Posted by: lrrp | November 7, 2013

විහාරයේ දී දැකලා එදා ඉදන් පස්සෙන් ආවා

ඉස්සර නම් අහන්නට ලැබුණේ ගැහැනුන්ගේ මායම්වලට රැවටී ඒ ගැහැනුන්ට කඹුරන පිරිමින් ගැන ය. එහෙත් අද බොහෝ විට අහන්නට දකින්නට ලැබෙන්නේ වෙට්ට පිත්තල පිරිමින් ගේ කට්ට කපටි කෛරාටිකකම්වලට හෙවත් මායම්වලට රැවටී අමාරුවේ වැටී ජීවිත කාලකණ්ණි කැර ගෙන දුක් විඳින, හූල්ලන, නඩත්තු ඉල්ලා උසාවි ගානෙ රස්තියාදු වන, සිය දිවි හානි කැර ගන්නා ගැහැනු දරුවන් ගැන ය. අප්පොච්චියේ බල පුළුවන්කාරකම හිතට ගත් විජය ඉලන්දාරියා ගේ හොර තක්කඩිකම් අන්තිමේ දී පිය රජතුමාටත් රටටත් හිසරදයක් වූ විට නියම පියෙක් ලෙස අල්ලා දඬුවම් කොට හිස ද අඩක් මුඩු කැර නැවක පටවා පිටුවාහල් කොට පන්නා දැම්මේ ය. බල පුළුවන්කාරකම් පිරිහී තැරියෙන් ගැලවුණු ඇට්ටියක් සේ තම්බපණ්ණි වෙරළේ හාමතෙන් හතර ගාතෙන් වැටී සිටිද්දී කුවේණි කෙල්ලගේ මායමට අසුවී නිවාස අඩස්සියට පත් වූයේ යැයි කියන කතාව ද ඉතිහාසයෙන් මකන්නට නුපුළුවන.

අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේ ද මෑතක දී ප්‍රකාශ කළේ මිථ්‍යාදෘෂ්ටිය, විෂම ලෝභය හා අසීමිත තණ්හාවෙන් විකෘති වූ මිනිසුන් ගේ පාප ක්‍රියා නිසා දෙවියෝ පෘථිවියෙන් ඈත් ව ගොස් අමනුෂ්‍යයන් විසින් පොළෝ තලය වසාගෙන සිටිනු ලබන බව ය.

කපටි කෙල්ලකගේ මායම්වලට රැවටී, සබ්බ සකල මනාවම කෙල්ල හූරාගෙන කොකා පෙන්වූ පසුව ගැහැනු සංහතිය ම එපා වී අවිවාහකව තමන්ගේ පාඩුවේ පැත්තකට වී සිටි අහිංසක පිරිමියෙකු, මැරුණත් ගැහැනු ගතිය ක්‍රියාත්මක කළ ප්‍රේතියක ගේ මායමට අසු වූ කතාවකි මේ.

ජයවර්ධන කුරුණෑගල පදිංචි තිස් පස් හැවිරිදි අවිවාහකයෙකි, කෑම අරුචිය, නින්ද නොයෑම, රාත්‍රියට සිහිවිකල්ව නිරුවතින් ඇවිදීම, ඔහුට වැලඳී තිබුණු රෝගාබාධයන් ය.

ඔහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණ ආධ්‍යාත්මික උපදේශකවරයා සමඟ තමන්ට පවතින රෝගාබාධ තත්ත්වය විස්තර කළේ ය.

“මහත්මයා මම ජීවත්වෙන්නේ අම්මයි මල්ලියි එක්ක. අපේ ගෙදර ඉන්නේ අපි තුන් දෙනා විතරයි. අපේ ගෙය පිහිටි, ඉඩම විශාල යි. අවුරුද්දකට විතර කලින් දවසක් රෑ මම ඇ‍ඳේ නිදා ගෙන ඉන්න කොට (නින්ද ගොස් තිබුණෙ නෑ) මගේ ඇඳ ළඟට ආලෝකයක් ආවා. තරුවක් වගේ. ඇවිත් ආපහු මගේ ළඟින් ඈත් වෙලා හිමින් ගමන් කළා. කාමරයෙන් පිට වුණා. මමත් ඒ එළිය පිටුපසින් ගියා. එළිය ගෙයිනුත් පිටවුණා. මමත් දොර ඇරගෙන පස්සෙන් ගියා. අපේ ගෙට ටිකක් ඈතින් ගල් තලාවක් තියෙනවා. එතැන ලොකු ගහක් තියෙනවා. අර ආලෝකය ඒ ගහට ගියා. මමත් එතැනට ගිහින් ගල් තලාව මත ඉඳගත්තා. මේ ආලෝකය මම විතරක් නොවෙයි අම්මයි මල්ලියි දෙන්නත් දැකලා තියෙනවා. ඊට පස්සෙ මම රෑට ගෙදරින් පිට වෙලා ගිහින් තියෙන්නේ අසිහියෙන්. නිරුවතින්. මේ විදිහට යනකොට මේකට මානසික වෛද්‍යවරයෙකු මුණ ගැහිලා ප්‍රතිකාර ගත්තා. මාස කීපයක් ඒ බෙහෙත් බිව්වත් කිසි ම වෙනසක් වුණේ නෑ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පැත්තෙන් තොවිල් කීපයකුත් කළා. ඒත් යහපත් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා “සිළුමිණ” පත්‍රයේ පළවෙන ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපිය දැකලා ඔබතුමා හොයාගෙන ආවා” යි ජයවර්ධන කීවේ ය.

ප්‍රථම අවස්ථාවේ රෝගියාට කිරණ ශක්ති එල්ල කරන විට ගැස්සි ගැස්සී පැද්දෙන්නට විය. ඉන් එහා විශේෂයක් නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.

ඊළඟ දිනයේ දී ජයවර්ධන ප්‍රලය වී අඬන්නට විය. එක දිගට නොනවත්වා ඇඬුවා මිසක වෙනත් වචනයක් හෝ කතා නොකළ බැවින් ප්‍රලය වන භූතාත්මය වේදනාවෙන් දුර්වල වීම වළක්වා සන්සුන් කිරීම සඳහාත්, ජයවර්ධනගේ ව්‍යාකූල සිත ඒකාග්‍ර කිරීමටත් තවත් බෝධි පූජා දහ හතරක් පවත්වා නැවත එන ලෙස නියම කොට බෝධි පූජාවේදී සිදු කළ යුතු විශේෂ පිළිවෙත් කීපයක් ද නියම කළේ ය.

තුන් වැනි දිනයේ ද ජයවර්ධන ප්‍රලය විය. දෑස් පියැවී ඉකි බිඳින්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ය.

“ඔබ කවුද?”

“අනේ! මට මෙතනින් යන්න කියන්න නම් එපා. මට මෙයා අතහැර යන්න බෑ.”

“අහපු එකට උත්තර දීලා ඉන්නවා.”

“අනේ! මට තදින් කතා කරන්න එපා.”

“මේ ශරීරයට ඇතුළු වී සිටින ඔබ කවුද?”

“මම කුමුදු”

“ගම කොහේද?”

“කළුතර”

“මැරුණේ මොනවා වෙලා ද?”

“අසනීප වෙලා”

“මොකක්ද අසනීපය?”

“දන්නේ නෑ. පපුව හිර වුණා වගේ දැනුණා. එච්චරයි මතක.”

“ඉතින් මැරිච්ච කෙනෙක් මොකද මේ ජයවර්ධනගෙ ශරීරයේ?”

“මම මෙයාට ආදරෙයි”

“මෙයාව කලින් ආශ්‍රය කළා ද?”

“නැහැ”

“එහෙනම් මොකටද මෙයාට ආදරේ කරන්නෙ?”

“මෙයා හැමදාම මගේ පස්සෙන් එනවා. ගල් තලාවට වෙලා වාඩිවෙලා කතා කර කර ඉන්නවා” යි පැවසූ ප්‍රේතිය “මට යන්න ඕනෑ… මට යන්න ඕනෑ…” යි ජයවර්ධනගේ ශරීරයෙන් පිටව ඉවත් ව ගියා ය. ජයවර්ධන පියවි සිහියට පැමිණ වටපිට බලන්නට විය. බෝධි පූජා නොනවත්වා දිගට ම පවත්වාගෙන යන ලෙස උපදෙස් දී නැවත දෙසතියකින් පැමිණෙන ලෙස ද උපදෙස් දුන්නේ ය.

ඊළඟ දිනයේ ද පැමිණි විට ජයවර්ධන ප්‍රලය වූයේය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා කළේ ය.

“ඇත්ත කියන්න. කවුද මේ?”

“මම වෙන කවුරුවත් නොවෙයි. කුමුදු ම තමයි.”

“මොකක්ද මේ පටලැවිල්ල. කුමුදු කළුතර. ජයවර්ධන කුරුණෑගල දෙන්නට දෙන්නා කලින් හඳුනන්නෙත් නැත්නම් මොකද්ද මනුස්ස, අමනුස්ස සම්බන්ධය?”

“මහත්මයා මම කළුතර. ජීවිතේ අතරමඟ දහසක් සිහින අතරේ හිටි හැටියේ පපුව හිරවෙලා මැරුණා. ඊට පස්සෙ මම ගෙදරට වෙලා ඉඳලා ටික දවසකින් කන්දෙ විහාරයට ආවා. එතැන මිනිස්සු වන්දනා කරන කොට, පුද පූජා කරන කොට, දාන මාන දෙන කොට මමත් අතහිත ගසා සාදු කියන කොට මටත් යම් යම් ශක්ති ලැබුණු බව දැනුණා. මේ අතරෙ දවසක් මේ ජයවර්ධනත් කන්දේ විහාරයට වඳින්න ආවා. මෙයා හිටියෙ හරිම විරහ වේදනාවකින්. ආදරේ කරපු, විය පැහැදම් කරපු කෙල්ල ගිය නිසා පිටුපාලා අවිවාහකව ඉන්න කෙනෙක් බව මට දැනුණා. මෙයාව දැක්කම මගේ හිත මෙයාට කැමැත්තක් දක්වලා බැඳීමක් ඇල්මක් ඇති වුණා. මම මෙයාගෙ පස්සෙන් ආවා.”

“මෙයාගෙ ගෙදරට ටිකක් දුරින් හොඳ පරිසරයක් තිබුණා. ලස්සන ගල්තලාවක්. එතැන විශාල අතුපතර විහිදුණු ගහක්. මම එතැනට වෙලා හිටියා. රාත්‍රියට ගෙදර අය නිදා ගත්තා ම මම මෙයා ගෙ කාමරයට ගිහින් ආලෝකයක් මවා ගන්නවා. මෙයා ඒ ආලෝකය පස්සෙන් ගල්තලාවට ආවා. දෙවැනි දවසෙ ඉඳලා ආවෙ කාමරයේ ඉඳලා ම නිරුවත් වෙලා. එතැනට ඇවිත් මා දිහා බලා ඉන්නවා.”

“එතකොට තමුන් මොනව ද කළේ?” ගවේෂකවරයා ඇසීය.

“මම මෙයාගෙ ළඟට ඇවිත් තුරුලු වෙලා ඉන්නවා එතකොට මෙයා පියවි සිහියෙන් ඔබ්බට ගිහින් මාව බදාගෙන ඉන්නවා. ඒ වෙලාවට මෙයාට මාව පෙනුණෙ මනුස්ස දුවක් හැටියට. අනේ! මහත්තයා මට මෙයාව ඕනෑ. මට මෙයාව අතහැරලා යන්න නම් බෑ.”

“තමන් මෙයාගෙ ගෙදරට ගියේ නැද්ද?”

“ඇයි මම කිව්වේ, මෙයා ගෙ කාමරයට ගිහින් එක්ක ගෙන ආවා. ඒ මිසක් ඒ ගෙදර නතර වුණේ නෑ. අනේ! මහත්තයා මම මෙයාට ආදරෙයි. අපි දෙන්නාව වෙන් කරන්න නම් එපා” යි ප්‍රේතිය ඇවටිලි කළාය.

“මොකක්ද මේ වැඩේ තේරුම? මනුස්සයෙකුටත් අමනුස්සයෙකුටත් එකට ජීවත්වෙන්න බැහැ.”

“ඔව් මට තේරෙනවා මම මෙයාගෙ දිවි තොර කරලා මගේ ළඟට ගන්නවා.”

“ඇයි මෙච්චර දවස් ඒක බැරි වුණේ?”

“අනේ! මන්දා. මෙයාගෙ වෙලාව හොඳ ඇති.”

“එහෙම කරන්න දෙන්න බෑ. මෙයා ජීවත්ව ඉන්න කෙනෙක්. තමන්ට මෙයත් එක්ක එකතු වෙන්න බෑ.”

“හිඃ… හික්… හී… අනේ! අනේ! මහත්තයාට නොතේරෙන දේවලුත් තියෙනවා.”

“මම කියන්නෙ තමුන් මෙයාව ලෙඩ කරලා මැරුවත් මෙයා තමුන් ළඟ ම උපදිනවා ය කියලා නියමයක් නෑ. එයාගෙ අන්තිම චුති චිත්තය අනුව කොහේ යාවි ද කියලා කාටවත් කියන්න බැහැ.”

“මම ඕවා දන්නෙ නැහැ.”

“තමන්ට මෙයා එක්ක එකතු වෙන්න බැහැ. ඒ නිසා මෙයාගෙන් අයින් වෙන්න.”

“මෙයා මට කැමති නම්?”

“ඔව් කැමති නම් පුළුවන්. අකැමැති නම් ඉවත් වෙලා යනව ද?”

“ඔව්.”

ජයවර්ධනට පියවි සිහිය ලබාදුන් ගවේෂකවරයා ඔහුට කරුණු පැහැදිලි කළේ ය.

“මීට කලින් කෙල්ලකට රැවටිලා ඒ විරහ වේදනාවෙන් දුක් විඳිනවා. දැන් ප්‍රේතියකට රැවටිලා අසනීප වෙලා මැරෙන්න පාර කපා ගන්නවා.”

“ඔව් මහත්තයා කලින් මා එක්ක යාළු වෙලා අවුරුදු ගාණක් ආශ්‍රය කරපු කෙල්ලට මම හුඟක් වියදම් කළා. ඉගෙන ගන්න වියදම් කළා. අඳින්න පලඳින්න අරන් දුන්නා. අන්තිමේ ඒකි ඉගෙන ගෙන මාව අතහැරලා වෙන කෙනෙක් එක්ක ගියා. මම ඒකෙන් සෑහෙන්න දුකක් වින්දා. ජීවිතේට ම ගෑනු එපා වුණා. මම පිනට දහමට යොමු වෙලා තනිකඩව ජීවත්වෙන්නයි තීරණය කළේ.”

“ඉතින් දැන් ප්‍රේතියකට රැවටිලා. ඒ ප්‍රේතිය ඔබ මරාගෙන ප්‍රේත ලෝකයට අරගෙන යන්න හදනවා. දැන් ඔබට තීන්දු කරන්න ප්‍රේතිය සමඟ ප්‍රේත ලෝකයට යනව ද? නැත්නම් මනුස්ස ලෝකයෙ ඉන්නව ද? කියලා.”

“අනේ මහත්තයා මට ජීවත්වෙන්න ඕනෑ. මේ කරදරෙන් නිදහස් වෙන්න ඕනෑ නිසානෙ ඔබතුමා හොයාගෙන ආවේ.”

නැවතත් ජයවර්ධනගේ ශරීරයට ප්‍රේතිය ආවිෂ්ට කළේය.

“කුමුදු”

“ඇයි මහත්තයා”

“ඇහුණා නේද ජයවර්ධන කියපු දේවල්”

“ඔව් මම අහගෙන. මෙයා මාව රැවැට්ටුවා.”

“නැහැ නැහැ මෙයා ඔයාව රැවැට්ටුවේ නෑ. ඔයයි මෙයාව රවට්ටාගන්න සූදානම් වුණේ”

“ඔව් මහත්තයා මම පොරොන්දු වුණානෙ මෙයා අකමැති නම් ඉවත්වෙලා යනවා කියලා. අනේ! මට කළුතර බෝධියට යන්න ඕනෑ. මාව එතැනට යවන්න.”

ප්‍රේතිය කළුතර බෝධියට යැවීය. ජයවර්ධනට ටික කාලයක් පදිංචිය වෙනස් කර වෙනත් තැනක පදිංචිව සිටින ලෙසත් දිනපතා භාවිතයට පිරිත් සූත්‍ර කීපයක් ද නියම කළේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: