Posted by: lrrp | August 20, 2013

ප්‍රථම ධර්ම සංඝායනාව ඇරැඹි නිකිණි පොහොය

අද නිකිණි පුර පසළොස්‌වක පොහොය දිනයයි. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස්‌ මගහැරී ගිය භික්‍ෂූන් වහන්සේලා පසුවස්‌ එළඹෙන දිනය වීම, බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන්කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම හා පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම යන කරුණු නිකිණි පොහොය හා සම්බන්ධයෙන් වැදගත් තැනක්‌ ගනියි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුදහම සම්බන්ධයෙන් එල්ලවූ විනය විරෝධී දෘෂ්ටීන් සියල්ල මුලිනුපුටා දමා ශාසනය චිරස්‌ථායි කිරීමේ උදාරාධ්‍යාශයෙන් ප්‍රථම මහා ධර්ම සංගායනාව පැවැත්වීය. බුදුරදුන් දේශනා කළ ධර්මය ක්‍රමානුකූලව සකස්‌ කොට එය ආරක්‍ෂා කරලීම සඳහා ගත් මූලික පියවර වශයෙන් එය හැඳින්විය හැකිය. එබැවින් ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී ශාසන ඉතිහාසයෙහි දැක්‌වෙන ආදිම වැදගත් සිද්ධිය වේ. ධර්ම සංගායනාවට පෙර බුදුරදුන්ගේ අග්‍ර උපස්‌ථායක ආනන්ද හිමි රහත් භාවයට පත්වීම ද තවත් වැදගත් සිදුවීමකි.

විනය විරෝධීන් ගේ එක්‌ සංකේතයක්‌ වූ සුභද්‍ර භික්‍ෂුවගේ විනය විරෝධී ප්‍රකාශය ප්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම සඳහා මූල හේතුව වූ බව චුල්ලවග්ග පාලියෙහි දැක්‌වෙයි. ශාස්‌තෘ වියෝගයෙන් වැළපෙන භික්‍ෂූන් අමතා ඔවුන් අස්‌වැසීම් වස්‌ සුභද්‍ර මෙවැනි ප්‍රකාශයක්‌ ඉදිරිපත් කළේය. “අලං ආවුසො මා සොචිත්ථ” මා පරිදේවිත්ථ, සුමුත්තා මයං තෙන මහා සමණෙන උපද්දුතාච මයං හොම ඉදං වො කප්පති, ඉදං වොන කප්පතී” ති ඉදානි පන මයං යං ඉච්äස්‌සාම තං කරිස්‌සාම යං න ඉච්äස්‌සාම න තං කරිස්‌සාමාති” මෙහි සිංහලාර්ථය මෙසේය. “ඇවැත්තිනි, කම් නැත. ශෝක නොකරවු. නොවැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මොනවට මිදුණෝ වෙමු. මෙය තොපට කැපය. මෙය තොපට නොකැප යයි කීමෙන් උපද්‍රව්‍යයට ද පත්කරන ලද්දොa වෙමු. දැන් අපි යමක්‌ කැමති නම් එය කරන්නෙමු. යමක්‌ නොකැමැත්තෙමු නම් එය නොකරන්නෙමු.”

සුභද්‍ර වැනි දුර්වල පුද්ගලයකු ගේ ප්‍රකාශයක්‌ පමණක්‌ම මෙම සංගායනාව පැවැත්වීමට හේතුවී යෑයි සිතීම දුෂ්කරය. සුභද්‍ර ගේ ප්‍රකාශය ඒකපුද්ගල ප්‍රකාශයක්‌ වශයෙන් තක්‌සේරු කිරීමට වඩා එම පසු තලයෙහි සිට ඒ හා සමාන ආකල්පවලින් යුතුව එය අනුකරණය කළ විශාල පිsරිසක්‌ එකල සිටි බව නිගමනය කිරීම සහේතුකය. එබැවින් ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහතෙරවරුන් වහන්සේලා විසින් දූරදර්ශීව කරන ලද ක්‍රියාවක්‌ සේ සැලකීම වඩා උචිතය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඒ ඒ සංස්‌ථා අතර මතභේද උද්ගත වීමට පෙර බුද්ධකාලීනව භික්‍ෂූන් අතර විවිධ මතභේද ඇති වූ බව ත්‍රිපිටක සාහිත්‍ය විමසීමේදී පැහැදිලිවම දත හැකිය. දේවදත්ත, සාතිය, ඡබ්බග්ගිය, ඡන්න ආදී භික්‍ෂූන්ගේ හා ඔවුන් පෙර අනුගාමිකයන් ගේ ක්‍රියා කලාපයන් විමසා බැලීමේදී එය ප්‍රකට වෙයි. සැරියුත් මුගලන් දෙනමට අගසවු තනතුරු පිරිනැමීමේදී පවා ඇතැම් භික්‍ෂුහු “බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති”යි, ප්‍රකාශ කළහ. ආරාම ආරවුලක්‌ මුල්කරගෙන අගසවු දෙනම පාපී පුද්ගලයන් ලෙස අස්‌සජි, පුනබ්බසුක යන දෙනම විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදහ. දෙව්දත් තෙර පමණක්‌ නොව සුනක්‌ඛත්ත, අරිට්‌ඨ, සාති යන භික්‍ෂූහු බුද්ධ කාලයේදීම ධර්ම විනය තම තමන්ගේ රුචි අරුචිකම් අනුව විග්‍රහ කිරීමට පෙලඹුණහ. බුද්ධ කාලයේදීම එවැනි ස්‌වාධීන විග්‍රහ ඉදිරිපත් කිරීමට ඇතැම් භික්‍ෂූන් පෙලඹී ඇත්තේ බුදුරදුන් පෙන්වාදුන් චින්තන නිදහස අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීම නිසාවෙනි. ක්‍රමික ලෙස සංවර්ධනය වූ භික්‍ෂු සංස්‌ථාව තුළ නා නා මතධාරී භික්‍ෂූන් සිටි බව මේ අනුව පැහැදිලිය.

නිගණ්‌ඨනාතපුත්ථතුමා ගේ අභාවයෙන් පසු ඔහු ගේ අනුගාමික පිරිස භේදභින්න වී ගොස්‌ එම ධර්මය පිළිබඳ ඔවුනොවුන් වාද විවාද කළහ. එකී ශාසනයට වූ ඉරණම බුද්ධ ශාසනයට ද විය හැකි යෑයි සැක කළ භික්‍ෂූහු බුදුරදුන්ගෙන් පසු සසුනේ නායකත්වයට කෙනෙකු පත්කරන ලෙස උන්වහන්සේගෙන් අයෑද සිටියහ. එහෙත් සිය ශ්‍රාවක භික්‍ෂූන් කිසි විටෙකත් පුද්ගලාභිවාදනයෙන් තොරව හුදෙක්‌ ධර්ම විනය ව්‍යවස්‌ථාව අනුවම ක්‍රියා කරනු දැකීම බුදුරදුන්ගේ අපේක්‍ෂාව විය. බුදුරදුන් ගේ ඇවෑමෙන් පසු ධර්ම විනය ශාස්‌තෘත්වයෙහි තබා ගන්නා ලෙස බුදුහු අතිශය දූරදර්ශීව දේශනා කළහ. පුද්ගල නායකත්වයක්‌ පත් කිරීම ඇතැම් අර්බුදවලට හේතුවිය හැකි කරුණකි. එනිසා බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඇති වූයේ නිෂ්පුද්ගල නායකත්වයකි. නායකත්වයෙහි තැබුවේ ධර්මය හා විනයයි. එවිට නිදහස්‌ව නිවහල්ව ඒකමතිකව ධර්ම විනයානුකූලව කටයුතු කිරීමේ අවස්‌ථාව ශ්‍රාවකයන්ට හිමිවේ.

බුදුරදුන්ගෙන් පසු ශ්‍රාවකයන් පාලනය කිරීමේ නායකයකු නොසිටි හෙයින් ධර්මයේ චිරස්‌ථිතිය සඳහා වැඩපිළිවෙලක්‌ සකස්‌ කළ යුතුව පැවතිණ. එසේ නොවූයේ නම් විවිධ මතධාරී භික්‍ෂූන් නිසා එය වෙනස්‌වීමට හෝ විනාශ මුඛයට යාමට ඉඩ තිබිණ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ තත්ත්වයට පත් ධර්ම විනය පිරිසිදුව ආරක්‍ෂා කොට පශ්චිම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සුරක්‌ෂිත කොට තැබීම ශාසන භාරධාරී මහතෙරවරුන්ගෙන් ඉටුවිය යුතු අත්‍යවශ්‍ය කාර්යයක්‌ව පැවතිණ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙම වගකීම ඉතා විචක්‍ෂණ ලෙස අවබෝධ කරගත්හ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනභාරය ඉසිලීමට සුදුසුව සිටි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දුර්මත නිරාකරණය පිණිසත්, බුදුරදුන් ඒ ඒ ස්‌ථානවලදී දේශනා කළ නා නා වර්ගයනට අයත් ධර්ම කොට්‌ඨාසයන් ක්‍රමානුකූලව සකස්‌ කොට බොහෝ කල් පවත්වා ගැනීම පිණිසත් ධර්ම සංගායනාවක අවශ්‍යතාව තීරණය කිරීම තුළින් ඒ බව වටහාගත හැකිය.

බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව රජගහනුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහිදී මෙම ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීය. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක්‌ මහරහතන් වහන්සේලා මෙයට සහභාගි වූහ. මෙම සංගායනාව රජගහනුවර පැවැත්වීමට හේතු වූ කරුණු අතර රාජකීය බලය හා රැකවරණය ලබාගැනීම ප්‍රමුඛත්වය ගනී. සංගායනාව පැවැත්වීමට පෙර සිටම විරුද්ධවාදීන් පිරිසක්‌ සිටි බවත්, ඔවුන්ගෙන් උවදුරු සිදුවීමට ඉඩ ඇති බවත්, සංගීතිකාරක මහරහතන් වහන්සේලා කල්පනා කළහ. මෙකල රජගහනුවර අජාසත් මහරජු ගේ පාලනය යටතේ පැවැති බැවින් රාජකීය ආරක්‍ෂාව ඇතිව මෙම සංගායනාව පැවැත්වීමට රජගහනුවර හැර අන්තැනක්‌ නොවීය. අජාසත් රජ දවස වන විට අන්‍ය බෞද්ධ රාජධානි පිරිහී තිබීමත් රජගහනුවර පමණක්‌ තරමක්‌ සමෘද්ධිමත්ව පැවතීමත් නිසා රජගහනුවර මේ සඳහා තෝරාගත් බව පෙනී යයි.

මෙම සංගායනාව ඉතා පිරිසිදුව සිදුකිරීම මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ අභිප්‍රාය විය. එබැවින් ඒ සඳහා සුදුසු භික්‍ෂූන් වහන්සේලා එකුන් පන්සිය නමක්‌ (499) සිවු පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා අතරින්ම තෝරා ගත්හ. මේ වන විට රහත් නොවූයෙන් ආනන්ද හිමියෝ මෙයට ඇතුළත් නොවූහ. එහෙත් ආනන්ද හිමියන් නොමැතිව මෙය කළ නොහැකි බැවින් උන්වහන්සේ සංඝ සම්මතයෙන් මේ සඳහා තෝරා ගත්හ. එසේ වුවද සංගීති දිනට පෙරදින රැයෙහි ආනන්ද හිමියන් රහත් ඵලයට පත් වූ හෙයින් රහතන් වහන්සේලාම 500 නමකගෙන් යුක්‌තව සංගායනාව සිදුකිරීමට හැකිවූ බව පෙනේ.

සප්තපර්ණී ගුහාද්වාරයට රැස්‌වූ භික්‍ෂුහු ධර්ම සංගායනාවට සූදානම් වූහ. ආනන්ද හිමියෝ රහත් බව ලබා අන්තිමටම සභා ගැබට පිවිස සිටියහ. සංගායනාවේ ථෙරාසනය හෙබ වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ “සුණාතු මෙ ආවුසො සංඝො, යදි සංඝස්‌ස පත්ත කල්ලං අහං ආයස්‌මන්තං උපාලිං විනයං පුච්ඡෙයHන්ති” ලෙස ප්‍රථම වරට විනය ප්‍රශ්නය ආරම්භ කළහ. මුළු විනය පිඨකයම උපාලි හිමියන් ලවා සඡ්Cධායනා කරවූයේ පුච්ඡා විසඡ්ජන ක්‍රමය (ප්‍රශ්නෝත්තර ක්‍රමය) මගිනි. සෑම විනය ශික්‍ෂා පදයක්‌ම වස්‌තු නිදාන, පුද්ගල, ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති ආදී සියුම් විස්‌තර සහිතව සංගායිතය.

අනතුරුව ධර්මය සංගායනා කළේය. මෙයද පෙර කී ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ආනන්ද හිමියන් ලවා පංච නිකායම සංගායනා කරවීමෙන් නිම කළේය. ඛුද්ධානුඛුද්දක (කුඩා අනුකුඩා) ශික්‍ෂාපද බැහැර කිරීමට බුදුරදුන් අවසර දුන් බව සංගායනාව අවසානයේදී ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. එම නිවේදනය ඇසූ භික්‍ෂූන් වහන්සේලා කුඩා අනුකුඩා ශික්‍ෂාපද කවරේදැයි, වාද විවාද ඉපද වූහ. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙතින් ඒ පිළිබඳ නිර්වචනයක්‌ ලබා නොතිබුණහ. එම නිසා සතර පාරාජිකා හැර සෙසු සියල්ලම ඒ ගණයට ඇතුළත් කිරීමට ඇතැම් භික්‍ෂූහු පෙලඹුණහ. ඇතැම්හු ඊට වෙනස්‌ මත දැක්‌වූහ. මෙහිලා පහසු විසඳුමක්‌ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරිපත් කළහ. එනම් කුඩා අනුකුඩා ශිsක්‍ෂාපද වෙනස්‌ කිරීමට බුදුරදුන් අවකාශ ලබා දුන්නද පනවන ලද ශික්‍ෂාපද සියල්ලම එලෙසින්ම පවත්වාගෙන යාමට සම්මත කරගත යුතු බවයි. උන් වහන්සේ ඉදිරිපත් කළ මෙම යෝජනාව කර්ම වාක්‍යයකින් ස්‌ථිර කෙරිණි. පසුව පෙර බුදුරදුන්ගේම ඉල්ලීමක්‌ පරිදි ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්‌ඩය සම්මත කර ගත්තේය. එනම් හික්‌මෙනතුරු කතාබහ නොකිරීම හා අවවාද අනුශාසනා නොකිරීමයි. එම දඬුවම අසා සිහි මූර්ජිත වූ ඡන්න හිමියෝ කෙලෙස්‌ තැවීමේ වීර්යය ඇතිව ක්‍රියා කොට නොබෝ කලෙකින්ම රහතන් වහන්සේලා අතර එක්‌නමක්‌ වූහ. එවිට දණ්‌ඩය ද සන්සිඳුණේය.

ප්‍රථම සංගායනා වාර්තාව අනුව භික්‍ෂූහු ආනන්ද හිමියන්ට චෝදනා පහක්‌ ද ඉදිරිපත් කළහ. එනම් ඛුද්ධානුඛුද්ධක ශික්‍ෂාපද කවරේදැයි බුදුරදුන්ගෙන් නොවිචාරීම, බුදුරදුන්ගේ වැසි සළුව පයින් මැඩගෙන මැසීම, පිරිනිවු බුදු සිරුර පළමුව කාන්තාවන් ලවා වැන්ඳවීම හා ඒ නිසා හඬන්නා වූ ඔවුන්ගේ කඳුළු බුදු සිරුර ගැල්වීම, බුදුරදුන්ට ආයුෂ් කල්පයක්‌ වැඩ සිටින සේක්‌වායි, ඇරයුම් නොකිරීම, ශාසනයෙහි කාන්තා පැවිද්දට උත්සාහවත්වීම යන චෝදනාවන්ය. ආනන්ද හිමියෝ මේවා සියල්ලටම තමා නිවැරදිකරු වීමට ඇති හේතු ඉදිරිපත් කළහ. එසේ වුවත් සංගීතිකාරක මහතෙරුන් වහන්සේලා කෙරෙහි ඇති ගරුත්වය නිසා ඒ සියල්ල ම වරදවා කරන ලදැයි ප්‍රකාශ කළහ.

සංගායනාව අවසානයේදී ස්‌ථාවර කරගත් ධර්මය මතු අනාගතය සඳහා සුරක්‍ෂිත කර ගැනීම පිණිස භික්‍ෂු පරම්පරාවනට පැවරූ බව පෙනේ. බුදු දහම චිරාත් කාලයක්‌ පවත්වා ගෙන ඒම සඳහා මෙම කාර්යය උපසථම්භක වූ බව ශාසන ඉතිහාසයෙන් පෙනේ. මේ අනුව බුදු දහම ක්‍රමානුකූල පදනමක්‌ මත ස්‌ථාවර වූයේ ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසුව බව සඳහන් කළ හැකිය.

ඌරුගමුවේ අස්‌සජි හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: