Posted by: lrrp | August 24, 2013

දිවිමඟ ප්‍රිය නෑයා පින

චිරප්පවාසිං පුරිසං

දූරතො සෝතථිමාගතං

ඤාති මිත්තා සුභඡ්ජා ච

අභිනන්දන්ති ආගතං

තථෙව කතපුඤ්ඤම්පි

අස්‌මා ලොකෙ පරං ගතං

පුඤ්ඤානි පතිගණහන්ති

පියං ඤාතිං ච ආගතං ති

මේ වස්‌ කාලයයි. වස්‌ කාලය යනු ගිහි පැවිදි දෙපක්‌ෂයම පින් රැස්‌ කරගන්නා අවධියයි. පින යනු දුරු රට බොහෝ කලක්‌ විසූ අයෙක්‌ තම රටට ආ විට ඥාතීහු, මිත්‍රයෝ, සුහදයෝ ඉදිරියට ගොස්‌ සිප වැළඳ පිළිගනිත්.ද, ප්‍රිය බස්‌ කියත්ද, සතුටු වෙත්ද, එසේම පුද්ගලයා පරලොව යද්දී පින පිළිගනියි. එසේ හෙයින් පින වනාහි සෙනෙහෙ ඇති ඥතියා වෙයි. හිතැති මිතුරායි. යහපත් වූ සුදහයා ය. පින පුද්ගලයා පරලොව යන කල ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥ යන තෑගි සම්පත් නමැති අතෙහි දරා පිළිගනියි.

ජීවිතය සසර ගමන, ඉපදීම හා මරණය උරුමකොට ඇත. සියලු සත්වයෝ උපදිති. මැරෙති. මේ උපත හා මරණය අතර කාල පරාසය තුළ රැස්‌ කරති. රැස්‌ කරන දේ කර්ම නම් වේ. කර්ම පදනම් කොට ගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්ත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාද ය වේ. කලණ වූ කර්ම හා පාපී කර්ම ඇත. කලණ වූ කර්මය පින නම් වේ. පින, පිනවීම, පිනායැම වේ. එය සතුටයි. චිත්තං පුණාතීති පුඤ්ඤං, සිත පිනා යාම පිනයි. හදයං පුණාතීති පුඤ්ඤං හදවත පිනා යැම පිනයි.

බණ නම් නිබොරු ය මුනිවර යින්නේ

කය නම් නොතිරය අදහා ගන්නේ

පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ

පින නම් නොපමාව ම කර ගන්නේ

ලෝවැඩ සඟරා කතුවරයා අපට කියන්නේ මේ නිසයි. මිනිසා පින් කළ යුතුය. පින නිතර නිතර කළ යුතුය. පිනට කැමැත්ත, මනාපය, ඡන්දය ඇතිකර ගත යුතුයි. පින් කිරීම සතුටට කාරණයකි. පින් කළ කල සතුට මෙලොව, පරලොව දෙලොව ලබයි. මා විසින් පින් කරන ලදැයි සුගතියට ගොස්‌ වඩාත් සතුටු වෙයි. තමා කළ යහපත් කර්මය බලා තවත් සතුටු වෙයි.

පෙර භවයන්හි රැස්‌ කළ පින් මේ භවයේදී පරිභෝජනයට ගනියි. මේ භවය රැස්‌කරන පින් මේ භවය තුළ හා ඊළඟ භවය තුළ පරිභෝජනය කරයි. භව සංසාර ගමනේදී අප අත නොහරින අපේ සෙවණැල්ල සේ සිටින්නේ පිනයි.

විමානවත්තු ප්‍රකරණයෙහි එන රේවතී විමාන වස්‌තුව අපට පින හා පව පුද්ගලයාට බලපාන ආකාරය මැනවින් කියා පායි. බරණැස, ඉසිපතනය අසල නන්දික නම් තරුණයකු වෙයි. නන්දික ශ්‍රද්ධා සම්පන්නය. තුනුරුවන් කෙරෙහි ප්‍රසන්නය. පන්සල අමදියි. භික්‌ෂුන්ට උපස්‌ථාන කරයි. දන්දෙයි. දුගී මගී යාචකයනට සලකයි. මව්පියන්ට ඇප උපස්‌ථාන කරයි. ඔහුගේ ඇවැස්‌ස නෑනා රේවතීය. ඇයට මේ ගුණ නැත. පවිටු අදහස්‌ ඇත්තීය. ඇවැස්‌ස නෑනා විවාහ කරගත යුතු වුවත් ඇගේ පවිටු ගති නිසා ඊට කැමැති නැත. නන්දිකගේ මව රේවතියගේ නැන්දා රේවතියට කියන්නේ ඔබත් නන්දික මෙන් යහපත් වන්න, එවිට නන්දික ඔබට කැමැති වෙයි කියාය. නන්දික ගේ කැමැත්ත ගන්න ඕ ද මේ යහපත් ව කටයුතු කරන්නීය. මෙසේ වෙනස්‌ වූ විට නන්දික ද ඈ සරණපාවා ගන්නට කැමැති විය. සරණපාවා ගත් ඈට නන්දික කියන්නේ මේ පින්කම්වල නිරතවන ලෙසයි. ඕ ද එය පිළිගෙන ඉටු කරන්නීය. මව්පියන් කලුරිය කළ පසු ඔවුන්ට සියලු ධනය හිමි විය. රේවති ය එම නිවස ගෘහණිය වූවාය. දරු දෙදෙනකුද ලැබුවාය. නන්දික ඉසිපතනාරාමයට ගබඩා හතරකින් යුත් සියලු උපභෝග පරිභෝග සහිත තට්‌ටු හතරක සංඝාවාසයක්‌ ඉදිකොට පිදීය.

මේ පූජාවත් සමගම දිව්‍ය ලෝකයෙහි ඔහු වෙනුවෙන් සප්තරත්නයෙන් බබළන සුවඳ විහිදෙන රන් විමානයක්‌ පහළ විය. දිව්‍යාංගනාවෝ දහසක්‌ එහි වෙසෙති. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිය විට මේ බබළන දිව්‍ය විමානය දැක, දෙවියෙක්‌ නැති දෙවඟනක්‌ පිරිවැරූ, රනින් බබළන මේ විමන කාගේ දැයි ඇසූ කල තවමත් මිනිස්‌ ලොව වසන සංඝාවාස තනා පූජා කළ පින්වත් නන්දිකයන්ට වෙන් කළ විමානය බව දැක්‌වීය. මෙය මුගලන් හිමි පිරිස්‌ මැද දී බුදුරදුන්ට දැන්නූ කල එය එසේ වන්නේ යෑයි බුදුරජාණන් වහන්සේ ද දැන්වූ සේක.

නන්දික දුරක වෙළ¹ම පිණිස යන්නේ රේවතියට මෙසේ කීය. මා පිටතට ගිය පසුත් භික්‌ෂුන් වහන්සේට හා දුගී මගී යාචකාදීන්ට දෙන දන් වැට පවත්වාගෙන යන ලෙසයි. එහෙත් නන්දික ගිය පසු ඕ දන් වැට නවත්වයි. ඕ ආහාර ගෙන ඉඳුල් පරිසරයෙහි විසුරුවා අන් අය කැඳවා පෙන්වා භික්‌ෂුන් දන් වළඳන හැටි මේ බලාපල්ලා යෑයි භික්‌ෂුන්ට නින්දා, අපහාස වන අයුරින් දොස්‌ පරොස්‌ පවරයි.

නන්දික පැමිණි පසු ඔහු මේ සිද්ධි දැන ගනියි. රේවතිය නිවසින් එළවා දමයි. නැවත දන් වැට ආරම්භ කරයි. භික්‌ෂුන් වහන්සේට ගරු සත්කාර සම්මාන දක්‌වයි. හිතමිතුරන්ගේ නෑයන්ගේ ඉල්ලීම මත රේවතිය ගෙන්වා ඇයට ආහාර පාන පමණක්‌ ලබාදෙයි. රේවතියද තමන්ගේ යස ඉසුරු නැති කළේ භික්‌ෂුන් වහන්සේ යෑයි උන්වහන්සේලාට ගර්හා කරමින් කතා කරන්නීය.

නන්දික කලුරිය කොට දිව්‍ය ලෝකයෙහි තමන්ට මුලින්ම ඉදි වූ විමානයෙහි වෙසෙයි. රේවතියගේ නරක ක්‍රියා කලාපය දකින වෙසමුණි රජු රේවතිය පණ පිටින්ම අපාගත කරන්නේ යෑයි මුලින් ප්‍රසිද්ධ කොට යක්‌කු දෙදෙනකු යවා ඈ බලහත්කාරයෙන් ගෙන ගම් දනව් වීථිවල ඇවිද්දවා පසුව දිව්‍ය ලෝකයට ගෙන ගොස්‌ නන්දික ගේ සුවඳ පැතිරි දෙවඟනන් පිරිවැරි රනින් යුත් දිව්‍ය විමානය පෙන්වයි. ඒ කාගේ දැයි ඇසූ විට නන්දික ගේ යෑයි කියයි. ඒ මගේ පැරැණි සැමියා මා මෙහි රඳවන්න යෑයි රේවතිය ඉල්ලන්නීය. මෙහි සිටින්නේ පින් කළ අයයි. ඔබට මෙහි උරුම නැත. ඔබට උරුම තැනට ගෙන යන්නේ යෑයි කියා සංසවක නම් අපායට ගෙන යයි.

ඒ අපාය කෙබඳු ද යත් අසූචි හා මුත්‍රවලින් යුත් ඔරු නැව් හා සමාන පණුවන්ගෙන් යුක්‌ත වූ නහය පැලී යන තරම් දුර්ගන්ධය ඇති තැනකි. යොදුන් සියයක්‌ උසය, යොදුන් සියයක්‌ වට ය. මේ ගුථ නම් නරකයෙහි වැටුණු සත්වයන් තියුණු තුඩු ඇති ඉහත දැක්‌වූ පණුවන් විසින් හාත්පසින් සිඳ මස්‌ කනු ලැබෙයි. සම සිඳ, නහර සිඳ, ඇට, ඇට මිදුලු සිඳ මස්‌ ලිය ලියා කයි. සියලු ශරීරය ගුල්ලන් ගැසූවක්‌ හා සම වෙයි. කපුටන් වැනි සතුන් මස්‌ උගුලා කන්නේය. මිනිස්‌ ලොව අවුරුදු තුන්කෝටි හැට ලක්‌ෂයක්‌ මෙහි එක දවසකි. එයින් තිහක්‌ මාසයයි. එයින් මාස දොළහක්‌ අවුරුද්දකි. එවන් අවුරුදු දහස්‌ ගණනක්‌ මෙහි දිවි කාලය වෙයි. පව් කළ රේවතිය මෙම අපායට ගොස්‌ දැමීය.

මේ කතා පුවත තුළින් මතු දැක්‌වෙන අදහස්‌ අපට ලැබෙයි.

පින මෙලොවදීම සැප ලබාදෙයි. පින් කළ සැනින් යහපත් තැන්හි විමාන ඉදිවෙයි. මරණින් මතු එහි අනේක විධ වූ සැප වින්දනය කරයි. එහෙත් ශ්‍රද්ධාවෙන් තොරව වෙනත් පටු අරමුණුවලින් කරන පින එතරම් සාර්ථක නොවේ. පවද මෙලොවදී විපාක දෙයි. විපාක දුන් කලද එය සකසා නොගතහොත් පණ පිටින්ම අපාගත වෙයි. එහි බොහෝ කලක්‌ දුක්‌ විඳියි.

එසේ නම් දුර්ලභව මිනිස්‌ භවයක්‌ ලැබූ අප සිතිය යුත්තේ සිත, කය, වචන යන තිදොරින් පින් කිරීමටයි. සතුන්ට ආදරය, කරුණාව දැක්‌වීම, කායිකව, වාචසිකව, මානසිකව සතුන්ට හිංසාව නොපැමිණවීම, හොරකම් නොකිරීම, අන් දේපළ රැකීම, සමාජ සම්මත නීති රීතීන්ට අනුව කම්සැප විඳීම, සත්‍ය වූ සමගිය ඇති කරන ප්‍රිය, අර්ථවත් වචන කතා කිරීම, ලෝභී නොවීම, නිවැරැදි දැක්‌ම ආදී පින් කළ යුතුය.

කඨින චීවර, අට පිරිකර, සංඝාවාස, බණ පොත්, බුදුපිළිම, වච්චකුටි පූජාව, සඟසතුව දන්දීම මේ ආදී අට මහා පින් ය. ළිං පොකුණු, ශාලා, ඒදඬු, මල්වතු, උයන්වතු ඉදිකිරීම දිවා රාත්‍රී දෙකෙහි පින් වැඩේ. විහාර ආරාම අතුපතු ගා පිරිසිදු කිරීම, මං මාවත් පිරිසිදු කිරීම, පොදු ස්‌ථාන පිරිසිදු කිරීම, ආරක්‌ෂා කිරීම පිනකි. රත්නත්ත්‍රයට ගරු කිරීම, මව්පිය නැදිමයිලන්, අඹුදරුවන්, වැඩිහිටියන්, ගුරුන් නැමදීම, ගරු සත්කාර දැක්‌වීම පිනකි. තමන්ටත්, අන් අයටත් සතුටුවිය හැකි යහපතක්‌ වූ සියල්ල පින්ය.

එසේ නොවන දේ පව්ය. පව් කළ කල මෙලොව තැවේ. පරලොව තැවේ. දෙලොවම තැවී අපාගතව වඩාත් තැවේ. අපගේ සිත අප මුළා කරයි. පසිඳුරන් රවටයි. අරමුණු තුළ ඇති තතු නොකියයි. මේ නිසා වැරැදි වින්ඳනයක්‌ ලබාදෙයි. ඒ වින්දනයට ඇලුම් කරන අපි එයම අයිති කරගන්නට සිතමු. මේ දැනීම නිවැරැදි නොවේ. මිරිඟුවකි. මේ නිසා රාගාදී කෙලෙස්‌ තුළින් හරයක්‌ නැති දේ රැස්‌ කරයි. නොදැනීම කරණ කොට ගෙන දුකට පත් වෙයි.

අපා දුකිනුත්, සම්පූර්ණ සසර දුකිනුත් මිදිය හැකි මඟ බුදුමඟයි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ තුළ යැමෙන් සීල, සමාධි, ප්‍රඥ වැඩේ. ඉන් පිනෙහි නිරතව සසරට අයිති ප්‍රිය වූ නෑයා ලබයි. සුගතිවල උපදියි. පින මෝරා ගොස්‌ සසර මඟ තරණය කොට විමුක්‌තිය ලබයි. නිවනින් සැනසෙයි. බුදුමඟම යමු. නිවනින් සැනසෙමු.

කැප්පෙටිපොල, පාලුගම,  ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිකාරී
පූජ්‍ය විල්ඔය පඤ්ඤාතිලක හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: