Posted by: lrrp | November 7, 2013

මං මැරුණේ නෑ….මියගිය අම්මා හීනෙන් දුවට කියයි

ඇය වැදගත්කමින් ද ධනයෙන් ද පොහොසත් පවුලක දියණියකි. පවුලේ එක ම දරුවා ඇය යි. පදිංචිය මිනුවන්ගොඩ ය. මව බැංකු නිලධාරිනියකි. පියා දැව සංස්ථාවේ නිලධාරියෙකි. ඇය සිය මෑණියන් ඇමතුවේ අම්මි කියා ය. ආච්චි අම්මා ඇමතුවේ “අම්මා” කියා ය. ළදරු වියේ සිට ම ඇය “අම්මාට වඩාත් සමීප වූවාය. ආච්චි අම්මා හෙවත් අම්මා පිටස්තර පුද්ගලයින්ට “චන්ද්‍රා මැඩම්” නම් වූවාය. චන්ද්‍රා මැඩම් ගේ මේ මිනිබිරිය අමානි නම් වූවාය.

චන්ද්‍රා මැඩම් පිනට දහමට නැඹුරු වූ උපාසිකාවකි, ඇය පන්සලට යන විට, බෝධි පූජාවට යන විට, අමානි ද නොවරදවා ම පසු පසින් ගියාය. වයස අවුරුදු හයේ හතේ දී වුව ද අම්මා සමඟ අමානි ද භාවනා කළාය. ළමා වියේ දී වුව ද ස්වාමීන් වහන්සේ නමක වෙතින් ධර්ම දේශනයකට සවන් දුන්නොත් එහි ඇති ගැටලු තැන් පිළිබඳ අමානි දහසක් ප්‍රශ්න නඟා දැනුම් තේරුම් ඇති කැර ගත්තා ය.

කොළඹ බාලිකා පාසලක මූලික අධ්‍යාපනය ලැබු අමානි සාමාන්‍ය පෙළ සඳහා උසස් බාලිකා විදුහලකට ඇතුළත් වූවාය. නිවාඩු කාලය ආධ්‍යාත්මික කටයුතුවලට ම කැප කළා ය කීවොත් නිවැරදිය. මුලදී අම්මාගේ පසුපසින් ආගමික කටයුතු වලට ගියත් දැන් අම්මාට සිදුව ඇත්තේ මිනිබිරිය පසුපසින් යෑමටය. සිකුරාදා සවස කොළඹ සිට ගමට පැමිණෙන අමානි ඉරිදා දවස වනතුරු ගත කළේ භාවනා මධ්‍යස්ථානවල ය. අමානි අලව්වේ කන්දක භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ජයසූරිය උතුමා සොයා ගෙන අම්මා සමඟ ගියාය. ඉන්දියාවේ සිට නුවරඑළියේ ගයත්‍රි කෝවිලට ස්වාමි මුරුගේසු නමැති යෝගියෙකු පැමිණ ඇති බව පුවත්පතකින් දුටු අමානි එහි ද ගියා ය. ස්වාමි මුරුගේසු භාවනා උපදෙස් දුන්නේ දෙමළ භාෂාවෙනි. අමානි දෙමළ දන්නේ නැත. එහෙත් ස්වාමිගේ දේශනය අමානිට වැටහුණාය. එය මනසින් මනසට සන්නිවේදනය වීමක් සේ ඇයට දැනුණි. ඇයට ගැටලු තැන් ඉංග්‍රිසියෙන් ප්‍රශ්න කොට ස්වාමිගෙන් නිරාකරණය කැර ගත්තා ය. ස්වාමිගේ දේශනයට සවන් දෙන්නට පැමිණි වැඩිහිටි උගතුන්ට ස්වාමි උපදෙස් දුන්නේ “මේ දරුවා වගේ වෙන්න” කියා ය.

මේ ඔක්කොම අතහැර දා කැලේට යන්නට ඇත්නම් හොඳ යැයි ඇය නිතර මවුපියන් සමඟ කීවා ය. මේ අතර “චන්ද්‍රා මැඩම්” මිය ගියාය. අමානිගේ මාමලා කීපදෙනෙක් ම වෛද්‍යවරු බැවින් මේ හිතුවක්කාර (සිතූ දේ කරන) දැරිය ඔවුන්ට බලපෑම් කොට ආච්චි අම්මාගේ මිනිය බලන්නට මෝචරියට ද ගියා ය. පුදුමයි. ආච්චි අම්මාගේ මුහුණ රත්තරන් පාටින් දිලිසෙමින් තිබුණි. ඇය මැරී නැතැයි සිතූ අමානි ඇගේ දේහය අත ගා බැලුවා ය. තද සීතලක් හා තද දරදඬු ගතියක් අතට දැනුණු බැවින් ඇය මැරී ඇති බව පිළිගත්තාය. මිනිය කපන සැටි ද බලා සිටියාය.

තමන් ගේ තනි නොතනියට භාවනා මධ්‍යස්ථාන කරා ගිය, අම්මිගේ තරවටුවල දී තමන් වෙනුවෙන් පෙනී සිටි, තමන් ගේ සමීප ඥාතිවරිය, එක ම හිතවතිය, ආච්චි අම්මා හෙවත් අම්මා ගේ වියෝගයෙන් අමානි ඇගේ දේහය ළඟ පෙරැළි පෙරැළි ඇඬුවා ය.

රාත්‍රි නින්දේ දී ‘අම්මා’ හීනෙන් පෙනී සිටියාය. “බබා අඬන්න එපා. මම මැරුණෙ නෑ. මම ඔයා ළඟ ඉන්නවා. ඔයාගෙ ඕනෑම ප්‍රශ්නයක් මට කියන්න. මම විසඳනවා.” යැයි කියා ඇගේ හිස අත ගා අතුරුදන් වූවාය. අමානිට ඒ තරම් ප්‍රශ්න තිබුණේ නැත. තිබුණු එක ම ප්‍රශ්නය හිටි හැටියේ අම්මිගෙන් බැණුම් අහන්නට වීම ය. අමානි කාමරයට ගොස් “අම්මේ අම්මි මට බණිනවා” යි කී සැණින් අම්මිගේ බැනිල්ල නැවතුණි. අම්මි අමානි ළඟට ඇවිත් කුළුපග වූවාය.

දිනක් ධර්ම දේශනයකට සවන් දෙමින් සිටියදී අමානිට ත්‍රිලක්ෂණය පිළිබඳ අසන්නට ලැබුණි. එහි දී අනිත්‍යතාවය ගැන කියැවෙන විට හදවතේ සිට මොළය දක්වා විදුලි සැරයක් ගමන් කළා සේ ඇයට දැනුණි. සහෝදර සහෝදරියන් කිසිවෙක් නැති අමානි ගේ තනි නොතනිය ළඟ දැවටුණේ “ලකී” (බල්ලා) පමණි. ඌ හුරතල් කිරීමට හා වඩාගෙන සිටීමට පුරුදුව සිටි අමානි “මුන් මළ දාට දුක්වෙන්නට වේ” යැයි බලු හුරතලය ද අතහැර දැමුවාය.

මේ වන විට ලංකාවේ පැවැති කලබලකාරී තත්ත්වය නිසා විශ්ව විද්‍යාල වසා දමා තිබුණි. විසිතුන් හැවිරිදි අමානි උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියා‍ව බලා ගියාය. එහි දී ජීව වෛද්‍ය විද්‍යා පර්යේෂණ පිළිබඳ උපාධියක් ලැබුවාය. අධ්‍යාපනයට අමතරව රැකියාවක ද නිරත වූ ඇය ඕස්ට්‍රේලියාවෙන් ගෙයක් හා වාහනයක් ද මිල දී ගත්තා ය.

ඇය සංගීතයට හා කලාවට ද නැඹුරු චරිතයකි. මේ තාරුණ්‍යය තුළ ස්වභාවයක් වූ ප්‍රේම සම්බන්ධ එහෙම තිබුණේ නැද්දැයි මම ප්‍රශ්න කළෙමි. “තිබුණා. තිබුණා. මොකද නැත්තේ. ඒත් සතියකට දෙකකට වඩා පැවතුණේ නෑ. නිතර දුරකථනයෙන් කතා කරනවා. මේක මගේ භාවනා කටයුතුවලට බාධාවක් වුණා. කතා නොකළාම දහසක් ප්‍රශ්න අහනවා. මම උත්තර බඳින්න ඕනෑ. මේක නිදහසට බාධාවක්. මම අතහැර දැම්මා” යි විවෘතව ම පිළිතුරු ලැබුණි.

“2004 දී අධ්‍යාපනය අතහැර ලෝකෙ වටේ ගියා. බුරුමය – තායිලන්තය මැලේසියාව වගේ බෞද්ධ රටවල භාවනා මධ්‍යස්ථාන සොයා ගියා. අජාත් චා හාමුදුරුවන්ගේ භාවනා උපදෙස් ගත්තා. ඉන්දියාවේ දකුණේ සිට උතුරට ගමන් කළා. ආශ්‍රම්වලට ගියා. සිඩ්නි නුවර දී “ශාන්ති වන සෙනසුනේ” සතියක භාවනාවකට ඇතුළත් වුණා. සතිය සති දෙක වුණා. මාසයක් වුණා. මාස දෙකක් වුණා. ඒ කාලය තුළ පුදුම සතුටක්, සහනයක්, සැනසිලි සුවයක් වින්දා” යි අතීතය අනාවරණ්‍ය කැරුණි. ලෝකය වටා ගවේෂණය සංචාරය මාස හයකින් නිමා කොට ඇය යළිත් මෙල්බන් නුවරට ආවා ය.

මෙල්බර්න් නුවර දී මඩවල පුණ්ණජි හිමියන් මුණ ගැසී ධර්ම සාකච්ඡා පවත්වා ආධ්‍යාත්මික දියුණුවට ජීවිතය කැප කරන්නට ඉටා ගත්තාය. “මෙච්චර වියදම් කොට ඉගැන්නුවේ ඕකට දැයි මවුපිය දෙදෙනා දුරකථනයෙන් ප්‍රශ්න කරන විට “අම්මලා දකින්න කැමැති පීඩාවට පත් දුවක් ද? සතුටින් සැනසිල්ලෙන් ඉන්න දුවක් දැයි අමානි ප්‍රශ්න කළ විට මවුපියෝ නිහඬ වූහ.

අමානි නැවතත් බුරුමයට ගියාය. ඉන්දියාවේ භාවනා මධ්‍යස්ථානවල අනිවාර්යයෙන් සතියට එක් දවසක් සම්පූර්ණයෙන් “මුනි වත” රැකිය යුතුය. අමානි බුරුමයේ දී අටසිල් සමාදන් වී සම්පූර්ණ මාස තුනක් “මුනිවත” රැක්කා ය. දැන් අමානි සම්පූර්ණයෙන් හිස මුඩ කළ සුදු අඳින උපාසිකාවකි.

පැවිදිවීම සඳහා ලංකාවට එන්නට බලාපොරොත්තුව සිටි ඇය පුණ්ණජී හිමියන් ගේ උපදෙස් පරිදි හදිසියේ ම බුද්ධගයාවේ දී පැවිදි වූවා ය. දැන් ඇය මිනුවන්ගොඩ බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ ය. භික්ෂුණී කුසුමා, ගලිගමුවේ ඛේමාචාරි, දෙකඳුවල ධම්ම ශාන්ති මෙහෙණිවරු උපසම්පදාවට ආචාර්ය වූහ.

ඔස්ට්‍රේලියාවේ ඇගේ නිවස “නිසල අරණ” නමින් ශුන්‍යාගාරයක් බවට පත් කළාය. “නිසල අරණ” නමින් ම තවත් ප්‍රදේශයක භාවනා මධ්‍යස්ථානයක් ද පිහිටුවිය. වස් කාලයට ලංකාවට පැමිණීම සිරිතක් කොට ගත්හ.

මේ අතර ලංකාවට වැඩම කළ අවස්ථාවක උන්වහන්සේ ගේ ඥාතියෙකු සතු අක්කර පහක ඉඩමක් ඔහුගේ මෑණියන්ට පිං පිණිස උන් වහන්සේට පූජා කළේය. මෝල්කාවේ, කරව්ව ප්‍රදේශයේ නිහඬ පරිසරයක පිහිටි මේ ආරණ්‍යය ද “නිසල අරණ” යැයි නම් කරනු ලැබුණි.

මේ වන විට කරව්වේ නිසල අරණේ නේවාසිකව භාවනා කරන්නට උපාසිකාවෝ පැමිණෙන්නට වූහ. එහෙත් ඔවුන් අතර නිතර අඬදබර ආරාවුල් හටගන්නට විය. මේ පිරිස සමඟ ආධ්‍යාත්මීය කටයුතු කැර ගෙන යනවාට වඩා මෙහෙණින් වහන්සේට සිදු වූයේ නඩු විසඳන්නට ය. විශ්වාස කළ නොහැකි තරමින් අස්වාභාවික ලෙස ඇති වූ මේ අසමඟි ආරාවුල් පිළිබඳ මෙහෙණින් වහන්සේ දෙවරක් සිතා බැලූහ.

මේ අතර මිනුවන්ගොඩ කෙනෙකු තමන් ගේ පෞද්ගලික ප්‍රශ්නයකට පේනයක් අහන්නට දේවාලයකට ගියේ ය. එහි දී දේව ගැතියාට චන්ද්‍රා මැඩම් ආමිශ්ට වූවාය. “මම දැන් කතරගම බෝධීන් වහන්සේ ළඟ පත්තිනි දේව මණ්ඩලයේ දේවතාවියක් වී ඉන්නවා. අපේ ගෙදර අයට යම් ප්‍රශ්නයක් වූ විට මා සිහිපත් කරන්නැ” යි කියා පණිවුඩයක් දුන්නාය. ඒ මාර්ගයෙන් බෝධි චිත්තා මෙහෙණින් වහන්සේට ද මේ පණිවුඩය ලැබුණි.

මේ ආරණ්‍යයට එන උපාසිකාවන් අසමගියට ලක් වී නොරැඳී පිටව යෑම පිළිබඳ ප්‍රශ්නය බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ සිය “අම්මා” සිහිපත් කොට විසඳුමක් පැතූහ. දින කීපයක් ගත වන විට ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයකට යෑමට ද මඟ පෑදුණි.

බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ තවත් උපාසිකාවක් සමඟ ඒ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියහ. එහිදී වෙනත් කෙනෙකුට ප්‍රලය වූ භූතාත්මයක් කතා කරන්නට වූවාය.

“උඹලට ඕක කරගෙන යන්න මම ඉඩ දෙන්නේ නෑ” යි බොහෝ ම තද ස්වරයකින් ඒ භූතාත්මය කතා කළා ය.

“කාට ද උඹ බං කියලා කතා කරන්නෙ?” යි ඊටත් වඩා සැරෙන් මෙහෙණින් වහන්සේ ප්‍රශ්න කළහ.

“නෑ… නෑ…. මම එහෙම කතා කළේ ඔබ වහන්සේට නොවෙයි. අනිත් එවුන්ට.”

“ඇයි තමුන් එහෙම කරන්නෙ?”

“මගේ ඉඩමේ මට ඕනැ දෙයක් කරන්න පුළුවන්.”

“තමුන් කවුද?”

“මම සොපි නෝනා.”

“කවුද සොපි නෝනා කියන්නෙ? මම අඳුනන්නෙ නෑ”

“මම තමයි ඔය ඉඩමේ අයිතිකාරි.”

“මොන ඉඩමේ ද?”

“ඔය ආරණ්‍ය හදා ගෙන ඉන්න ඉඩම.”

“එහෙම වෙන්නෙ කොහොම ද? තමුන් මළාට පස්සෙ තමුන්ගෙ පුතාලා ඉඩම වෙන කෙනෙකුට විකුණලා. ඒ ගත්ත එක්කෙනත් තව කෙනෙකුට විකුණලා. එයත් විකුණලා. තුන් වැනි අයිතිකාරයා තමයි ඉඩම මට පූජා කළේ.”

“එහෙම පුළුවන් ද? මගේ ඉඩම කාටවත් විකුණන්න. ඔය ඉඩමෙ අයිතිකාරි මම.”

“මොකක්ද ඔය මම,මගේ කියන්නේ‍. සොපි නෝනා මළා නම් ඒ “මම” කියන එක්කෙනා ඉවරයි. “මම” මැරෙන කොට “මගේ” කමත් ඉවරයි.

“ඔය බණ මම දන්නේ නෑ. මගේ ඉඩමෙ කාටවත් ඉන්න දෙන්නෙ නෑ.”

“තමුන්ට මොනව ද කරන්න පුළුවන්.”

“මම තමයි ඔතනට එන අයව අසමගි කරලා පන්නන්නේ.”

“හැබෑ ද? වෙන මොනව ද පුළුවන්.”

“ඔය ඉඩමෙ කිසි ම ගහක කොළක මලක් පිපෙන්න දෙන්නෙ නෑ. ගෙඩියක් හැදෙන්න දෙන්නෙ නෑ. දැන් ඔබ වහන්සේත් ඇවිත් අවුරුදු තුන හතරක් වුණා. ඉඩමෙ තියෙන කොස්, පොල්, අඹ, රඹුටන්, ජම්බු, ගස්වල ගෙඩි හැදුණා ද? ගෙඩි කෑව ද? නෑ නේද?”

“ඔව් සොපි නෝනා කියන්නේ ඇත්ත තමයි. ඒ වුණාට ඉඩම අයිතියි කියලා සොපි නෝනත් සැපක් සතුටක් විඳිනව ද? නෑ නේද? සොපි නෝනා ඉඩම ගැන තණ්හාවෙන් ඔය ඉපදිලා ඉන්නේ ප්‍රේත ආත්මයක. ලෝභයෙන් ද්වේෂයෙන් දැවි දැවී දුක් විඳිනවා. ඉඩම් හිමිකාරියක් වෙලා ඉඳලා දැන් ප්‍රේතියක් වෙලා ඉපදිලා දුක් විඳින්න ලැජ්ජා නැද්ද?” සොපි නෝනාට පුළුවන්නම් ඔය තරම් හැකියාවක් තියෙනවා නම් මට ඔය ඉඩමේ මලක් පුප්පලා පෙන්නන්න. ඇත්තටම මමත් මලක් දැක්කෙ නෑ තමයි. අර ළිඳට යන පාරෙ තියෙන සූරියකාන්ත පඳුරෙ මලක් පුප්පලා පෙන්නන්න. පෙන්නුවොත් සොපි නෝනා ඔය දුක් විඳින තත්ත්වයෙන් මුදවනවා. හොඳ තැනකට යවනවා.”

“ඒ… ඔය ඇත්තම ද? ඒ කොහොම ද?”

“සොපි නෝනා නමින් දානයක් දීලා පින් අනුමෝදන් කරනවා.”

“හාමුදුරු දහනමකට අටපිරිකරක් එක්ක.”

“ඔව්”

“හොඳයි. ඔබ වහන්සෙ අනිද්දා ආරණ්‍යයට යන කොට බලන්න. මෙච්චර කල් මල් නොපිපුණු පඳුරෙ මලක් පිපිලා නැද්ද? කියලා.”

“හරි. අපි හාමුදුරුවරු වඩම්මලා දානයක් දෙනවා ඔය කියපු හැටියට. ඒත් අපි කොහොම ද සොපි නෝනා ඉඩම අතහැරලා යනවා කියලා විශ්වාස කරන්නෙ? මොකක්ද යන බවට සලකුණ?”

“මෙහෙණින් වහන්ස! මම බොරු කියන්නෙ නෑ. මම මේ විඳින දුකෙන් මුදවනවා නම් දානෙට සූදානම් වෙනකොට. ඔය ළිඳට යන පාරෙ තියෙන පිනි ජම්බු ගහේ දැනට අවුරුදු විසි පහක් තිහක් තිස්සේ එක මලක් එක ගෙඩියක් පිපුණා ද? නැහැනෙ. දානෙ දෙන දවසෙ හවසට ගිහින් බලන්න පාරට නැමුණෙ අත්තෙ එක මලක් නොවෙයි මල් පොකුරක්ම නැද්ද කියලා. මම ඉඩමෙන් පිටවෙලා කතරගමට යනවා.”

බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ පොරොන්දු පරිදි සාංඝික දානයක් පිරිනැමූහ. ඊට පසු දින උදේ සොපි නෝනාගේ පොරොන්දුව මතක් වී එය බලන්නට ගියහ. ඇත්තට ම මෙතෙක් මලක් ගෙඩියක් නොහැදුණු පිනි ජම්බු ගසේ පහත ම අත්තේ මල් පොකුරක් සෑදී තිබුණි.

දැන් ආරාමයේ කටයුතු හොඳින් සිදු වේ. උපාසිකාවෝ සමගියෙන් භාවනා කරති. තවත් මෙහෙණින් වහන්සේලා පැවිදි වී සිටිති. දායකයන් විසින් අලුතින් භාවනා කුටි ඉදිකරමින් පවතී.

අමනුෂ්‍යයෙකුට ස්වකීය ශක්තියෙන් අජිවී ගසක මලක් පුබුදන්නට පුළුවන්දැයි ඔබ සිතනු ඇත. මම ද ඔබ මෙන් ම සිතමි. ඇයි? බැරි ද? එතැනයි ගැටලුව. සිතට භෞතික ශක්තීන් මෙහෙයවන්නට බැරි ද?

(තොරතුරු ලබා දීමට ක්‍රියාකළ ප්‍රවීණ මාධ්‍යවේදී දෙනගම සිරිවර්දන මහතාට ස්තුතිය.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: