Posted by: lrrp | October 17, 2013

ගැහැනියක දැක අහසින් බිමට වැටුණු පොඩි හාමුදුරුවෝ…

ලෞකික ධ්‍යානයෙන් පමණක් නො සෑහෙන්න, ලෝකෝත්තර විමුක්තිය උදෙසා වෙහෙසෙන්න යන උතුම් පාඩම කියා දෙන කතා පුවතකි. මෙය මැදුම් සඟි අටුවාවෙන් ගැනිණි..

පිටිසර වැසි රහත් තෙර නමක් මහා සෑයත්, මහා බෝධියත් වැඳීම සඳහා අතැවැසි වූ තෙර නමක සමඟ අනුරාධපුරයට ගියහ. සන්‍ධ්‍යා කාලයේ බොහෝ දෙනා වන්දනාව කරන හෙයින් ටික වේලාවක් නතර වී සිට ඔවුන් ගිය පසු සාමණේර නමටත් නොදන්වා හුදෙකලා ව ම තෙරණුවෝ ගියහ. සාමණේර නම මෙය දැක, මහතෙර නම අවේලාවේ කොහි යන්නේ දැ යි දැනගැනීම සඳහා එතුමන්ට නොදැනෙන්නට උන් වහන්සේ පසු පස්සේ ගියහ.

තෙරණුවෝ පෙරහන සාමණේරයනට දී ඇත් පවුර සමග සෑය තෙවරක් පැදකුණු කොට හැරී යන්නේ ‘මේ හෙරණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ය. එහෙත් මෙය රැකගන්නට හැකි වන්නේ දැ යි දිවැසින් බලන්නාහු, නොහැකි බව දුටුසේක්, “සාමණේරය, ඔබ දැන් මහත් ඍද්ධි ඇත්තෙකි. අනාගතයේ මේ ඍද්ධිය නසාගෙන, එකැස් කණ වූ පෙහෙර ස්ත්‍රියක විසින් අතින් මඬනා ලද කැඳ බොන්නෙහි යැ” යි කීවාහු ය.

සාමණෙර නම ඒ කියමන ගණනකට නො ගත්හ.

තෙරණුවෝ කුටෙලී තිස්ස විහාරයට ගියෝ ය.

සාමණෙර නම තෙරණුවන් පිඬු පිණිස යන විට උන් වහන්සේ පසුපස නොගොස්, “ස්වාමීනි, කවර ගමකට වඩිනා සෙක් දැ?” යි විචාරා, ‘‘අසවල් ගමට යැ”යි කී විට උන් වහන්සේ එහි පිටත් කර යවා, තෙමේ පසු ව අහසින් ගොස් ගම්දොර සමීපයේදී තෙරුන් වහන්සේගේ පා සිවුරු දුන්හ.

තෙරණුවෝ, “සාමණේරය, පෘථග්ජන ඍද්ධිය ඉතා දුර්වල යි; විරුද්ධ අරමුණක් දැකීමෙන් බිඳිය හැකි යි. එබැවින් අප්‍රමාද වව්!” යැ යි අවවාද කළහ.

එහෙත් ඒ අවවාදය පිළිගත්තේ සාමණේර නම නො වේ. තෙරණුවෝ චෛත්‍ය වන්දනා කරමින් කබුපෙලන්ද විහාරයට වැඩියහ. එහි වෙසෙද්දී ද සාමණෙරයෝ අහසින් ගියහ.

දිනක් රූමත් පේෂකාර තරුණියක් ගම අසල විලකට බැස මියුරු සරින් ගීයක් ගයමින් නෙළුම් මල් නෙළුවා ය. සාමණේරයා විලමත්තෙහි අහසින් යන්නේ ඇගේ ගීත ස්වරයෙහි බැඳී සමවතින් පිරිහී පියාපත් සිඳී- ගිය කපුටකු මෙන් අහසින් වැටුණේ ය.

බිඳී-ගිය සමාපත්තියේ බලයෙන් ජලයෙහි නොවැටී විල් ඉවුරට පාත් විය. හෙතෙම වේගයෙන් දුව ගොස් උපාදධ්‍යාය තෙරණුවන්ට පා සිවුරු දී නැවතිණි. තෙරණුවන් තව දුරටත් අවවාද කළ නමුත් නතර කර-ලිය නොහැකි විය.

හෙරණ විල් ඉවුරට ගොස් තරුණිය ගොඩට එන තුරු බලා සිටියේ ය.

සාමණේර නම අහසින් ගිය බවත් නැවත අවුත් සිටින බවත් දුටු තරුණිය, “සාමණෙරයිනි, ඉවත් වෙව! ”යි කීවා ය.

ඔහු ඉවත් වූ කල ගොඩට නැග වස්ත්‍ර හැඳගෙන අවුත් “ස්වාමීනි, කුමක් නිසා මෙහි සිටින්නේ දැ?” යි ඕ ඇසුවා ය. හෙරණ තම අදහස කී විට ඕතොමෝ නොයෙක් ලෙසින් කරුණු කීවා ය. එහෙත් ඔහුගේ අදහස වෙනස් කරන්නට පිළිවන්කමක් නො වී ය.

ඕතොමෝ තම නිවෙසට ගොස් දෙමාපියන්ට මේ බව කීවා ය. දෙමාපියෝ එතැනට පැමිණියහ. ඔවුහු ද ඔහුට අවවාද කළහ. කිසි ම අදහසක් පිළිගැනීමට ඔහු කැමැති නො වී ය.

අවසානයේදී ඔවුහු, “අපි පේෂකාරයෝ වෙමු. අපේ කර්මාන්තය ඔබට කළ හැකි ද?” යි විමසූ හ.

සාමණේරයනුත් “පින්වතුනි, ගිහි වූයේ නම් පේෂ කර්මාන්තය හෝ කුළු පොතු කර්මාන්තය හෝ කරන්නේ ය. මට ඇඳගැනීමට වස්ත්‍රයක් දීමට තරම් තොපි පරිත්‍යාගශීලී නොවන්නහු දැ?” යි ඇසූ විට පේෂකාරිය තමන්ගේ ඉණ වටා ඔතා තුබුණු වස්ත්‍රය ලිහා දුන්නී ය.

එය ඇඳගෙන මහණකමින් ඉවත් වූ ඔහු ගෙදරට කැඳවාගෙන-ගොස් මාලාකාර දියණිය පාවාගත්තේ ය. හෙතෙම රෙදි විවීම උගෙන අන්‍යයන් සමග පේෂකර්මාන්තයේ යෙදී සිටියේ ය.

දිනක් අනෙක් කම්කරුවන්ගේ බිරියෝ කල් තියා ම ඔවුන්ට කෑම ගෙනා හ. ඔහුගේ බිරිඳ මෙතෙක් බත් නොගෙනා බැවින් අනෙක් අය වැඩ නතර කොට කෑම කද්දීත් ඔහුට කර්මාන්තයේ යෙදීමට සිදු විය. තම බිරිය පසු වී ආ බැවින් ඔහු ඇයට තර්ජනය කළ කල්හි ඕ තොමෝ සැමියා අමතා,

“වෙන අයගේ ගෙවල අවශ්‍ය උපකරණ රැස් කොට තිබේ. පිටතින් ගෙනැවිත් දෙන්නෝ ද සිටිති. මා තනි ව ම සියල්ල කළ යුතු ය. ගෙයි මොනවා ඇද්ද නැද්දැ යි කිසිවක් නො දනිති. ඉඳින් කැමැති නම් අනුභව කරන්න. නොකැමැති නම් නිකම් ඉන්නැ” යි කීවා ය.

හීරළුවාත්, “දවල් වී බත ගෙනාවා මදිවාට මට වදනිනුත් අවමන් කරන්නේ ය” යි කියා දමාගැසිය යුතු අන් කිසිවක් නැති ව රෙදි වියනා අලුව ගෙන දමාගැසී ය. එහි තියුණු කොන ඇසෙහි ඇනී බිරියගේ ඇස තුවාල වූයේ, ලේ වැගිරෙන්නට විය.

එකෙණෙහි ම සැමියාට උපාධ්‍යායයන් වහන්සේ එකැස් කණ පේෂකාර ස්ත්‍රියක පිසූ කැඳ බොන්නේ යැ යි පැවැසූ බස සිහි වී උන් වහන්සේ දූර්දර්ශී යැ යි සිතමින් හඬන්නට පටන් ගත්තේ ය.

එය බලා සිටි අය “පින්වත, දැන් හැඬීමෙන් පලක් නැත. හඬා ඇස ප්‍රකෘතිමත් කළ නොහැකි ය. හැඬීම නවතා කළ යුතු ප්‍රතිකාරයක් කරව” යි තරවටු කළහ.

“පින්වතුනි, මා හඬන්නේ ඇස තුවාල වූ නිසා නො වේ. මාගේ උපාධ්‍යායයන් වහන්සේගේ අවවාදය සිහි වීමෙන් හඬමි”යි හේ පැවසී ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: