Posted by: lrrp | August 24, 2013

මල් පුදමු පින් පුරමු

උසස්‌ පුද්ගලයන් දැකීමට යන විට ඒ පුද්ගලයාට ගරු කිරීමක්‌ වශයෙන් හා ප්‍රසාදය දැක්‌වීමක්‌ වශයෙන් මල් පොකුරක්‌ ගෙන යැම සිරිතකි. මල් සෑම දෙනාම කැමති දෙයකි. සමාජයේ ගරු කටයුතු පුද්ගලයාට තමාගේ ගෞරවය හා ප්‍රසාදය දැක්‌වීම් වශයෙන් පුෂ්ප ආදී යම් වස්‌තුවක්‌ පිරිනැමීම පූජා නමින් හැඳින්වේ. පූජාවය, දානය කියා පින්කම් දෙකක්‌ ඇත්තේය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ ද උසස්‌ පුද්ගලයන් දක්‌නට යැමේදී මල් පොකුරක්‌ ගෙන යැමට දඹදිව වැසියෝ පුරුදුව සිටියහ. එය ශුද්ධ වස්‌තුවක්‌ ලෙස සැලකුහ. එම නිසා දෙවිවරුන්ට ද මල් පුදති. බුදුන් වහන්සේ ද ලොව පහළ වූ උත්තම පුද්ගලයකු වන බැවින් උන්වහන්සේ දක්‌නට යන පිරිස ද මල් ගෙන ගොස්‌ උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක්‌ නැති වුවද, ගෙනවුත් පිරිනමන පුද්ගලයන් කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ද ඒවා ඉවසා වදාරා සිටිසේක. තථාගතයන් වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක්‌ නැති ද උන්වහන්සේට ගරු කිරීමක්‌ වශයෙන් ප්‍රසාදය දැක්‌වීමක්‌ වශයෙන් කරන්නා වූ ඒ පූජාව මහත්ඵල මහානිසංස වන පිංකමක්‌ වේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු ද අද දක්‌වාම බෞද්ධයෝ උන්වහන්සේට මල් පුදති. උන්වහන්සේට ගරු කිරීම් වශයෙන් බෙහෙවින් පූජා කරනුයේ මල් ය.

පූජා කිරීමට තමාට අයත් දෙයක්‌ තිබිය යුතුය. කෙනකුගේ දෙයක්‌ තවත් කෙනකුට පූජා කළ නොහැකිය. පූජා කළ ද එය පූජාවක්‌ නොවන්නේය. කෙනකු විසින් මල්, පහන්, ගිලන්පස ආදී පූජා ද්‍රව්‍ය පිළියෙල කොට පූජාසනය මත තබා පූජා කිරීමට ගථා කියන කල තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථා කියති. එහෙත් ඔවුන් විසින් පූජා කරන, ඔවුන්ට අයිති කිසිම වස්‌තුවක්‌ එහි නැත. පූජා කිරීමේ දෙයක්‌ නොමැතිව එසේ එකතුව ගාථා කීමේ තේරුමක්‌ නොමැති බව සිතට ගත යුතු කාරණයකි. පූජා කිරීමේ තේරුම නොදත් බැවින් ඇතැම් පුද්ගලයන් අනුන් ගෙනත් මල් අසුන් මත තැන්පත් කළ මල් තමා විසින් පූජා කළැයි සිතා ගාථා කියා වඳිති.

ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක්‌ විය. එක්‌ දිනක්‌ තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ භික්‍ෂූන් පිරිවරා බුදුරැස්‌ විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන්, බුද්ධ ලීලාවෙන් පිඬු පිණිස රජගහ නුවරට වැඩි සේක. රජුට සමන් මල් අට නැළියක්‌ ගෙන යන්නා වූ සුමන මල්කරු දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුක්‌තව, ෂඩ් වර්ණ බුද්ධ රශ්මියෙන් ශෝභමානව, රුවන් පහන් ගසක්‌ වැනි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, අතිශය ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේට පූජාවක්‌ කරන්නෙමිදෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක්‌ නොමැතිව රජුට ගෙන යන මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතීය. රජුට ගෙන යන මල් නොලැබී රජු කිපී මා මරන්නටද පිළිවන, රටෙන් නෙරපන්නට වුවද පිළිවන. එහෙත් කරන්නට දෙයක්‌ නැත. රජු කරන දෙයක්‌ කරත්වා, මේවා රජුට දීමෙන් ඔහු මට ලබා දෙන්නේ මේ ආත්මයේ ජීවත්වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් පිදුවොත් එය මට අනන්ත කල්ප කෝටියක්‌ සැප ගෙන දෙන පින්කමක්‌ වන්නේ යෑයි සිතා “මේ මල් බුදුණුවන්ටම පුදමියි ශ්‍රද්ධා සිතින් සමන් මල් දෙමිටක්‌ ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේය. ඒ මල් එකකුදු බිම නොවැටී සම්මාසම්බුදුරජාණන් වහන්සේ මත වියනක්‌ මෙන් විසිර සිටියේය. එය දැක අතිශයින් චිත්ත ප්‍රීතියට පත් සුමන මල්කරු තවත් මල් දෙමිටක්‌ ගෙන බුදුන් දෙසට විසි කළේය. ඒ මල් බුදුන්ගේ දකුණු පසින් තිරයක්‌ මෙන් සිටියේය. නැවත වරක්‌ සමන් මල් දෙමිටක්‌ විසි කළ විට ඒවා බුදුන් වහන්සේගේ පිටුපසින් තිරයක්‌ මෙන් සිටියේය. තවත් මල් දෙමිටක්‌ විසි කළ විට ඒවා බුදුන් වහන්සේගේ වම් පසින් තිරයක්‌ මෙන් පිහිටා සිටියේය.

බුදුරජාණන් වහන්සේ රිදී පටකින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළ සේක. එකම මලකුදු බිම නොවැටී නොවිසිරී තථාගතයන් වහන්සේ අනුව ගියේය. ඒ ප්‍රාතිහාර්යය දැක සුමන මල්කරුගේ සිත පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. බිම්බිසාර රජතුමාද ඒ ප්‍රාතිහාර්යය නරඹමින් චිත්ත ප්‍රීතියට පත්ව සුමන මල්කරු ගෙන්වා කරුණු විමසා සිටියේය. රඡ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා, රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිත පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමියි කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී ඇතුන් අටදෙනකුද, අශ්වයන් අටදෙනකුද, දාසයන් අටදෙනකුද, දාසියන් අටදෙනකුද, කහවනු අටදහසක්‌ද, මහාර්ඝ පළදනා ද, සර්වාලංකාරයෙන් සැරසුණු කාන්තාවන් අටදෙනකු ද ගම් අටක්‌ ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කළේය. සෑම දෙය අට බැගින් වූ ඒ පරිත්‍යාගය සර්වාෂ්ටක නම් විය. ඒ මල්කරු මල් පූජාවෙන් එදිනම ලැබු අනුසස්‌ විය.

ආනන්ද ස්‌ථවිරයන් වහන්සේ සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදැසන පටන්ම මහා ප්‍රීති ඝෝෂාවක්‌ පවත්නේය. ඔහුට ඉන් ලැබෙන විපාක කුමක්‌ දැයි තථාගතයන් වහන්සේගෙන් විමසා සිටිසේක. මේ මල්කරු විසින් කරන ලද්දේ සුළු පූජාවක්‌ යෑයි නොසිතව, හෙතෙම මා කෙරෙහි ඇතිකර ගත් චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්‍ෂයක්‌ දුගතියකට නොපැමිණෙන්නේය. එතෙක්‌ කල් ඔහු දෙව් මිනිස්‌ සැප විඳ අවසන සුමන නම් පසේ බුදු වන්නේ යෑයි තථාගතයන් වහන්සේ වදාළ සේක

අද කාලයේ මල් පුදන අය විසින් සිතට ගත යුතු වැදගත් කරුණක්‌ ඇත. එනම් මල් නොමිලයේ නොගැනීමයි. පූජාව දානයටම අයත් පිනකි. දානය අර්ථ ගන්වා ඇත්තේ තමාට සම්පුර්ණයෙන් ම අයත් වස්‌තුවක්‌ අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකකුට පිරිනැමීමයි. මිලයක්‌ දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන් දෙයක්‌ ගෙන තවත් කෙනෙකුට දීම හෝ පිදීම වැදගත් දීමක්‌ හෝ පිදීමක්‌ නොවේ. වැදගත් වන්නේ තමා වෙහෙසී සපයා ගත්තා වූ හෝ මිලයට ගත්තා වූ හෝ දෙයක්‌ දීම හා පිදීමයි.

ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළවී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටුවා එකල විසූ සැදැහැවත්හු යොදුනක්‌ උස ස්‌වර්ණ චෛත්‍යයක්‌ කරවූහ. ඒ චෛත්‍යයට පිරිවර සහිතව පැමිණ රජතුමා හා නුවර වැස්‌සෝ ද දිනපතා මල් ගෙන ගොස්‌ පිදූහ. එබැවින් මල් දුර්ලභ විය. එක්‌ දිනක්‌ උපාසකයෙක්‌ මල් සෙවීමට මාලාකාර වීථියෙහි ඇවිද එක්‌ කහවණුවකට එක බැගිනුදු මල් සොයාගත නොහැකිව කහවණු අටක්‌ද රැගෙන මල් වත්තකට ගියේය. එහි ගොස්‌ මේ කහවණු අටට මල් අටක්‌ හෝ ඉල්ලීය. මල් සියල්ල නෙලා දී අවසන් යෑයි මල්කරු කීය. උපාසක තෙමේ මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමියි කීය. එසේ නම් උයනෙහි ඇවිද සොයාගන්න යෑයි මල්කරු කීය. උපාසක තැන උයනට පිවිස මල් සොයමින් ඇවිදින විට බිම වැටී තිබූ මල් අටක්‌ ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් ඔහුට කහවණු අට ගන්නැයි කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙනි. ඒ නිසා මේවාට මම මුදලක්‌ නොගනිමියි මල්කරු කීය. “මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමියි” කියා උපාසක තැන කහවණු අට මල්කරු ඉදිරියේ තබා මල් රැගෙන ගොස්‌ සැදැහයෙන් චෛත්‍යයට පිදීය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපදින. මෙසේ නැවත නැවත දෙව්ලොවෙහි උපන් උපාසක තැන ගෞතම බුදුන් සමයේ ද එහිම විසුවේය.

දිනක්‌ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන සේක්‌ මහත් වූ ශ්වේත හස්‌තිරාජයකු පිට නැගී අප්සරාවන් පිරිවරා දිශාවන් ආලෝකවත් කරමින් දිව්‍යානුභාවයෙන් අහසෙහි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළ සේක. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටි සේක. එකල්හි තෙරුන් වහන්සේ දෙව්පුත් අමතා “තොප මේ සම්පත්තිය ලැබූයේ අතීතයේ කිනම් කුශලයකින්දැයි විමසා සිටි සේක.

හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයට නටුවෙන් ගිලිහුණු මල් අටක්‌ පහන් සිතින් පිදුවෙමි. මාගේ මේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒපිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍යභෝජනාදී වස්‌තු මට ඒ පිනෙන් පහළවන්නේ යෑයි කීය.

මල් ජනයාගේ නෙත් සිත් පිනවන ශෝභාවක්‌ හා සුගන්ධයක්‌ ද ඇත්තා වූ දෙයකි. මල් පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ. මල් පිදීමේ පිනෙන් දුටු දුටුවන් වශී වන රූප සම්පත්තියක්‌ හිමිවේ. ස්‌වර්ණතිලකාවට දුටු දුටු පුද්ගලයන් උමතු කරවන රූප ශෝභාවක්‌ හිමි වූයේ ද මල් පිදීමේ අනුහසිනි.

සුළුගුලු උපාසක යනු මලියමහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආධාරයෙන් පණ තිබියදීම තව්තිසා දෙව්ලොව සැරිසැරීමට අවස්‌ථාව ලැබුණු අයෙකි. දෙව් ලොවදී ඔහුට විවිධ සම්පත් ඇති බොහෝ දෙවිවරු දැසින්ම දැක ගත හැකි විය. උපාසකතුමා සිළුමිණි සෑය අසල සිටින විට රක්‌ත වර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසි රක්‌ත වර්ණ අශ්වයන් යෙදූ රථයකින් එක්‌ දෙවි කෙනෙක්‌ එහි පැමිණියේය. රක්‌ත වර්ණයෙන් සැරසුණු සුරංගනාවෝ රක්‌ත වර්ණ චාමර ගෙන පවන් සලති. මෙසේ නොයෙක්‌ ආකාරයේ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්චර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තැන හිමියනි, මෙබඳු සම්පත්තියක්‌ ඇත්තකු මින් පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය ලැබී ඇත්තේ කිනම් පිනකින් දැයි ඇසීය.

එවිට තෙරුන් වහන්සේ කියන්නේ උපාසකය, මොහු පෙර ජාතියේ ෙච්තිය විහාරය අසල ගමක ගොපලු දරුවෙක්‌ව සිටියේය. දිනක්‌ අනෙක්‌ ගොපලු දරුවන් සමඟ ගවයන්ට තණ කෑමට හැර වැලි තලාවක ක්‍රීඩා කරමින් වැලි එකතු කොට සෑයක්‌ තනවා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවිත් එම සෑයට පුදා මල් වියළී නොයනු පිණිස අතු කඩා ගෙනවිත් ආවරණයක්‌ කොට සිත පහදා සවස ගවයන්

රැගෙන නිවසට ගියේය. එදින රාත්‍රියේ හටගත් ආබාධයකින් මියගොස්‌ දෙව්ලොව උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයි වදාළ සේක.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: