Posted by: lrrp | November 7, 2013

සුමාලි ඔයා දැන් ‍සුමාලි නොවෙයි ඒ හින්දා මෙහෙන් යන්න

මම පුංචි කාලෙම මගේ අම්මා තාත්තා නැති වුණා. මම හරිම අමාරුවෙන් ජීවත් වුණේ. ජීවත්වීමේ අමාරුකම මට වැටහුණා. මම හැදුණේ වැඩුණේ මාමා ළඟ. වයස අවුරුදු දහ අටේදි ව්‍යාපාර අංශයට නැඹුරු වුණා.” යි උපාලි තම ජීවිතයේ මුල් භාගය විස්තර කළේය.

“මොන අංශයේ ව්‍යාපාරයක් ද ආරම්භ කළේ?” ආධ්‍යාත්මීය උපදේශකවරයා ප්‍රශ්න කළේය.

“කොන්ක්‍රීට් නිෂ්පාදන.”

“දියුණු වුණේ කොහොමද?”

“මුදල් උපයන්න අමාරුයි. වියදම් කරන්න ලේසියි කියන එක තේරුම් ගත්තා. මුදල් වියදම් කිරීම නිතර ම සිද්ධ වෙනවා. අමුද්‍රව්‍ය සපයා ගැනීමට, කුළී, වැටපු, යැපීමට, සමාජ අවශ්‍යතාවලට, බේත් හේත්වලට නිතර ම වියදම් පැත්ත නිරන්තරයෙන් ම ගලා යනවා. මුදල් ඉපැයීම සිද්ධ වෙන්නේ තමන් ඊට කැපවෙන සීමිත කාලයට අනුව පමණයි. ඒ විතරන් නොවෙයි තමන්ට බැරි වෙන කාලයකුත් එනවා. මුලදී දුක් විඳීම නිසා මට මෙන්න මේ ටික අවබෝධ වුණා.”

“ඔව් ඔන්න ඔය ටික අපේ රටේ සල්ලිකාරයන්ගේ බූදල් කාරයන්ගෙ දරුවන්ට නොතේරෙන නිසා මවුපියන්ගේ දේපළ නාස්ති කරලා පරිහානියට පත් වෙනවා. ඉතින් උපාලි මහත්මයා වියදම පාලනය කළේ කොහොමද?”

“කාලය නාස්ති කළේ නෑ. තුන්සිය හැටපස් දවසේ ම වගේ ව්‍යාපාරයට කැප කළා. මමත් නිකම් බලාගෙන හිටියේ නෑ. මමත් වැඩ කළා. විශේෂයෙන් ම පරාභව සූත්‍රයට අනුව සුරාවට, සූදුවට, පාප මිත්‍ර සේවනයට සම්බන්ධ වුණේ නැහැ. දුම්පානයටත් මුදල් පිච්චුවේ නෑ.”

මේ උපාලි පිළියන්දල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. එක් දරු පියෙකි. ඔහු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියේ බිරිය සමඟ ය. හීනෙන් කවුදෝ කෙනෙකු පැමිණ බදා ගැනීම, ඇවිදින විට තල්ලු කරනවා මෙන් දැනීම ව්‍යාපාරය අසාර්ථකවීම, වාහන අටක් තිබුණු ව්‍යාපාරය තනි වාහනයට බැසීම, ඔහු සතුව තිබුණු බිස්කට් ඒජන්සිය පවා අහිමි වීම, සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපාරය එක් කම්කරුවෙකු දක්වා පරිහානියට පත්වීම ඔහුට බලපෑ කාරණාය. බඩ කොරවීම, කෑම අරුචිය, බඩ පුරවා දැමීම, හිසරදය ඔහුටත් බිරියටත් පොදු ලෙඩ දුක් විය. මේ කරදරවලින් මිදෙන්නට අභිචාර විධි කළේය. කායික මානසික වෛද්‍ය ප්‍රතිකාර ගත්තේ ය. ඒවායෙන් බලාපොරොත්තු වූ සුවය යහපත නොලැබුණු බැවින් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන බිරියත් සමඟ පැමිණියේය.

“පළමු දිනයේ ම උපාලි ආවිෂ්ටවී කෑ ගසන්නටත් අඬන්නටත් පටන් ගත්තේ ය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කව්ද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මං සුමාලි, ඉහි… ඉහි…..” යළිත් අඬන්නට පටන් ගත්තාය.

ප්‍රේත ජීවියා ගේ සිත මහත් පීඩාවකින් තෙරපෙන බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ පැමිණි විට ප්‍රේතිය ගේ කතාව අසා සිටින බිරියට ඔරොත්තු නොදී පවුලේ සමගියට බාධාවක්වේ යැයි සිතූ ගවේෂකවරයා උපාලිගේ බිරියගේ ඇඟට ප්‍රේතිය ආවිෂ්ට කළේය. ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

“කව්ද මේ?”

“සුමාලි”

“සුමාලි කියන්නේ කව්ද?”

“උපාලි මගේ……ඉහි….ඉහි…..” යි අඬන්නට ගත්තාය.

“උපාලි ඔයාගෙ වෙන්නේ කොහොමද? ඔයා මැරිලා. ඔයා මැරුණු තැනකට යන්න. සොහොනකට යන්න. මේ අය හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. මම දැන් උපාලිගේ ඇත්ත කතාව අහනවා. සුමාලිත් අහගෙන ඉන්නැÓයි කියූ ගවේෂකවරයා උපාලිගෙන් මේ සුමාලි ගැන ඇසුවේය.

“මට කියන්න මේ සුමාලිගෙ සම්බන්ධය මොකක්ද කියලා.”

“මහත්මයා සුමාලි කියන්නේ මම කලින් ආශ්‍රය කළ ගැහැනු ළමයා. අපි දෙන්නා යාළු වෙලා අවුරුදු දහයක ආශ්‍රයක් තිබුණා. එයා වැදගත් පවුලක ළමයෙක්. සුමාලිගේ ගෙදර අයටත් අපේ සම්බන්ධය කියලා විවාහය ලියාපදිංචි කළා. කැන්දා ගෙන යන එක ටිකක් ඉස්සරහට කල් දැම්මා. ඒ ජ්‍යොතිෂ නියමයක් අනුව. මම ජ්‍යොතිෂය තදින් ම විශ්වාස කරනවා. ඔය අතරේ මම සුමාලිගේ ගමන් යන්න එයාට ම වෙන ම වාහනයක් මිලදී අරගෙන දුන්නා. ඩ්‍රයිවර් කෙනෙකුත් හොයා දුන්නා. මේ වන විට මගේ ළඟ සේවකයෝ විසි පස් දෙනෙක් විතර වැඩ කළා. ව්‍යාපාරය ඉතා ම හොඳින් පැවතුණා.

මේ අතරෙ සුමාලිගේ වාහනය අර හෝටලය ළඟ මේ හෝටලය ළඟ තිබුණා කියලා මට ආරංචි වුණා. මම නිශ්ශබ්දව හෙමින් සීරුවේ ‍හොයා බැලුවා. කලබල කළේ නෑ. ප්‍රශ්න කරන්න ගියේ නෑ. මම දවසක් මේ දෙන්නා හෝටලයක ඉඳලා එළියට එනකොට අතටම අල්ලා ගත්තා. එතැනදීම සුමාලිට පාරවල් හතරක් පහක් ගැහුවා. ඩ්‍රයිවර් පැනලා ගියා. සුමාලිව එයාගෙ ගෙදරට ම ගෙනැත් දීලා මවුපියන්ට විස්තරේ කියලා බාර දීලා ආවා. එදා රෑ සුමාලි වස බීලා මැරුණා. ඊට පස්සෙ මම මේ නෝනාව කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවා. මේ නෝනා මාව අව‍‍‍බෝධ කරගෙන ජීවත් වෙනවා. ඒත් අපේ දියුණුවට තියෙන බාධාව සුමාලි බව දැන ගත්තේ මෙතැනට ආවාට පස්සේ තමයි.”

නැවත ගවේෂකවරයා ප්‍රේතිය ඇමතුවේය.

“දැන් අහගෙන හිටියා නේද? තමන් බරපතළ වරදක් කරලා තියෙනවා.”

“මගේ අතේ වරදක් නෑ. උපාලිගේ දුර්වලකම් නිසයි එහෙම වුණේ.”

“ඕවා මනුස්ස ලෝකෙ ගෑනුන් තමන්ගෙ නිදහසට කියන බොරු. අපට ඔය කතා අහලා හොඳට පුරුදුයි. තමන් කළ වැරැද්ද පිළි නොගෙන ඒකත් අනුන් පිට පවරනවා. උපාලි කරපු ලොකු ම වැරැද්ද තමයි චපල ගෑනියෙක් විශ්වාස කරලා වාහනයක් අරගෙන දීපු එක.”

ප්‍රේතිය අඬන්නට වූවාය.

“දැන් තමුන් මට ඇත්ත කියන්න ඕනෑ. ඇයි මේ උපාලිට කරදර කරන්නේ?”

“උපාලි මගේ ළඟට ගන්න.”

“ඒ කොහොමද?”

“මම උපාලිගෙ ව්‍යාපර වැට්ටුවා. ගෑනිව තුන් වතාවක් තල්ලු කළා. එයාගෙ වෙලාව හොඳයි වැටුණෙ නැහැ. මෙහෙම වෙන කොට උපාලි‍ත් වහ බීලා මම ඉන්න තැනට එයි කියලා.”

“ප්‍රේතිය! මේ ටික හොඳට අහගනින්. තමන්ගේ විවාහක ස්වාමි පුරුෂයාට, තමන්ට සැපවත් ජීවිතයක් ලබා දෙන්න කටයුතු කළ උපාලිට ද්‍රෝහී වුණා. කසාද බැඳලත් කැන්දගෙන යන කම් ඉවසගෙන ඉන්න බැරි වුණා. වල්කමේ යන්න, දඩාවතේ යන්න, පුරුදු වුණා. ඒ වරදට ජීවිතේ නැති කැර ගන්නත් සිද්ධ වුණා. ඒ පාපයෙන් ප්‍රේතියක් වෙලා ඉපැදුණා මදිවට මේ මනුස්සයාගෙ ව්‍යාපර කඩා කප්පල් කරලා ලෙඩ දුක් හදලා තවත් ඒත් මදිව ඒ මනුස්සයව මරා ගන්න හදනවා. ඒක නේද ඔය කරන්නේ?”

“ඉහි…. ඉහි….” ප්‍රේතිය හඬන්නට පටන් ගනී.

“තමුන්ට පාපි චේතනාවෙන් ලෙඩ දුක් හදන්න පුළුවන්. ඒ ලෙඩ දුක් නිසා මැරුණත් උාලි තමන් ළඟට ගන්න බෑ. උපාලි යහපත් මනුස්සයෙක්. තමන් පව් කැර ප්‍රේතියක් වෙලා උපන්නාට උපාලි පව් කළේ නැහැනේ. උපාලි දිව්‍ය ලෝකයකට යාවි. බොරු වැඩ කරන්න එපා. දැන්වත් ඔය දුගතියෙන් මිදෙන්න උත්සාහ කරන්න. උපාලිට කරදර නොකර ඉවත් වෙලා යන්න.”

“අනේ… හ්… ඉහි… ඉහි….” ප්‍රේතිය හඬයි.

“ඔය දුගතියෙන් මිදෙන්න අපි පින් පෙත් දෙන්නම්. හොඳ භවයකට යන්න.”

“ඇත්තට ම මම කරන්නේ තේරුමක් නැති වැඩක් ද?”

“ඔව්”

“උපාලිගේ අඩු පාඩු නිසා නොවෙයි ද? දවස් තුන්සිය හැටපහේ ම බිස්නස්…. බිස්නස්…. ඒක නිසා නොවෙයි ද?”

“ඒකට හේතුව තමුන් උපාලි කවුද කියලා හඳුනාගෙන නොවෙයි යාළු වුණේ. උපාලි ව්‍යාපාරයට කැප වුණු කෙනෙක්. උපාලිත් සුමාලි කවුද කියලා හඳුනා ගෙන නොවෙයි යාළුවෙලා විවාහ වුණේ. තමන්ට ඔය තරම් සැප සම්පත් යාන වාහන අරන් දීලත් ඒ මනුස්සයා කැන්දන් යනකම් ඉවසගෙන ඉන්න බැරුව වල්කමේ ගිහින් ජීවිතෙත් කාලකන්නි විදිහට නැති කැර ගත්තා. පරලොවත් දුගතිගාමි වුණා. දැන් වරද පිළි අරගෙන උපාලිගෙන් සමාව ගන්න.”

ප්‍රේතිය බිම වැටී උපාලිගේ දෙපා අල්ලාගෙන හඬන්නට වූවාය.

“මම ඔයාට ආදරෙයි. මට සමාව දෙන්න.”

“උපාලිගේ ව්‍යාපාරවලට පාඩු කළා. ඔවුන් ලෙඩ කළා. වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. මානසික ප්‍රතිකාර ගත්තා. වැඳලා සමාව ගන්න.”

ප්‍රේතිය දණ ගසා වැඳ සමාව ගත්තාය.

“තමන් දැන් හොඳට සිතට ගන්න දැන් ඔය දුක් විඳින ‍ප්‍රේත භවයෙන් මිදී හොඳ භවයකට යන්න අපි පින්කමක් කර අනුමෝදන් කරන්වන්නම්.”

“ඔව් මහත්මයා, මටත් සුමාලි ගැන දැන් කනගාටුයි. මම සුමාලි කැමති පින්කමක් කරන්නම්.” යැයි උපාලි ද කීවේය.

“අන්න බලන්න හොඳ මහත්වරුන් ගේ හැටි. සමහරු මෙතනට එන්නේ අම්මගෙ තාත්තගේ භූතාත්මය වුණත් අල්ලලා බැඳලා ‍ග‍ඟේ මූදේ දාන්න බැරිද කියලා අහගෙන. උපාලි මහත්තයා කොයි තරම් කාරුණිකද ?”

“එහෙනම් මහත්මයා මම උපාලිට කරදර කරන්නේ නෑ. රුවන්වැලි මහා සෑයට මොනවා හරි කැමති දෙයක් පූජා කර මට පින් දෙන්න කියන්නැ” යි ‍ප්‍රේතිය කීවාය.

“සුමාලි ඔයා දැන් ඇත්තට ම සුමාලි නොවෙයි. ප්‍රේතියක්. ඔය දුකෙන් මිදී ඉහළ තලයකට යන්න.”

අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑ රඳුන් වෙත පහන් වැටක් සාදවා සුමාලිගේ නම ද එහි සඳහන් කොට උපාලිත් ඔහුගේ බිරියත් පූජා කළහ. එපමණක් නොව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ද එවැනි ම පහන් වැටක් පූජා කොට සුමාලිට පින් අනුමෝදන් කළහ. සුමාලි සිටි තත්තවයෙන් ඊට වඩා හොඳ තත්ත්වයකට පත් වූවාය.

මේ ලිපි පෙළෙන් අප විසින් පාඨක ඔබ වෙත දෙනු ලබන පණිවුඩය ඒකාකාරී යැයි ඔබට සිතෙනු ඇත. එහි දෙකක් නැත. සත්‍යය නම් එකකි. එහි දෙකක් නැත. පෑන නම් පෑන ම ය. උදැල්ල නොවේ. පොල් ගෙඩියක් ද නොවේ.

භෞතික ලෝකයේ දී පෑන පෑන ම ය. බුදු දහමේ දී උගන්වන සත්‍යය නම් කළ යුත්ත නම් අත්හැරීම ය. උපාදාන රැස් නොකිරී ම ය. සංස්කාර ගොඩ ගසා නොගැනීම ය.

අප මේ ලිපි ‍පෙළෙන් අවධාරණය කරන්නේ ද වස්තු සම්පත් කෙරෙහි හෝ පුද්ගලයන් කෙරෙහි හෝ ඇලීමක් එසේ නැතිනම් ගැටීමක් ඇති කැර ගත හොත් අනිවාර්යයෙන් ම දුකට පත්වන බව, සතර අපාගත වී අවුරුදු දස දහස් ගණන් දුක් විඳීමට සිදුවන බවය. ඊට හේතු සාධක ඉදිරිපත් කිරීම අපේ පරමාර්ථය යි.

මේ ලිපි පෙළ කියවා කෙටි කතාවක රස විඳින්නෝ ද සිටිති. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයකට ගොස් රෝග සුවපත් කොට ගන්නෝ ද සිටිති.

එසේ රෝග සුවපත් වී ලිපි පෙළ ලියූ මට ද ගවේෂකවරයාට ද, පමණක් නොව ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයට ද උදේ හවස ආගමික වතාවත් අවසන්ව පින් අනුමෝදන් කරන්නෝ ද සිටිති. තවත් පිරිසක් කර්මය හා කර්ම විපාකය මැනවින් අවබෝධ කැරගෙන වරදින් මිදෙන්නෝ ද සිටිති. දානයෙන් සීලයෙන් පමණක් නොනැවතී භාවනාවට යොමු වී ආධ්‍යාත්මික සුවයක් විඳින්නෝ ද සිටිති. එක සතියකට එක ලිපියක් කියවා එක පුද්ගලයෙකු එසේ ධර්ම මාර්ගයට පත්වේ නම් අපේ පරමාර්ථය ඉටුවූවා වෙයි. ඒ ඔබ විය හැකි ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: