Posted by: lrrp | August 10, 2013

මට දුව ළඟට නෑවිත් ඉන්න බැරිවුණා

බෞද්ධයින් යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු අතරින් සමහරෙක් උදේ හවස තෙරුවන් වැඳ පන්සිල්හි පිහිටා තුන් සූත්‍රය සජ්ඣායනා කරන්නට නොපෙලඹුණත් දෙවියන්ට යැයි කියා පහන් දල්වති. සමහරු විචිත්‍ර “මල් පැලවල්” සාදා ගෙන පහන් දල්වති. තවත් සමහරු ටින් කබල් ඇතුළේ පහන් දල්වති. දෙවියෝ නම් “මානාති මානඃ” ය. මේ ටින් කබල්වලට දෙවියෝ බැල්ම නොහෙළන බව ඔව්හු නොදනිති. මේවාට රිංගන්නේ යන එන මං නැතිව අතරමංව සිටින මළ පෙරේතයෝ ය. ඥාති ප්‍රේතයෝ ය. මෙසේ පහන් දල්වන්නෝ ඔවුන් සිතා සිටින දෙවියන්ට හෝ වේවා පහන් දල්වන්නේ ඒ දෙවියන්ට ඇති අමුතු ගෞරවයක් නිසා ද නොව “වාසියක්” ලබා ගැනීමේ අදහසිනි. මොව්හු එයින් ලබන වාසියට වඩා කලකදී නැති කරදර ඇති කැර ගනිති. තවත් සමහරු නොදන්නා දේ කරන්නට ගොස් අමාරුවේ වැටෙති.

රත්නාවතී නාරම්මල පදිංචිකාරියකි. පනස් දෙහැවිරිදි ය. අවිවාහකය. පවුලේ සමීප ඥාති යුවලක් සමඟ ඇය ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආවේ ඇගේ ශරීරයෙන් සියයට හැටක් පමණ ලේ පිළිකාවෙන් (ලියුකේමියා) ආක්‍රමණය වුණාට පසුවය. හිසකෙස් සම්පූර්ණයෙන් හැළී ගොස් ඇත.

ගවේෂකවරයා ඉදිරියේ දී ඇය ප්‍රලයව කෑ ගසා හඬා වැටුණා ය. “අනේ මාව එළවන්න එපා. පිච්චෙනවා. දැවිල්ලයි දැවිල්ලයි” කියමින් සිහිසුන්ව වැටුණාය. බෝධි පූජා හතක් පවත්වා නැවත එන්නැයි ඇයට උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ පැමිණි විට දී ද ඇය ප්‍රලය වූවාය. එදින ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කව්ද මේ?”

“රත්නාවතීගේ පුංචි අම්මා”

“නම මොකක්ද?”

“කමලාවතී”

“ඇයි මේ ශරීරයට රිංගුවේ?”

“මේ දුවට තියෙන ආදරයට”

“මොනවා වෙලා ද මැරුණේ?”

“ලියුකේමියාවෙන්”

“ඇයි රත්නාවතීට විශේෂ ආදරයක්?”

“මේ දුව තමයි මට සාත්තු කළේ. අවුරුද්දක්ම මට සැලකුවා.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සේ මම මළා”

“ඔව් ඔබ ලේ පිළිකාවෙන් මළා. ආදරේට ය කියා මේ දුවගෙ ඇඟට රිංගුවා. දැන් ඒ දුවටත් ඒ ලෙඩේ ම හැදිලා. ආදරේට ඇවිත් කළ දේ හොඳ නේද? තමන්ට බැරි වෙලාවෙ සාත්තු සප්පායම් කළ දුවට ඔබ මහා අපරාධයක් කරලා. වහාම ඇගේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න. දුවට ආදරේ නම් ඒක තමයි කළ යුත්තේ.”

“අනේ මහත්තයා මම ඒක දන්නේ නෑ. මම යනවා. මම යනවා. මේ දැන් යනවා.”

“බෝධියක් ළඟට යන්න කැමති ද?”

“මුන්නේශ්වරමට යන්න කැමතියි”

“අපි කෝවිල්වලට යවන්නේ නෑ. ඔබ කැමතිනම් මුන්නේශ්වරමට යන්න.”

“හොඳයි මම යන්නම්” යැයි ප්‍රේත ජීවියා ඉවත්ව ගියාය.

එයින් දින දෙකක සිට රත්නාවතීගේ රෝග තත්ත්වය යහපත් අතට හැරෙන්නට වූ බව ඇය දුරකථනයෙන් දැන්වූවාය. තවත් දින දහ හතරක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් ලැබුණි.

ඒ දින දහහතර ගතවන විට රත්නාවතීගේ එතෙක් පැවැති සියයට පහයි දශම දෙකක රතු රුධිරානු තත්ත්වය සියයට එකොළහයි දශම පහ දක්වා වැඩි වී තිබුණි. එය ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ පවා මවිතයට හේතු වී තිබුණි. ඊට අමතරව ඇගේ ශක්ති ශරීරය වර්ධනය කැර ගැනීමට බුදු ගුණ භාවනාවක් ද ආධ්‍යාත්මීය උපදේශකවරයා නියම කළේය.

යළිත් මාසයකින් පමණ රත්නාවතී පැමිණ ආධ්‍යාත්මීය උපදේශකවරයා හමු වී තම රෝග තත්ත්වය නැවත කලින් තත්ත්වයට ම (පිළිකාව) වර්ධනය වී ඇති බව කීවා ය. උපදේශකවරයා ඇගේ විස්තර අසා දැන ගත්තේය.

“වෙන කෙනෙක් නම් මම දැන් පන්නා ගන්නවා. කියන විදිහට පිළිවෙත් නොකර පණ්ඩිතකම් කරනවාට. තමුන් මරණය අබියස ඉන්න කෙනෙක් නිසා මම ප්‍රතිකාර කරනවා” යැයි නැවත දිෂ්ටි ගැන්වීය. රත්නාවතී ප්‍රලය වූවාය.

“කව්ද මේ?”

“මම කමලාවතී”

“එදා මුන්නේශ්වරම් යනවා කියලා ගිහින් ඇයි ආයෙත් ආවේ?”

“මට නෑවිත් ඉන්න බැරිවුණා. ඒ නිසා දුව ළඟට ආවා.”

“ඇයි නෑවිත් බැරි?”

“මේ දුව දින පතා ම බුදු පහන ළඟින් මට කෑම භාජනයක් තියනවා. මළවුන් පුදන්න එපා කියලා ඔබතුමා උපදෙස් දුන්නත් දුව ඒක ඇහුවෙ නෑ. හැමදාම මගේ නමට ආහාර පූජා කළා. ඉතින් මට නෑවිත් ඉන්න බැරිවුණා. මම ඇදිලා ආවා.”

ප්‍රේත ජීවියා ශරීරයෙන් ඉවත් කොට රත්නාවතීට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් දැම්මේය. තවත් බෝධි පූජා දහ හතරක් පවත්වන්නට නියම කළේය.

තවත් සති තුනක් ගත වන විට ඇගේ රතු රුධිරාණු තත්ත්වය ඉහළට නැග තිබුණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: