Posted by: lrrp | September 1, 2013

ඉතිරි කළ දෙයක් නැත්නම් කරදරේ වැටීම වළකනු බෑ

දිළිඳුකම දුකකි. දිළිඳුකම නිසා වන කායික මානසික පීඩා ද බොහෝ ය. ඉන් මිදීමට නම් ප්‍රමාණවත් තරම් ධනය ඇවැසිය. හිරු උදා වූ මොහොතේ පටන් හිරු බැස යන තුරුත් මිනිසුන් ගත සිත වෙහෙසන්නේ ඒ ධනය ඉපයීමටය. එහෙත් මොනතරම් හරිහම්බ කළත් ඉතා සුළු පිරිසක් හැර වැඩි දෙනකු දිවි ගෙවන්නේ පීඩාවෙනි. දුකෙන් මිදී සැනසීමෙන් සිටින අය ඉතා සීමිත ය. ඒ ධන පරිහරණය හා සම්පත් හසුරුවා ගන්නා සැටි, කළමනාකරණය කර ගන්නා සැටි නොදන්නා නිසා ය. මිනිසුන් පීඩාවට පත් කරන වෙනත් කායික මානසික හේතු නොතිබෙනවා නොවේ. එහෙත් පොදුවේ සලකා බලන විට බොහෝ අය දුක් විඳින්නේ, කරදරයේ වැටෙන්නේ ක්‍රමානුකූල ඉතිරියක් නොමැති නිසා ය.

ඉතිරිය කී පමණින් අප ගේ සිහියට එන්නේ ද මුදල් ඉතිරි කිරීම පිළිබඳවය. එහෙත් ගිහි ජීවිතයේ දියුණුවට භෞතික සම්පත් මෙන් ම මානව සම්පත් පරිහරණයේ ද ක්‍රමානුකූල බවක් තිබිය යුතු ය. භෞතික සම්පත් නම් ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරනු ලැබු දායාදයන් ය. අප ගේ ශ්‍රමය, දැනුම, බුද්ධිය, නිර්මාණශීලී බව හා නිර්මාණයන් ආදිය මානව සම්පත් ය. මේ සියල්ල ඉතිරිය හා බද්ධ වූ ක්‍රියාදාමයන් ය.

ගිහි ජීවිතයේ සෑම පුද්ගලයකු ම පවුල හා බැඳී සිටී. එහි පැවැත්ම සැනසිලිදායක වන්නට නම් සාමාජිකයන් අතර ක්‍රමානුකූල ධන පරිභෝජනයක් පැවැතීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ලාංකීය පවුලේ ඒ තැන තවමත් හිමි ව තිබෙන්නේ මවටයි. ඇය ඉතිරි කරන, අරපිරිමැස්මෙන් යුතු, අවධානයෙන් හා අවබෝධයෙන් කටයුතු කරන අත්‍යවශ්‍ය දේට පමණක් මුල් තැන දෙන කාන්තාවක් වීම වැදගත් ය.

අතීතයේ අපේ මුතුන් මිත්තෝ වෙහෙස මහන්සි වී අටු කොටු ධන ධාන්‍යයෙන් පිරවූයේ ඉදිරි ප්‍රයෝජනය පිණිස ය. කල් පවත්නා නියඟයක දී හෝ වේවා ගලා යන ගංවතුරක දී හෝ වේවා කන්නයක් දෙකක් අස්වනු පාළු වූවාට ඔවුන්ට කෑමෙන් බීමෙන් අඩුපාඩුවක් තිබුණේ නැත. එදා අප ගේ මවුවරු බත සකසන්නට පෙර සහල් මිටක් වෙන් කරනු ඔබ දැක තිබෙනවාට සැකයක් නැත. ඇය මෙසේ සහල් මිටක් වෙන් කළේ, ඒවා මුට්ටියකට දමා අරපරිස්සම් කළේ නැති බැරි අවස්ථාවක, කරදරයක දී, විපතක දී ප්‍රයෝජනයට ගන්නට ය. ඇය ගෘහ පාලිකාව ලෙස පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ආදර්ශවත් චරිතයක් විය. ඒ දෙස බලා උගන්නා දරුවන් ද ඉතිරි කරන්නට, අරපිරිමැස්මට කුඩා කල දීම ජීවන පුරුද්දක් කර ගනී. එහෙත් අද අපි ජීවත්වන සමාජයේ මෙවැනි පවුල් පසුබිමක් දකින්න නැත. අද බොහෝ ගෘහ පාලිකාවන්ට හම්බ කරන දේ එදිනෙදා වියදම පියවා ගැනීමට පවා ප්‍රමාණවත් නොවේ. එහිදී ඇය මුදල් ණයට ගන්නට පවා පෙලඹේ. එහෙත් ණය වීම පිටුපස ඇත්තේ මහා දුකක්, දරා ගත නොහැකි චිත්ත පීඩාවක් බව ඇයට වැටහෙන්නේ ප්‍රමාදවය. තථාගතයන් වහන්සේ අණන සුඛය ලෙස දේශනා කොට වදාළේ ණය නොවී ජීවත් වීම සැපතක් ම වන බවය.

සාමාන්‍යයෙන් පවුලක ධනය ඉපයීමේ ප්‍රධානියා තාත්තා ය. ඒ ධනය පරිහරණය කරන්නී අම්මා ය. ඒ නිසා ම ඇය පවුලේ කළමනාකාරිනිය ද වන්නී ය. ඇය සැම විටම උත්සාහ කළ යුතු වන්නී පවුලේ සැම සතුටින් තබා ගැනීමට ය. ‘ඉතිරිය’ ඒ සතුට රඳා පවතින ප්‍රධාන අංගයකි. ඇය ධනය අරපරිස්සමින් විය පැහැදම් කරන්නේ නම් දරුවකු ගේ අවශ්‍යතාවකට, හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නට ඇය බිය නැත. ණය වන්නට සිදුවන්නේ ද නැත.

යම් පුද්ගලයෙක් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් ධනය පරිහරණය කළ යුතු අපූරු ක්‍රම වේදයක් බුද්ධ දේශනාවේ සඳහන් වේ.
“ඒකෙන භොගේ භුඤ්ජ්‍යෙය

ද්වීහි කම්මං පයෝජයේ

චතුත්තංච නිධාප්‍යෙය

ආපදාසු භවිස්සති…”

‍මේ අනුව ඔබට ලැබෙන ආදායම පළමුව කොටස් හතරකට බෙදා ගත යුතු වේ. ඉන් එක් කොටසක් වෙන් කළ යුතු වන්නේ එදිනෙදා ආහාරපාන සඳහා ය. කොටස් දෙකක් ව්‍යාපාර හෝ කර්මාන්ත දියුණුවට ආයෝජනය කළ යුතුය. සිව්වැන්න ඉතිරි කළ යුතුය. ඒ කුමක් සඳහා ද? ‘ආපදාසු භවිස්සති’ ආපදාවක්, කරදරයක්, විපතක් සිදුවන අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට ය.

එසේ ඉතිරි කළ දෙයක් නොවේ නම් අප තවත් කරදරයේ ම වැටීම වැළැක්විය නොහැකිය. ණය වෙන්නට සිදු වීමෙන්, ඒ ණය පියවා ගන්නට නොහැකිව තව තවත් ණය වීමෙන් ජීවිත කාලය ම ණය කරුවකු වී මානසික පීඩා විඳින්නට සිදු වේ. අනුන් ගේ ඇනුම් බැණුම්වලට ලක්වෙන්නට සිදු වේ. ණය බර ඉවසා ගත නො හැකිව, ණය කරුවන්ට මුහුණ දෙන්නට නොහැකිව තම අඹු දරුවන් ද ඝාතනය කොට තමන්ගේ ජීවිතය ද විනාශ කරගත් පියකු ගේ කතාවත් ඉතා මෑතක දී ජනමාධ්‍ය ඔස්සේ ම ඔබ අසන්නට දකින්නට ඇත. ඒ තමන් හරි හම්බ කළ දේ නිසි පරිහරණයකට ලක් නොකර හිතුමතයේ වියදම් කිරීමට යාමේ ප්‍රතිඵලයකි. අප ගේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2600 ට උඩදීත් ආර්ථිකය කළමනාකරණය කරගත් යුත්තේ කෙසේ ද යන බව දේශනා කොට වදාළේ මේ ලෙස පුද්ගලයන් විවිධ අභාග්‍යසම්පන්න සිදුවීම්වලින් මුදවා ගනු පිණිසය.

කරණීය මෙත්ත සූත්‍රයේ දී උන්වහන්සේ ‘සත්තුස්සකොච, සුභරොච’ ආදී වශයෙන් දේශනා කොට වදාළේ ලද දෙයින් සතුටු වෙමින්, පහසුවෙන් පෝෂණය කළ හැකි ආකාරයට ජීවත් වීම වඩාත් සුදුසු වන බවය. එවිට පුද්ගලයන් ගුණ ධර්ම දියුණු කොට සතුටින් ජීවත්විය හැකි බවය. තමන්ට ලැබෙන දෙය පිළිබඳව සෑහීමට පත් නොවී වැඩි වැඩියෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම ද දුකට හේතු වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ලැබෙන ප්‍රමාණයට වඩා වියදම් කරමින්, හිතුමතේ ණය වෙමින්, පහසුවෙන් පෝෂණය කළ නො හැකි තත්ත්වයට පත්වනවා නම් අත් වන්නේ දුකක් මිස සැපයක් නොවන බව පෙන්වා දුන්හ.

බුදු දහමේ ඉතිරිය යන සංකල්පය ලෞකික මෙන් ම ලෝකෝත්තර දියුණුව පිණිස ද භාවිත කෙරේ. මතු ප්‍රයෝජනය පිණිස ධන ධාන්‍ය, මිල මුදල් ඉතිරි කරනවා සේ අප ගේ පරලොව සුගතිය පිණිස පින ඉතිරි කළ යුතුය. පරලොවට පිහිට වන්නේ ඉතිරි කරගත්, රැස් කරගත් කුසල ධර්මයන්ය. එම නිසා අප හම්බ කරන ධනයෙන් කොටසක් දන් දීමට, පරිත්‍යාගයට වෙන් කළ යුතුය. එය සංසාර ගමන කෙටි කර ගැනීමට අත්‍යවශ්‍ය ගුණධර්මයකි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: