Posted by: lrrp | November 7, 2013

දැස් පෙනුනත් අන්ධයෙකු සේ සිටි සුගලා

“මට හිරු එළිය බලන්න බෑ. ජනේලයක වීදුරුවකින් වත් හිරු එළිය දැක්කොත් දරුණු හිසරදයක් හැදෙනවා. උහුලන්න බැරි වේදනාවක්. දවස් දෙකක් පුරා ඒ වේදනාව නිරන්තරයෙන් ම තියෙනවා. මේ හිසරදය හැදුණම ඒ දවස් දෙක පුරා ම කන්න බොන්න බෑ. නින්ද යන්නෙත් නෑ. කතා කරන අය රුස්සන්නෙත් නෑ. හිසරදය අඩුවුණා ම ඇඟපත කකියනවා. හීනෙන් බය වෙනවා. බඩ පුරවා දානවා” යි ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණි සුගලා ආධ්‍යාත්මික උපදේශකවරයා සමඟ තම දුක්ගැනවිල්ල කීවාය.

“එතකොට ලයිට් එළිය දැක්කොත්?” ගවේෂකවරයා අතුරු ප්‍රශ්නයක් නැගීය.

“නෑ. ලයිට් එළිය දැක්කට කිසි වෙනසක් වෙන්නේ නෑ. හිරු එළිය තමයි දකින්න අමාරු.”

“ඉතින් හිරු එළිය නොදැක ජීවත්වෙන්නේ කොහොම ද?”

“කළුපාට රෙදි පටියකින් ඇස් දෙක බැඳගෙනයි ඉන්නේ. ගෙදර දොර ජනෙල්වල වීදුරුවලින් හිරු එළිය එනවට ඒවට කළු කඩදාසි අලවලයි තියෙන්නෙ. ඇත්තට ම මම දැන් ජීවත්වෙන්නේ අන්ධයෙක් වගේ.”

“දැන් ඔය අමාරුවට කොයි තරම් කාලයක් ද?”

“දැනට අවුරුදු දෙකක් වෙනවා.”

“මොනවා? අවුරුදු දෙකක් අන්ධයෙක් වගේ ජීවත්වුණා ද?”

“ඔව් මගේ මහත්තයටයි දරුවො දෙන්නටයි පින්සිද්ධ වෙන්න අන්ධයෙක් වගේ ජීවත්වුණා.”

“ඉතින් මෙච්චරකල් ප්‍රතිකාරයක් කළේ ම නැද්ද?”

“කළා. කළා. කරන්න තියෙන සිංහල, ඉංග්‍රීසි, ප්‍රතිකාර ඔක්කොම කළා. අන්තිමට දොස්තර මහත්වරු ලෙඩේ හොයා ගන්න බැරුව මට තියෙන්නෙ මානසික ලෙඩක් කියලා මානසික වෛද්‍යවරුන්ට යොමු කළා. ඒ අයත් මාස ගණනක් ප්‍රතිකාර කළා. බෙහෙත් පෙති කිලෝ ගණනක් ගිලින්න ඇති. අන්තිමේ දී දොස්තර මහත්වරු කිව්වා මේ ලෙඩේ තියෙන්නේ ලක්ෂයකින් එක් කෙනෙකුට යි කියලා. මේ දැනුත් පෙති බොනවා” යි ඇය විස්තර කළා ය.

සුගලා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. හතළිස් දෙහැවිරිදි ඇය විවාහකය. දෙදරු මවකි. ස්වාමි පුරුෂයාත් පුතෙකුත් දෙපසින් ඇය අල්ලා ගෙන දෑස් අන්ධ කෙනෙකු සේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන පැමිණියහ.

මෙය ස්නායු පිළිබඳ ආබාධයක් යැයි වෛද්‍යවරු නිගමනය කොට ස්කෑන් පරීක්ෂණ කළ බවත්, ඒ පරීක්ෂණ වලින් ස්නායුගත ආබාධයක් නොවන බව තහවුරු වූ බවත් වෛද්‍යවරුන්ට රෝගය සොයා ගත නොහැකිව මාස ගණන් කල් පසු වන බවත් සුගලා ගේ සැමියා ආධ්‍යාත්මීය උපදේශකවරයා සමඟ පැවසීය. තමන් ‘සිළුමිණ’ පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය නොවරදවා කියවන කෙනෙකු බැවින් එයින් දැනුවත් වී මෙහි පැමිණි බවත් වැඩිදුරටත් කීවේය.

අවුරුදු දෙකක් තිස්සේ අන්ධයෙකු සේ ජීවත්වීම නිසා දැන් ඇයට ඇස් අරිනවා කියන හැඟීම පවා නැත. දෑස් වටා කළු පැහැ ගැන්වී ඇත. දෑස් වසා තිබු පටිය ගැලවූ විට ඇය දෑතින් දෑස වසා ගත්තා ය. හිතේ ඇති බය ද තදින් බලපා ඇත. බලෙන් ම වාගේ දෑස් ඇර ආධ්‍යාත්මික කිරණ එල්ල කරන විට ම සුගලා සිහිසුන්ව වැටුණාය. ගමේ පන්සලේ බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස ගවේෂකවරයා උපදෙස් දුන්නේය. රාත්‍රියට හිරු එළිය බලනොපාන බැවින් රාත්‍රී නවයට පමණ බෝධි පූජාව පැවැත්වීම පහසු බව ද ඇය කීවාය.

දින විසි එක බෝධි පූජා පවත්වන විට ඇයට ඇස් ඇරීමට පුළුවන්කම ලැබුණි. එහෙත් හිරු එළිය බැලීමේ අපහසුතාවය එසේම පැවතුණි. බෝධි පූජාවෙන් පසු සුගලා නැවත ප්‍රතිකාර පිණිස පැමිණියාය.

එදින ගවේෂණයේ දී සුගලා ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා කරදර කරන්නෙ?”

“මම අල්මේදා”

“ගම කොහෙද?”

“කුරුණෑගල”

“මොකක්ද මේ සුගලාට තියෙන සම්බන්ධය?”

“එහෙම අමුතු සම්බන්ධයක් නෑ.”

“එහෙනම් කොහේදි ද මෙයාගෙ ඇඟට ඇතුළු වුණේ?”

“බෝයවලානෙ පන්සලේ දී”

“තමන් ඒ පන්සලේ මොනව ද කළේ?”

“අනේ! බලන්න මම මගේ ගෙදරට වෙලා ඉන්න කොට ගෙදර අය මාව පන්සලට ගෙනැත් දැම්මා” යි අඬන්නට පටන් ගත්තේ ය. ඇඬිල්ලේ කෙළවරක් නොවන විට දිෂ්ටිය ඉවත් කොට තවත් දවස් හතක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේ ය.

ඊළඟට දිනයේ ද සුගලා ප්‍රලය වූවා ය.

“ඇයි මේ හිරු එළිය දකින්නට බැරි හේතුව?”

“කියන්නේ නෑ. කියන්නේ නෑ. ඒක මතක් වුණත් මට අමාරුයි.”

“ඇත්ත කියන්න. ඇත්ත කියන්න. නැත්නම් තවත් දුක් විඳින්න වේවි.”

“මම යම්කිසි දෙයක් දැක්කා. ඒක නොකියා හිටපු වරදට තමයි මම මේ දුක් විඳින්න වුණේ?”

“කොයි කාලෙ ද තමුන් මැරුණේ”

“1978”

“ඔය නොකියන යම්කිසි දෙය දැක්කේ කවදා ද?”

“මැරෙන්න අවුරුදු අටකට කලින්.”

“ඕවා දැන් නොකියා රහස් වශයෙන් තියාගෙන තවත් පීඩා විඳින්න එපා. ඇත්ත කියලා හිත සැහැල්ලු කරගන්න.”

“ම්… ම්… ම්…”

“කියන්න කියන්න ඔය දුකෙන් මිදෙන්න අපටත් පුළුවන් උදව්වක් කරන්නම්.”

“මහත්තයා මම මගේ ඇස් දෙකෙන් මිනිමැරුමක් දැක්කා.”

“මොනව ද තමන් දැක්කෙ?”

“මම දැක්කා අපේ ගමේ මම අඳුනන මිනිහෙකුට තවත් අඳුනන මිනිහෙක් පොල්ලකින් ගහලා වැටුණා ම ඉණේ තිබුණු පිහියෙන් ම ඇනලා මරනවා. ඒ මිනිහා වෙලට වැටිලා මැරුණා. ඇනපු එකා පැනලා දිව්වා.” මම ටිකක් ඈත ඉඳලා බලා ගෙන හිටියා.”

“ඉතින්?”

“ඉතින් ඊට පස්සෙ පොලීසියෙන් ඇවිත් කිව්වා මේ සිද්ධිය දැක්ක කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙලා කියන්න කියලා. මම ඉදිරිපත් වුණේ නෑ.”

“ඇයි තමන් දැක්ක දේ නොකිව්වේ?”

“මම මේ මැරුණු මිනිහා ගැන ඉරිසියාවෙන් හිටියේ”

“මොනවට ද ඉරිසියා කළේ?”

“ඒ මිනිහගෙ ගෑනි හරි ම ලස්සනයි. ඒකටයි ඉරිසියා කළේ? මූ මැරෙනවා නම් හොඳයි කියලා ඒ වෙලාවෙ මට හිතුණා.”

“ඒ ගෑනිගෙ ලස්සනෙන් මොනව ද තමන් බලාපොරෝතු වුණේ?”

“ඒ ගෑනිව යාළු කැර ගන්න ඊට පස්සෙ මම උත්සාහ කළා. මගේ උත්සාහය හරි ගියේ නෑ.”

“ඉතින්?”

“එදා මම දැක්ක දේ නොකිව්වේ පොලීසියට බයේ නොවෙයි. උසාවි ගානෙ රස්තියාදු වෙන්න තියෙන අකමැත්තටත් නොවෙයි. මිනීමරුවාට බයෙනුත් නොවෙයි. මගේ යටි හිතේ තිබුණු වැරදි අදහසට. මම හිතා ගෙන හිටපු දේ හරි ගියෙත් නෑ. ඊට පස්සෙ මට හිතුණා එදා මම දැකපු දේ නොකියපු එක වැරදියි කියලා. අර මිනිහට පොල්ලෙන් ගහපු හැටි, පිහියෙන් ඇනපු හැටි, පිහියෙන් ඇනපු එකා දුවපු හැටි, ඇනුම් කාපු මිනිහා පාරෙ දඟලලා දඟලලා පෙරළිලා ගිහින් වෙළට වැටුණු හැටි මට චිත්‍රපටයක් වගේ මැවි මැවී පෙනෙන්න ගත්තා.

මේ ඇස් දෙකෙන් නේද දැක්කේ කියලා හිතුණා. මේවා මැවි මැවී පෙනෙන කොට මගේ හිත මහා පීඩනයකට පත් වුණා. මේ අතරෙ මගේ දෑස් නොපෙනී ගියා. වෙද හෙදකම් කළත් සනීප වුණේ නෑ. ඊට පස්සෙ මගේ මුළු ඇ‍ඟේම ගෙඩි පිටදාන්න වුණා. ඊළඟට අංශබාධ රෝගය හැදුණා. ඒකෙන් ඔත්පල වෙලා ඇඳටම වුණා. ඇ‍ඳේ ඉඳගෙන වි‍ඳෙව්වා. අර සිද්ධිය මැවි මැවී පෙනෙන්න ගත්තා. මම වරදක් කළා නේද කියලා හිත හිතා වි‍ඳෙව්වා. මළාට පස්සෙ මම උපන්නේ කොහේද මන්දා. ලෝකයම අඳුරුයි, ඝනාන්ධකාරයකින් වැහිලා. ඇස් අරින්න බැරිවුණා. මම තවමත් ඒ දුකෙන් පීඩාවෙන් පෙළෙනවා. අනේ මහත්තයා මේ දුකෙන් මිදෙන්න මට උදව් කරන්න.”

“ඉතින් තමන් මේ සුගලාගේ ඇඟට රිංගුවේ මොකට ද?”

“මෙයා බෝධිය ළඟට වෙලා ලස්සනට ගාථා කියන කොට මෙයාගෙ ඇඟට රිංගන්න හිතුණා. එදා ඉඳලා මෙයාගෙ ඇඟට රිංගලා මෙයා කන බොන දේවල් ම මමත් කාල බීලා හිටියා.”

“තමන් මේ සුගලාගෙ ලෝකය අන්ධකාර කරලා තවත් පව් සිද්ධ කරනවා. ඔය දුකෙන් පීඩාවෙන් නිදහස් වෙන්න ඕනෑනම් පළමුවෙන් සුගලාගෙන් ශරීරයෙන් ඉවත් වෙන්න ඕනැ. ඊළඟට කල්පනා කරන්න මිනිස්සු අතින් තමයි වැරදි සිද්ධ වෙන්නෙ. කා අතිනුත් වැරදි සිද්ධ වෙනවා. අතීතය හිත හිතා දුක් විඳින්න එපා. වර්තමානයේ ඉඳගෙන මෙතැන් පටන් සංසාර ගමනේදී වැරදි නොකර ජිවත් වෙනවැයි කියලා අධිෂ්ඨාන කරගන්න. දැන් තමන්ට හොඳට මතක සිද්ධස්ථානයක් කල්පනා කරන්න.”

“මට අනුරාධපුරය හොඳට මතකයි මහත්තයා.”

“එහෙනම් දැන් ඒ ගැන ම කල්පනා කරන්න. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, එතැන අවට පරිසරය, සැදැහැවැතුන් වන්දනා කරන හැටි මෙනෙහි කරන්න.”

“ඔව් මහත්තයා මට හොඳට මතකයි. මට එහෙට යන්න ආසයි. මම යනවා. මම යනවා” යි එසැණින් ම ඒ භූතාත්මය සුගලාගේ ශරීරයෙන් නික්ම ගියේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: