Posted by: lrrp | November 7, 2013

මං මගේ දුක කියන්න අක්කා හොයාගෙන ආවා

“අනේ! බුදු මහත්තයෝ මට වෙච්ච විපත මට දරාගෙන ඉන්න බෑ. අනේ….” යි නාලිනීට ආවිශ්ට වූ භූතාත්මය බිම පෙරැළී අඬන්නට වූයේය.

මොකක්ද වෙච්ච විපත. කරදරය. ඔය ඇඬිල්ල නතර කරලා කියන්න, අපට පුළුවන් උදව්වක් කරන්නම්” යැයි ආධ්‍යාත්මික ගවේෂකවරයා කීවේය.

මහත්තයා මම අවුරුදු හතක් අරාබියේ රස්සාව කළා. ගෙවල් දොරවල් හැදුවා. ගෑනිට රත්තරන් බඩු අරන් දුන්නා. ගෙදරට අවශ්‍ය, ටී. වී. – ෆ්‍රිජ්, ඇඳ පුටු මේස අලුතෙන්ම ගත්තා. මහත්තයා මම බස් එකකුත් ගත්තා. ඒක ගත්තෙත් ගෑනිගෙ නමට. මම රට ඉන්දැද්දි ගෑනි හොර මිනිහෙක් යාළු කැර ගෙන. ඌව ගෙදරට ම ගෙන්නගෙන මට තර්ජනය කළා” යි නැවතත් හඬන්නට විය.

නාලිනී පෙරේරා තිස් පස් හැවිරිදි විවාහක කාන්තාවකි. මාවතගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අරාබියේ දී සිය දිවි හානි කැර ගත් සහෝදරයාගේ භූතාත්මය ඇයට ආවිෂ්ට වීම නිසා දුකට පත්ව, ශාරීරිකව ද මානසිකව ද පීඩා වින්දාය. තොවිල් පවිල් ශාන්ති කර්ම සිදු කළත් නිත්‍ය සුවයක් නොලදින් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ස්වාමි පුරුෂයා සමඟ පැමිණියාය.

එහිදී ආධ්‍යාත්මික ගවේෂකවරයා මුණ ගැසී තමන්ගේ දුක් විපත් කතාව කියන්නට සැරසෙද්දී ම භූතාත්මය ආවිෂ්ටව විස්තර කියන්නට වූයේය.

“මහත්තයා, අපේ අම්මා රට රස්සාවකට ගියා. තාත්තා බීමට ඇබ්බැහි වෙලා මාවයි අක්කවයි දාලා යන්නට ගියා. අක්කා තමයි දුක් විඳගෙන මාව හැදුවේ. මගේ මේ බුදු අක්කට පින් අයිති වෙන්න ඕනෑ” යි අඬන්නට විය.

“හරි හරි ඔය හිතේ තියෙන දුක නිවෙන්නත් එක්ක ඔයාගෙ ප්‍රශ්නය කියන්න.”

“ඔව් මහත්තයා මගේ දුක කියන්න වෙන කෙනෙක් නෑ. මම ඔක්කොම කියනවා.”

“මොකක්ද ඔබේ නම?”

“සිරිල්”

“සිරිල්ට මොකද වුණේ?”

“මම හැදුණෙ වැඩුණෙ අක්කගෙ ළඟ. මම වඩු වැඩ කරන්න ඉගෙන ගන්නා වයස අවුරුදු දහ අටේ දි ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. එයාගෙ නම රීටා. රීටාට වයස අවුරුදු දහසයේදී මම එයාව කසාද බැඳල ගෙදරට එක්ක ගෙන ආවා. අපට ය කියලා ගෙයක් ඕනැයි කියල කංකෙඳිරි ගාන කොට මම රට රස්සාවකට ගියා. එතකොට අපට දරුවෙකුත් ඉන්නවා. මම ගියේ අරාබි රටකට. සල්ලි ටිකක් හම්බ කැර ගෙන ඇවිත් ගෙයක් හදන්න කටයුතු කළා. දේව පූජා තියන්න කියලා දේවාලයකට ගියා. ඒ දේවාලේ කපුවා අප එක්ක හිතවත් වුණා. මම ආපහු නැවතත් රට ගියා. මේ අතරේ රීටා කපුවා එක්ක යාළු වෙලා. මම දන්නෙ නෑ මම අවුරුදු හතක් දුක් විඳලා හම්බ කරපු දෙයින් ලස්සන ගෙයක් හැදුවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගත්තා. රීටාට රත්තරන් බඩු අරන් දුන්නා. මම අලුතෙන් බස් එකකුත් අර ගත්තා. ඒක ගත්තෙත් රීටගෙ නමට.

“ඔය අතරෙ රීටා අර කපුවත් එක්ක යාළුයි කියලා ආරංචි වුණා. ඌ අපේ ගෙදර ඇවිත් නතර වෙනවයි කියලත් ආරංචි වුණා. ඒවත් කපුවගෙම වැඩ. මම ආපහු ලංකාවට ආවා. මම මේවා ගැන ඇහුවාම රීටා ඒවා ඇත්ත බව පිළිගත්තා. මම ගෙදර ඉන්න කොටත් අරූ – කපුවා මගේ ගෙදරට ආවා. රීටා මටත් වඩා හොඳට ඌට සැලකුවා. ඌ මට තර්ජනය කළා. උඹ බලා ගනින්, මම දෙවියන්ගෙ මිනිහෙක්. මට උඹ හිටියත් එකයි, මළත් එකයි. මගෙයි රීටගෙයි සම්බන්ධය මම නතර කරන්නේ නෑ කියලා මට තර්ජනය කළා. දවසක් උදේ පාන්දර අවදි වෙලා බලන කොට මම නිදාගන්න ඇ‍ඳේ ඔළුව තියපු කොට්ටය යට මිරිස් කරලක් ගහපු දෙහි ගෙඩියක් තිබුණා. මේක අරූගෙ වැඩක් බවත් රීටගෙ සහයෝගය ලැබිලා මෙහෙම ගුරුකමක් කැර තියෙන බවත් මට වැටහුණා. මේ සිද්ධියෙන් මම මානසිකව වැටුණා. කරන්න දෙයක් නැති තැන මම නැවතත් රට ගියා.

“රට ගියා ම හැම දාම රෑට මුන් දෙන්නා ටෙලිපෝන් එකෙන් මට කලකොලොප්පම් කරන්න හිටියා. දවසක් මුන් දෙන්නා මට තර්ජනය කළා. උඹ දික්කසාද වෙයන්. හැබැයි ගේත් අපට ඕනෑ. බස් එකත් උඹට දෙන්නෙ නෑ. ඒක රීටගෙ නමටයි තියෙන්නේ කියලා තර්ජනය කළා. එදා මම හොඳට ම කළකිරුණා. එදා අරාබියේ මම හිටපු කාමරයේදී ගෙල වැළලාගෙන මැරුණා” යි සිරිල්ගේ ප්‍රාණකාරයා සිය කතාව කීවේය. ඉන් පසුව දිගින් දිගට අඬන්නට වූයේය.

දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසට ගවේෂකවරයා නාලිනීට උපදෙස් දුන්නේය.

සති තුනකට පසු නැවත පැමිණි විට ද නාලිනී ප්‍රලය වූවාය.

ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“තමුන්ගෙම බිරියයි කපුවයි වරද කරලා තියෙන්නේ, ඉතින් ඇයි මේ අක්කගෙ ඇඟට රිංගලා එයාට කරදර කරන්නෙ?”

“උන් දෙන්නා ආරක්ෂා වෙලා ඉන්නෙ. මට කිට්ටු කරන්න බැහැ. මගේ දුක කියා ගන්න වුවමනා නිසා අක්කගෙ ඇඟට රිංගුවා.”

“මොකක්ද තමුන්ට තියෙන දුක?”

“මගේ ගෑනිත් දේපළත් අහිමිවීම දුකක් නෙවෙයි ද?”

“දුකක් නම් තමයි. ඒත් මෙන්න මේ ටිකත් අහන්න. යන්තම් වයස අවුරුදු දහඅට වෙනකොට ගෑනියෙක් ඕනැ වුණා. හරියට රස්සාවක් ආදායමක් නෑ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නෑ. ඉතින් රට රස්සාවලට යනවා. ළාබාල කෙල්ලක් විවාහ කරගෙන ඒකිව ගෙදර දාලා රට යනවා. ඇත්තටම මේ වගේ කෙල්ලො හරියට තරුණ වයසට ඇවිත් නැහැ. ජීවිතය ගැන අවබෝධයක් නැහැ. කසාද බැන්දට පස්සෙයි නියම තරුණ වයසට එන්නෙ. මිනිහා අවුරුදු හත අට රට ගිහින් එනකම් තනිකඩේ ඉන්න කොට මොකෙක් එක්ක හරි යාළු වෙනවා. පාන් කාරයා වුණත් කමක් නෑ. ත්‍රීවිල් කාරයා වුණත් කමක් නෑ. මොකා එක්ක හරි පැටළෙනවා. ඔයිනුත් භයානකම දේ තමයි දේවාල ගාණෙ යන එක. ළපටි තරුණ ගෑනු ගියාම යකා නොවෙයි දිෂ්ටි හෙළන්නෙ කපුවා.”

“සිරිලුත් ජීවිතේ බාරදූරකම දන්නෙ නෑ. අත්දැකීම් දන්නෙ නෑ. ගෑනිට වහවැටිලා ර‍ටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නෑ. ගෑනිව විශ්වාස කරලා දේපළ ගෑනිගෙ නමට ගත්තා. ඉතින් කල්පනා කරලා කියන්න මෙතන කවුද වරද කරලා තියෙන්නෙ?” ගවේෂකවරයා ඇසීය.

“ඔව් මහත්තයා, මම ම තමයි වරද කරලා තියෙන්නෙ.” යි භූතාත්මය අඬන්නට වූයේය.

“ඒ විතරක් ද නොවෙයි. සිරිල්ගෙ අම්මත් රට ගියා. රට ගියා ම බොහොමයක් ගෑනුන්ට මිනිහව මදිපුංචි වෙනවා. ගෙවල් දොරවල් හදන්න සල්ලි හම්බ කරන්න කියලා තමයි යන්නෙ. ටික දවසක් ඉන්න කොට මස් මාළු කාලා තෙල වැටෙන කොට ආපු කාරණේ මතක නැති වෙනවා. ගෙවල් දොරවල් අමතක වෙනවා. ඔහොම වෙන කොට ගෙදර ඉන්න මිනිහා බීමට ඇබ්බැහි වෙනවා. අයාලේ යනවා. අන්තිමට බලන කොට පවුල් ජීවිතේ අවුල්, ජීවිතේ හොඳම කාලෙ ගෑනියි මිනිහයි එක වහළ යට නෑ. දරුවන්ට අම්මගෙ තාත්තගෙ ආදරේ කරුණාව නෑ. රට යන්නන් වාලෙ රට ගියාට වැඩක් නෑ. පවුලේ ජීවිත සැලසුම් කරන්න, මෙහෙයවන්න දැනුම තේරුම ඕනෑ. සල්ලි තිබුණටම මදි. ඒ මුදල් කළමනාකරණය කරගත්තත් දැනුම අවබෝධය තියෙන්න ඕනෑ. අඩිපුඩි ගහලා පාටි දැම්මාට වැඩක් නෑ. රට රස්සාවලට ගිය අයගෙන් කීයෙන් කී දෙනා ද සන්තෝසෙන් පවුල් කන්නෙ. සිරිල්ටත් වුණේ ඒ ටික ම නේද?” අන්තිමට ජීවිතෙත් නෑ. මෙලොවත් පරලොවත් දෙක ම නෑ.”

“ඇයි මහත්තයා පරලොවත් නෑ කිව්වෙ?”

“දුකෙන් වේදනාවෙන් තරහෙන් සියදිවි හානි කැර ගෙන දුගතිගාමී උපතක් ලබලා දැන්.”

“මට කපුවගෙන් පළිගන්න ක්‍රමයක් නැද්ද මහත්තයා?”

“අනුන්ට වෛර කරන්න හිතන්න එපා. දෙවියන්ගේ නාමයෙන් වැරදි වැඩ කරන අයට විශ්වය දඬුවම් කරනවා. දැන් ඔය කපුවා වුණත් තමන්ගෙ අඹු දරුවන් අතහැරලා රීටා ළඟට ඇවිත් ඉන්නේ. එහෙම වුණත් කපුවගෙ යටිහිත දන්නවා තමන්ගෙ කසාද බිරියයි දරුවොයි දුක් විඳින බව, සාප කරන බව. ඔය වගේ ඇදුරොත් කපුවොත් අන්තිමට අනන්ත දුක් විඳිනවා. මෙලොවත් දුක් විඳිනවා. පරලොවත් දුක් විඳිනවා. තමුන් පළිගන්න වුවමනා නෑ. විශ්වය නියමය ඉටුකරාවි” යි ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.

“ඉතින් මහත්තයා මම දැන් මොනව ද කරන්න ඕනෑ.”

“ඔබ කිසි දෙයක් කරන්න අවශ්‍ය නෑ. රීටාත් කපුවාත් දෙන්නා බරපතළ පාපයක් කරන්නෙ. ඒ දෙන්නා නිසා ඔබේ ජීවිතය නැති වුණා. සිරිල්ගේ ජීවිතය විනාශ වන තැනට ඒ දෙන්නා කටයුතු කළා. ඒක ප්‍රාණඝාතයක්. ඒ වගේ ම අනුන් සතු දේපළ වැරදි ආකාරයෙන් ලබා ගැනීම, බුක්ති විඳීම, අදන්නාදානය. ඊළඟට වැරදි කාමසේවනය. වැරදි ලෙස පංචේන්ද්‍රියයන් පිනවීම, කාමය වරදවා හැසිරීම, මේ වගේ අපරාධ කළ අයගේ යටි හිත දන්නවා තම තමන් කළ වරද. මෝහයෙන් අන්ධ වී ලෝභයෙන් රාගයෙන් ද්වේෂයෙන් සිදුකළ අහේතුක අකුසල කර්ම. විපාක බරපතළයි, ඒ අය මෙලොවත් පරලොවත් විඳවාවි, ඔබ ඔබේ හිත හදාගන්න.”

“කොහොම ද මහත්තයා හිත හදාගන්නෙ?”

“මේක ලෝකයේ හැටි. මේ වගේ දේවල් ලෝකයේ තවත් අයට සිද්ධ වෙලා තියෙනවා. දැනුත් සිද්ධ වෙනවා. ඉදිරියටත් සිද්ධ වෙනවා. ඔය දේපළ ගැන හිතන්න එපා. අපේ ශරීර වගේ ම ඒවත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. දිරාපත් වෙනවා. විනාශ වෙනවා. ඔය දේපළ ගැන හිතලා වැඩක් නෑ. ඒකෙන් වේදනාව පීඩාව විතරයි ඔබට ලැබෙන්නේ. ඔය දේපළ නීතියෙන් ලබාගන්නත් බෑ. එසේ ලබාගන්නත් ඔබට භුක්ති විඳින්නත් බැහැ. ඔබ දැන් එදා හිටපු සිරිල් නොවෙයි, දැන් ප්‍රේතයෙක්. ඔබ දැන් ඔය ප්‍රේත භවයෙන් මිදී ඉහළ තලයකට යන්න අධිෂ්ඨාන කරන්න. අක්කා ලවා සාංඝික දානයක් මහා සංඝ රත්නයට පූජා කොට ඔබේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරවන්නම්, එතකොට ඔබට ඉහළ තලයකට යන්න පුළුවන්” යැයි කරුණු පැහැදිලි කළේය.

නාලිනී සාංඝික දානය පිරිනමා නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ආවාය. එදින ද ප්‍රලය වූවාය.

“කවුද මේ?” ගවේෂකවරයා ඇසීය.

“මම සිරිල්. මම පින් අනුමෝදන් වුණා. මට ඒ සතුටත් සමඟ සැහැල්ලුවක් දැනුණා. මට දැන් කතරගම දේවාලයට යන්න ඕනෑ.”

“බැහැ. බැහැ. දේවාලයට බැහැ. ඔබට කිරිවෙහෙර වහන්සේ අසලට යන්න පුළුවන්. එතැනට ගොස් පිනට දහමට සම්බන්ධ වෙන්නැÓයි උපදෙස් දුන්නේය.

මෙය සීමාව ඉක්මවා දේවාල පස්සේ යන උදවියට පාඩමකි. එසේම ළමාවිය, ලෝකය පිළිබඳ ඉගෙන ගන්නා වයස තරුණ විය යැයි සිතා සිටින නොමේරූ වයසේදී මනමාල මඟුල් සිතුවිලි ගොඩ නඟන ගැහැනු පිරිමි දෙපාර්ශ්වයට ම ආදර්ශයකි. එවැනි අයට ප්‍රතිඵලය ඉගෙනුම කඩා කප්පල් වේ. ජීවිතය අවුල් වේ. අසාර්ථකයි. මෙලොවත් පරලොවත් සැනසුමක් සතුටක් නැත, මවුපියනට ද පාඩමකි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: