Posted by: lrrp | July 24, 2013

පිරිත් පිළිබඳ විග්‍රහයක්: පිරිත් වල අනුහස්

994528_516044798469346_1050161829_nබෞද්ධ සමාජය තුළ පිරිතට හිමි වී ඇති ස්ථානය පිළිබඳ සැලකිරීමේ දී එහි තේමාව කුමක්දැයි විමසා බැලීම වඩාත් සුදුසු යැයි සිතමි. පිරිත සඳහා මූලික වූ තේමා දෙකක් ඇති බව පෙනෙයි. ඉන් පළමු වැන්න සච්ච සංකල්පය යි. දෙවැන්න මෙත්ත සංකල්පය යි. සත්‍යය ප්‍රකාශ කිරීමෙන් හා මෛත්‍රිය පැතිරවීමෙන් බලයක් ජනිත කර එයින් ආරක්ෂාව තහවුරු කිරීම පිරිතකින් සිදු වන බව වටහාගත යුතු ය.

පිරිත; බෞද්ධ ජීවිතය හා සබැඳි වැදගත් පූජා චාරිත්‍ර විධියක් බවට පත්ව ඇති බව, අමුතුවෙන් කිව යුතු නොවේ. පාලියෙහි ‘පරිත්ත’ යනුවෙන් සංස්කෘතියෙහි පරිත්‍ර හෝ පරිත්‍රාණ යනුවෙනුත් භාවිතා වන මෙම වචනය. ව්‍යවහාර සිංහලයෙහි පිරිත යනුවෙන් භාවිතයට පැමිණ තිබේ. පරිත්ත හෝ පරිත්‍ර යන වචන වලින් ස්වල්පය යන අර්ථයත්, ආරක්ෂාව යන අර්ථයත් ඉදිරිපත් වන අතර, පිරිත යන සිංහල ස්වරූපයට පත්වීමේදී ආරක්ෂාව යන අර්ථ යම් වඩාත් මූලික වී තිබේ.

මෙහිදී අප වටහාගත යුතු අනෙක් කරුණ නම් පිරිත හුදු ශබ්දය මතම පිහිටා ඇති දෙයක් නොවන බව යි. බොහෝ දෙනා පිරිතට කැමැති වන්නේ එහි ශබ්ද මාධුය්‍යය නිසා ය. එහෙත් එය පිරිතෙහි අංශයක් පමණකි. පිරිත් සජ්ඣයනයකදී එහි රිද්මය ශබ්ද තරංග හරහා ගමන් කරනු ලබන අතර එහිදී භාවිත ස්වර රටාව පුද්ගල සන්තානය තුළ ඇති කලබලකාරී නොසන්සුන් මානසිකත්වය ක්‍රමයෙන් සංසිඳුවාලයි. පාලි ශබ්ද රටාව හරහා මානසික සහන ඇතිකරලීමේ සමත්කම් පිරිත සතුව පවතින බව කිව යුතු ය. එහෙයින් පිරිත සතු පාලි ශබ්ද රටාව බැහැර කිරීම කෙසේවත් කළ නොහැකි දෙයකි. එහෙත් ශබ්ද මාධූය්‍ය පමණක්ම පිරිතකින් බලාපොරොත්තු නොවිය යුතු ය.

පිරිත් දේශනාවල අර්ථය ද ශබ්දයද තරමටම හෝ ඊටත් වඩා හෝ වැදගත් වෙයි. එනිසා පාලි ශබ්ද රටාවත් එහි අර්ථයත් යන දෙකම පිරිත තුළ වැදගත් තැනක් ගනියි. සැබැවින්ම පිරිත් වශයෙන් දේශනා කෙරෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් තෝරාගත් සූත්‍ර දේශනා ය. එහෙයින් ඒවායේ අර්ථය මෙනෙහි කිරීමෙන් ධම්මනිජ්ක්‍ෂානඛන්තිය ඇති වෙයි. (අත්‍ථං උපපරිඣතො ධම්භ නිජඣනං බලන්ති) එනම් ධර්මය පිළිබඳ වැටහීමක් ඇතිවේ. එය අනුපූර්ව ප්‍රතිපදාවට අයත් වන්නක් බව කීටාගිරි සූත්‍රයේ දැක්වේ. එබැවින් පිරිතෙ අර්ථය ඉතා වැගත්වන බව කිව යුතු ය.

මෛත්‍රියෙන් බලයක් ජනිත; කිරීම පිරිතෙහි එක් තේමාවක් බව ඉහත දී සඳහන් කැරිණි. එසේ ජනිත කැරෙන බලය හිතසුව පිණිස පැවැත්වීම ද පිරිතෙන් සිදුවෙයි.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙන් හෝ විනය මහා වග්ගයෙන් රැගෙන චතු්‍යණවාර පාලියෙහි සංග්‍රහ කර ඇති ඛන්ධ පිරිත්තය, සතර සර්ප රාජ කුල කෙරෙහි මෙත් වැඩීමට අනුදැනුමකි.

‘අනුපානාමි භික්ඛයෙව ඉමානි චත්තාරි අබිරාජකුලානි මෙත්තෙන චිත්ත්‍යෙ එරිතුං’ යනු බුදුරදුන්ගේ් ඒ අනුදැනුම යි. විරූපාක්ෂ, ඒරාපථ, ඡබ්‍යාපුත්ත, කණ්හාගොතමක යන සිවු මහ සප් කුල වෙත මෙත් වැඩිය යුත්තේ තමාගේ ගුප්තිය රැකවරණය හා හාත්පස ආරක්ෂාව සඳහා ය. (අත්ත ගුත්තියා, අත්තරක්ඛාය, අත්ත පරිත්තාය)

මෙයින් පැහැදිලි වන්නේ සර්පයන් වෙත මෛත්‍රී‍්‍ර සිත පැතිරවීමෙන් තම රැකවරණය සැලසෙන බව යි. අංගුත්තර දසක නිපාතයෙන් උපුටා ගෙන ඇති මෙත්තානිසංස සූත්‍රයේදී මෛත්‍රිය වඩන ආකාරය මනාව දක්වා ඇත. සේවනය කරන ලද භාවිතා කරන ලද, බහුල වශයෙන් වර්ධනය කරන ලද යානාවක් මෙන් සෑම තැන ගමන් කරවන ලද වස්තුවක් මෙන් සෑම තැන පතුරුවන ලද එළඹ සිටි පුහුණු කළ මැනවින් අරඹන ලද මෛත්‍රිය තුළින් ආනිසංස දහයක් පුද්ගලයා වෙත ළඟා වෙයි.

ප්‍රායෝගිකම මෛත්‍රිය වැඩිය යුතු ආකාරයද මෙහිදී ඉදිරිපත් කැරෙන අතර, ඉන් ලැබෙන ආනිසංස මෛත්‍රී වර්ධනයේ ප්‍රතිඵල ලෙස පහළ වන කායික මානසික සැනසීම් සේ දක්වා ඇත.

මෙත් වඩන්නාට සුව සේ නිදාගත හැකි වෙයි. ඊට හේතුව නින්දට ගොස් නිදහස්ව හුදකලාව සිටින විට සිහි වන වෛරකරුවන් නොමැති වීම යි. සැනසිලිදායකව නිසා සිටියේ සේ පිබිදෙන්නට ද ඔහුට හැකියාව ලැබෙයි. නින්දේ දී නපුරු සිහින දකින්නටද ඔහුට අවකාශයක් නැත. ඊට හේතුව අවෛරී සිතයි. මිනිසුන්ට සේම මිනිසුන් නොවන තිරිසත් සතුනට පවා ඔහු පි‍්‍රය වෙයි. දෙවියන් ඔහු රැක ගනියි. විස ආදියෙන් පීඩාවක් ඔහු වෙත ඇති නොවෙයි. ඔහුගේ් සිත වහාම එකඟ වෙයි. මුහුණ නිරන්තයෙන් ප්‍රසන්නව පවතියි. යම් හෙයකින් ඔහු නොමුලාව, සිහියෙන් වෙසෙද්දී මිය ගියහොත් බඹලොව මිස වෙන තැනක නූපදියි. මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන් ද මෙවැනි යහපත් විපාක ලබාදෙන, මෛත්‍රී වර්ධනයේ ස්වරූපය සජ්ක්‍ධායනය කර, ඉන් බල පිහිටුවීම, මෙත්තානිසංස සූත්‍රයෙන් සිදු වෙයි.

එපමණක් නොව මිත්තානිසංස සූත්‍රය ද මෙත්තාව පිළිබඳ වූ, ජාතක පාලියෙන් උපුටාගත් තවත් සූත්‍රයකි. මෙන් වැඩීම තුළින් පුද්ගලයාට ලැබෙන භෞතික සම්පත් හා රක්ෂාවරණය – ගාථා දහයකින් පමණ ඉදිරිපත් කැරෙන මෙම සූත්‍රයෙන්, මෙත්තාවේ බලය කෙබදු දැයි ප්‍රකාශ වෙයි.

අප කාහටත් හුරු පුරුදු සුත්ත නිපාතයෙන් උපුටාගෙන ඇති මෙත්තා සූත්‍රය (කරණිය මෙත්ත සූත්‍රය) මෛත්‍රියේ බල පිහිටුවන වැදගත් මෙන්ම ප්‍රසිද්ධ සූත්‍රයකි. අප මෛත්‍රිය වැඩිය යුතු වන්නේ සියලු සතුන්ට ය. මෙම සූත්‍රයෙන් ප්‍රකාශිත ආකාරයටම සියලු සතුන් වෙත මෙත් වැඩිය යුතු අවස්ථා තුනකි.

සබ්බේ සත්තා සුඛිනො හොන්තු (සියලු සත්ත්වයො සැප ඇත්තෝ වෙත්වා) ඛෙමිනෝ හොන්තු (බිය නැත්තෝ වෙත්වා) සුඛිතත්තා හොන්තු (සුඛිත සිත් ඇත්තෝ වෙත්වා) යනුවෙන් දැක්වෙන එම අවස්ථා තුනින් සියලු සත්ත්වයන්ගේ් කායික සුවයත්, මානසික සුවයත් ප්‍රාර්ථනා කැරෙයි.

වෙනත් අය රැවටීම, අනුනට අවමන් කිරීම, කෝපයෙන් දැඩි ක්‍රෝධයෙන්, අනුන් පීඩාවට පත්කිරීම, මෛත්‍රියේ විරුද්ධ අංශයට අදාළ දේ ය. සියලු සතුන් වෙත මෙත් වඩන විට රැවටීම්, ගෙරවීම්, සුදුසු නොවේ. තමාගේ් එකම පුතු දිවි හිමියෙන් රැක ගන්නා මවක් යම් සේ ද, එලෙස සියලු සතුන් වෙත මෙත් වැඩිය යුතු ය. මව පුතු කෙරෙහි දක්වන මෙත්තාව සියලු දෙනාට දක්වන්නට පුරුදු විය යුතුය. දස දිසාව වෙතම මෙත් සිත පැතිරවීම වැදගත් ය.

අප අපගේ් සෑම ක්‍රියාකාරී ඉරියව්වකදීම මෙත් වැඩිය යුතුය. ඊට නියමිත අවස්ථාවක් නොමැත යන, එන, ඇවිදින සිටින නිදන, නො නිදන ආදී හැම විටම මෛත්‍රී සිත පැතිර විය යුතුය. එය ‘බ්‍රහ්ම විහාර’ නමින් ශාසනය තුළ හැඳින්වෙයි. බ්‍රහ්ම විහාර සංඛ්‍යාත මෛත්‍රියෙන් යුක්තව වෙසෙන කල දෘෂ්ටි ග්‍රහණය නොකර, දර්ශන සම්පත්තියෙන් යුතුව කාම සම්පත් අතහැර විමුක්ති සාධනය කර නැවත උපත නැති කර දැමීමේ හැකියාව ලැබෙයි. මෙත්තාව පැතිරවිය යුතු ආකාරයත්, ඉන් ලැබෙන ලෞකික ලෝකෝත්තර ප්‍රතිඵලත් මෙහිදී ඉතා මැනවින් ඉදිරිපත් කර ඇත. මෛත්‍රීය පිළිබඳ මේ සූත්‍ර දේශනාවෙන් ද බල පිහිටුවාලන බව කිව යුතු ය.

පිරිත් දේශනයෙහි දෙවැනි තේමාව සච්ච සංකල්පය යි. සත්‍ය ක්‍රියා කිරීමෙන් හෝ සත්‍ය වූ ධර්මය දේශනා කිරීමෙන් සත්‍ය පිළිබඳ බලයක් ජනිත කරවීම පිරිතකදී සිදු වෙයි. බෞද්ධ පිරිත් සූත්‍ර අතර සත්‍ය ක්‍රියාව හා සැබඳි වැදගත්ම සූත්‍රය, රතන සුත්‍රය යි. ගාථා තුනකින් බුදු ගුණ ද, ගාථා දෙකකින් දහම් ගුණ ද, ගාථා නවයකින් සග ගුණද ප්‍රකාශකොට ඒ ඒ රත්න කෙරෙහි සුවිශේෂ වූ වටිනාකම් ඇති බව දක්වමින්, ඒ සත්‍ය බලය තුළින් සෙත් පැතීම රතන සූත්‍රයෙන් සිදු කැරෙයි. එම සෙත් ප්‍රාර්ථනය ‘එතේන සච්චේන සුවත්ථි හෝතු’ යනුවෙන් එහිදී දොළොස්වරක් කරනු ලැබේ.

තුන් රුවනෙහි සත්‍ය වූ ගුණ රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ යන ත්‍රිවිධ භය දුරුකර ගැනීම, සඳහා ‍ෙයාදාගන්නා ආකාරය, රතන සූත්‍රයෙන් වටහාගත හැකි ය.

බුද්ධ හා බෝධි නමස්කාරය තුළින් රක්ෂාවරණ ගුප්තිය ප්‍රාර්ථනා කිරීම, මෝර පරිත්තයේ අරමුණ යි. එහිදී විශේෂයෙන් අතීතයේ විසූ බුදුරදුන් සිහිකරනු ලැබේ. බුද්ධ රත්නය පිළිබඳ සිහි කිරීමකින් බලය පිහිටුවාලීම, මෝර පරිත්තයෙන් සිදු වන බව කිව යුතු ය.

දේවපුත්ත සංයුත්තයේ ඇති චන්ද හා සූරිය පරිත්ත දෙක බුද්ධානුස්සති වෙයි. තමා කරදරයකට පත් වූ විටක බුදුගුණ සිහිකිරීම හා ඉන් පිළිසරණ ලැබුණු අයුරු මෙම පිරිත් සූත්‍ර දෙකින් පැහැදිලි වෙයි. බියට පත් වූ විට සත්‍ය වූ බුදුගුණ සිහිකිරීමෙන් ලද හැකි පිළිසරණ ඉමහත් බව, මේ සූත්‍ර දෙක දෙස බැලීමෙන් අවබෝධ කරගත හැකි ය.

සංයුත්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයෙන් උද්ධෘත ධජග්ග සූත්‍රයෙන් බිය තැති ගැනීම, ලොමු දැහැ ගැනීම ඇති වූ විට තුණුරුවන් ගුණ සිහි කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව ප්‍රකාශ වෙයි. තුණුරුවන්ගේ් සත්‍ය බලය එහිදී ප්‍රකාශ වන අතර, බිය දුරුකරලීම එමගින් සිදු වෙයි. මෙලෙස තෙරුවන් හෝ බුදු රුවන පමණක් හෝ සිහි කිරීමෙන් බලයක් පිහිටුවා ගැනීම මෙන්ම සත්‍ය වූ ධර්මය දේශනා කොට බලයක් පිහිටුවීම ද පිරිතෙන් සිදු කරයි.

මේ නිසා පිරිත් තුළින් ප්‍රකට කැරෙන්නේ, මෛත්‍රියත්, සත්‍යයත් පදනම් කරගත් බලයක් බව කිව හැකි ය. දේශනා සජ්ක්‍ධායනා මාර්ගයෙන් එම බලය පැතිරවීම, පිරිතෙන් සිදුවන බව කිව යුතු ය.

මහනුවර අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ ආචාර්ය,
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මැදගම්පිටියේ විජිතධම්ම හිමි

(පුන්කලස පිටුව)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: