Posted by: lrrp | January 23, 2014

කය දුවවා වැඩක්‌ වේද සිත නතර කරනු බැරිනම්

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත් නෝනා මහත්වරුන් දුවනවා, ඇවිදිනවා, ව්‍යායාම කරනවා ඔබ දකිනවා ඇති. කුමක්‌ සඳහාද?

ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න. ලෝකයේ වේගයෙන්ම දුවන සතා තමයි චීටා. මේ සතුනුත් ළමා කාලයේදී මියයනවා, තරුණ කාලයේදී මියයනවා, මධ්‍යම වයසේදිත් මියයනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට නිරතුරුවම පත්වෙනවා. ලෝකයේ වැඩිම ව්‍යයාම කරන සතා තමයි වඳුරා. එයා හැම නිමේශයකම අත්තෙන් අත්තට, ගහෙන් ගහට පනිමින් මහා ව්‍යායාමයක යෙදෙනවා. ඒ වඳුරොත් ළමා කාලයේදී, තරුණ කාලයේදී, මධ්‍යම වයසෙදි මැරෙනවා. නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා. මේ නිසා දිවීම තුළින්වත්, ව්‍යායාම තුළින්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න බැහැ නේද? අපේ මේ දිවීම නතරකළ දවසටයි අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් අත්මිදෙන්නේ. කාගේ දිවීමද? රූපයට තන්හාවෙන් දුවන සිත, උපාදානයෙන් අල්ලාගන්නා සිත දිවීමෙන් නතරකළහොත් එතැනයි දුකේ කෙළවර.

මේ දිවීම තුළ, ව්‍යයාම තුළ කුමක්‌ද සැඟවිලා තියෙන්නේ. අවිද්‍යාවේ වේගයයි. ඔබ මේ දුවන්නේ තව තවත් අවිද්‍යාව දෙසටයි. ලෝකය දෙසටයි. දුක දෙසටයි. ඔබ මේ නිරෝගි කරන්න හදන්නේ ලෙඩට උරුම කයක්‌. ඔබ ඔය මස්‌පිඩු වලින් පුරවන්න හදන්නේ ලෙඩට උරුම රැළිවැටෙන කයක්‌. දිවීමෙන්, ව්‍යායාමය මඟින් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මේ කය මුදාගත්ත ලෝකයේ යමෙක්‌ සිටියාද? සිටිනවාද? නැහැමයි. මේ කය ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නක්‌මයි කියලා දැකලා, රූපයට ඇති ඡන්දරාගයෙන් මිදුන තැනැත්තන්මයි දුකෙන් අත්මිදුණේ. නමුත් පෘතග්ජන සත්වයා රූපයේ ආදිනවය, ආදීනවයක්‌ හැටියට නොදකින නිසා ඔහු ජාති, ජාරා, ව්‍යාධි, මරණ හමුවේ කම්පා වෙනවා. සලිත වෙනවා. බිය වෙනවා. මට ලස්‌සන අහිමිවෙයි, මගේ ලස්‌සන නැතිවෙයි, මගේ නිරෝගීකම නැතිවෙයි කියලා. ශරීරය කෙට්‌ටු කෙනා, ශරීරය මහත්කරගෙන සතුටු වෙනවා. ශරීරය මහතකෙනා ශරීරය කෙට්‌ටු කරගෙන සතුටු වෙනවා. ශරීරයේ මේදය වැඩි කෙනා, මේදය අඩුකරගෙන සතුටු වෙන්න හදනවා. විටමින් ඌනතාව හෙවත් ඒවා අඩුකෙනා විටමින් පාවිච්චි කරලා සතුටු වෙන්න හදනවා. මේ සියල්ල තුළ තිබෙන්නේ කුමක්‌ද?

වැඩිදෙය අඩුකර ගන්නවා. අඩුදෙය වැඩිකර ගන්නවා. කෙනෙක්‌ අඩුදෙය උපාදාන කරනකොට, තව කෙනෙක්‌ වැඩිදෙය උපාදානය කරගන්නවා. කොතැනද මෙහි සීමාව, කවුද මේ සීමාව තීරණය කරන්නේ. තීරකයා තමයි පෘතග්ජන සිත. අඩුවැඩි කරගනිමින් මරණය කියන සීමා ඉරට අපි සේන්දුවෙලා, අපි ඒ සීමා ඉර පසුකරන්නේ අතෘප්තියෙන්. මොකද ඉහත ස්‌වභාවයන්ට අප පත්වන්නේ මැරෙයි කියලා හිතලා නොවෙයි. මා තුළ නිරෝගීබව තිබෙනවාය, නිරෝගීබව තුළ මා ඉන්නවාය කියලා ඇති කරගත් උපාදානය නිසා, ඒ උපාදානය කරගත් දෙය බිඳවැටීමෙන් ඇතිවන අතෘප්තිය, මරණ භය, ගැටීම…..

මෙන්න මේ ගැටීමේදී ඔබේ පිහිටට ඔය ව්‍යායාමවත්, ශරීර ශක්‌තියවත්, විටමින් සිරප්වත් ඔබේ පිහිටට එන්නේ නැහැ. ඉහත සියල්ල ඔබට උරුමකර දුන්නේ දුකක්‌මයි. නමුත් ඔබ ජීවිත කාලය තුළදී පුqරුදු පුහුණු කළේ කාය ශක්‌තියේ, ව්‍යායාමයේ, නිත්‍යභාවය නම් ඔබේ මරණ මොහොතේදී එම සංඥාවන් ඔබට ඇතිවුනොත්, අවසාන කැමැත්ත – උපාදානය ඉහත ස්‌වභාවයන්ට ඇලීගියා නම්, ඔබේ මීළඟ උපත චීටාවෙකුගේ හෝ වැඳිරියකගේ කුසේ වීමටද පුළුවන්. මන්ද ඔබේ කැමැත්ත පරිදිම, ඔබ උපාදානය කරගත් පරිදිම සුවසේ දිවීමටත්, සුවසේ ව්‍යායාම කිරීමටත් ඔබට ලැබෙන නිසාය.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන එක්‌තරා අවස්‌ථාවකදී මෙන්න මෙහෙම දර්ශනයක්‌ දැක්‌කා. ආකාශය තුළ, ඒ කියන්නේ මහපොළොවේ සිට මීටර 200 ක්‌ පමණ ඉහළ විසි දෙනෙකුගේ පමණ කණ්‌ඩායමක්‌, වැල්පාලම් ඔන්චිල්ලා වැනි උපකරණ මත ජිම්නාස්‌ටික්‌ වැනි ක්‍රීඩාවක නිරතවෙනවා. මේ අය කිසිම බියක්‌ නොමැතිව මීටර 200 ක්‌ පමණ ඉහළ සිට බොහොම රිද්මයානුකූලව බීමට පතිත වෙනවා. නැවත ඉහළට යනවා. මහා අන්තරාකාරී ක්‍රීඩාවක්‌ ඉතාමත් සුවසේ නොබියව කරනවා. ආකාශයේ දැමූ ලණු පාලමක්‌ වැනි දෙයක්‌ මත පිනුම්, කරණම් ගසනවා. මේ අය ප්‍රේත ලෝකයට සම්බන්ධ පිරිසක්‌ නොවේ. මනුෂ්‍ය ස්‌වභාවයේ හොඳ අඟ පසඟ සහිත සුදු පැහැති දිග සහ කොට කලිසම් වගේම ටී-ෂර්ට වලින් සැරසී සිටි පිරිසක්‌. භික්‍ෂුව හඳුනාගත්තේ මේ අය දේව ස්‌වභාවයේ පිරිසක්‌ හැටියටයි. ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී උපාදානය කරගත් ක්‍රීඩාව, ව්‍යායාමය මෙතැනදිත් උපාදානය කරගෙන. ඒවාට කැමති පිරිස ඒකරාශි වෙලා. හැබැයි මේ අය සශ්‍රික දේව පිරිසක්‌ නොවෙයි. ප්‍රේත ලෝකයට වඩා ටිකක්‌ ඉහළ ස්‌වභාවයේ දේව කොට්‌ඨාශයක්‌. මේ අය තුළ ආලෝකමත් බව, ප්‍රභාශ්වර බව තිබුණේ නැහැ. ගුප්ත ස්‌වභාවය ඒ අයගේ ස්‌වරූපයේ තිබුණා. ඔබ යමක්‌ උපාදාන කරගතතොත් එය මතුභවයටත් ඔබ අරගෙන යන හැටි පැහැදිලියි නේද? හේතුඵල ධර්මයන්ට අනුව විග්‍රහ කිරීමක්‌ පමණයි භික්‍ෂුව මෙහි සඳහන් කළේ. ඔබ වෙනදා වගේම දුවන්න, ව්‍යායාම කරන්න මගේ කය, මගේ ශක්‌තිය, මගේ නිරෝගීකම මගේ ලස්‌සන, පෞරුශත්වය, හැඩය නිත්‍යයි කියන දෘශ්ටීන්ට යට නොවී. ඉහත සියල්ල ඔබේ වසඟයේ පත්වාගැනීමට නොහැකිය යන අවබෝධය තුළ සිටිමින්…

නමුත් මෙය කරන්න ලේසි නැහැ. ඔබේ ඔය මාර සිත නිරතුරුවම මේවායේ නිත්‍යභාවය පැත්තටම ඔබව රැගෙන යනවා. අතීතයේ තිබූ මිත්‍යාදෘශ්ටික ශීල වෘතයන්ගෙන් එකක්‌ තමයි ශරීරයට දුක්‌ දීමෙන් සැප ලබාගැනීම කියන දෘශ්ටිය. නිගන්ඨයන් වැනි පිරිස්‌ ආසන ප්‍රතික්‍ෂෙප කොට, උල් සහිත ස්‌ථානවල ඇවිදිමින්, නිදාගනිමින් ශරීරයට දුක්‌ දුන්නා. කුමක්‌ උදෙසාද? සැප උදෙසා. අතීත කර්ම ගෙවීම උදෙසා. වර්තමානයේ ඔය දුවන ව්‍යායාම කරන අය දෙස බලපුවහම කෙනෙකුට සිතෙන්න පුළුවන් අතීතයේ නිගන්ඨ දෘශ්ටියේ නව ප්‍රවේශයක්‌ද මේ කියලත්. මොකද මේ අයත් අනාගත සැප උදෙසායි මේ දුක්‌ විඳින්නේ. ඔබ මේ දෙතිස්‌ කුණපය කුමන සංඥාවකින් නිත්‍යභාවයෙන් අල්ලාගත්තද ඒ තුළින් ඔබ විඳින්නේ දුකක්‌මය. ඔබ කොතරම් මහන්සිවී ශරීරයේ මස්‌පිඩු, පෙනුම ලස්‌සන කරගත්තද ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක්‌, උණක්‌, අසනීපයක්‌ හැදුනහොත් සතියක්‌ ව්‍යයාමයෙන් තොරවූ විට ශරීරය නැවතත් ‘ජොල් වීමට’ පටන් ගනී. හැඩය වෙනස්‌වී යයි. මොනතරම් දුවලා, ව්‍යායාම කරලා, නිරෝගීව තබාගත්තද හදිසියේ මඟුල් ගෙදරකට, උත්සවයකට, උත්සව කාලය පැමිණියහම ඔන්න නැවතත් සීනි, පිෂ්ඨය, මේදය වැඩිවෙලාය. ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ මොන පැත්තෙන් යටගැහුවද ඒවා දිය යට ඇති රබර් බෝලයක්‌ මෙන් ග්‍රහණයෙන් මිදුණු සැනින් නැවත මතුවී එයි.

මේවාට ප්‍රතිකාර කියන පිංවත් වෛද්‍යවරුන්, ව්‍යායාම කරවන මහත්වරුන් ඔබතුමන්ලාට වෛද්‍ය උපදෙස්‌, ව්‍යායාම උපදෙස්‌ දේවී. ඒ මහත්වරුන් ඔබලාට උපදෙස්‌ දෙන්නේ ඔවුන්ගේ කයත් ඉහත ස්‌වභාවයේම තිබියදීමය. ඔවුන්ද ඉහත ස්‌වභාවයෙන් මිදී නැත. ඔවුනට අසනීපයක්‌ වුවහොත් ඔවුන්ද තවත් වෛද්‍යවරයකු වෙතට ගොස්‌ ප්‍රතිකාර ගත යුතුය. එහෙත් මේ අසනීපයට හොඳම ප්‍රතිකාරය වදාළ උත්තමයා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මුලින්ම උන්වහන්සේ අනුනට බෙහෙත් කියන්නට පෙර තමන් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදුනාහ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාලේ තුන් සිවුරත්, පාත්‍රයත්, උපරිමය ආහාර වේල් දෙකකින් යෑපීමත්ය. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිතරම දේශනාකළ වදනක්‌ වූයේ දිනකට එක්‌ වේලක්‌ පමණක්‌ වැළඳීම ශරීරයට පුදුමාකාර සැහැල්ලුවක්‌ දනවන බවයි. ඔබ දිව සංවර කරගන්න. රසයට ඇති කැමැත්තෙන් මිදෙන්න. ආහාරයේ අශූභය වඩන්න. එවිට ආයාසයකින් තොරවම ඔබේ කය යම් ප්‍රමාණයකට නිරෝගී වේවි. ප්‍රසන්න වේවි. හැඩවේවී. රසයට ඇති ගිජුභාවය ඔබ අතහැරියොත් ඔබට යම් පමණකට රෝගීබව මගහැරේවී. අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විඳීමට ඔබට හැකිවේවි.

ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සහගන්න ඕනේ දීර්ඝ කාලයක්‌ ආයුෂ විඳින්න නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමටය. නැවත උපතකින් මිදීමටය. එය අර්ථවත් කරගන්න බැරිනම් සසර කෙටිකර ගැනීමටය. මේ දෙකෙන් කොයික කරගත්තත් මා තුළ නිත්‍යවූ නිරෝගීබව, ලස්‌සන, හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ.

හැබැයි සමහරු මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරනවා. තමන් ව්‍යායාම කළත් අනිත්‍යය වඩමින් තමයි කරන්නේ කියලා. හැබැයි ඉතින් මේ ධර්මයත් මාර ධර්මයක්‌ම තමයි. හරියට දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක සැප කෙළවර නිවන් ප්‍රාර්ථනා කරන්න කියලා කියන මාර ධර්මය වගේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප කෙළවර නිවන ගැන විශ්වාසයක්‌ තියන්න බෑ. මෙය ස්‌වභාවයන් දෙකක්‌. දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක කියන්නේ අල්ලා ගැනීමක්‌. නිවීම කියන්නේ අතහැරීමක්‌. අල්ලා ගැනීමක්‌ කෙළවර අතහැරීමක්‌ ගැන විශ්වාසය තැබීම නොවිය හැක්‌කක්‌. සංසාරය පුරාවට කල්ප කෝටි ගණනක්‌ අපිව මේ දුර ගමන ඇවිද්දුවේ ඔය මාර වදන් අපි අපේ කරගත් නිසා.

මේ දෙකෙන් එක ස්‌වභාවයකට අපි එන්න ඕනේ. එක්‌කෝ අල්ලා ගැනීම, එක්‌කෝ අතහැරීම.

පෘතග්ජනයා පුදුමාකාර කෑදරකමකිනුයි තමන් කැමති දෙය උපාදානය කරගන්නේ. මනුශ්‍යයා ජීවිතයේදී මුලින්ම උපාදානය කරගන්නේ මොකක්‌ද? තම මෑනියන්ගේ ගර්භාෂයයි. මව්කුසයේ ගර්භාෂයේ ඇතිවන ප්‍රතිසන්ධි චිත්තය ළදරුවෙක්‌ වශයෙන් කලල රූපය අල්ලාගෙන වැඩීමේදී මේ ළදරුවා ගර්භාෂය මගේය කියලා අල්ලා ගන්නවා. මේ ගර්භාෂය තුළ දරුවා මොනතරම් දුකක්‌ද විඳින්නේ. බැලුම් බෝලයක්‌ වගේ ආවරණයකට මැදිවෙලා, අතපය වකුටු කරගෙන සැරව, රුධිරය, මේදය, අසුචි, මුත්‍රා, බොකු බඩවැල්, වමනය, දිරවූ නොදිරවූ ආහාර…. මොනතරම් ජරා ගොඩක්‌ මැද්දෙද. මෑණියන්ගේ කුස තුළ ක්‍රියාත්මක වන වායෝ ධාතුවට හෙවත් වාතයට, තේජෝ ධාතුවට හෙවත් රස්‌නයට, ආපෝ ධාතුව හෙවත් දියර වර්ගවලින් පීඩනයට ලක්‌වෙමින්. මේ දරුවා වැඩෙන්නේ. මෙවැනි අවිචාරවත් පරිසරයක්‌ මැද මේ දරුවා ගර්භාෂයේ වැඩුණත් ඔහු අකමැත්තෙන් නෙවෙයි ගර්භාෂය තුළ සිටින්නේ. ඔහු දුකක්‌ හැටියට හිතලා නෙමෙයි ගර්භාෂය තූළ සිටින්නේ. මේ දරුවා ගර්භාෂය මගේ කියලා අල්ලාගෙනයි මෙහි පදිංචිවෙලා සිටින්නේ. තන්හාව නිසා හටගත් උපාදානයේ බලවත් බව නිසා බැසගත් තැන මගේ කියලා අල්ලා ගන්නවා. මගේ කරගන්නවා. සැපයක්‌ම හැටියට දකිනවා. මේ විදිහට නව මාසයක්‌ ඇවෑමෙන් මේ දරුවා ලෝකයට බිහිකරන්න මොන තරම් වෙහෙසක්‌ ගන්න වෙනවද? අම්මා, දරුවාව මේ උපාදානයෙන් ගලවාගන්න මොනතරම් අහිංසක වේදනාවක්‌ විඳිනවාද? මොන තරම් තටමන්න ඕනිද? ශක්‌තියක්‌ වැයකරන්න ඕනෙද? ඇයි මේ අම්මා මෙතරම් දුකක්‌ විඳින්නේ? දරුවා තමා උපාදානය කරගත්, මගේ කරගත් ගර්භාෂය අතහැරීමට ඇති අකමැත්ත නිසා. එය මගේ කර අල්ලාගෙන සිටින නිසා. මගේ තැනින් මිදීමට ඇති අකැමැත්ත නිසා. අවසානයේදී මවත් දරුවත් අතර සටනක්‌ තමයි සිද්ධවෙන්නේ. දරුවා ගර්භාෂය අල්ලාගෙන සිටීමට ප්‍රයත්න දරනවා. මව දරුවාව එලියට ගන්න ප්‍රයත්නය දරනවා. දරුවා තුළ ගර්භාෂ කුටියට ඇති උපාදනයත්, මවට දරුවා දැකීමට, අයිතිකර ගැනීමට ඇති උපාදානයත් අතර සටනින් ශක්‌තිය වැඩි මව දිනනවා. මවට මේ ශක්‌තිය නොමැතිනම් වෛද්‍යවරයා සැත්කමකින් බලහත්කාරයෙන් දරුවා එලියට ගන්නවා. දරුවා මව්කුස ගර්භාෂ කුටිය උපාදාන කරගෙන එහි රැඳෙන්නට හදනවා. අම්මා ‘මගේ දරුවාය’ යන උපාදානයෙන් දරුවාව දෝතට ගන්න අයිති කරගන්න හදනවා. වෛද්‍යවරයා තම වෘත්තිය උපාදාන කරගෙන දරුවා සැත්කමකින් එලියට ගන්නවා. හෙදිය තම වෘත්aතිය උපාදනය කරගෙන දරුවා උපද්‍රව රහිතව ලෝකයට ගන්නට උපකාර කරනවා. මේ සතර දෙනා තුළම ක්‍රියාත්මකවන්නේ උපාදානයමයි. තම තමන් කැමැත්තෙන් අල්ලාගත් දෙය තමයි මේ සැපයක්‌ හැටියට දකින්නේ.

දරුවා මේ විදිහට ලෝකයට බිහිවෙනකොට බෙරිහන් දීගෙන, හඬාගෙන තමයි බිහිවෙන්නේ. මොකක්‌ද මේ කෑගැසීම, හැŽම. මගේ තැන, නව මාසයක්‌ මා පදිංචිවී සිටි තැන මට අහිමිවුනාය, අහිමි කළාය යන වේදනාවෙන්, බයෙන්, අසරණ භාවයෙන් තමයි ඔය කෑගහන්නේ. තමාගේ අකැමැත්තෙන් අම්මා සහ වෛද්‍යවරයා එකතුවී උදුරාගත් නිසා තමයි ඔය කෑගසන්නේ. විරෝධය දක්‌වන්නේ. මගේ තැන අහිමිවුනාය කියලා දරුවා කෑගහනකොට ඒ හඬ අහලා අම්මාට සතුටුසිනා පහළ වෙනවා. සතුටු කඳුළු සලනවා. මට දරුවා ලැබුණා කියලා.

අහිමිවීම නිසා දුකත්, ලැබීම තුළ සතුටත් තමයි දෙදෙනාම විඳින්නේ. හැබැයි මේ විඳීමේ ස්‌වභාවයන් මොහොතකින් අනිත්‍යභාවයට පත්වෙනවා. මේ දරුවා ගර්භාෂයේ උපාදානයෙන් මිදිලා ලෝකයට බිහිවුනාට පස්‌සේ මොකද වෙන්නේ. අම්මාගේ උණුසුම, අම්මාගේ පියයුරු උපාදානය කරගන්නවා. ඔන්න දැන් හිටපු තැනට වඩා මෙතන සැප හැටියට දරුවා අල්ලා ගන්නවා. මව් උණුසුමත්, පියයුරුත් මගේ තැන හැටියට උපාදානය කරගෙන ඒ දෙක මගේ කියලා ආශ්වාදය කරනවා. ඔන්න දැන් මවගේ උණුසුමෙන්, මවගේ පියයුරුවලින් දරුවා ඉවත් කරන්න හැදුවොත් දරුවා කෑගසනවා. විරෝධය දක්‌වනවා. මෙන්න බලන්න දැන් මව් උණුසුමත්, පියයුරුත් උපාදාන කරගන්න ස්‌වභාවය. ගර්භාෂයේ විඳීම අනිත්‍යභාවයට පත්වුනා. තවත් විඳීමක්‌ අල්ලා ගත්තා. මේ විඳීමේ ස්‌වභාවය අනිත්‍යභාවයට පත්වෙමින් ක්‍රමයෙන් තාත්තාව, තොටිල්ල, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය, රැකියාව, නිවස, බිරිඳ, දරුවා, මුණුපුරා ආදී වශයෙන් එකක්‌ අතහැරෙද්දී තව රූපයක්‌ සැපයි කියලා ක්‍රමානුකූලව මගේ කරගන්නවා.

(මෙහිදී පළවන්නේ මෙම ලිපියේ පළමු අර්ධයයි.)

උපුටා ගැනීම – දිවයින ඉරිදා සංග්‍රහය – ඉන්ද්‍රජිත් සුබසිංහ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: