Posted by: lrrp | November 7, 2013

සැමියාගේ කාර්යශූර බව හා අධිෂ්ඨානශීලී බව පවුලේ දියුණුවට හේතුවේ

විචිත්‍ර ධර්ම කථික පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

සාර්ථක දිවි පැවැත්මකට ගෘහණිය මෙන් ම ගෘහපතියා අතින් ද ඉටුවිය යුතු යුතුකම් බොහෝ ය.

ස්වාමියා සහ ස්වාමි දියණිය අතර හොඳ ධර්මානුකූල අවබෝධයක් තිබීම වැදගත්ය. එවැනි අවබෝධයක් ඇති පවුල බිඳ වැටෙන්නේ නැත. විශේෂයෙන් සැමියා පින පිළි නොගනී නම්, පව නොසලකා හරිනවා නම්, ඔහු මිථ්‍යා දෘෂ්ටිකයෙක් නම් ඒ පවුලේ පැවැත්ම අස්ථිරය. සුළු ප්‍රශ්නයක් පැන නැඟුන විටදී වුවද ඒ පවුල බිඳ වැටෙන්නේ ය. තමන් අතින් සිදුවන වැරැදි අඩුපාඩුකම් පිළිගන්නේ, ඒවා තමන් විසින් ම හඳුනාගෙන හෝ කිසිවෙක් තේරුම් කර දුන් පසු නිවැරැදි කර ගන්නේ අවබෝධය ඇති තැනැත්තාය.

දිගු කාලයක් සමඟි සම්පන්නව දිවි ගෙවූ නකුල මාතාව නකුල පිතා ගැන ඔබ දනී. මේ දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ මතු භවයේදීත් එකට ඉපදී සතුටින් සිටීමට හැකිද යන්නයි. එවිට තථාගතයන් වහන්සේ මහ කරුණාවෙන් යුතුව එය අනුමත කළහ. බුද්ධ දේශනාවෙන් ඉස්මතු වන්නේ නිවන් මඟ වුවද තවත් භවයක් ප්‍රාර්ථනා කිරීම ගැන උන්වහන්සේ නකුල මාතාවන්ගේ අදහස ප්‍රතික්ෂේප නොකළහ. ඒ බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාවේ ස්වභාවයයි. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ එසේ උපත ලබන්නට නම් සැමියා සහ බිරිය යන දෙදෙනාම උතුම් කරුණු හතරක් සම්පූර්ණ කළ යුතු බවය.

පළමුවැන්න සම ශ්‍රද්ධා ය. තථාගතයන් වහන්සේ පිළිබඳව වූ අවංක පැහැදීම, උන්වහන්සේගේ අවබෝධය පිළිගත යුතු බව ඉන් කියැවේ. දෙවැන්න සම ශීලයයි. එනම් දෙදෙනාම එක හා සමාන ලෙස සිල්වත් විය යුතු බවයි. එහිදී ඔවුන් පංච ශීල ප්‍රතිපත්ති ගරු කළ යුතුය. කිසිවකුට හිංසා පීඩා නොකරන, බොරු නොකියන, වැරැදි කාම සේවනය නොකරන, සොරකම් නොකරන, මත්පැන් පානයෙන් වැළැකී සිටින අය විය යුතුය.

තෙවැනි කරුණ සම චාගයයි. ස්වාමියාත්, ස්වාමි දියණියත් එකවගේ පරිත්‍යාගශීලී විය යුතු බව එහි දී පැහැදිලි කෙරේ. සම ප්‍රඥා ලෙස දැක්වූයේ මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට ඇති ශක්තියයි. දුක දුක වශයෙන් දැකීම, අනිත්‍ය අනිත්‍ය වශයෙන් දැකීම එහි දී ප්‍රධාන වේ. ලාබ, අලාබ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක, සැප යන මේ ලෝකයේ සියලු දෙනාටම මුහුණ දෙන්නට සිදුවන්නා වූ අටලෝ දහමින් කම්පා නොවීම ද මේ දෙදෙනා කෙරෙහිම පවතින සුවිශේෂී ගුණධර්මයන් විය යුතුය.

සාර්ථක ගිහි ජීවිතයක් පවත්වා ගැනීමට නම් ගෘහ මූලිකයා ලෙස එම පවුලේ පියාට මනා දරාගැනීමේ ශක්තියක් තිබිය යුතුය. කාන්තාව ස්වභාවයෙන් ම මටසිලිටුය. පුංචි ප්‍රශ්නයකදීත් සංවේදී වන ඇය බොහෝවිට පීඩාවට පත්වන්නීය. මේ අවස්ථාවේ දී ඇයට දිරි දෙමින් ශක්තිමත් අත්වැලක් සැපයිය යුතු වන්නේ ස්වාමි පුරුෂයා විසිනි. විශේෂයෙන් දරුවන් ගේ අකීකරුකම් හමුවේ, ඇතැම්විට නෑසියන්ගෙන් මතුවන ප්‍රශ්න හා ගැටලු හමුවේ මව අපහසුතාවට, පීඩාවට පත්වේ. එවැනි අවස්ථාවන් හි තම බිරියට දිරියක් වෙමින්, ඇය සනසවමින් ප්‍රශ්න නිරාකරණය කරගන්නට සැමියාගේ කැපවීම ඉතා වැදගත්ය.

ස්වාමියා තම ස්වාමි දියණියට ශක්තිමත් වනවා සේ ම ඇයට විශ්වාසවන්තයකු වීම ද අත්‍යවශ්‍යය. ඒ අවංකකම සැබෑවක් ම මිස මවාපෑමක් නොවිය යුතුය. සටකපට මායාවක් නොවිය යුතුය. එවැනි සැමියකු සෙවණේ ජීවත්වන බිරිය ද ‘අනේ, මගේ සැමියා මා ගැන මොනතරම් හිතනවාද? මගේත් දරුවන්ගේත් ගරුත්වය රකින්නට මොන තරම් කැපවෙනවාද? මම ඔහුට සිහිනෙනුදු වරදක් නොකරමි’ යි සිතයි. මෙසේ එකිනෙකා ගැන සිතන මවුපියන් වෙසෙන පවුලේ සමගිය, ස්ථාවර බව ඇති වීම ද පුදුමයක් නොවේ’

ස්වාමි දියණියගෙන් අඩුපාඩුවක්, වරදක් වේ නම් අඬදබර වීමෙන් නොව කාරුණිකව එය පෙන්වා දීම ස්වාමිපුරුෂයාගේ යුතුකම හා වගකීම ම වන්නේ ය. වැරැදි සිදුවීම සාමාන්‍ය මිනිස් ස්වභාවය බව දැන කටයුතු කරනවා නම් බොහෝ ප්‍රශ්න දුරදිග යෑමෙන් තොරව, සාමකාමීව විසඳා ගැනීමට අසීරු නොවේ.

තමන් ගේ නෑදෑ හිතමිතුරන්ට උදවු කරන, සැලකිලි දක්වන කෙනකු වීම ද අත්‍යවශ්‍යය. සිය ඥාතීන්ට මෙන්ම බිරිය ගේ ඥාතීන් වෙනුවෙන් ද අවශ්‍ය අවස්ථාවේ පිහිටවිය යුතුය. එය මහත්මා ගුණයකි. තමන් ගේ මවට පියාට ආදර සැලකිලි දක්වන ස්වාමියා ගැන පැහැදෙන බිරිය ද නිතැතින් ම ඔහු ගේ මවුපියන්ට සැර පරුෂ ලේලියක නොවී ආදරණීය දියණියක් ම වේ. ධනය සැපයීමේ හෝ වේවා ගෙදර දොර යම් කාර්යයක දී හෝ වේවා සැමියා ගේ කාර්යශූර බවද පවුලක දියුණුවට අත්‍යවශ්‍යය.

ඔහු අලස නම්, අධිෂ්ඨානශීලී පුද්ගලයෙක් නොවේ නම්, ඒ පවුල පරිහානියට මිස දියුණුවට පත් නොවන්නේය. මේ නිසා තමන් පවුලට සැබෑ ශක්තියක් එක් කරන පුණ්‍යවන්ත, සත්පුරුෂයකුම වීමට සැමියා ස්ථිර අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතුය. ඔහු කිසි විටෙකත් දුරාචාරයට පෙලඹුණු, සූදු කෙළියට පුරුදු වුණු, ධනය නාස්ති කරන්නෙක් නොවිය යුතුය. දහඩිය මහන්සියෙන් ධාර්මිකව උපයා ගන්නා ධනය නිර්ලෝභීව සිය බිරිය අතට පත් කරන්නට ඔහු කටයුතු කළ යුතුය. යහපත් ස්වාමි දියණිය එම ධනය කළමනාකරණයකින් යුතුව, අරපිරිමැස්මෙන් පවුලේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය යුතුය.

තමන් ගේ දරුවන්ට හොඳ පියෙක් විය හැකි වන්නේ ස්වාමි දියණියට සෙනෙහෙබර ස්වාමි පුරුෂයකු වන පුද්ගලයකුට පමණි. දරුවන්ට දඬුවම් කළ යුතු තැනදී දඬුවම් දෙන්නට, අවවාද දිය යුතු තැන දී අවවාද දෙන්නට ඔහු තුළ අභිමානවත් පෞරුෂයක් තිබිය යුතුය. අතීතයේ ලාංකීය බෞද්ධ සමාජයේ තාත්තාට හිමිව තිබුණේ පුදුමාකාර ගෞරවයකි. බියකි. ආදරය සමඟින් ම බැඳුණු ඒ තත්ත්වය අද වන විට බොහෝ දුරට ගිලිහී යමින් තිබෙන්නේ පියවරු තමන් විසින්ම තමන් ගේ තත්ත්වය, අභිමානවත් පෞරුෂය විනාශ කරගෙන සිටින නිසාය.

ඇතැම් පියවරු මත්ද්‍රව්‍ය ලෝලීන්ය. එසේත් නැතිනම් වැරදි සම්බන්ධතාවල පැටලෙන අයය. සූදුවට ඇබ්බැහි වූවන්ය. පිය පදවිය ලබන්නට පවා නුසුදුසු ඔවුන් කෙරෙහි දරුවන් ගේ ගෞරවය, ආදරය දිනාගත හැකි ඒ අභිමානවත් පෞරුෂය ගොඩනැඟෙන්නේ නැත.

මේ නිසා ආගමට දහමට ලැදිව තමන් ගේ් ජීවිතය ආදර්ශ සම්පන්නව ගොඩනඟා ගන්නට පියවරු ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගත යුතුය. සමගිය සාමය සතුට පිරුණු ගෘහයක් නිර්මාණය වන්නේ එවිටය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: