Posted by: lrrp | November 7, 2013

මං කෑමට හරි ආසයි කෑම දැක්කම මට ඉවසගෙන ඉන්න බෑ!

මිනිසා ජීවත්වීම සඳහා ධාවන තරගයක යෙදෙන්නාක් මෙන් මහත් කාර්යභාරයක් හිස මත පටවා ගෙන කාලය ගෙවයි. පවුලේ කෑම් බීම් ඇඳුම් පැලඳුම්, බෙහෙත් හේත්, අධ්‍යාපන අවශ්‍යතා, සමාජ යුතුකම් ආදිය ඉෂ්ට කරන්නට අවශ්‍ය වුවමනාවන් සඳහා මුදල් ඉපැයීම ම ප්‍රමුඛස්ථානයට පත්ව ඇත. එයින් එහා ලෝකයක් නැතුවා සේ ය. මේ දුෂ්කරතාවලින් නිදහස් වීමට කිසිසේත් නොහැකිව, බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කැර ගැනීමට නොහැකිව, සම්පූර්ණ කැර ගත නොහැකිව අතරමඟ මිය ඇදෙන්නට සිදු වේ. මේ තත්ත්වය බලවතාට ද, ධනවතාට ද, වෛද්‍යවරයාට ද නීතිඥයාට ද සාමාන්‍ය මිනිසාට ද දුප්පතාට ද කියා වෙනසක් නැත. වුවමනාවන්, ආසාවන් ඉටු කැර ගැනීම සඳහා දුවන ගමනේ අතරමඟ මැරී වැටෙයි.

මරණාසන්න අවස්ථාවේ සිතට නැ‍ඟෙන ඉඩකඩම් දේපළ, දූ දරු ඥාතීන් පිළිබඳ ඇලීම් හෝ ගැටීම් සහිත චුති චිත්තය ඊළඟට භවයට මග පාදයි. දුගතිගාමී කරයි, එපමණක් ද නොව සමහර විට කෑමකට බීමකට ඇති වන දැඩි ආශාව පවා එහි දී ප්‍රමුඛත්වයට පැමිණිය හැකි ය. ඒ අවස්ථාවේ දී ධනය, බලය, තනතුරු, උගත්කම් උපාධි තුට්ටුවක් නොවටින තත්ත්වයකට පත් වේ. අප බෞද්ධයෝ යැයි සිතා ගෙන සිටියාට ද වැඩක් නැත. ඔහු හෝ ඇය ප්‍රායෝගිකව ම බෞද්ධයෙකු විය යුතු ය. තමන් ගේ ශරීරයේ පටන් සියල්ල ක්ෂණයක් පාසා වෙනස් වන ලෝක ධර්මතාව, අනිත්‍යතාව, වටහා ගෙන “මම” යැයි “මගේ” යැයි කියන්නේ මිත්‍යාවක් බව වටහා ගෙන තිබිය යුතුය, නැතහොත් දුගතිය. අනිවාර්යය වේ. එය දැනීමක් නොව යථාර්ථයෙන් ම අවබෝධයක් ම විය යුතු ය.

සිරිමා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කාරියකි. හතළිස් පස් හැවිරිදිය. ඇයට දැඩි ඇඟපත රුදාවක් වැලඳී මාස ගණනක් ගත වුවද වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුවා ය. මේ කායික වේදනාවට අමතර ව සිරිමා පදිංචි නිවසේ රාත්‍රි කාලයට සද්ද බද්ද, යමෙකු නිවස තුළ ඇවිදින අඩි ශබ්ද, ඡායාවල් අසන්නට දකින්නට ලැබුණි. ඇය නිතර හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වන්නට ද වූවාය.

ඇදුරන් ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තොවිල් පවිල් සිදු කළ ද උපරීම මාසයකට වඩා සහනයක් වූයේ නැත, අන්තිමට ‘සිළුමිණ’ පාඨකයෙකු වූ ඇගේ සැමියා ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවාගෙන ගියේය.

මේ වන විට සිරිමා ගේ නිවසේ තෙල් මිශ්‍ර ආහාරයක් සකස් කළොත් ඒවා උයා පිහා අවසන් කරන විට ම පාහේ ඒ ආහාර අතුරුදන් වන තත්ත්වයක් ද උදා වී තිබුණි. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණි මේ යුවළ මෙසේ පවතින තත්ත්වය ආධ්‍යාත්මික උපදේශකවරයා වෙත පැහැදිලි ක‍ළහ.

පළමු දින ගවේෂණයේ දී සිරිමා ප්‍රලය වී දෑසින් කඳුළු වගුරුවන්නට වූවාය. එදින ඉන් එහා අවදි වීමක් නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වන ලෙස ද ඒ කාලය තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ද ගුණය කෙරෙහි විශ්වාසයෙන් ද සිත ඒකාග්‍ර කොට ගෙන බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේ ය.

බෝධි පූජා අවසන් කොට මේ යුවළ නැවත පැමිණියහ. එදින ද සිරිමා ප්‍රලය වූවාය. ඇයට ආවිශ්ට වූ භූතාත්මය අඬන්නට වූවාය. එක දිගට නොනවත්වා අඬන විට විනාඩි පහක් පමණ අඬන්නට ඉඩ දී ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ ය.

“හොඳයි, දැන් සෑහෙන වේලාවක් තමුන්ට අඬන්නට ඉඩ දුන්නානෙ. දැන් අපි ටිකක් කතා කරමු. කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නෙ?”

“මම කුමුදිනී”

“කවුද මේ කුමුදිනී කියන්නෙ?”

“මේ පියල් පුතාගෙ අම්මා” යි සිරිමාගේ සැමියා දෙසට අත දිගු කරමින් කීවා ය.

“එහෙනම් මේ සිරිමාගේ නැන්දම්මා නේද?”

“ඔව්, ඔව්, ඔව් මම විදුහල්පතිනියක්. ඒත් බොහෝ ම දුක් විඳලයි මැරුණේ?”

“ඒ කොහොම ද?”

“මගේ උගුරේ පිළිකාවක් හැදුණා. හරියට කන්න බොන්න නැතුවයි මළේ. මම බොහෝ ම වැදගත් කෙනෙක් දුක් විඳලා මළාට”

“ඇයි මේ වගේ වැදගත් කෙනෙක් දුගතිගාමීව උපන්නෙ?”

“මම කෑමට හරිම ආසයි. කෑම දැක්කම ඉවසගෙන ඉන්න බැරිවුණා.”

“ඇයි කන්න බැරි වුණේ?”

“උගුරේ පිළිකාව නිසා. කෑම ගිලින්න බැරි වුණා. ගිලින්න අපහසුව නිසා කන්න බැරි වුණා. ඒකෙන් කෑමට ආසාව වැඩි වුණා. කෑම දැක්කම කෑම උයන සුවඳ දැනුණාම, පත්තරේ වුණත් කෑමවල පින්තූර දැක්කත් උහුලගන්න බැරි වේදනාවක් ආසාවක් ඇති වුණා.”

“ඒක අසනීපය නිසා සිදුවුණ දෙයක් බව උගත් කෙනෙකු හැටියට වැටහෙනවා නේද?”

“මං දන්නවා. මං දන්නවා. ඒත් මම විඳපු දුක දන්නෙ ඒ තත්ත්වයට පත් වුණ කෙනෙක් ම යි. හොඳට කාල බීල හිටපු කෙනෙකුට බඩගින්න දැනෙන කොට, කෑම දකින කොට ඇති වන ආසාව, වේදනාව, ඔය මහත්තයාලට තේරෙන්නෙ නෑ.”

“හරි… හරි… ඉතින් මේ ගෙදර අයට හිරිහැරයක් වීම හොඳ නැහැ නේද?”

“අනේ ඉතින් මම මොනවා කරන්න ද? මම කොහේ යන්න ද? මේ ගෙදර අය කනවා දකින කොට ඉවස ගෙන ඉන්න බෑ. ලේලි කෑම කන කොට ලේලිගෙ ඇඟිලි අල්ලගෙන ඉන්නවා.”

“ඊයෙ අල භාජනේ තිබුණු අලවලට මොකද වුණේ?” ගවේෂකවරයා ඇසීය.

“ඊයේ අල බඳින කොට සුවඳ ඉවසගන්න බැරි වුණා. ළිපෙන් බාලා මේසයට ගෙනිච්ච ගමන් මම කෑවා” ප්‍රේතිය කීවාය.

“කොහොම ද කෑවේ?”

“අතට අරගෙන කෑවා. හරිම රහයි.”

“මොන කෑමවලට කැමති?”

“තෙල් කෑමවලට මම හරිම කැමතියි.”

“ඒ මොකද?”

“ඒ තෙල් සුවඳ හරිම මිහිරියි.”

“එතකොට කුමුදිනී විදුහල්පතිනිය පින් දහම් කළේ නැද්ද?”

“ඇයි නැත්තෙ? මම හොඳට පින් දහම් කළා. සිල් සමාදන් වුණා. වන්දනාවෙ ගියා. දඹදිවත් සිද්ධස්ථාන වන්දනා කළා. පොතකුත් ලිව්වා.”

“මහත්තයා?”

“මහත්තයා මැරිලා”

“මැරුණාය කියන්නේ මොකක්ද?”

“මහත්තයා ශරීරය අතහැරලා වෙනත් භවයකට ගියා.”

“එතකොට කුමුදුනී විදුහල්පතිනිය”

“ම්… ම්… ම්… ම්”

“ම්… ම්… කියන්න දෙයක් නෑ. ඔබත් දැන් මැරිලා. දැන් ඔබ කුමුදුනී නොවෙයි. හොඳට කල්පනා කර බලන්නැ” යි කී ගවේෂකවරයා සිරිමාට නැවත බෝධි පූජා හතක් පවත්වා එන ලෙස නියම කළේය. ඒ සමඟ ම භූතාත්මය අමතා ඇයට ද නොවරදවා ම ඒ බෝධි පූජාවලට ගොස් සහභාගි වන ලෙස ද නියම කළේය. එහිදී සිරිමා (ලේලිය) බෝධි පූජා පවත්වා අවසන් වන තුරු බුදු ගුණ අනන්තයි…

දහම් ගුණ අනන්තයි…

සඟ ගුණ අනන්ත යි… යනුවෙන් කියමින් බෝධීන් වහන්සේ පැදකුණු කරන ලෙස ද භූතාත්මයට නියම කළේ ය.

සතියකට පසු සිරිමා නැවතත් පැමිණියාය. එදින ද ප්‍රලය වූවාය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා ඇරඹීය.

“කොහොම ද බෝධි පූජාවට ගියා ද?” ගවේෂකවරයා ඇසීය.

“ඔව් ගියා”

“දැන් කොහොම ද?”

“දැන් සැහැල්ලුයි, වේදනාව අඩුයි”

“අපි ඔබට පින් අනුමෝදන් කරන්නට දානයක් සූදානම් කරවන්නම්. ඔබ කැමති ආහාරවලින් ම ස්වාමීන් වහන්සේලාගේ දානයත් සකස් කරවන්නම්, ඔබ මොනවාට ද කැමති?”

“කට්ටා කරවල බැදුමට ආසයි. කිරි හොද්දට. කිරි කොස් ව්‍යංජනයට, කතුරු මුරුංගා කොළ මැල්ලුමට කැකුළු හාලේ බතට කැමතියි.”

ස්වාමීන් වහන්සේ දහ නමක් නිවසට වඩමවා අටපිරිකර සහිත දානයක් පිරිනමන ලෙස ද බුද්ධ පූජාවට හා සාංඝික දානයට අවශ්‍ය ආහාර වෙන් කොට, නැන්දම්මා කැමති ආහාර සමඟ ලොකු බත් පිඟානක් බෙදා එය ඇය ජීවත් වූ කාමරයේ තබා දොර වසා තබන ලෙස ද, එය ආහාරයට ගෙන සාංඝික දානයට ද අත ගසා පින් අනුමෝදන් වන ලෙස ද නැන්දම්මාට ආරාධනා කරන්නැයි සිරිමාට උපදෙස් දුන්නේය. බත් පිඟාන තබන කටයුත්ත රහසිගතව සිදු කරන ලෙස ද කීවේය.

දානයෙන් පසු සිරිමා නැවත පැමිණියාය. එදින ද ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“දැන් කොහොම ද?”

“දානය හොඳට සිද්ධ වුණා. මටත් දැන් බඩගිනි දැනෙන්නෙ නෑ. ඉස්සර වගේ කෑමට කෑදර ආසාව පහව ගියා. දැන් ධර්මය සිහිපත් වෙනවා. මම දහම් පාසලේ ළමයින්ට අභිධර්මයන් ඉගැන්නුවා. ඒවත් මතක් වෙනවා. චේතනාවට අනුව කර්ම රැස්වෙන හැටි වැටහෙනවා. ඒ වගේම පැන් වඩා මගේ නම කියා පින් අනුමෝදන් කරන විට මට ඇඳුමක් ලැබුණා. දැන් මගේ ඇ‍ඟෙන් සුවඳකුත් හමනවා. හරිම සැහැල්ලුයි.”

“ඉතින් තව දුරටත් ලේලිගේ ඇ‍ඟේ ම ඉන්නවා ද?”

“නෑ… නෑ… මම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යනවා. මගේ වේදනාව පහකොට සුවපත් කළාට මහත්තයාට පින් සිද්ධ වෙනවා. බුදු බව ම ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම යනවා” යි සිරිමා ගේ ශරීරයෙන් නැන්දම්මාගේ භූතාත්මය ඉවත්ව ගියා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: