වෙහෙසට පත්වන මනස සුවපත් වනු දැකීම, ජීවිතය සුවපත් වනු දැකීම මනුෂ්‍යයා ගේ ප්‍රාර්ථනාවය. ඒ සඳහා හොඳ පොතකින් ලැබෙන ආභාෂය අපමණ ය. පරපුරකින් පරපුරකට දැනුම හා සමාජ වටිනාකම් දායාද කෙරෙන්නේ පොතපතිනි. ඈත අතීතයේ අපේ මුතුන් මිත්තෝ ජීවත්වීම සඳහා ඔවුන් කරන ලද අරගලය, ජීවන අත්දැකීම්, ගල්කුලු මත, තල්පත් මත සටහන් කර තැබුවේ මතු පරපුරේ ප්‍රයෝජනය හා දැන ගැනීම පිණිස ය‍. ඒ ඇසුරින් ජීවිතය ගොඩනඟා ගනු පිණිස ය. එසේ දුෂ්කරව තැබූ සටහන් මුද්‍රිත මාධ්‍ය ද පරදවමින්, අන්තර්ජාලය දක්වා අද වැඩි දියුණු වී තිබේ. අවශ්‍ය දේ මෙන් ම අනවශ්‍ය දේ ද ඒ ඔස්සේ සමාජගත වේ. මේ නිසා හොඳ පොතපත ඇසුරු කරන්නට අප ගේ දරුවන්ට මඟ පෙන්වීම වැඩිහිටියන්ට පැවරෙන වගකීමක් වේ. ඒ සඳහා ආගමෙන්, ධර්මයෙන් ලද හැකි ආභාෂය ද බොහෝ ය. අප තථාගතයන් වහන්සේ ජීවමාන සමයෙහි කියවීම යනුවෙන් අදහස් කළේ බහුශ්‍රැත බවයි. නිරන්තරයෙන් දැනුමෙන්, ගුණයෙන් හා නුවණින් පිරිපුන් අයට ඇහුම්කන් දීම ඉන් අර්ථවත් වේ. එය අන් අය ගේ සිතිවිලි හා අදහස් කියවී‍මක් බඳු ය. බුදුරජාණන් වහන්සේ, ‘ධතා වචසා පරිච්තා මනසානු පෙක්ඛිතා දිට්ඨියා සුප්පඨි විද්ධා’ යනුවෙන් දේශනා කොට වදාළේ අසන ලද දේ සිතෙහි මනාකොට ධාරණය කර ගැනීමත්, වචනයෙන් නැවත නැවතත් පුරුදු කළ යුතු බවත් මනසින් මෙනෙහි කළ යුතු බවත් ය. අලුත් දැනුම හා අදහස් ඔස්සේ පාරි ශුද්ධ බවක් ඇති කරගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ. නවාංග ශාස්තෘ ශාසන කතාවේදී සුද්ධ ජ්‍යෙය ව්‍යොකරණ ආදී වශයෙන් පෙන්වා දී ඇත්තේ ද මේ කරුණම ය. එනම් මේ උතුම් බුදු සසුනෙහි ධර්මාවබෝධය පිණිස, ඒ උතුම් සූත්‍ර දේශනා මැනවින් ශ්‍රවණය කොට ඉගෙනගත යුතු බව ය. ඒවා ගාථා හා වචන වශයෙන්, වාක්‍ය වශයෙන් ද පුරුදු පුහුණු කළ යුතු ‍බව ය. ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් ධර්මාවබෝධය සඳහා ඉදිරියට ගමන් කරන විට දී අවස්ථා තුනක් අනුදත යුතුවේ. එනම් සූතමය, චින්තාමය හා භාවනාමය වශයෙනි. ස‍ූතමය නම් මනාකොට ශ්‍රවණය කිරීමය. චින්තාමය නම් ඇසූ දේ නැවත නැවත පරීක්ෂාකාරීව සිතා බැලීම ය. ‘භාවනාමය’ නම් එසේ පුරුදු කරන ලද දේ තමා ගේ සිතෙහි වර්ධනය කරගැනීම ය. එනම් ඇසීමත්, කියවීමත්, සාකච්ඡා කිරීමත්, අවශ්‍ය දේ ධාරණය කරගෙන ජීවිතයට පුරුදු කිරීමත් අවශ්‍ය වන බව ය. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් බුදු සිරිත කියවන්නේ තම ශාස්තෘවරයා ගේ චරිතයෙන් තම ජීවිතය සකසා ගැනීම පිණිස ය. ධ‍ර්මය කියවන්නේ තම දහම් දැනුම දියුණු කර ගැනීමත්, ධර්මාවබෝධය පිණිසත් ය. අන්‍යයන්ට ඒ දහම් මඟ මනා කොට පෙන්වා දීමට ය. උන්වහන්සේ ගේ කියවීම අත්තහිත පරහිත පිණිස වන්නේ ය. එනම් තමන්ට හා අනුන්ට වැඩ පිණිස ය. ගෘහස්ත සමාජය ද තම ජීවිතයට අදාළ දේ කියවන්නට පුරුදු වී සිටිති. කලාවට ලැදි අය කලාව ද, විද්‍යාවට ලැදි අය විද්‍යාත්මක කරුණු සහිත පොතපත ද ආදී වශයෙනි. පොදුවේ මානසික රසාස්වාදය පිණිසත්, දැනුම ගවේෂණය පිණිසත් කියවීමට පුරුදු වී සිටිති. අධ්‍යාපනය ලබන දරුවන්ට ද තම විෂයයන්ට අදාළ දේ නැවත නැවත කියවීමෙන් ඒ පිළිබඳ දැනුම වඩාත් පුළුල් කරගත හැකිවනු ඇත. එහෙත් මෙහිදී විශේෂිත කරුණක් සඳහන් කළ යුතුව තිබේ. මනුෂ්‍යයන් ලෙස උපත ලද අප ‍මානසික සුවයම ප්‍රමුඛ කොට සලකන බව ය. මේ නිසා සිත සුවපත් වන පොත පතට අවධානය යොමු කිරීම අවශ්‍යය. ලොව කවර ජාතියකට අයත් වුව ද නවකතා, චරිත කතා, වීර කතා, අභිරහස් හා සංවේදී කතා කියවීම බොහෝ දෙනා ගේ විනෝදාංශයකි. ඒ අතර කවි හා ගීත ද අමතක කළ නොහැකි ය. බොදු මඟ යන ඔබට මේ සියල්ලටම වඩා අවධානය යොමු කළ යුතු අංශයක් තිබේ. එනම් බුදු සිරිත කියවීම ය. බුදු සිරිත කියවීමෙන් මනස නිරවුල් වන සැටි, සුවපත් වන සැටි, සන්සුන් වන සැටි ඔබට වඩාත් දැනෙන්නට පටන්ගනු ඇත. ඔබගේ හදවතට කතා කරන, ඔබට ඇහුම්කන් දෙන හොඳම කළ්‍යාණ මිතුරන් ලෙස හොඳ පොත් තෝරාගත හැකි ය. පෘථග්ජන ජීවිතයේදී අපමණ ලෙස රිදෙන සිත, කඳුළු වැගිරෙන දෙනෙත සුවපත් කිරීමට තරම් ශක්තිය ඔබ කැමැත්තෙන් කියවන, යහපත වූ පොතක් සතුවේ. ඔබට කිසි විටෙකත් එරෙහි නොවන, සමීපයේ රඳවා ගත හැකි කළ්‍යාණ මිතුරෙක් වේ නම් ඒ පොතක් ම ය. එමෙන් ම ඔබ යම් කෙනකුට කළ්‍යාණවන්ත නම්, හිතවන්ත නම් ඒ තැනැත්තාගේ ජීවිතයේ කවර හෝ සුවිශේෂී අවස්ථාවක හොඳ පොතක් පරිත්‍යාග කිරීමට ඔබට පුළුවන. දරුවකු ගේ උපන් දින සාදයකදී, ඔබගේ මවුපියන්ගේ උපන් දිනයකදී තිළිණ කළ හැකි වටිනාම ත්‍යාගය වන්නේ ද හොඳ පොතකි. යහපත් වූ අදහස් ඇති, ජීවිතයට යහපත් දෙයක් උකහා ගත හැකි පොත්පත් පරිත්‍යාග කළ හැකි නම් ඔබ උතුම්වූත්, වටිනාවූත් දායාදයක් ඔවුන්ට පරිත්‍යාග කළා වනු ඇත. එය සෙනෙහැති හදකට පිදිය හැකි උතුම් ත්‍යාගයක් වනු ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: