Posted by: lrrp | November 7, 2013

මයොමිගෙ අම්ම තාත්තත් එයාට ඕනැ විදිහට නටන්න දීලා බලා හිටියා

“තමන්ගේ ම වැරැද්ද නිසා අද දුක් වෙනවා. තමන්ගෙ වැරැද්ද තමන්ට පෙනෙන්නෙ නෑ කියන්නේ ඕකට තමයි, මෝහයෙන් අන්ධ වෙලා. මෝහය නමැති ඝන අන්ධකාරයෙන් සිත වසා ගෙන. ප්‍රේතාත්මයක ඉඳගෙනත් ඊර්ෂ්‍යාව, වෛරය.”

“ඔය බණවලින් මට වැඩක් නෑ. මං මෙයා මරාගෙන යනවා. නැතුව නම් මම යන්නේ නෑ. මට යන්න කියන්නත් එපා” යි ප්‍රේත ජීවියා ‘හූ’ කියා ගෙන ඉවත්ව යෑමත් සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පුරා නිහැඬියාව රජ කරන්නට විය.

උපුල් ජයසිංහ ජාඇල පදිංචි හතළිස් එක් හැවිරිදි විවාහකයෙකි. ගණකාධිකාරීවරයෙකි. අහිංසක නිහඬ චරිතයකි. ඔහු ගේ බිරිය ප්‍රියානි ය. ඇය, දෙදරු මවකි. ඔවුන් පදිංචි නිවසේ රාත්‍රියට සද්ද බද්ද නිතර ඇසෙන්නට විය. නිවස පුරා ඉතා පිළිකුල් දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. ශ්‍රියානි ගේ ගර්භාෂයේ ගෙඩි එකින් එක කීපයක් වරින්වර සැත්කම්වලින් ඉවත් කරන්නට සිදුවිය. රාත්‍රියට සිහිනෙන් බිය වී ගැස්සී ඇහැරීම පවුලේ කාටත් කරදරයක් විය. දරු දෙදෙනා ද නිතර අසනීපවලින් පීඩා වින්දහ. කොයිතරම් මුදලක් ගෙදර ගෙනාවත් දවසෙන් දෙකෙන් වැය වී යෑම ද ගැටලුවක් විය. මේ ශාරීරක පීඩාවලටත්, බාහිර කරදරවලටත් විවිධ ප්‍රතිකාර, ශාන්ති කර්ම, පුද පූජා විධි ඉටු කළත් සුවයක් සැනසුමක් නම් නොවී ය.

මේ දුක් කරදරවලින් නිදහසත් නැති තැන “සිළුමිණ” පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවා දැනුම්වත් වූ කමල් ශ්‍රියානිත් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණ ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසී විස්තරය පැවැසීය.

උපදේශකවරයා උපුල්ගේ ශරීරයට ශක්ති කිරණ එල්ල කරන විට ඔහු අසල සිටි ශ්‍රියානි සිහිසුන්ව වැටුණා ය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.

ඊළඟ දිනයේ ගවේෂණයේ දී ද ශ්‍රියානි දිෂ්ටි ගැන්වී ප්‍රලය වූවා ය. යටි ගිරියෙන් හූ කියා කෑ ගසන්නට වූ අතර “මට යන්න බෑ… මට යන්න බෑ… මම යන්නෙ නෑ…” යි කියවන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ කෑ ගහන්නෙ?”

“මම මයෝමි”

“කවුද මයෝමි කියන්නෙ?”

“මුගේ ගෑනි, මුගේ කලින් ගෑනි මම. මූ මාව අනාථ කළා. මගේ දරුව ව අනාථ කළා. මට මුගෙන් පළිගන්න ඕනැ. මූව මරාගෙන මිසක් මම නම් යන්නෙ නෑ. මට යන්න කියන්නත් එපා” යි ප්‍රේතිය කෑ ගසන්නට වූයෙන් තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි නියම කළේය.

ඊළඟ දිනයේ පැමිණි උපුල් හා ශ්‍රියානි සමඟ ගවේෂකවරයා කලින් දිනයේ කියැවුණු කලින් විවාහය පිළිබඳ සාකච්ඡා කළේය. උපුල් විස්තරය පැහැදිලි කළේය.

“මහත්තයා මේ මයෝමි මගේ කලින් විවාහයේ බිරිය. එයාගේ තාත්තා මුදලාලි කෙනෙක්. ඒ පවුලේ එකම දරුවා මයෝමි. අපි දෙන්නා විවාහ වෙලා ජීවත්වුණේ මයෝමිට ම අයිති ගෙදරක. මයෝමි සල්ලිකාරියක් නිසා අහංකාරයි, සංකරයි. විලාසිතාවලට හරියට වියදම් කළා. එයාට වුවමනා වුණේ නිතර පාටිවලට යන්න. ඩාන්ස් කරන්න. මම ඒවාට කැමැති වුණේ නැහැ. මට වුවමනා වුණේ මගේ රස්සාව කරගෙන කාටවත් හිංසාවක් නැතුව ජීවත්වෙන්න. මයෝමි තනිවම පාටිවලට යන්න පටන් ගත්තා. අපි දෙන්නාට දරුවෙක් හිටියා. ඒ දරුවටත් වඩා මයෝමිට ලොකු වුණේ විලාසිතා. ජේත්තුව, කොළඹ ජීවිතවල හැටි. ඔය අතරේ මයෝමිගෙ අනියම් සම්බන්ධයක් ඇති වුණා. මම මයෝමිට අවවාද කළා. එයා කාගෙවත් අවවාද පිළිගන්නා ජාතියේ ගෑනියක් නොවෙයි. හැම දේකදීම “මම නිවැරදි ය, මම හරි ය, මම දන්නවා ය, මට වඩා දන්න කෙනෙක් නැහැ” යි කියලා හිතාගෙන ඉන්න අහංකාර මෝඩ චරිතයක්. මම දරුවා ගැන හිතලා මෙයාගෙ ගමන් බිමන් හැම දෙයක්ම ඉවස ගෙන හිටියා.

අන්තිමට හොර මිනිහව ගෙදරට ම ගෙන්නා ගත්තා. ගේ එයාගෙ නෙ. ඒ ලොකුකම හිතේ තිබුණු නිසා ඒ ගෙදර එයාට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා හිතා ගත්තා. අද රටේ මිනිස්සු හිතා ගෙන ඉන්නේ අහිංසකකම නෝන්ජල් කමක් විදිහටනෙ. මේ මයෝමිත් හිතා ගෙන හිටියේ මගේ අහිංසකකම, ඉවසීම, නිහඬකම, බයාදු නෝන්ජල්කමක් විදිහට. ඒක නිසා හොර මිනිහව ගෙදරට ම ගෙන්න ගන්න පටන් ගත්තා ම මම ගෙදරින් පිටවෙලා ගියා. මමත් හොඳ වැටුපක් ලබන එකවුන්ටන් කෙනෙක්. මටත් ආත්ම ගෞරවයක් තියෙනවානෙ මහත්මයා. මම එයාගෙන් අයින් වුණා. දික්කසාද වුණා.

මයෝමි අර මිනිහත් එක්ක ම ජීවත්වුණා. හැබැයි ඒ මිනිහත් මයෝමිව කසාද බැන්දෙ නෑ. සමහර විට මිනිහටත් කසාද බිරිය හිටිය ද දන්නෙ නෑ. කොහොම වුණත් මිනිහා මයෝමිව කසාද බැන්දෙ නෑ. මයෝමිගෙ අම්මා තාත්තා දෙන්නත් එයාට ඕනැ විදිහට නටන්න ඉඩ දීලා ඔහේ බලාගෙන හිටියා. මයොමිගෙ අම්මා දරුවව හදන්න බාර ගත්තා. මයෝමි තමන්ගෙ හිතේ හැටියට ජීවත්වුණා. ඒත් වෙන මොකක්දෝ හේතුවක් උඩ අර මිනිහා මයෝමිට පිහියෙන් ඇනලා මැරුවා. ඒක සිද්ධ වුණේ 2001 අවුරුද්දේ. මිනිහා තවමත් හිරේ.

මමත් 2003 අවුරුද්දේ මේ ශ්‍රියානිව කසාද බැන්දා. දැන් අප දෙන්නාට දරුවො දෙන්නෙකුත් ඉන්නවා. මමයි ශ්‍රියානියි මගේ කලින් දරුවව බලන්නත් යනවා. මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒත් 2010 අවුරුද්දෙ ඉඳලා අපට කරදර එකින්එක දිගටම එන්න පටන් ගත්තා. කරපු ප්‍රතිකර්මවලින් වැඩක් වුණෙත් නෑ. ඒකයි ඔබ තුමා හොයා ගෙන ආවේ’යි උපුල් මයෝමි ගේ කතාව පැහැදිලි කළේ ය.

නැවත ශ්‍රියානි දිෂ්ටි ගැන්වීය.

“මුන් තමයි මාව මැරෙව්වේ. මුන් නිසා තමයි මම මැරෙන්න සිද්ධ වුණේ” යි ප්‍රේතිය කීවාය.

“ඒ කොහොම ද? මේ උපුල් ද තමුන්ව මැරෙව්වේ?”

“ඔව් උපුල් නිසා තමයි, මූ මා ගැන සැලකිල්ලක් දැක්වූවේ නෑ. පාටිවලට යන්න ආවේ නෑ. මූට මට වඩා උගේ රස්සාව ලොකු වුණා. මූ උගේ රස්සාව බදාගෙන හිටියා. ඒක නිසයි මට මෙහෙම සිද්ධ වුණේ?”

“ඔය හේතු නිසා තමුන් උපුල්ට ආදරේ කළේ නෑ?”

“ඔව්, මම මූට ආදරේ කළේ නෑ.”

“හොඳයි, මේ උපුල් ඔය ගෙදරට වෙන ගෑනියෙක් ගෙනාව ද?”

“නෑ”

“එහෙම වෙනත් ගෑනියෙක් ගෙනාවා නම්?”

“එහෙනම් මම දෙන්නට ම ගහල පන්නනවා. ඒවා කොහේද මාත් එක්ක.”

“හොඳයි, තමුන් ඔය ගෙදරට වෙන මිනිහෙක් එක්ක ආවා?”

“ඔව්. මම මගේ ගෙදරට එක්ක ආවා.”

“උපුල් ඒ මිනිහට ගහල පැන්නුව ද?”

“නෑ‍”

“උපුල් මොකද කළේ?”

“මාව අතහැරලා යන්න ගියා.”

“තමුන් අලුත් මිනිහත් එක්ක ජීවත් වුණා?”

“ඔව්”

“එයාට ආදරේ කළා?”

“ඔව්”

“උපුල්ගෙන් දික්කසාද වෙලා අලුත් මිනිහව කසාද බැන්ද ද?”

“……………….” ප්‍රේතිය නිහාඬ ය.

“තමුන් අලුත් මිනිහට ආදරේ කළා. එයා අන්තිමට මොකද කළේ?”

“……………….” ප්‍රේතිය නිහඬ ය.

යහපත්, ගුණවත්, වැදගත්, මහත්තයව අතහැරලා ගෙදරට ගෙන්න ගත්ත හොර මිනිහා අන්තිමට තමුන්ට පිහියෙන් ඇනලා මරා දැම්මා නේද?”

“ම්…. ම්… හ්ම්….”

“අර පාටි – ඩාන්ස් – විලාසිතා…. ඔක්කොම ඉවරයි නේද?”

“ඉහි…. ඉහි… ඉහි…” ප්‍රේතිය හඬන්නට වූවා ය.

තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස ද හැකිනම් මයෝමි ගේ මව ද කැඳවාගෙන එන ලෙස ද උපදෙස් දුන්නේ ය.

එදින උපුල් හා ශ්‍රියානි සමඟ මයෝමිගේ මෑණියෝ ද පැමිණියහ.

ශ්‍රියානි දිෂ්ටි ගැන්වීය.

“කවුද මේ?”

“මම මයෝමි”

“අර ගුණවත්, යහපත්, ස්වාමි පුරුෂයා අතහැර හොර මිනිහෙක් ගෙන්න ගෙන උගේ අතින් පිහි ඇනුම් කා මැරුණු මයෝමි ද?”

“ම්… ම්… හ්ම්…”

“අද කවුද මේ අලුත් කෙනෙක් ඇවිත් ඉන්නෙ?”

“ඒ මගේ අම්මා”

“දැන් ඉතින් ඔය තරහ වෛර අතහරින්න ඕනෑ.”

“බෑ… බෑ… මූ මගේ දරුවව බලන්නෙ නෑ.”

“ඇත්ත ද අම්මේ මෙයා කියන්නෙ?” යි මයෝමිගෙ අම්මා ගෙන් ගවේෂකවරයා ඇසීය.

“අනේ නෑ මහත්තයා. මේ උපුල් පුතයි ශ්‍රියානි දුවයි මාසෙකට දෙතුන් සැරයක් දරුවව බලන්න එනවා. දැන් දරුවට වයස අවුරුදු පහළොවක් වෙනවා. දරුවත් තාත්තට ආදරෙයි.” මයෝමිගේ අම්මා පිළිතුරු දුන්නාය.

“ඇහුණා නේද? තමන් ගෙ ම අම්මගෙ කටින් කියවුණු දේවල්?”

“…………..” ප්‍රේතිය නිහඬ ය.

“සංකර විදිහට හැදිලා. හිතුවක්කාර විදිහට වැඩ කරලා. අන්තිමේ නිස්කාරණේ ජීවිතෙත් නැති කැර ගත්තා. ඒ මදිවට මේ උපුල් මහත්තයාගෙ පවුල් ජීවිතේට ඊර්ෂ්‍යා කරලා නේද මේ කරදර කරන්නෙ?”

“…………” ප්‍රේතිය නිහඬ ය.

“දැන් පෙරේතියක් වෙලා ඉපදිලා දුක් විඳිනවා මදිවට තවත් පව් සිද්ධ කැර ගන්නවා. ඔය දුගතිගාමී ආත්මයේ තවත් අවුරුදු ලක්ෂ පනහක් දුක් විඳින්න ද කල්පනාව?”

“අනේ! ඔව් දුවේ! අපි දූ වෙනුවෙන් කොයිතරම් පින් දහම් කළා ද? ඇයි මේ පහත් තැනක ඉපදිලා දුක් විඳින්නෙ?” මයෝමිගේ අම්මා කඳුළු පිරි දෙනෙතින් යුතුව කීවා ය.

“දැන් තමුන් තමන්ගෙ අතින් සිදුවුණ වැරදි මෙනෙහි කරලා ඔය තරහ මරහ අතහැරලා හොඳ තැනකට යන්න කල්පනා කරන්න. අනුරාධපුරය වගේ පුණ්‍ය භූමියකට ගිහින් පින් දහම්වලට අතහිත දෙන්න කල්පනා කරන්න.”

“හොදයි මම කැමැතියි.”

ප්‍රේතිය අනුරාධපුරයට යැව්වේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: