Posted by: lrrp | November 7, 2013

ලාබෙට දෙන ලොකු ගෙවල්වල භූතයෝ ඉන්ඩ පුළුවන්….

එය කොළඹ නගරයේ පාරම්පරික පැරණි විශාල නිවසකි. පුළුල් බිත්ති, උස් කුලුනු, දැවැන්ත ලී දොර ජනෙල්, සිංහල උළු ඇතිරූ වහල, ගරා වැටෙන ගරාදි, පුල්ලි වැටුණු සිමෙන්ති පොළොව, වල් පඳුරින් වැසී ගිය ගෙමිදුල මූසල ස්වභාවයක් පරිසරයට එක් කළේය.

ඇත්කඳු‍‍රේ සුමනසාර හිමි

නිවස පිහිටියේ ජනාකීර්ණ වීදියක කෙළවර ය. තුන්සිය වසරක් පමණ පැරණි නිවස දෙස කිසිවකුගේ වැඩි අවධානයක් යොමු නො විණි. අවසන් වරට එහි දිවි ගෙවූයේ අප හමුවීමට පැමිණි මහත්මයාගේ වියපත් නැන්දණියයි.

ඇය පවසන ආකාරයට කලක පටන් එම නිවසේ අද්භූත දේ සිදුවී ඇත. සුදු හැඳගත් කෙනකු කාමරයක සිට වෙනත් කාමරයකට යන්නේ පුරුදු තැනකට යන ලෙසිනි. එම තැනැත්තාගේ මුහුණුවර අපැහැදිලි ය.

නිවස පුරා ඒකාලෝක කරමින් විදුලි පහන් දැල්වුණ ද ඇගේ කාමරයේ පමණක් විදුලි බුබුළ වරින් වර නිවෙන්නේ ඇයි? හිටිහැටියේ ඇයගේ කොන්දට අත තබා තල්ලු කිරීමට උත්සාහ දරන්නේ කවුද? උයන පිහින ආහාර මත පහුරු ගෑ බවක සළකුණු පෙනෙන්නේ ඇයි? මේ ගැන සිතීමෙන් ඇය නිතර රෝගී වූවාය.

“දවල් කාලේ ගෙදර ඉස්සරහ කෑල්ල කුළියට දෙමු” ඥාතීහු යෝජනා කළහ.

ජනාකීර්ණ තැනක් වූ නිසා ම ඉතා ඉක්මනින් අඩු ලංසුවකට ව්‍යාපාරිකයකු සමඟ බදු ගිවිසුමක යෙදෙන්නට ඔවුහු සමත් වූහ.

ඒ අනුව නිවසේ ඉදිරි කොටස බද්දට අලෙවි විය.

පුදුමයක මහත! නිවස කුළියට ගත් ව්‍යාපාරිකයා මහ දවාලේ ගෙතුළ සිදුවන අරුම පුදුම දේ දැක කෙතරම් බියට පත්වූවාද යත් යෙදවූ බදු මුදල් පවා එපා යැයි කියා නිවස වසා පළා ගියේය.

“ඒ මිනිහට කවදාවත් හරියන්නේ නෑ. මහ මෝඩ බයගුල්ලෙක්” නිවැසියෝ සිනාසුණහ.

ඊට පසු එය මිලට ගත් කිසිවකු වැඩි කලක් එහි රැඳුණේ නැත. කෝටි ගණන් වටිනා දේපළක් මෙසේ පරිහානියට ලක්වීමට ඉඩ දිය හැකිද? මෙය ඔවුන්ගේ මනසෙහි රැව් දෙන්නට විය.

දිනක් නැන්දණියගේ මිතුරියෝ දෙදෙනෙක් හදිසියේ ම නිවසට පැමිණියහ. හදිසි අවශ්‍යතාවක් සඳහා නිවසින් බැහැර යාමට යෙදුණෙන් එක් මිතුරියක නවතා නැන්දණිය හා මිතුරිය බැහැර ගියෝය.

“පාළු වගේ නම් පිටිපස්සෙ දොර වහගෙන ඉස්සරහින් ඉන්න” ඔවුහු ඇයට කීහ.

අඩ පැයක් ගත විය. සාලයේ පුටුව මත වැතිර පුවත්පතක් බලමින්ම අඩ නින්දේ පසුවූ කාන්තාවට නිවස තුළින් කුමක් දෝ හඬක් ඇසිණ. හරියටම කෙනකු අමාරුවෙන් කහිනවා වැනි හඬකි. වෙනත් කිසිවකු නිවස තුළ සිටින බවක් ඔවුන් පැවසුවේ නැති නිසා ඇගේ හිත තිගැස්සිණි.

හිතට ධෛර්යය ගත් ඈ දෙපා සීරුවෙන් තබමින් කාමර පේළිය දිගේ පියමැන්නාය. තුන්වන කාමරයෙහි දොර රෙද්ද මෑත්කර එබී බැලූ ඇයට දක්නට ලැබුණේ ලොකු වියන් ඇඳ මත දිරාපත් සිරුරින් හා වැහැරුණු වුවනින් යුතුව හිඳගෙන අසීරුවෙන් කහිමින් සිටි මහල්ලෙකි.

ඔහු හා කතාවට බැසීමට ඇය සිතුවාය. ඉවත බලා යළි ඔහු දෙස බලන විට මහල්ලා අතුරුදන්ව තිබිණි. විමතියට පත්ව කෑගැසීමට තැත් කළ ද ඇගේ හඬ පිට නොවීය. දෑස් නිලංකාර විය. ඉහින් කනින් දා බිඳු ගැලීය. සිහිය එළවාගත් ඇය වැටි වැටී ආධාර ඉල්ලා මහපාරට දිව ගියාය. නිවැසියන් සමඟ පැමිණ විපරම් කළ නමුත් කිසිවකුගේ සේයාවක්වත් එහි නොවීය.

මේ සිද්ධියෙන් පසු නිවස සහමුලින්ම විකුණා දමන්නට නිවැසියෝ තීරණය කළහ. එය මෙවර විකුණුවේ නිවසේ වටිනාකමට වඩා හතරෙන් පංගුවටත් අඩු මුදලකට ය. තමන්ට නිධානයක් පහළ වූවා යන හැඟීමෙන් අලුත් අය එහි පදිංචි වුව ද ඉන්පසු ඔවුන්ට වූ යහපතක් නොමැත.

දරුවෝ දිගින් දිගටම රෝගී වූහ. මුදල් අහේනිය ද සෙවණැල්ලක් මෙන් ඔවුන් කරා පැමිණියේ ය. රැයේ නිදා සිටිය දී ඇඟ කිළිපොලා යන පරිදි යටිගිරියෙන් කෑගසන හඬක් නිවස පුරා පිළිරැව් දෙන්නට විය. අමුතු ස්වරූප ඇති පුද්ගලයෝ දෘශ්‍යමාන වූහ. වහා ඉන් ඉවත් වූ අලුත් ඇත්තෝ වෙනත් නිවසකට පදිංචියට ගියහ.

මේ නිවස ගැන ඇසූ වහා ම මට සිහිවුණේ භූත බලවේගවලට මෙතරම් දේ කළ හැකි ද යන්නයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ ආරාධිත කථිකාචාර්ය මාලබේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛල්‍යාරාමාධිපති දර්ශනපති, රාජකීය පණ්ඩිත විචිත්‍ර ධර්මකථික පූජ්‍ය ඇත්කඳු‍‍රේ සුමනසාර හිමියෝ මේ ගැටලුවට ධර්මානුකූල පිළිතුරක් ලබාදුන්හ. එපමණක් නොව උන්වහන්සේ සතු වූ බුදුගුණ බලයෙන් එවන් භූතාත්මවල ක්‍රියාකාරකම් පරාජය කර එම බලවේග නිහඬ කළහ.

මෙවැනි බලවේග විද්‍යාවට හසු නොවන බැවින්ම අත්හැර දැමිය යුතු නැහැ. භූතයන් පිළිබඳ විද්‍යාඥයෝ ඉන්නේ පර්යේෂණ මට්ටමේ. ඇතැම් මනෝ විද්‍යාඥයන් හා මනස දියුණු කළ යෝගාවචරයන් යම් යම් කරුණු ඔස්සේ සොයා බැලීම් කර තිබේ. උතුම් බුදු දහම තුළින් මීට පැහැදිලි හා තර්කානුකූල පිළිතුරු සොයාගෙන තිබේ. කෙනකුගේ මරණ මොහොතේදී පහළ වන චුති සිත පාපී එකක් වුවහොත් ඊළඟ භවයෙහි නරක ජන්මයක උත්පත්තිය ලැබේ. චුති සිත යහපත් වුවහොත් යහපත් භවයක උපදී.

බලන්න අර තරම් පින් කළ ධර්මාශෝක රජතුමාට සහ මහ සඟරුවන විෂයයෙහි අසදෘශ මහා දානය පිරිනැමූ මල්ලිකා දේවියට පවා පාපී චුති සිත පහළවීමෙන් අමනුෂ්‍යයන් ලෙස ඉපදීමට සිදුවුණා. බිම්බිසාර රජතුමාට සොළොස් මහා සිහින ලෙස පෙනුණේ කල්ප ගණනාවක් නිරයේ පැසෙමින් සිට පින් බලාපොරොත්තු වුණු තම නෑදෑ පරපුරේ අ‍ඳෝනායි.

අවසාන මොහොතේ තමන් කලින් කළ පාප කර්ම මතකයට ඒම, ලෝබ, ද්වේශ, මෝහ මෙන් ම කාම සිතුවිලි පහළවීමෙන් මියගොස් එම නිවසේ ම, භූමියේ ම නැතිනම් නගරයේ ම අදෘශ්‍යමාන භූත බලවේගයන් වී ඉපදීම සිදුවනවා. මේ අය පලවා හැරිය හැකි එකම මාර්ගය නම් යාහහෝම පැවැත්වී‍මවත්, මළවුන් ගෙන්වා ප්‍රශ්න කිරීමවත් නොව තම මියගිය ඥාතීහු වෙනුවෙන් නිවසේ ඥාතීන් විසින්ම නිවැරදිව හා පරිපූර්ණව පිරිත් සජ්ඣායනයකින් පසු මහසඟරුවන විෂයයෙහි දානය පිරිනමා පින් අනුමෝදන් කරවීමයි.

“හැමෝටම පින් රැස් කරන්න බැහැ”

ඒ වාසනාව ඇත්තේ මිනිසාට පමණයි. යකුන්ට, ප්‍රේතයන්ට, භූතයන්ට පින් කරන්න බැහැ. දෙවිවරු වුණත් ජීවත් වන්නේ අප දෙන පිනෙන්. ඒ නිසා දෙවියන්ට මහා බලයක් නැහැ.

“මිනිස් ආත්මයක උපන්නත් සමහරුන්ට පින් කිරීමේ වාසනාව නැහැ”

ඊට හේතුව ඔවුන් පෙර ආත්මවල කළ පාප ක්‍රියා නිසා යක්ෂ, ප්‍රේත ලෝකවල ඉපදිලා දුක්විඳලා යන්තමින් මිනිස් ජන්මයක් ලැබූ අය නිසයි.

ඔවුන්ට මිනිස් සිරුරක් තිබුණාට ධර්මය, පන්සල, පින, දානය, පිරිත, පූජාව තියා මහා සංඝරත්නය වත් පේන්න බැහැ. ඒ අය ප්‍රේතයන් හා සමානයි.

පින් දුන්නාට මියගිය හැමෝටම ඒවා අනුමෝදන් විය හැකිද?

බැහැ. ඊට සුදුසු වාතාවරණයක ඔවුන් සිටිය යුතුයි. උදාහරණ වශයෙන් අටමහා නිරයේ වැටුණු අයට පින් අනුමෝදන් වීමට කොහොමටත් බැහැ.

කවදහරි දුක්විඳලා ඉවරවුණු දාට තමයි පින් ගන්න පුළුවන්. එතකොට පරම්පරා ගණනක් ගිහින්. ඥාතීන්ට ඔවුන් ගැන මතක නැහැ. ඒ නිසා නිවසේ ලැගුම්ගෙන ඊළඟ පරම්පරාවේ අයට කරදර කරනවා. පැරණි ගෙවල්වල භූත දෝෂ තිබෙනවාය කියන්නේ ඒකයි.

බලවත් නොවූ භූතයන්ගේ සිරුරු ඉතා සියුම්. ඒ අයට කිසිවක් අල්ලන්ට බැහැ. අහුවන්නේ නැහැ. ඒ නිසා හූල්ල හූල්ලා ගෙදර අයට ශාපකරමින් ඉන්නවා. එතකොට ගෙදර අය අතර ප්‍රශ්න ඇතිවෙනවා. නැති ගැටලු ඇතිවෙනවා.

බලය වැඩි භූතාත්ම කෙළින්ම ගෙදර අයගෙන් පළිගන්නවා. බඩුමුට්ටු කුඩු පට්ටම් කරනවා. ශරීර ඇතුළට ඇවිත් කරදර කරනවා. එහෙම කරන්න පුළුවන් ඝන සිරුරු මවාගත් භූතයන්ට පමණයි. ඔවුන් ලේසියෙන් යවාගන්න බැහැ. දොළ පිදේනි බලිතොවිල්වලට යන්නෙත් නැහැ.

කළ යුතුව ඇත්තේ කවුරු පින් ගත්තත් නැතත් අවශ්‍ය වෙලාවට පින් කරලා අනුමෝදන් කරන එකයි.

සුමනසාර හිමියෝ පැරණි නිවසේ පැවති පිරිත් සජ්ඣායනය ශ්‍රවණය කිරීමට පැමිණි පිරිසට අපූරු අවවාදයක් ද දුන්හ.

නිවසක් මිලයට ගනිද්දී ලාබෙට ලැබුණු පළියට පැරණි ගෙවල් ගන්න එපා. මිනී තැන්පත් කළ, බොහෝ දෙනා මියගිය ගෙවල් ගැනීම යාදෙන්නේ නැහැ. එම ආත්ම තව ම එහි සැරිසරන්න පුළුවන්.

අලුත් නිවෙසක් මිලට ගත්තත් එහි පදිංචියට යන විට තමන්ට පෙර එම නිවසට හා ඉඩමට ඇල්ම බැල්ම ලා සිටින අයට පින් දීලා පිරිත් සජ්ඣායනාවක් සිදුකර පදිංචිවීම තමා කළ යුතු. එවිට රෝදුක්, කරදර බාධක ගැටලු දුරුවී සතුට ප්‍රඥාව ඇතිවී ආර්ථිකයත් උසස් වේවි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: