Posted by: lrrp | July 23, 2013

ඵුස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්

1000500_417528768362436_1851890293_n“මගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු මැනව. අනාගතයේ බිහිවන භික්ෂූන් වහන්සේලා කුමකට කැමති වේවිද? ඉලක්කය කුමක් වේවිද? මොන වගේ ආකල්ප වලින් යුක්ත වේවිද?”

“පින්වත් පණ්ඩර තාපසය, එහෙම නම්, මම කියන දේ අහන්න. අනාගතයේ සිදුවන දේ මම කියන්නම්. හොඳින් මතක තියාගන්න.”

“අනාගතයේ ඇති වන භික්ෂූන් වහන්සේලා, බොහෝ විට කරන්නේ ක්‍රෝධ කරන එක. පළිගන්න එක. ඇති ගුණ මකන එක. මාන්නයෙන් ඉදිමිලා නැති ගුණ හුවා දක්වන එක. ඉරිසියාවෙන් ඉඳගෙන වාදවිවාද කරන එක.”

“ගැඹුරු ධර්මය දන්න බවට මාන්නයෙන් හිතාගෙන වටපිටාවේ දුවන එක විතරයි ඒ ගොල්ල කරන්නේ. චපල සිත් ඇති ඒ උදවිය සද්ධර්මය කෙරෙහිත් ගෞරවයක් නෑ. ඔවුනොවුන් කෙරෙහිත් ගෞරවයක් නෑ.”

“අනාගත ලෝකයේ මේ විදිහට බොහෝ ආදීනව පහළ වෙනවා. බුදු සමිඳුන් මේ ධර්මය වදාළේ ඉතා පිරිසිදු ලෙස. එහෙත් නොයෙක් මිත්‍යා මත වලින් මේ ධර්මය කිළිටි කරල දානවා.”

“අනාගතයේ බලවත් වෙන්නේ ඒ භික්ෂූන් තමයි. ඒ උදවිය සංඝයාගේ ප්‍රධානත්වය උසුලනවා. එහෙත් ගුණයෙන් හීනයි. දහම තුළ විශාරද නෑ. සද්ධර්මය දන්නෙත් නෑ. කටවාචාලකම විතරයි තියෙන්නෙ.”

“සංඝයා අතර වැඩසිටිනවා ගුණවත් භික්ෂූන් වහන්සේලා. ධර්මාවබෝධයත් තියෙනව. ලැජ්ජා බයත් තියෙනව. ඒ යහපත් භික්ෂූන් වහන්සේලාව වැඩකට නැති උදවිය වාගේ දුර්වල වෙලා යනවා.”

“ප්‍රඥා රහිත පාපී භික්ෂූන් මොකද කරන්නේ, ඒ ගොල්ල රන් රිදී කෙත් වතු එළු බැටලුවන් දැසි දස්සන් පිළි ගන්නවා.”

“ඔවුන්ට නුවණක් නෑ. සීලෙකුත් නෑ. සමාධියකුත් නෑ. මාන්නෙන් යුතුව හඬ උස්කරල කතා කර කර ඉන්නවා. සතුන් වගේ කෝලාහලවලට ඇලෙනවා.”

“අනාගත භික්ෂූන් වහන්සේලා නිල්පාට සිවුරු පොරෝගෙන උඩඟු කමින් කුහක කමින් චාටු බස් කිය කියා ශෘංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් විදිහට පෙනී සිටිනවා.”

“අනාගත භික්ෂූන් වහන්සේලා සුදුපාට සිවුරුත් පොරව ගන්නවා. හොඳට තෙල් ගාල කොණ්ඩෙ පීරනවා. ඇස්වල අඳුන් ගාගෙන මහමග යනවා.”

“ඔවුන් ගිජු වන්නේ, සුදු පාට වස්ත්‍රයටයි. විමුක්තියට පත් සිතින් යුතු රහතන් වහන්සේලා පඬු ගසා පොරවන ලද පිළිකුල් රහිත වූ ‘අරහත් ධජය’ නම් වූ කසාවත ඔවුන් පිළිකුල් කරනවා.”

“ඔවුන් ලාභයටමයි කැමති වන්නෙ. කම්මැලියි. කිසි වීරියක් නෑ. ඈත දුර වන සෙනසුන්වල හුදෙකලාවේ භාවනා කරන්ට ඔවුන්ට හැකියාවක් නෑ. ගම්වල පන්සල්වලට වෙලා කල් ගත කරනවා.”

“ඔවුන් ජීවත් වෙන්නෙ මිත්‍යා ආජීවයෙන්. ඔවුන්ට යම්කිසි ආදායමක් ලැබෙනව නම්, තමන්ගේ ශිෂ්‍යයන්ව පුරුදු කරවන්නෙත් කිසියම් ආදායමක් ලැබෙන ජීවිතයකටයි. සංවර වෙන්න නොවෙයි.”

“යම් භික්ෂුවකට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබෙන්නෙ නැත්නම්, ඔහුට කිසිම පිළිගැනීමක් නැතිව යනව. ආදායම් නැති, සුපේෂල, ප්‍රඥාවන්ත භික්ෂූන් සිටින නමුත්, කවුරුත් උන්වහන්සේලා ඇසුරු කරන්නේ නෑ.”

“තමන්ගේ ධජය තමයි සිවුර. කලුනුග පොතු වලින් යුතු කහටින් පඬු ගහලයි, ඒ සිවුරු පිළියෙල කරන්නේ. නමුත් කසාවතට ගරහල අන්‍යාගමිකයන්ගේ සංකේතය වන සුදු වස්ත්‍ර දරාගන්නවා.”

“කසාවත ගැන ඔවුන්ගේ ගෞරවය නැතිවෙලා ගියාම, චීවර ප්‍රත්‍යවේක්ෂාවත් ඔවුන් අත්හැරල දානවා.”

“විස සහිත හුලකින් පහර කාළ, දුක් පීඩා විඳ විඳ හිටියත් ඒ ඡද්දන්ත හස්ති රාජයා පවා කටුක පීඩා අභියස, නොසිතිය හැකිතරම් වේදනා ලැබෙද්දිත්, මේ උතුම් කසාවතට ගෞරව කළා.”

“එදා ඒ ඡද්දන්ත හස්ති රාජයා, පඬු ගහල සකසපු අරහත් ධජය දැකල ඒ සැණින්ම මෙන්න මේ ගාථාවන් කියන්න පටන් ගත්තා.”

“කෙලෙස් ඉවත් නොකළ කෙනෙක්, ඉන්ද්‍රිය දමනයක් නැති කෙනෙක්, සත්‍යයයෙන් තොර කෙනෙක්, සිවුරු දරාගෙන හිටියත්, ඇත්තෙන්ම ඒ තැනැත්තා සිවුරට සුදුස්සෙක් නොවෙයි.”

“කෙලෙස් ඉවත් කරපු කෙනෙක්, සිල්වත් වෙලා, සමාහිත සිත් ඇතිව, ඉන්ද්‍රිය දමනයත් ඇතිව, සත්‍යයෙන්ද යුක්තව නම් සිවුරු දරාගෙන ඉන්නෙ, ඇත්තෙන්ම එයාට මයි සිවුරු සුදුසු.”

“සීලයක් නැති, ප්‍රඥාවක් නැති, සිතට එන එන දේ කරන කියන, අවුල් වී ගිය සිත් ඇති කුසල් දහම් නැති කෙනෙකුට මේ සිවුර නම් ගැලපෙන්නෙ නෑ.”

“ඇත්තෙන්ම කෙනෙක් සිල්වත් වෙලා, සිත සමාහිත කරගෙන, පිරිසිදු අදහස් ඇතිව නම් ඉන්නෙ, එයා ඒකාන්තයෙන්ම කසාවතට සුදුස්සෙක්.”

“කෙනෙක් උඩඟු නම්, මාන්නයෙන් ඉදිමිලා නම්, අවබෝධ ඥානයක් නැති නම්, සීලයකුත් නැති නම්, එයාට ගැලපෙන්නේ සුදු වස්ත්‍රයක් තමයි. කසාවත් මොනවටද?”

“අනාගත භික්ෂූන් මෙන්ම භික්ෂුණඹ්න්, දුෂ්ට සිතින් ඉඳගෙන, අගෞරවයෙන් තමයි කල් යවන්නෙ. මෛත්‍රී සිතින් වසන අකම්පිත සිත් ඇති රහතන් වහන්සේලාටත් ඒ උදවිය ගරහන්ට පටන් ගන්නවා.”

“සිල්වත් තෙරුන් වහන්සේලා, ඒ නුවණ නැති, දුස්සීල, ඉඳුරන් දමනයක් නැනි, සිතට එන එන දේ කරන, අඥානයව හික්මවන්ට මහන්සි ගත්තද, ඒකට ඇහුම්කන් දෙන්නෙ නෑ.”

“ඒගොල්ල හැදෙන්නෙ අන්න ඒ විදිහටයි. ඔවුනොවුන් කෙරෙහි ගෞරවයක් නෑ. උපාධ්‍යායන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නෑ. රථාචාරියාට කීකරු නැති අශ්වයන් වගේ.”

“යහපත් භික්ෂූන්ගේත්, භික්ෂුණීන්ගේත් කාලය අවසන් වෙලා යනකොට අනාගතයේ පහළ වන්නේ ඔය ආකාර වත්පිළිවෙත් තමයි.”

“අනාගතයේදී මේ භයානක තත්වය ඇති වෙන්නෙ. ඒක සිද්ධ වෙන්න කලින්, ධර්මයට කීකරුව මෘදු සිත් ඇතිව මාන්නයක් නැතිව, ඔවුනොවුන් කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්ට ඕන.”

“මෛත්‍රී සිත් ඇති කරගන්ට ඕන. කරුණාවන්ත ජීවිතයක් ගෙවන්ට ඕන. සිල්වත් වෙලා සංවරයෙන් යුක්තව පටන් ගත් වීරිය පවත්වන්ට ඕන. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්ට ඕන. වීරියෙන් වාසය කරන්ට ඕන.”

“ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද වීම භයානක දෙයක් වශයෙන් දකින්ට ඕන. අප්‍රමාදය කෙම්බිමක් වශයෙන් දකින්ට ඕන. ඒ අමා නිවන ස්පර්ශ කිරීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය මවඩන්ට ඕන.”

මේ වනාහී ආයුෂ්මත් ඵුස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

(පරිවර්තනය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: