Posted by: lrrp | August 24, 2013

සිතට රැකවරණය සිහියයි

අපේ සිතට රැකවරණය සැලසෙන්නේ සිහියෙන් වාසය කිරීමෙනුයි. සිහිය ඉපදුනා ම රාගයට හිත යටවෙන්නෙ නැහැ. ද්වේෂයට, මෝහයට සිත යටවෙන්නෙ නැහැ. ඒ අකුසලයන්ට සිත යටවෙන්නේ නැහැ. සිහිය නැතිකොට ඒ අකුසලයන්ට හිත යටවෙනවා. එවිට හිත කිළිටිවේ. ඒ නිසයි සිතට රැකවරණය සිහිය යෑයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ. ඒක හරියට ගෙයක්‌ හැදුවා ම සෙවිලි කරනවා වගේ. ඒ වහලය නිසා ගෙට ආරක්‌ෂාවක්‌ සැලසෙනවා. ඒ වගේමයි හිතට රැකවරණය වන්නේ සිහිය යි.

අපි, ඉපදුණ සිහිය බලවත් කරගත්තොත් අපේ සිත ඊර්ෂ්‍යාව, තරහ ආදී අකුසලයන්ට යට නොවී ආරක්‌ෂා කරගන්ට පුළුවන් කම ලැබෙනවා. ඒ කෙලෙස්‌වලට යටනොවී සිත ආරක්‌ෂා කරගත්තොත් අපිට නුවණින් කල්පනා කරන්ට පුළුවන්කම ලැබෙනවා. නුවණින් කල්පනා කරනවා කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් කල්පනා කිරීමටයි. එනම් මේ තමයි දුක කියා ඇත්ත ඇතිසැටියෙන් කල්පනා කරනවා. මේ දුක හටගන්න ආකාරය යෑයි ඇත්ත ඇතිසැටියෙන් කල්පනා කරනවා. මේ තමයි දුකේ නැතිවීම කියලත් ඇත්ත ඇතිසැටියෙන් කල්පනා කරනවා. ඒකට තමයි නුවණින් කල්පනා කරනවා කියන්නෙ. එවිට එයාට සිහියත් තියෙනවා, නුවණත් තියෙනවා. ඒ ලෙසින් එයාට ජීවිතේ ඇත්ත කල්පනා කරන්න පුළුවන්.

සිහිය තිබෙන කෙනා නුවණින් කල්පනා කරද්දි ඇත්ත ඇතිසැටියෙන් තේරෙනවා. සත්‍යය තේරෙනවා. සත්‍යය තෙරෙද්දී සිත ප්‍රබෝධයට පත්වෙනවා. සත්‍යය තේරුම් ගත්ත කෙනා ප්‍රබෝධයෙන් වාසය කරනවා. සත්‍යය තේරුම්ගෙන ප්‍රබෝධයට පත්වුණ කෙනා කිසිකලෙක අසත්‍යයට යන්නෙ නැහැ. යම් කෙනෙක්‌ මේ දුක කියල ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තොත් එයා කවදාවත් ඒ දුකට යන්නේ නැහැ.

දැන් හොඳට කල්පනා කර සිහිය උපදවාගන්න. සිහිය උපදවාගෙන කල්පනා කරන්න මේ විදිහට, දන්න දා සිට ඇහැට පේන ප්‍රිය රූප සොය සොයා ඒ ප්‍රිය රූප අත්කරගැනීම පිණිස වෙහෙසුනාද? නැද්ද? කියල කල්පනා කරන්න. කණට ඇහෙන ප්‍රිය ශබ්ද වලට ගිජුවෙලා ඒවා සොයමින් ඒවා ලබාගන්ට ගිජුවුණාද? නැද්ද? කියල කල්පනා කර බලන්න. ඒ විදිහට ම දිවට දැනෙන ප්‍රිය රසයට, කයට දැනෙන ප්‍රිය පහසට, ගිජුවෙලා ඒවා ලබාගන්න වෙහෙසුනාද? නැද්ද? කියල කල්පනා කර බලන්න. ඒ ආකාරයට ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස කියන ඒ ප්‍රිය දේවල්වලට රැවටිලා, ඒ ප්‍රිය දේවල්වලට ගිජුවෙලා ඒ ප්‍රිය දේවල් සොයමින් ජීවිතේ දින, සති, මාස, අවුරුදු කීයක්‌ ගත කළා ද? කියල බලන්න. ඒත් එක්‌ක ම බලන්න ඒ ප්‍රිය දේවල් ලබන්න නොහැකිව අපි කොච්චර දුක්‌ වින්ද ද කියලා. ඊළඟට ඒ ප්‍රිය දේවල් යම් විදිහකින් ලැබුණොත් ඒ ප්‍රිය දේවල් රකින්න කොයි තරම් දුක්‌ වින්ද ද? ඒ ප්‍රිය දේවල් රකිද්දීත් ඒ ප්‍රිය දේවල් අපිට රැක ගන්න බැරිවුණා නේද? ඊට පස්‌සෙ ඒ ප්‍රිය දේවල් අහිමි වෙද්දී කොච්චර දුක්‌ වින්ද ද? ඒ අහිමි වෙච්ච ප්‍රිය දේවල් යළි යළි සොයමින් කොච්චර දුක්‌ වින්ද ද? කියල බලන්න.

මෙබඳු ඉතිහාසයක්‌ නේද අපිට තිබෙන්නෙ. අපේ ඉතිහාසය හාරා බැලුවොත් මේක නේද තිබෙන්නෙ? අපේ ඉතිහාස කතන්දරය අපි පොතක ලිව්වොත් ඔච්චරයි නේද ලියන්න තිබෙන්නෙ. ඇහැට පේන ප්‍රිය රූප වලට ආස කළා. අපි හිතුව ඒකෙන් තමයි සැප ලැබෙන්නේ කියලා. නමුත් ඒක සත්‍යයක්‌ නොවේ. අපි ඇස තමයි සැප කියල හිතුවෙ. ඇසට පේන රූපය සැප යෑයි හිතුව. කන සැප යෑයි හිතුව. කනට ඇහෙන ප්‍රිය ශබ්ද සැප කියල හිතුවා. මේ විදිහට ම නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිව දිවට දැනෙන රස, කය කයට දැනෙන පහස සැප කියල හිතුවා. එහෙම හිතමින් නේද ඒ කාමයන් සොයමින් මහන්සි වුණේ. සොයමින් මහන්සි වෙන්නේ. ඒ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස නිසාම අපිට කොයි තරම් දුක්‌ උහුලන්න වුණාද? ඒවා අහිමි වෙද්දී කොච්චර දුක්‌ උහුලන්න සිද්ධ වුනාද? යළි යළිත් ඒ ප්‍රිය දේවල්ම පතමින් කොච්චර දුක්‌ විඳිනවාදැයි කල්පනා කර බලන්න. ඒ විදිහට කල්පනා කළොත් සිහිය ඉපදෙයි නුවණත් ඉපදෙයි. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මය ඇසීමෙන් සිහිය උපදිනවා.

පටාචාරාව කාමයන් පස්‌සේ ලුහු බැන්ඳා. කාමයන් පස්‌සේ ලුහු බඳිද්දී තමන්ගේ තරා තිරමවත් තේරෙන්නේ නැහැ. කාමයන් පස්‌සෙ ලුහු බඳින කෙනා අඳුනන්නෙ නැහැ “මම කවුද? මම මොකද? කරන්නේ” කියල. ඒක හරියට මොනරා නැටුමක්‌ වගේ. ලෝකයට අලංකාරය පෙන්වනවා. නමුත් තමන්ගේ පිටිපස්‌ස එළියේ. අන්න ඒ වගේයි සිහිය පිට ගිය කෙනාගෙ ස්‌වභාවය. ලෝකයට අලංකාර කෙනෙක්‌ වගේ පෙනී සිටිනවා. නමුත් ලෝකයට පේනවා එයා සිහි නුවණ නැතිව කටයුතු කරන කෙනෙක්‌ බව. ඒ මට්‌ටමට ම සිහිය දුර්වල වෙනවා කාමයන්ට ගිජුවෙන කෙනාගේ. බලන්න ඊටත් වඩා සිහිය දුර්වල වෙනවා කාමයන්ට මුසපත් වුණායින් පසුව.

පටාචාරව කාමයන්ට මුසපත් වුණා. එයා සිටු කුලයක උපන් දියණියක්‌. නම්බුකාර පවුලක උපන් දියණියක්‌ ගෙදර හිටිය වැඩකාරයාට රැවටුණා. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහසට රැවටුණා. එයා හිතුවේ මෙතනයි සැප තිබෙන්නේ කියල. රැවටුණා, ගිජුවුණා. සත්‍යය යෑයි සිතා අසත්‍යයට රැවටුණා. සැප යෑයි සිතා දුකට රැවටුණා. එවිට සිහිය නැතිවුණා. සත්‍යය යෑයි අසත්‍යයට රැවටුණා බව දැනගත්ත නම් ඒත් සිහිය පිහිටනවා. නමුත් පටාචාරවට සත්‍යය සත්‍යය විදිහට දකින්ට මුලින් බැරිවුණා. සත්‍යය යෑයි දැක්‌කෙ අසත්‍යය ම යි. කාමයන් තුළ සැප තිබෙන්නේ කියල රැවටුණා, මුසපත් වුණා. අන්තිමට සිහි කල්පනාව නැතිවෙලා ගියා. අන්තිමට සිහි විකල්වෙලා ගියා. නමුත් එයාට යළිත් සිහිය ඉපදුණා. කුමකින්ද? භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන්ම පටාචාරාවට සිහිය ඉපදුණා. ඊටපස්‌සෙ එයා සත්‍යය, සත්‍යය වශයෙන් ම දැක්‌කා. අසත්‍යය අසත්‍යය වශයෙන් ම දැක්‌කා. එවිට සිහිය බලවත් වුණා. බලවත් වූ සිහියෙන් යුක්‌තව නුවණින් කල්පනා කළා. ඒ කියන්නේ සත්‍යය කල්පනා කළා. ඒ නිසා සියලු දුකින් නිදහස්‌ වුණා. පරිපූර්ණ ශාන්තිය උපදවා ගත්ත.

මේ සංසාරය පුරාවට අපි කවුරුත් අසත්‍යය සත්‍යය ලෙසිනුයි දුටුවේ. සැප තිබෙන්නේ කියල දුකට රැවටුණා. කාමයන් තුළයි සැප තිබෙන්නේ යෑයි රැවටුණා, ගිජුවුණා. ඒවා සොයමින් ම වෙහෙසුණා, මහන්සි වුණා. දුකින් දුකට පත්වුණා. විටක සිහිකල්පනාව පවා නැතිවෙන්න ඇති, කඳුළු සල සලා අඬන්ට ඇති. හදවත පත්තුවී දුක්‌ විඳින්න ඇති. එහෙනම් දැන් හරි තේරුම් ගන්න මෙතෙක්‌ ආ මඟ දොස්‌ සහිතයි. වැරැදි සහිතයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු මේ ධර්මය අසා ඉගෙන ගෙන සිහිනුවණ උපදවා යුතු යෑයි කල්පනා කරන්න. මේ ධර්මය අසා තේරුම් ගත්තොත් සිහිය අපිටත් ඉපදෙනවා. සිහිය උපදවගත්තොත් එයාට මේ ධර්මයට අනුව කල්පනා කරන්න පුළුවන්. එවිට නුවණ ඉපදෙනවා. යළි යළිත් මේ ධර්මය අසා නුවණින් කල්පනා කරද්දී සිහි නුවණ බලවත් වෙනවා.

එවිට මේ තමයි දුක කියල දුක සම්පූර්ණ වශයෙන් තේරුම්ගන්න පුළුවන්. පරිපූර්ණ වශයෙන් තේරුම්ගන්න පුළුවන්. එතකොට අපිට දුකෙන් නිදහස්‌ වෙන්න පුළුවන් කමක්‌ ලැබෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගන්න උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගනිද්දී සිහිය පිහිටනවා. එවිට ඒ ධර්මයට අනුව කල්පනා කර නුවණ උපදවගන්න පුළුවන් කමක්‌ තිබෙනවා. සිහි නුවණින් වාසය කරද්දී සියලු දුකින් නිදහස්‌ වෙන්න පුළුවන් කමක්‌ තිබෙනවා. ඒ ආකාරයට සිහිනුවණින් වාසය කරමින් සියලු දුකින් නිදහස්‌වී ලබන ඒ අමා මහ නිවන අවබෝධ කරන්ට සියලු දෙනාට ම වාසනාව උදාවේවා.

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: