Posted by: lrrp | November 11, 2013

එදා බල්ලෙක් දැන් භුතයෙක් වී පළිගන්න ඇවිත්

පාපී මිනිසා අසීමිත තණ්හාවෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් පෙළෙන්නේ ය. අසීමිත තණ්හාව නිසා ලද දෙයින් සතුටු වීමට හේ නොපෙළඹේ. ඉඩකඩම්, ගෙවල් දොරවල්, වස්තු සම්පත්වලින් ආඪ්‍ය වී සියල්ලන්ට ම වඩා ඉහළින් සිටින්නට අධිෂ්ඨාන කැර ගෙන ඒ මගෙහි හඹා යමින් කටයුතු කරයි. මිථ්‍යා දෘෂ්ටිය නිසා කර්මය හා විපාකය නොහඳුනයි. ඒ නිසා ඔහුගේ අධිෂ්ඨානය මිථ්‍යා අධිෂ්ඨානයකි. අනුන් සතු දේ කූට උපායෙන්, වංචාවෙන් හා සොරකමෙන් තමන් සතු කැර ගැනීමට සැලසුම් කරයි. පව පින නොදන්නා ඔහු ළඟ මෛත්‍රිය හා කරුණාව නැත. සහෝදරකම, ඥාතිකම, මිතුරුකම, යටපත් කොට ගෙන ඔහුගේ සිත බලවත් වන්නේ අනුන්ට දුක් විපත් ඇති කොට හෝ අනුන් සතු දෑ තමන් සතු කැර ගැනීමට කටයුතු කරයි. එහි දී ඒ පාප කර්මයේ විපාකය මෙනෙහි නොවේ, මෙනෙහි නොකරයි. මෙනෙහි වීමට පාපී සිත ඉඩ නොදේ. නිරයට හෙවත් නරකාදියට ම පාර කපා ගනී.

සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා ‍රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය, යැයි මහා නිරය අටකි. අධර්මිෂ්ඨයෝ සංජීව නිරයේ ඉපිද බුර බුරා නැගෙන ගින්නෙන් දැවෙමින්, තියුණු මුවහත් ආයුධවලින් කැපුම් කෙටුම් ලබමින් නොමැරී අනේක විධ දුක් විඳී. මෙහි එක් දිනක් මිනිස් අවුරුදු වලින් අවුරුදු අනූ ලක්ෂයකි. පරමායුෂ මිනිස් අවුරුදු කෝටි දොළොස් ලක්ෂ අනූ හය දහසකි. (12960000000000) මේ අඩු ම දුක් විඳින නිරයයි. සය වැනි නිරය දක්වා දුක් වේදනා සහ ආයුෂ ක්‍රමයෙන් වැඩි වේ. සය වැනි නිරය තාපයයි. මිනිස් ජීවිතයේදී බලය හා නිලය ලැබීමෙන් රාජ්‍ය බලය යොදා, රාජකාරි නිල බලය යොදා අගතිගාමී වීම, හිමි දේ අහිමි කිරීම්, බොරු නඩු පැවරීම්, දඬුවම් කිරීම්, මහජනයාට හිංසා පීඩා කිරීම්, දුක් දීම්, බිය ගැන්වීම් ආදිය කළවුන් මෙහි ඉපිද ගිනියම්ව රත් පැහැ ගැන්වූ යවුලින් ඇමිණි ඇමිණී බුර බුරා නැගෙන ගිනිජාලා මැද දුක් විඳී, මෙහි එක් දවසක් මිනිස් අවුරුදුවලින් නවසිය විසි එක් කෝටි හැට ලක්ෂයකි. පරාමායුෂ මිනිස් අවුරුදු පන්සිය තිස් ප්‍රකෝටි අසූ හතර ලක්ෂ දහසය දහස් කෝටියකි. (53084160000000000) ප්‍රතාප තිරය හා අවීචි මහා නිරය අනිකුත් සියලු නිරයන්ට වඩා දුක් දෙයි. බොරුවෙන් අගතියෙන් නඩු විභාග කළ අය, බොරු සාක්ෂි දීමෙන් හා අනුබල දීමෙන් මිනිසුන් දුකට පත් කළ අය, අනුන්ගේ හා රජයේ දේපළ වංචාවෙන්, බලයෙන්, ප්‍රයෝගයෙන් තමන් වෙත හිමි කැර ගත් අය මේ නිරයන්හි ඉපිද දුක් විඳී, ගිනියම් ව දිළිසෙන පර්වත, ගිනියම් යකඩ බිත්තිවලින් සතර දෙසින් නැගෙන ගිනිදැල් වලින් දැවෙමින් අනේක දුක් විඳී, ප්‍රතාපයේ පරමායුෂ අර්ධ කල්පයකි, ගණනින් කිව නොහැකි ය. අවීචියේ පරමායුෂය අන්තඃ කල්පයකි. ප්‍රමාණයෙන් කිව නොහැකි ය. එක් නිරයක් වටා තවත් ඔසුපත් නිරය දහසයකි. අට මහා නිරය වටා ඔසුපත් නිරය එකසිය විසි අටකි. අනුන් දුකට පත් කරන්නෝ, මේවායේ උපදිති.

වාද්දුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ සුගතදාස හතළිස් පස් හැවිරිදි දෙදරු පියෙකි. ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ කොන්ත්‍රාත් කරුවෙකු වූ ඔහු යමක් කමක් උපයාගෙන දියුණු වී සිටියේය. හිටි හැටියේ ඔහුට රාත්‍රී නින්ද නොයන රෝගයක් වැලඳිණි. ඒ සඳහා විවිධ වෛද්‍ය ප්‍රතිකාර ලැබූව ද මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබූව ද සුවයක් නොවුණි. මේ අතර ඔහු සමඟ කාලයක් තිස්සේ එකට වැඩ කළ සේවකයෝ ද ඔහු අතහැර යන්නට වූහ. කොන්ත්‍රාත් ගෙන ඉදි කළ ගොඩනැගිලි අයිතිකරුවන් ගෙන් වැඩ අවසන් කොට ලැබිය යුතු මුදල් නොලැබී යන්නට විය. මෙසේ අසනීප වීමටත්, දියුණුව කඩා වැටීමටත් හේතු සොයා ගන්නට සුගතදාස ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියේය.

පළමු දිනයේ පරීක්ෂාවේ දී සුගතදාස සිහි නැතිව ගොස් අප්‍රාණිකවම වැටුණේ ය. ඔහු තුළ භූතාත්මයක් ක්‍රියාත්මක වන බවත් එය ප්‍රලය කොට ගැනීමට තරම් ඔහුගේ ශරීර ශක්තිය දුර්වල බවත් වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේය.

ඊළඟ දිනයේ ද සුගතපාල ප්‍රලය විය. එදින ඔහු හිස පහත් කොට ගෙන දිව එළියට දමා සෙම හළමින් හිස දෙපසට වන්නට විය. ගොරවන්නට විය. විටක උඩ බලාගෙන හූ කියන්නට විය. ඔළුව වැනුවා ම මිසක කතා කළේ ම නැත.

එදින මේ කුමක් දැයි නිගමනය කරන්න තරම් කරුණු හෙළිදරව් නොවූයෙන් තවත් සතියක් බෝධි පූජා පවත්වන ලෙස ද ඒ බෝධි පූජා කළ යුතු ආකාරය ද පැහැදිලි කැර දුන්නේය.

සතියකින් පසු සුගතදාස නැවත ආවේ ය. දෙවැනි වරට බෝධි පූජා තබන විට ඔහුට රාත්‍රි හොඳින් නින්ද ගිය බවත්, ඔහුගේ තුරුලේ මවිල් සහිත කෙනෙකු නිදා සිටි බවත්, හිස දෙපසට වනමින් සිටි බවත් ස්පර්ශයෙන් දැනුණු බවත් ගවේෂකවරයාට කීවේ ය. එදින ද සුගතදාස ප්‍රලය වුවද කතා කළේ ම නැත. මේ ගැන විමසිලිමත් වූ ගවේෂකවරයා කතා කළ හැම වතාවකට ම භූතාත්මය හිස දෙපසට වහනවා මිසක වචනයෙන් පිළිතුරු නොදුන් බැවින් වෙනත් සන්නිවේදන ක්‍රමයක් භාවිත කළේය. ඒ සිතින් සිතට අදහස් හුවමාරු කැර ගැනීමය. එය සාර්ථක විය.

“ඔබ කව්ද?”

“භූතාත්මයක්”

“භූතයෙක් වීමට පෙර සිටියේ මනුෂ්‍ය ලෝකයේ ද?”

“ඔව්!”

“ඔබ එදා කව්ද?”

“බල්ලෙක්”

“දැන්?”

“භූතයෙක්”

“භූතයෙක් කියන්නේ ප්‍රේතයෙක් ද යක්ෂයෙක් ද?”

“දන්නෙ නෑ”

“ඔබ දැන් සිටින ස්වරූපය?”

“විශාල බල්ලෙකුගේ හැඩ රුව”

“ඔබ මේ සුගතදාසගේ ශරීරයට ඇතුළුවුණේ කොහොම ද?”

“ඇතුළුවුණා නොවෙයි බන්ධනය කළා”

“කවුද බන්ධනය කළේ?”

“ඇදුරෙක්”

“කාගෙ වුවමනාවට ද?”

“ප්‍රියන්තගෙ වුවමනාවට”

“ප්‍රියන්ත කියන්නෙ කවුද?”

“මේ සුගතදාස ගෙ මස්සිනා”

“ඇයි මස්සිනා ඒ වගේ දෙයක් කළේ?”

“මේ සුගතදාසගේ කොන්ත්‍රාත් වැඩවල මුදල් ගනුදෙනු කළේ ප්‍රියන්ත. මස්සිනා නිසා විශ්වාසයට සුගතදාස මුදල් ගනුදෙනු කටයුතු ප්‍රියන්තට බාර දීලා තිබුණා.”

“ඉතින්?”

“කම්කරුවන්ට වැටුප් ගෙවීම්, මිලදී ගැනීම් කටයුතු කළේ ප්‍රියන්ත. මිනිහා ඒවයෙන් ගාණක් වංචා කළා. දැන් එයත් ලක්ෂපතියෙක්. අන්තිමේ මිනිහා වෙන ම කොම්පැණියක් දා ගත්තා. සුගතදාස ඉන්නේ මහ පාරට මුහුණ දාලා හදපු ගෙයක. ප්‍රියන්ත ඉන්නේ ඊට පිටි පස්සේ. දැන් ප්‍රියන්තගෙ ගෑනිටත් ඕනෑ වෙලා පාර අයිනෙ පදිංචි වෙන්න. ඒ නිසා ප්‍රියන්ත සුගතදාසගෙ ගෙයයි ඉඩමයි ගන්න හිතා ගත්තා. සුගතදාසගෙ බිස්නස් පාඩු කරලා, ලෙඩ කරලා මෙතනින් පන්නා ගෙන ඉඩම අයිති කර ගන්නයි ප්‍රියන්තගෙ අදහස. ඒකට තමයි මාව බන්ධනය කළේ?”

“තමුන් දැනට ඒකට මොනවා ද කරලා තියෙන්නෙ?”

“මම සුගතදාසගෙ වාහනයක් ගිනි තිබ්බා. තව වාහනයක් ‍කෝච්චියේ හැප්පෙව්වා. වැඩ පොළවල වැඩ කරන අය බය කරලා ලෙඩ කරලා යැව්වා. ඊ ළඟට සුගතදාස කොන්ත්‍රාත්වල මුදල් අර ගන්න ගියා ම ඒ කොම්පැනිවල අය එක්ක රණ්ඩු කරවනවා. සුගතදාසගෙ ඇඟට රිංගලා එහෙම රණ්ඩු කළා ම ඒ මිනිස්සු මුදල් ගෙවන්නෙ නැහැ තරහට. කොහොමහරි මූට පාඩු කරලා තනි කරලා මරා ගන්න ඕනෑ.”

“ඇයි ඉතින් මෙච්චර කල් මරා ගන්න බැරි වුණේ.”

“හැම පෝයකට ම සිල් ගන්නවානෙ. මම පුළුවන් තරම් උත්සාහ කළා මූට ජීවිතේ එපා කරවලා සිය දිවි හානි කරවන්න. ඒත් සිල් ගුණේ නිසා මට ඒක කර ගන්න බැරිවුණා.”

“යකෝ බලු ආත්මයක ඉඳලා මැරිලා තවත් බලු වැඩම නේද කරන්නේ. බලාපිය මෙතන අම්මා කෙනෙකුයි දරු දෙන්නෙකුයි දුක් විඳිනවා. මේ අහිංසක මනුස්සයාගෙ ව්‍යාපාරත් පාඩු කරලා ඒ මිනිහගෙ ජීවිතෙත් නැති කරන්න ද උඹ හදන්නෙ?”

“මට බණින්න එපා. මම කරන්නෙ මට බාරදුන්න වැඩේ.”

“ඉතින් පවරපු වැඩේ නොකර ඉන්න බැරි ද?”

“එහෙම බෑ. වැඩක් පැවරුවොත්, බාර ගත්තොත් ඒක නොකර ඉන්න බෑ. ඒ අපේ හැටි. බාර ගත්ත වැඩේ නොකර ඉන්නේ, බොරු කරන්නේ, මග අරින්නේ මිනිස්සු. එහෙම අය තමයි බල්ලන් වෙලා උපදින්නේ. ඒ නිසා මම දැන් බාර ගත්ත වැඩේ කරන්නම ඕනෑ.”

“මම තමුන්ට නියම කරනවා ඔය ශරීරයෙන් ඉවත් වෙලා යන්න”

“බැහැ… බැහැ… මට යන්න බැහැ”

“යන්නෙ ම නැද්ද?”

“නෑ…”

එවර ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කළේ ය.

“එපා… එපා… මම යන්නම්…. මම යනවා… යනවා…”

යළිත් මේ ශරීරයට නොඑන පොරොන්දුව මත එම භූතාත්මය ශරීරයෙන් ඉවත් කොට නිදහස් කැර හැරියේය. සුගතදාසටත්, බිරියටත්, දරු දෙදෙනාටත් ආධ්‍යාත්මික පිළිවෙත් කීපයක් නියම කොට එයින් ඔවුන්ටත්, නිවසටත්, ව්‍යාපාරයටත්, ආරක්ෂා විධි පැනවීය.


Responses

  1. bohoma sthuthi….


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: