Posted by: lrrp | July 31, 2013

ශ්‍රී සර්වඥ දන්ත ධාතුන් වහන්සේගේ ඉතිහාසය

ක්‍රි: පූ 543 දී සිදු වූ සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව සිදු කෙරුණු ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරිණි. අතිපූජ්‍ය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම මහෝත්සවය සිදුකෙරිණි. ආදාහන පූජෝත්සවයෙන් පසුව ශේෂ වූ සර්වඥ ධාතුන් ඒකරාශී කොට බෞද්ධ රාජ්‍යයන් හෝ නායකයන් අතර බෙදා දීම ද්‍රෝණ බමුණාගේ ද දායකත්වයෙන් සිදු කෙරිණි. එහිදී වඩාත් වැදගත් කොට සලකනු ලැබුයේ දන්ත ධාතූන් සිව් නමය. බුදුදහමේ වඩාත්ම පූජනීය සර්වඥ ධාතුන් වශයෙන් වන්දනයට භාජනය කෙරෙනුයේ ද මෙම සර්වඥ දන්ත ධාතූන් වහන්සේලාය. මහා පරිනිබ්බාන සුත්‍රය ම`ගින් සියවස්‌ ගණනාවක්‌ මුළුල්ලේ සම්බුද්ධ පරිනිර්වානය පිළිබඳ අව්‍යාජ පුවත ලොව පුරා ප්‍රචලිත කිරීමට දායකවිණි.

එකී ප්‍රධාන දන්ත ධාතූන් වහන්සේලාගේ දකුණු දන්ත ධාතුව සදෙව් ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජයාණන්ගේ වන්දනාමාන කටයුතු සඳහා පරිත්‍යාග කළ බවත් ඉතිහාසයේ දැක්‌වේ. තවත් දන්ත ධාතූන් වහන්සේ නමක්‌ එවක ගන්ධාර දේශයේ රජකම් කළ බෞද්ධ රජතුමාගේ වන්දනාමානය උදෙසා පිරිනමා තිබේ. එවක ගන්ධාරය වත්මන් ඇෆ්ගනිස්‌ථානය හා පකිස්‌ථානය අතර බෙදී ගොස්‌ තිබේ. තෙවැනි දන්ත ධාතුන් වහන්සේ නාග ගෝත්‍රිකයන් සිය වන්දනාමානය උදෙසා රැගෙන ගොස්‌ රන් කරඬුවක තැන්පත් කොට වන්දනාමාන සිදු කළ ආකාරය වංශ කතාවන්හී දැක්‌ වේ. මෙහිදී අපගේ අවධානයට යොමු කළ යුතු වැදගත් කාරණයක්‌ වනුයේ එම නාග ගෝත්‍රිකයින් කුමන දේශයකට අයත් පිරිසක්‌ ද යන්න එහි සඳහන්ව නොතිබීමයි. සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ලක්‌දිව වෙත දෙවරක්‌ ම වැඩම කර ඇත්තේ මෙරට උතුරේ පැවැති නාග ගෝත්‍රිකයන් සම්බන්ධ කරුණු කාරණා මතය. බුදුන් වහන්සේ හා බුදුදහම පිළිබඳ මූලික අවබෝධයක්‌, පිළිගැනුමක්‌ නොතිබුණේ නම් එවැනි ගැටුමක්‌ සමථයකට පත් කිරීමට බුදුන් වහන්සේට ඇරයුම් නොකරනු ඇත . ඒ වාගේ ම එම සටනට ඥාතීත්වය මත පාර්ශ්වකරුවෙකු ලෙසින් නාගදීපයට ගොස්‌ සිටි කල්‍යාණි පුර රාජ්‍යයේ රජු වූ මනිඅක්‌ත නාග ගෝත්‍රික රජු බුදුන් වහන්සේට සිය රාජධානියට වැඩම කරන ලෙස ඉල්ලා සිටි අයුරු වංශ කථාවන් හී දැක්‌ වේ. මේ ආකාරයට බුදුන් සරණ ගොස්‌ සිටි ලක්‌දිව නාග ගෝත්‍රික රජෙකුට එම සර්වඥ දන්ත ධාතුන් වහන්සේ කුසිනාරා නුවර දී ලබා දුන්නේ ද යන්න විමසා බැලීම අපගේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන්ගේ වගකීමකි.

මේ ආකාරයට ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේලා තෙනමක්‌ බෙදී ගිය අතර සිව්වැනි ධාතූන් වහන්සේ එවක මහා භාරතයේ වෙනම රාජ්‍යයක්‌ ව පැවැති කාලිංග දේශයට ප්‍රදානය කෙරිණි. නැගෙනහිර ඉන්දියාවේ පැවැති එම කාලිංග දේශය ක්‍රි : පූර්ව තෙවෙනි සියවසේදී අසෝක මහා අධිරාජ්‍යයා ආක්‍රමණය කරන සමයේ දීත් එම ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේ කාලිංග දේශය සතුව පැවැති බව ඉන්දීය ඉතිහාසයේ දැක්‌ වේ. මේ ආකාරයට සියවස්‌ කිහිපයක්‌ ම කාලිංග රාජ පරපුර සිය පණනළ මෙන් සර්වඥ ධාතූන් වහන්සේ රැක බලා ගනිමින් පූජෝපාහාර සිදු කරමින් සිටිය දී ක්‍රි : වර්ෂ 371 දී කාලිංග රාජ්‍යය අසල්වැසි රාජ්‍යයක ආක්‍රමණයකට මැදිව මහා සංග්‍රාමයකට මුල පිරෙණූයේ ද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අත්පත් කර ගැනීම උදෙසා මය.

මේ වන විට කළිඟු රාජධානිය හා ලක්‌දිව අනුරපුර රාජ්‍ය විචාල මහසෙන් මහරජතුමා අතර අතිශය සමීප මිත්‍රත්වයක්‌ පැවැතිණි. එවක කළිඟු දේශ රාජධානිය පාලනය කළ ගුහසිව රජතුමා සිය පණ නළ මෙන් ආරක්‍ෂා කළ ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේ තම මිත්‍ර මහසෙන් රජු වෙත සිය දියණිය හා බෑණනුවන් අතම එවීමට තීරණය කරනුයේ තමා සටනින් පරාජය වේය යන බියත්, එසේ වුවහොත් සතුරා අතට ධාතූන් වහන්සේ පත් වේය යන බියත් කරණ කොට ගෙනය.

මේ ආකාරයට ක්‍රි : වර්ෂ 371 දී ගුහසිව රජුගේ දියණිය වූ හේමමාලි කුමරියත්, බෑණනුවන් වූ දන්ත කුමාරයාත් ලක්‌දිව අනුරාධපුර රාජධානිය වෙත ළඟා වන විට සිය පිය මහරජතුමාගේ මිත්‍ර මහසෙන් රජතුමා අභාවප්‍රාප්ත වී ඔහුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවණ්‌ණ හෙවත් කිත්සිරිමෙවන් රජතුමා රාජ්‍ය විචාලමින් සිටියේය. කළිඟු දේශවාසී රාජකීය යුවළ උත්සවශ්‍රීයෙන් පිළිගෙන රාජකීය අමුත්තන් ලෙසින් සලකා කටයුතු කරමින් එම යුවළ වැඩම කර වූ සර්වඥ ධාතූන් වහන්සේ අභයගිරියවාසී භික්‍ෂුන් වහන්සේ වෙත භාර කළේ රජුගේ වන්දනාමානයටත් සුදුසු ස්‌ථානයක තැන්පත් කරමිනි.

ප්‍රථමයෙන් වඩා ආරක්‍ෂාව ගැන සිතා සිය සිහසුනේ රහසිගතව තැන්පත් කළ දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් විශේෂිත වූ ස්‌ථානයක්‌ නිර්මාණය කර එහි ආරක්‍ෂාව අභයගිරිය වාසී මහ සඟරුවන වෙත පැවරීම වංශ කථා සඳහන් කරයි.

මේ ආකාරයට ක්‍රි : වර්ෂ හතර වෙනි සියවසේ සිට ක්‍රි : වර්ෂ 10 වෙනි සියවස දක්‌වාම සර්වඥ දන්ත ධාතූන් වහන්සේ අනුරපුර රාජධානියේ සුරැකිව අති සම්භාවනීයව වැඩහුන් සේක.

ඉන් අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේ රාජකීය වස්‌තුවක්‌, නිධානයක්‌ සේ සැලකීමටත්, රාජ්‍යත්වයේ සංකේතයක්‌ ලෙසට සැලකීමට පමණක්‌ නොව රාජ මාලිගයේ ම විශේෂ කුටියක සර්වඥ ධාතූන් වහන්සේ වඩා හිඳුවා පුජෝපහාර පැවැත්වීමට රාජකීයයන් පෙළඹීමත් ලක්‌දිව හෙළයින් ගේ සම්ප්‍රදාය බවට පත් විණි.

ක්‍රි : වර්ෂ 10 වෙනි සියවසේ දී පස්‌වෙනි මිහිඳු රජුගේ පාලන සමයේ දී දකුණු ඉන්දීය චෝල අධිරාජ්‍යයකු වූ රාජරාජගේ ආක්‍රමණයෙන් පසුව රුහුණට රැගෙන ගොස්‌ රැක ගත් දළදා වහන්සේ පුරා වර්ෂ 70 කට පසුව ක්‍රි : වර්ෂ 11 වෙනි සියවසේ දී රාජධානිය පොළොන්නරුවට රැගෙන යාමට ආක්‍රමකයා පරාජය කළ කීර්ති කුමාරයා හෙවත් පළමු වෙනි විජයබාහු මහරජතුමා කටයුතු කළේය. ඒ හා සමගම සර්වඥ දන්ත ධාතූන් වහන්සේ වඩා හිඳුවීම උදෙසා අටදාගෙය නමින් අලංකාරවූත්, සුවිශේෂ වූත් විහාරයක්‌ කරවීමටත් විජයබාහු රජතුමා පියවර ගත්තේය. එහි දළදා වහන්සේට අමතරව පාත්‍ර ධාතූන්වහන්සේ තැන්පත් කළ බව වාර්තාවේ. විජයබාහු රජුගෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේගේ ආරක්‍ෂාව උදෙසා රෝහණය වෙත රැගෙන ගිය බවක්‌ වංශ කථාවන්හී දැක්‌වේ.

මේ අතර ක්‍රි : වර්ෂ දොළොස්‌ වෙනි සියවස හෙවත් ක්‍රි : වර්ෂ 1153 දී පොලොන්නරුව රාජධානියේ රාජ්‍යත්වයට පත් වන මහා පරාක්‍රමබාහු මහරජ තුමා රෝහණ දේශයේ ධාතූන් වහන්සේ සඟවා තිබූ ස්‌ථානයෙන් නැවතත් වඩමවා ගෙන විත් පොලොන්නරුව අටදාගෙය විහාරස්‌ථානයේ ම තැන්පත් කළේය. ඉන් අනතුරුව බලයට පත් ඉන්දියානු සම්භවයක්‌ ද සහිත නිශ්ශංක මල්ල රජතුමා :ක්‍රි : වර්ෂ 1187 – 1196) ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේ වඩාහිඳුවීම උදෙසා හැටදාගේ නමින් ප්‍රකට විහාරස්‌ථානයක්‌ ද පොලොන්නරුවේ ඉදි කළේය. හැටදාගෙය යනු අටදාගේ විහාරස්‌ථානය විශාල කොට සැකසූවක්‌ සේ බැලූ බැල්මට දිස්‌ වේ.

කොහොම නමුත් ක්‍රි : වර්ෂ 13 වෙනි සියවස වන විට නැවතත් ඇරඹුණු දකුණු, ඉන්දියානු කාලිංග මාඝ සොලී ආක්‍රමණය කරණ කොට ගෙන ලක්‌දිව අගනුවර හා රාජධානිය පොලොන්නරුවෙන් ඉවත් කොට රටේ නිරිතදිගට රැගෙන යාමට සිදු වූයේ ආක්‍රමණිකයාගෙන් ආරක්‍ෂාව පතාය. දෙවන විජයබාහු රජතුමා දඹදෙණියේ රාජධානියේ රාජ්‍යත්වයට පත් වීමෙන් පසුව දළදා වහන්සේ හා පාත්‍ර ධාතූන් වහන්සේ කොත්මලේ ප්‍රදේශයෙන් බෙලිගල ප්‍රදේශයට වැඩම කරවා එහි ආරක්‍ෂිතව තැන්පත් කළ ආකාරය වංශ කථා විස්‌තර කරයි. දෙවෙනි විජයබාහු රජුගෙන් පසුව ලක්‌දිව රාජ්‍යත්වයට පත් වූයේ ඔහු පුත් දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාය. එතුමා ක්‍රි : වර්ෂ 1270 දක්‌වා දඹදෙණිය රාජධානිය පාලනය කළේය. කව්සිළුමිණ ඇතුළු සම්භාවනීය ශාස්‌ත්‍රීය ග්‍රන්ථ ගණනාවක්‌ ම රචනය කළ පරාක්‍රමබාහු රජතුමා පණ්‌ඩිත පරාක්‍රමබාහු නමින් ද ප්‍රකට විය. එම යුගයට සමාන්තරව කටුගම්පොළ රාළ හෙවත් කටුගම්පොළ සිවුරළු උන්නාන්සේ රජතුමාගේ මොහොට්‌ටාල ලෙසින් කටයුතු කළ ආකාරයත් ශාස්‌ත්‍රීය ග්‍රන්ථ ගණනාවක්‌ ම රචනය කළ ආකාරයත්, රජුගෙන් නින්දගම් ගම්වර වශයෙන් ලැබූ අයුරුත් රැකෝගම පොත්ගුලේ පුස්‌කොළ පොත්වල සඳහන් වේ.

පණ්‌ඩිත පරාක්‍රමබාහු මහරජතුමා සිය මාලිගාව අසළ දඹදෙණිය ශිඛරය යාබදව ආරක්‍ෂිතව ගොඩ නැගූ සුවිශේෂ මාලිගාවක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළේය. මෙම යුගයේ දී ජාවා රාජධානියේ අධිරාජ්‍යයා ලක්‌දිව ආක්‍රමණය අරඹමින් පැවැති සාමකාමී පරිසරයටත්, සවයංපෝෂිත භාවයටත් හානි පමුණුවාලීමට කටයුතු කළේය. චන්ද්‍රභානු නමැති ඒ අධිරාජ්‍යයාගේ ආක්‍රමණය පරාජය කරමින් ලක්‌දිවින් නෙරපා හැරීමට දෙවැනි පරාක්‍රමබාහු රජතුමා සමත් විණි.

මේ අතර රට ඓතිහාසික නියඟයක්‌ මතින් නිර්මාණය වූ සාගතයකට මුහුණ දීමට අපගේ මාතෘභූමියට සිදු විණි. එම අවස්‌ථාවේ දී ශ්‍රී සර්වඥ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබූ මාළිගාවෙන් පිටතට ගෙන දින 07 ක්‌ මුළුල්ලේ පූජෝපහාර පැවැත්වීමත් සමගම ඒ දක්‌වා පැවැති නියඟය නිමා කරමින් මහා වර්ෂා ඇද වැටීම ඇරඹිණි. ඉන් අනතුරුව දළදා පෙරහැර නැවතත් ඇරඹීමට පණ්‌ඩිත පරාක්‍රමබාහු මහ රජතුමා පියවර ගත්තේය.

දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ ඔහු පුත් දෙවෙනි විජයබාහු යුව රජු විසින් දළදා මලිගාව වඩාත් පුළුල් හා අලංකාර කිරීමට කටයුතු කළේය. පොලොන්නරුව රාජධානියේ කාලිංග මාඝ ආක්‍රමණයෙන් විනාශ කෙරුණු බෞද්ධ සිද්ධස්‌ථාන නැවත ප්‍රතිසංස්‌කරණය කිරීමටත් පෙළඹුණු දෙවෙනි විජයබාහු යුව රජතුමා පොළොන්නරුවේ දළදා මාලිගාව ද නැවත ප්‍රතිසංස්‌කරණය කොට දළදා වහන්සේ එහි තැන්පත් කළ ආකාරයත් ඉතිහාසයේ දැක්‌ වේ. සිය රාජාභිෂේකය ද පැවැත්වීමට දෙවෙනි විජයබාහු යුව රජු තෝරා ගත්තේ එම ස්‌ථානය බවත් ප්‍රකටය.

මේ ආකාරයට රාජ්‍යත්වයට පත් දෙවෙනි විජයබාහු රාජ්‍යපාලන සමයේ දීත් අග්නිදිග ආසියානු කලාපය තුළ සිය අධිරාජ්‍යය ගොඩනගාගෙන සිටි ජාවාහී චන්ද්‍රභානු නැවතත් ලක්‌දිව ආක්‍රමණය කළේය. එම අවස්‌ථාවේදීත් චන්ද්‍රභානු අධීරාජ්‍යයා ලක්‌දිව රජුගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේ වීම තුළින් අග්නිදිග ආසියානු අධිරාජ්‍යයා තුළත් බුදුදහම කෙරෙහි පැවැති සබඳතාවය අනාවරණය කෙරේ.

මේ අතර ඇතැම් දේශීය වාර්තාවන්ට අනුව චන්ද්‍රභානු ආක්‍රමණිකයාව දෙවෙනි වරටත් පරාජය කර පලවා හැරීමට සිංහලේ රජු සමත් විය. අනතුරුව රාජ්‍යත්වයට පත් වූ පළමුවෙනි බුවනෙකබාහු රජු දඹදෙණිය අතහැර යාපහුව රාජධානිය ගොඩ නැගුවේය. එහි සිය මාලිගයට ආසන්නව ඉතිහාසයේ අලංකාරතම දළදා මාලිගාවක්‌ ද ගොඩ නැගූ බවට එහි වත්මන් නටබුන් පවා සාක්‍ෂි දරයි. කෙසේ වුවත් යාපහුව රාජධානිය සීගිරිය මෙන් ම ඉතාමත් කෙටි කාලයකට සීමා විණී. දළදා වහන්සේ උදෙසා දෛනිකව කෙරෙන විශේෂ රාජකීය පූජාව අඛණ්‌ඩව පවත්වා ගෙන යාමටත් බුවනෙකබාහු රජතුමා කටයුතු කිරීමත් සුවිශේෂ සිද්ධියකි.

පළමුවෙනි බුවනෙකබාහු රජතුමාගේ ඇවෑමෙන් පසුව නැවතත් ලක්‌දිව රාජ්‍යය බරපතළ අර්බුදකාරී යුගයකට අවතීර්ණ විණි. ස්‌වභාවිකව නැවතත් මහා නියඟයක්‌ හා සාගතයක්‌ රාජ්‍යය පුරා ව්‍යාප්තවීමේ වාර්තා ඉතිහාසයේ දැක්‌වේ. ඒ අතරම එවක දකුණු ඉන්දියාව පාලනය කළ පාණ්‌ඩය රාජ්‍යයේ සිටි ඉන්දීය ද්‍රවිඩ ඉතිහාසයේ ද වීරවරයෙකු වූ ආර්ය චක්‍රවර්තීගේ ප්‍රධානත්වයෙන් විශාල ආක්‍රමණික හමුදාවක්‌ ලක්‌දිව රාජ්‍යයට කඩා වැදී බොහෝ හානි සිදු කරමින් රාජ්‍ය භාණ්‌ඩාගාරය ද මංකොල්ල කා රැගෙන ගියහ. ඒ හා සමගම ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේත්, පාත්‍ර ධාතුන් වහන්සේත් රැගෙන යාමත් සුවිශේෂ සිද්ධියකි.

මෙය සිදු වනුයේ ක්‍රි : වර්ෂ 13 වෙනි සියවසේ දීය. මොංගෝලියාවෙන් බිහිව ලෝකය ආක්‍රමණය කළ ජෙංගිස්‌ඛාන් අධිරාජ්‍යයාගේ මුණුබුරු කුබ්ලායි ඛාන් අධිරාජ්‍යයා කැතේ රාජ්‍යය හෙවත් චීනය ඇතුළු මහා දේශයක්‌ පාලනය කළ සමයට සමගාමීවය. ආර්ය චක්‍රවර්තී පැහැර ගෙන ගිය දළදා වහන්සේ හා පාත්‍ර ධාතුව පණ්‌ඩ්‍යයන් රාජධානියේ අග රජ වූ කුලසේකර අධිරාජ්‍යයාට භාර දීම සිදු කෙරිණි.

තෙවෙනි පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වයට පත් වනුයේ මෙම පසුබිම තුළය. රාජාභිෂේකයෙන් පසුව පාණ්‌ඩ්‍ය දේශය බලා ගිය තෙවෙනි පරාක්‍රමබාහු රජතුමා පාණ්‌ඩ්‍ය රාජ්‍යයේ රජතුමා සමග සාකච්ඡා කොට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ නැවතත් ලක්‌දිව වෙත රැගෙන ඒමට සමත් විය. එසේ වැඩමවා වදාළ ධාතූන් වහන්සේ පොළොන්නරුවේ දළදා වහන්සේ තැන්පත් කොට තිබූ පෞරාණික විහාරස්‌ථානය ප්‍රතිසංස්‌කරණය කරවා එහි තැන්පත් කිරීමට පියවර ගත්තේය.

මේ අතර මොංගෝලියානු අධිරාජ කබ්ලායි ඛාන් ගේ රාජ සභාවේ සේවය කළ ඉතාලියානු දේශ ගවේශක මාර්කෝ පෝලෝ ගේ වාර්තාවන්ට අනුව කුබ්ලායි ඛාන් අධිරාජ්‍යයා ලක්‌දිව හෙවත් සිංහලේ රජතුමා වෙත දූත පිරිසක්‌ එවමින් ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේත්, කේශ ධාතූන් වහන්සේත්, පාත්‍ර ධාතූන් වහන්සේත් ඉල්ලා තිබේ. එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමේ අනතුරත් අවබෝධ කොටගෙන ඇති සිංහලේ රජතුමා ඉතාමත් උපක්‍රමශීලී ලෙසින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දෙනමක්‌ කුබ්ලායිඛාන් අධිරාජ්‍යයා වෙත තෑගි වශයෙන් යවා තිබේ. ඉතාමත් ගෞරවණීය ලෙසින් එම ත්‍යාගය භාර ගෙන ඇති අධිරාජ්‍යයා එයට පූජෝපහාර පැවැත්වීම ඇරඹූ ආකාරයත් මාර්කෝ පොලෝ සිය වාර්තා මගින් අනාවරණය කරයි.

ආර්ය චක්‍රවර්තී යාපාපටුන කෙටි කාලයක්‌ පාලනය කළ ආකාරයත් අපේ ඉතිහාසයේ දැක්‌වේ.

මේ අතර කුරුණෑගල රාජධානිය කොටගත් සිව්වෙනි පරාක්‍රමබාහු මහ රජු දළදා සිරිතේ දැක්‌වෙන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරමින් එහි සඳහන් සම්ප්‍රදායන්ට අනුකූලවම දළදා වහන්සේගේ වත් පිළිවෙත් පූජෝපාහාර දැක්‌වීම සිදු කළේය. ඔහුගෙන් පසුව කුරුණෑගල රාජධානියේ රාජ්‍යත්වයට පත් වූ සිව්වන බුවනෙකබාහු රජු සිය අගනගරය ලෙසින් ගම්පොළ නගරය හෙවත් ගඟසිරිපුර තෝරා ගත්තේය. එහෙත් දළදා වහන්සේ ගම්පොළ රාජධානිය වෙත රැගෙන ගියාද යන්න අපේ මහා වංශය ඇතුළු වංශ කථාවන්හී සඳහන් නොවීමත් සුවිශේෂ කාරණයකි. සිව්වැනි බුවනෙකබාහුගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ තෙවෙනි වික්‍රමබාහු රජතුමාගේ පාලන සමයේ දී දන්ත ධාතූන් වහන්සේ ගම්පොළ රාජධානිය වෙත වැඩමවාලීම සිදු කෙරිණි. ගම්පොළ නියංගම්පාය ප්‍රදේශයේ දළදා විහාරයක්‌ කරවීමේ ගෞරවය තෙවැනි වික්‍රමබාහුට හිමිව තිබේ.

ක්‍රි : වර්ෂ 1372 දී පස්‌ වෙනි බුවනෙකබාහු මහරජු බලයට පත් වනුයේ එම පසුබිම තුළය. හෙතෙම සිය රාජධානිය කර ගනුයේ ජයවර්ධනපුර කෝට්‌ටේ පුරවරයයි. එහෙත් ශ්‍රී දළදා වහන්සේ කෝට්‌ටේ වෙත වැඩම කරවීමට හෙතෙම කටයුතු නොකළ බවත් ඉතිහාසයේ දැක්‌වේ. ක්‍රි : වර්ෂ 1408 දක්‌වා පස්‌වෙනි බුවනේකබාහු රජු රාජ්‍යය විචාලේය. ඉන් අනතුරුව පාලනයට පත් වූයේ වීරබාහු රජතුමාය. හෙතෙම දළදා වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ රාජධානියට වැඩම කරනුයේ දළදා මාලිගාවක්‌ ද ඉදිකරමිනි. සුපතළ චීන ජාතික අද්මිරාල් ඉයුනුච් ෂෙන්ග් හෙවත් චෙන්ග් හෝ ලක්‌දිව රාජ්‍යය වෙත ළඟා වනුයේ මෙම වීරබාහු මහරජුගේ පාලන සමයේදීය. හෙතෙම වීරබාහු රජතුමා ඇතුළු රාජකීය පවුලත්, දළදා සමිඳුනුත් චීනයට රැගෙන ගිය බවත්, ධාතූන් වහන්සේ උදෙසා දළදා පෙරහැර ඇතුළු උත්සව රැසක්‌ ද එහි පැවැත්වීමට කටයුතු කළ බවත් ඇතැම් වාර්තාවන්හී දැක්‌ වේ. ක්‍රි : වර්ෂ 1706 දී එතුමාගේ අභාවය ද සිදු වූ අතර ක්‍රි : වර්ෂ 1707 දී සිංහලේ අවසන් සිංහල රජතුමා වූ වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වීම සිදු කෙරිණි. ක්‍රි :වර්ෂ 1707 දී බලයට පත් වූ හෙතෙම ක්‍රි : වර්ෂ 1739 දක්‌වා රට පාලනය කළේය. දළදා මාලිගාව ප්‍රතිසංස්‌කරණය කිරීමට හෙතෙම පියවර ගත්තේය. 1739 දී එම රජු අභාවයට පත් වූයේ සිය කිරුළට උරුමකරුවෙක්‌ ද නොමැති පසුබිමකය. ඒ අනුව නරේන්ද්‍රසිංහ මහරජුගේ නායක්‌කර් වංශික බිසවගේ සොහොයුරා බලයට පත්වීමත් සමගින් සිංහලේ කිරුළ නායක්‌කර් වංශය සතුවිණි. උපතින් හින්දු භක්‌තිකයින් වුවත්, ඔහු හා ඔහුගේ අනුප්‍රාප්තිකයන් වූ රාජාධිරාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ බෞද්ධ කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීමත් සුවිශේෂ කාරණයකි.

ඇතැම් වාර්තාවන්ට අනුව දළදා වහන්සේ චීනයට රැගෙන යාමක්‌ සිදු වී නැත . හය වෙනි පරාක්‍රමබාහු රජතුමා බලයට පත්වීමත් සමගම දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරන වතාවත්, පුද පූජා, පෙරහැර ඇතුළු උත්සව සියල්ල නැවතත් ඇරඹීම තුළින් තහවුරු කෙරෙනුයේ දළදා වහන්සේ චීනයට රැගෙන යාමට අද්මිරාල් චෙංග් හෝ සමත් ව නැති බවයි. හය වෙනි පරාක්‍රමබාහු රජතුමා දළදා වහන්සේ උදෙසා තෙමහල් සිද්ධස්‌ථානයක්‌ හා රනින් නිම කළ කරඬු 04 ක්‌ ද නිර්මාණය කළ බවත් ඉතිහාසයේ දැක්‌ වේ.

ක්‍රි: වර්ෂ 1505 දී ප්‍රථම යටත් විජිත බලවතා ලෙසින් ප්‍රකට පෘතුගීසීන් ලක්‌දිවට ගොඩ බසිනුයේ ද මෙම යුගයේ දීය. බෞද්ධ කටයුතුවලටත්, භික්‍ෂුන් වහන්සේලාටත් කරදර ගෙන දෙන කාල පරිච්ඡේදයක ඇරඹුම සේම මිෂනාරී ආගම් ව්‍යාප්ත කිරීමට ආක්‍රමණික බලය දායක කරගත් බොදුණු සමාජයට හානිකර යුගයක්‌ ඒ හා සමගින් ඇරඹිණි. දළදා වහන්සේ කොළඹට නුදුරු ජයවර්ධනපුර කෝට්‌ටේ ප්‍රදේශයෙන් ඉවත් කොට ආරක්‍ෂාකාරී වූත්, රහසිගත වූත් ස්‌ථාන කරා රැගෙන යාමට සිංහල ප්‍රධානීන්ටත්, භික්‍ෂූන් වහන්සේටත් සිදුවන තත්ත්වයක්‌ උදාවිණි. ඒ අනුව ප්‍රථමයෙන් සීතාවක මායාදුන්න රජතුමාගේ රාජධානියට අයත්ව පැවැති රත්නපුර දෙල්ගමුව විහාරස්‌ථානය වෙත රැගෙන යාමට පෙර දළදා වහන්සේ ඈත එපිට රුහුණේ මුල්ගිරිගල පුරාණ විහාරය වෙත වැඩම කළහ. එම ස්‌ථානයෙන් නැවතත් කුරුණෑගල රිදීවිහාරය වෙත වැඩම කරවීමට කටයුතු කෙරිණි. එතනින් රැගෙන විත් රත්නපුරයේ දෙල්ගමුව මහා විහාරයේ තැන්පත් කළහ.

මේ අතර ක්‍රි : වර්ෂ 1592 දී මහනුවර රාජධානිය ගොඩනැගීමට කොනප්පු බණ්‌ඩාර හෙවත් පළමුවෙනි විමලධමර්සූරිය රජතුමා දළදා වහන්සේ මහනුවරට වැඩම කරවා වඩා හුඳුවීමට දළදා මාලිගාවක්‌ ද ගොඩනැගුවේය. ක්‍රි :වර්ෂ 1603 දී පළමු වෙනි විමලධමර්සූරිය රජතුමා දිවංගත විණි. ක්‍රි : වර්ෂ 1765 දී ඕලන්ද ජාතිකයින් නිර්මාණය කළ නාගරික සැලැස්‌මකට අනුව දළදා මාලිගා භූමියේ සිද්ධස්‌ථාන ගොඩනැගිලි දෙකක්‌ භූමි සැලැස්‌ම තුළින් දිස්‌වේ. එකක්‌ දිස්‌ වනුයේ පසුපසිනි. එය රජතුමා ගොඩනැගු මුල් ගොඩනැගිල්ල බවට විශ්වාස කෙරේ. රජු සිය මාලිගාව ආසන්නයේ ම දළදා මාලිගාව ද ඉදිකිරීමත් සුවිශේෂ කාරණයකි.

විමලධර්මසූරිය රජුගේ අභාවයත් සමගම රාජධානියේ පාලන කටයුතුවල සේම බෞද්ධ කටයුතුවලත් අවුල් සහගත තත්ත්වයක්‌ නිමර්dණය විණි. සෙනරත් කුමරා රාජ්‍යත්වයට පත් වනුයේ එම පසුබිම තුළය. එය ද සිදු වනුයේ ක්‍රි : වර්ෂ 1603 දීය. සෙනරත් රජු ක්‍රි : වර්ෂ 1634 දක්‌වා රජකම් කළ අතර, හෙතෙම විමලධර්මසූරිය රජතුමාගේ සහෝදරයාය. ඔහුට එරෙහි විරුද්ධ බලවේග ගණනාවක්‌ ම නිර්මාණය විණි. සෙනරත් රජතුමාට මහනුවර මාලිගාව අතහැර මහියංගනය ප්‍රදේශයේ පදිංචිවීමට සිදු වනුයේ සිය ආරක්‍ෂාව සහතික කර ගැනීම උදෙසාය. එම වකවානුව තුළ දී ශ්‍රී දළදා වහන්සේත් මැදමහනුවර ඉදිකළ තාවකාලික මාලිගයක්‌ වෙත රැගෙන යාමට රජු කටයුතු කළේ දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක්‌ බවට වූ සම්ප්‍රදායක්‌ ද හෙළ සමාජය තුළ නිමර්dණය වී තිබූ හෙයිනි. එය ඉතාමත් ආරක්‍ෂාකාරී ස්‌ථානයක්‌ බව තහවුරු කෙරුණේ අවට භූමිය ඝන කැලෑවකින් වටව තිබූ පසුබිම තුළයි.

මේ ආකාරයට සතුරු බලවේගවලින් ආරක්‍ෂාවීමට ප්‍රමුඛත්වය දී කටයුතු කළ සෙනරත් රජු සිය 31 වර්ෂක රාජ්‍යත්වයට ආයුබෝවන් කියමින් ක්‍රි :වර්ෂ 1634 දී මෙලොව හැර ගියේය. ඉන් අනතුරුව බලයට පත් වූයේ දෙවෙනි රාජසිංහ පාලන සමයයි. ඒ වන විට දේශීය දේශපාලනික කටයුතුවලට බරපතළ ලෙසින් මැදිහත්වීමට පෘතුගීසීන් පෙළඹී තිබිණි. දෙවෙනි රාජසිංහ රජතුමා එයට මුහුණ දීම උදෙසා ඕලන්ද ජාතිකයන්ගේ සහාය ලබා ගැනීමට පෙළඹුණි. ඉඟුරු දී මිරිස්‌ ගත් කථාව නිමර්මාණය වීමට පසුබිම සැකසෙනුයේ එම තත්ත්වය තුළයි. රජුගේ එම අඥාණ ක්‍රියාදාමයට උඩරට ජනතාවගේ සහාය හෝ එකඟතාවයක්‌ නොලැබීමත් කැපී පෙනුනු කාරණයකි. දේශපාලනික අර්බුද වර්ධනය වීමට එම පසුබිම ද බලපෑවේය. එය වාර්ෂික දළදා පෙරහැර පැවැත්වීම ඇනහිටුවීමට තරම් ප්‍රබල විණි.

කොහොම නමුත් 1634 දී බලයට පත්ව ක්‍රි : වර්ෂ 1686 දක්‌වා වර්ෂ 52 ක කාලයක්‌ රාජ්‍යත්වය දැරීමට දෙවෙනි රාජසිංහ රජු සමත් විය. ක්‍රි : වර්ෂ 1686 දී රජතුමාගේ අභාවය සිදුවීමත් සමගම දෙවෙනි විමලධර්මසූරිය රජතුමා බලයට පත් විණි. ඔහු උපායශීලීව ඕලන්ද ජාතිකයින් සමග සුහද සබඳතා ගොඩනගා ගනිමින් බෞද්ධ ආගමික වතාවත් හා උත්සවවලට එරෙහිව තිබූ පරිසරය තුනී කර ගනිමින් ආගමික කටයුතු නිසි ලෙස පැවැත්වීමට සමත් විය. මහනුවර දළදා මාලිගා භූමිය තුළ තෙමහල් ගොඩනැගිල්ලක්‌ ඉදිකිරීමටත් හෙතෙම සමත් විණි. දළදා වහන්සේ තැන්පත් කිරීම උදෙසා දෙවෙනි විමලධර්මසූරිය රජතුමා තවත් රන් කරඬුවක්‌ ද නිර්මාණය කළේය. ක්‍රි : වර්ෂ 1796 දී ලංදේසීන් පරාජය කරමින් ලක්‌දිව පහතරට පාලනය ඉංග්‍රීසීන් අතට ගත් අතර 1815 මාර්තු 02 වෙනිදා උඩරට සිංහල ප්‍රධානීන් සමග කුපූකට උඩරට ගිවිසුම අත්සන් කරමින් සිංහලේ මුළුමහත් රාජ්‍යයම තමන් සතුකර ගැනීමට ඉංග්‍රීසීන් සමත් වනුයේ සිංහල කිරුළ හෙබ වූ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ද සිය අත්අඩංගුවට ගත් පසුබිම තුළය. ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වෙනුවෙන් සම්ප්‍රදායික වත් පිළිවෙත් කිරීම සිදු නොකිරීමත් ඇතුළු කරුණු රාශියක්‌ පදනම් කොටගෙන 1818 දී ඉංග්‍රීසි පාලනයට එරෙහිවත්, හෙළයාගේ විමුක්‌තිය පතාත් ප්‍රථම විමුක්‌ති අරගලය සිදු කෙරිණි. ඉංග්‍රීසි ජාතික ලේඛකයින්, ඉතිහාසඥයින් එය 1818 උඩරට කැරැල්ල ලෙසින් ප්‍රචලිත කළේය. ආක්‍රමණිකයාට, යටත් විර්ත හාම්පුතාට එරෙහිව සිදු කරන සටන විමුක්‌ති අරගලයක්‌ විනා කැරැල්ලක්‌ වන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමට අපගේ ඉතිහාසඥයන්, විද්වතුන්, දේශපාලඥයින් නොපෙළඹීමත් සුවිශේෂ කාරණයකි.

කොහොම නමුත්, 1818 ප්‍රථම විමුක්‌ති අරගලය අතිශය කුරිරු හා ම්ලේච්ඡ අයුරින් මර්දනය කිරීමට එවක ඉංග්‍රීසි පාලකයාව සිටි රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා කටයුතු කළ ද, ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ පාලනය මල්වතු, අස්‌ගිරි පාර්ශ්වයන්හී මහනායක හිමිවරුන් දෙනම හා දියවඩන නිලමේවරයාට භාරදීමටත්, වාර්ෂික දළදා පෙරහැර පැවැත්වීමට සහායවීමටත් සිදුවූයේ ලිතවත් ප්‍රතිඥා දෙමිනි. එවක සිංහල බෞද්ධයා සිය දිවි දෙවෙනි කොට ශ්‍රී දළදා වහන්සේට සිය හදවතින්ම ආදරය, ගෞරවය, භක්‌තිය පිදූ බව ඉතිහාසය මුළුල්ලේම සිදු වූ බොහෝ දෑ සාක්‍ෂි දරයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: