Posted by: lrrp | January 26, 2014

අසිරිමත් පසේබුදු පෙළහර

මෙම පසේබුදුවරයන් වහන්සේද බරණැස් නගරයෙහි රජ බවට පත්ව සිටියා. මොහු රජ කරමින් සිටියදී නොයෙකුත් උත්සව, සම්භාෂණ සහ පුදපූජාවන්වලටත් සහභාගී වුණා. නමුත් ක‍්‍රමක‍්‍රමයෙන් මේ රජුගේ සිත භාවනාවට යොමු වුණා. භාවනා කරද්දී සිත එකඟ වුණා. එහිදී රජතුමා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිදු වුණා. එනම් ප‍්‍රථම ධ්‍යානය උපදවා ගැනීමට සමත් වීමයි. ධ්‍යානයට සමවැදී එයින් නැඟිටි රජතුමා තමා ගත කරමින් සිටින ලෞකික ජීවිතයේත්, පංච නීවරණ යටපත් කොට ඇති කරගත් චිත්ත සමාධියේත් වෙනස පැහැදිලිව වටහා ගත්තා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.

”ඔව්…! මං කුමාර අවධියේ කෙළිසෙල්ලමෙන් කල් ගෙව්වා. එකලත් මට සිතට ප‍්‍රීතිය දැනුණා. හැබැයි මෙම ධ්‍යාන සුවයෙන් ලබන නිරාමිස ප‍්‍රීතිය හා සසඳා බලද්දී කෙළි සෙල්ලමෙන් ලද ප‍්‍රීතිය නම් ලාමක දෙයක්මයි.

ඔව්…! මං උද්‍යාන ක‍්‍රීඩාවෙන් ප‍්‍රීතිමත් වුණා. මල් ගොමු සිසාරා ඇවිද ගියා. අශ්ව රේස් ගියා. සොබාදහමෙහි සොඳුරු දසුන් නරඹන්නට ගියා. ඒ සියලූ ප‍්‍රීතිය ඒ සැණෙකින්ම අවසන් වුණා. නමුත් ධ්‍යාන සුවයෙන් මා ලැබූ ප‍්‍රීතිය අභියස උයන් කෙළියෙන් ලබන ප‍්‍රීතිය නම් ලාමක දෙයක්මයි.

ඔව්…! අන්තඃපුරාංගනාවන් නිසා මට පංච කාමයම විඳින්න ලැබුණා. ලොව සිටින අභිරූපවත් සොඳුරු ළඳුන්ගේ පහස ලැබුණා. නමුත් ඒ වින්දනය හරිම වෙහෙසකරයි. පීඩාකාරීයි. සංසිඳීමක් නැති දෙයක්. යළි ඇවිස්සීමකට පත් කරවන දෙයක්. නමුත් නීවරණ සංසිඳවාගෙන මා ලද මේ දැහැන් සුවය සැබැවින්ම අසිරිමත්!

ඔව්…! රාජකෘත්‍යය නිසා මට යම්කිසි සතුටක් ලැබුණා. මගේ ආනුභාවය පැතිරවීමෙන් අමුතු සතුටක් මා වින්දා. මා බලය පැතිරවීමෙන් ලැබූ සතුට ඉතාමත්ම ගොරෝසුයි. එකිනෙකා කෙරෙහි සැකයෙන් යුතු, එකිනෙකා කෙරෙහි අධිපතිභාවය බලපැවැත්වීමෙන් ලබන සතුට මොනතරම් ලාමකද කියා මට වැටහෙන්නේ මේ දැහැන් සුවය හා සසඳා බලන විටයි.

ඔව්….! දැන් මට මේ රාජකීය ජීවිතය තුළ කිසි සැපතක් පෙනෙන්නෙ නෑ. එකවරම මෙය අත්හැරියොත් රට අවුල් වෙන්න පුළුවනි. නමුත්, මා ලද මේ විරාගී මානසික සුවය තරම් මගේ ජීවිතය සුවපත් කළ වෙන දෙයක් නෑ. මා කොහොමහරි බණ භාවනා කිරීම දිගටම ගෙනයන්න ඕන. දැන් කරන්න තියෙන්නේ ඇමතිවරුන් සතර දෙනෙකුට රජය පවරා මා වරින් වර සොයා බැලීමයි.”
ඉතින් ඒ රජතුමා විශ්වසනීය ඇමතිවරු හතර දෙනෙක් කැඳෙව්වා. රාජ්‍ය පාලනය දැහැමිව කරගෙන යාමේ වටිනාකම පවසා සිටියා.
”එම්බා ඇමතිවරුනි, රජකම් කිරීම නැණවතුන් විසින්ම කළ යුතු දෙයක්. මේ සඳහා විශේෂයෙන්ම හිතවත්කම අවශ්‍යයි. එකිනෙකා කෙරෙහි මිත‍්‍රභාවය අවශ්‍යයි. කිසි දිනෙක රාජ්‍ය ලෝභය උදෙසා එකිනෙකා කෙටවීම කළ යුතු නෑ. අල්ලස් ගණුදෙනු කළ යුතු නෑ. වංචා කළ යුතු නෑ. ඒ මිත‍්‍රත්වය තිබිය යුත්තේ පොදු ජනයාගේ යහපත උදෙසායි. හැබැයි, එකිනෙකා මිතුරු වී ජනතාව පෙළන්නට ගියහොත් රාජ්‍ය කෘත්‍යය අසාර්ථක වෙනවා.
ඇමතිවරුනි, ටික කලකට මට විවේකය අවශ්‍යයි. මට ටිකක් භාවනා කරගන්න ඕන. මං ඔබ පිටුපසින් ඉන්නවා. අවශ්‍ය විටෙක මා උපදෙස් දෙන්නම්. මා පරිද්දෙන්ම ඔබත් දැහැමින් සෙමෙන් රාජ්‍යය කරන්න.”

”එසේය, දේවයන් වහන්ස. ඔබවහන්සේ විවේකීව වැඩසිටින සේක්වා! බණ භාවනා කරන සේක්වා! අපි හතර දෙනා එකිනෙකාට මිත‍්‍රත්වයෙන්මයි වාසය කරන්නේ. අපි කවදාවත් සණ්ඩු සරුවල් කරගන්නෙ නෑ. අසමඟි වෙන්නෙ නෑ. ඔබතුමාගේ අදහස අපි ඉෂ්ට කරනවා.”
ඉතින් රජතුමා ඉතාමත් සතුටට පත්වුණා. ඒ ඇමතිවරුන් සිව් දෙනාට රජකම පැවරුවා. මේ ඇමතිවරුත් ඉතාමත් සතුටින් සහ ගෞරව භක්තියෙන් යුතුව ටික දවසක් රජකම් කරගෙන ගියා. ටිකෙන් ටික මොවුන් බලයෙන් මත් වුණා. ඉසුරුමත් බවෙන් මත් වුණා. අධිපතිබවෙන් මුළා වුණා. තම තමන්ගේ හිත මිතුරන්ට විශේෂ ලෙන්ගතුකම් දක්වන්නට පටන් ගත්තා. අමුතු අනුකම්පාවල් කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික ඔවුන්ගේ සාධාරණ බව සහ දැහැමි බව වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන් අල්ලස් ගත්තා. හිමිකරුවා අහිමිකරුවා කළා. අහිමිකරුවා හිමිකරුවා කළා. කොතරම් උපදෙස් දුන්නත් ඔවුන්ගේ ක‍්‍රියාව අදැහැමි වූ නිසා රජය පිරිහෙන්නට පටන් ගත්තා.

එක්තරා දවසක් රජුගේ ළඟම හිතෛෂී කෙනෙකු පවා මහා කරදරයක වැටුණා. මේ ඇමතිවරුන්ගේ අල්ලස් ගැනිල්ල නිසා ඔහුට අසාධාරණයක් සිදුවුණා. ඔහු සතු දේ අහිමි වුණා. දිනක් මොහු රජුට ආහාර සපයන පිරිස සමඟ රජ මැදුරට ගියා. මේ සියලූ දූෂණ, වංචා පිළිබඳව හෙළිදරව් කළා.
රජතුමා මහත් සංවේගයට පත්වුණා. තමන් ඉතාමත් විශ්වාසයෙන් යුතුව පැවැරූ රාජ කෘත්‍යය මේ ඇමතිවරුන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් පිරිහෙලා දැමීම ගැන කණස්සල්ලට පත්වුණා. රජතුමාගේ බණ භාවනා කටයුතු අඩාල වෙන්න පටන් ගත්තා. සිත විසිරෙන්න පටන් ගත්තා.
දිනක් රජතුමා නඩු විසඳන අධිකරණ සමථ ශාලාවට පැමිණියා. එහිදී රජතුමා දුටු මහජනයා මහා හඬින් ඝෝෂා කරමින් කෝළාහල කරන්නට පටන් ගත්තා.

”අහෝ! අපගේ දේවයන් වහන්ස, නුඹවහන්සේ කොහි වැඩසිටි සේක්ද? නුඹවහන්සේව දැකීම පවා අපට සැපයකි. නුඹවහන්සේගේ ඇමතිවරු මෙම රාජ්‍යය වනසනවා…. ඔවුන් අල්ලස් ගන්නවා. හිමිකරුවන්ව අහිමිකරුවන් කරවනවා. අහිමිකරුවන්ව හිමිකරුවන් කරවනවා. ඔවුන්ගේ එකම ඉලක්කය රාජ බලය තුළින් ධනවත් වීම විතරයි. අහෝ! දේවයන් වහන්ස, මෙයින් අපව මුදවා ගන්නා සේක්වා!”
හැඬූ කඳුලින් යුතුව පොදු ජනයා විසින් කරනු ලබන මෙම උද්ඝෝෂණය නිසා රජතුමා මහත් කම්පාවට පත්වුණා. දයා විරහිත ඇමතිවරුන් මිතුරන් අතරේ සම්පත් බෙදා ගන්නට ගොස් යහපත වනසා දමා ඇති අයුරු වැටහුණා. රජතුමාත් වෙනදා මෙන්ම භාවනා කරන්න පටන් ගත්තා. එදා භාවනා කරගත නොහැකි වුණා. චිත්ත සමාධිය නැතිවුණා. ධ්‍යානය නැතිවුණා.

එදා රාත‍්‍රියේ රජතුමා සඳළුතලයට ගොඩවුණා. කල්පනා කරන්නට පටන් ගත්තා.
”ඔව්! මං දැන් තීරණයක් ගත යුතුයි. එක්කො මේ භාවනා කටයුතු අත්හැර දමා නැවත රාජ්‍ය පාලනය කළ යුතුයි. එසේත් නැතිනම් රාජ්‍ය පාලනය අත්හැර දමා දිගටම භාවනාව කළ යුතුයි….. මේ බරණැස් නගරයේ පහළ වූ පළවෙනි රජු මං නොවෙයි. අවසාන රජුත් මං නොවෙයි. අවුරුදු දහස් ගණනක රාජාවලියක් තියෙනවා. අනිත් රජවරුන්ගේ කාලයේදීත් මේ තත්වයම තියෙන්න ඇති. කෙලෙස් සහිත ලෝකය තුළ අවංක රාජ්‍ය පාලනයක් නම් කිසිසේත් බලාපොරොත්තු වෙන්න බෑ.

අපේ පරපුරේ රජවරු හිටියා. සමහරු රජකම අත්හැර තපස් රැක්කා. සමහරු අවසන් සුසුම හෙලද්දීත් රජකමට ලොබ බැන්දා. සැබැවින්ම ජයගත්තේ රජකම අත්හළ පිරිසයි. එනිසා මාත් යම්කිසි තීරණයක් ගත යුතුයි.
ඔව්…! මේ රජකමට ආසා කිරීමෙන් ඇති ඵලය කුමක්ද? මං මෙය අත්හරිනවා අත්හරිනවාමයි.”
රජතුමා රජකමට ඇති ආශාව අත්හැරියා. මහජනයාට සිදු වී ඇති විපත ගැන හටගත් චිත්ත පීඩාවත් අත්හැරියා. ඇමැතිවරුන් ගැන හටගත් අමනාපයත් අත්හැරියා. නැවතත් භාවනා කරන්නට පටන් ගත්තා. රජුගේ සිත වහා එකඟ වුණා. සමාධිමත් වුණා. ධ්‍යානගත වුණා. රජතුමා නුවණින් විමසන්න පටන් ගත්තා.

‘මේ හැම කරදරයක්ම වෙන්නේ ඉපදීම නිසයි. එතකොට අපි ඉපදුණේ කවර හේතුවක් නිසාද? මේ උපන් හේතුව ප‍්‍රහාණය කළ නොහැකිද? ඉපදීමෙන් නිදහස් විය නොහැකිද? නෑ…. උපතින් නිදහස් වීමක් තිබිය යුතුමයි. උපදින හේතුව සොයා ගත යුතුමයි.’
රජතුමා ටිකෙන් ටික ඉපදීමට හේතුව සොයන්න පටන් ගත්තා. ජීවිතයේ කිසි දිනෙක නොඇසූ විරූ කිසියම් අද්භූත වැටහීමක් රජතුමා තුළ ඇතිවෙන්න පටන් ගත්තා. උපතට හේතුව භවය බව රජතුමාට වැටහුණා. භවයට හේතුව උපාදානය බව වැටහුණා. උපාදානයට හේතුව තෘෂ්ණාව බව වැටහුණා. තෘෂ්ණාවට හේතුව වින්දනය බව වැටහුණා. වින්දනයට හේතුව ස්පර්ශය බව වැටහුණා. ස්පර්ශයට හේතුව ආයතන හය බව වැටහුණා. ආයතන හයට හේතුව නාමරූප බව වැටහුණා. නාමරූපයට හේතුව විඤ්ඤාණය බව වැටහුණා. විඤ්ඤාණයට හේතුව සංස්කාර බව වැටහුණා. සංස්කාරවලට හේතුව අවිද්‍යාව බව වැටහුණා.

අවිද්‍යාවෙන් හටගන්නා මෙම වැඩපිළිවෙල නිසා උපන් සත්වයා පිළිසිඳගත් මොහොතෙහි පටන් මරණය දක්වාම අනාරක්ෂිත බව තුළින් හටගන්නා කිසියම් බියජනක ස්වභාවයකින් පෙළෙන බවත්, මෙය දුක බවත්, මෙය සනාතන සත්‍යයක් බවත් වැටහුණා. මේ දුක හටගන්නේ මෙයට ඇලූම් කිරීම නිසා බවත් වැටහුණා. ඇල්මෙන් නිදහස් වූ විට සියලූ බිය තැතිගැනීම් වලින්, සියලූ දුකින් නිදහස් විය හැකි බවත් වැටහුණා. මේ සඳහා කළ යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සමාධියත්, ප‍්‍රඥාවත් වැඞීම බවත් වැටහුණා. රජතුමා තුළ අවිද්‍යාව ක‍්‍රමක‍්‍රමයෙන් දුරු වී ගොස් චතුරාර්ය සත්‍යාවබෝධ්‍ය නම් වූ විද්‍යාව පහළ වුණා. ආසවක්ඛය ඤාණය ඇතිවුණා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.
දැන් මේ පසේබුදුරජාණන් වහන්සේ උඩුමහල් තලයේ සිට පහතට වැඩියා. රාජාභරණයෙන් සැරසී සිටින රජු හැටියට තවමත් පෙනෙන නිසා ඇමතිවරු පැමිණ රජතුමා මුණගැසුණා. රාජ්‍යකරණයට අනුශාසනා කරන්න කියා පවසා සිටියා.

”මං දැන් රජ කෙනෙක් නෙවෙයි. රජකම ගැන සිතීම මේ සිතෙන් සදහටම අයින් වුණා. මගේ සිතේ යම්කිසි විරාගී සතුටක් තියෙනවා. ලොව කිසිවෙකුට නොඇලූණ කිසියම් අද්භූත චමත්කාරයක් මට දැනෙනවා. ඒ නිසා මං දැන් මේ රාජකීය ජීවිතයට අයත් නෑ කියලයි මට වැටහෙන්නේ. මට හිතෙන්නේ මං තුළ කුමක්දෝ අසිරිමත් වෙනසක් වෙලා තියෙනවා කියලයි.”

”ඒ කියන්නේ දේවයන්වහන්ස, ඔබවහන්සේ පවසා සිටින්නේ කිසියම් ජීවිතාවබෝධයක් ලැබුවා කියලද? අප අසා තිබෙන්නේ විරාගී සතුටක් විඳින ජීවිතාවබෝධය ලබන්නේ ‘පච්චේකබුද්ධ’ නම් වූ ශ‍්‍රමණයන් වහන්සේලා බවයි. ඉතින් ඔබවහන්සේ එවැනි කෙනෙක් නොවෙයිනේ…. ඒ පසේබුදුවරයන් වහන්සේලා කෙස් රැවුල් බාලා තියෙනවා. පාත‍්‍රා සිවුරු දරනවා. පිඬු සිඟා යැපෙනවා.”

එතකොට මෙතුමා හිස අතගෑවා. ඒ සැණින්ම කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත‍්‍රාභරණ නොපෙනී ගියා. ඉර්ධිමය ආකාරයෙන් සිවුරු පිරිකර පෙරවී ගියා. අතට පාත‍්‍රයක් ලැබුණා. ශ‍්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වුණා. එවේලෙහි ඇමතිවරු උන්වහන්සේ පාමුල වැඳවැටුණා.
”අනේ පින්වතාණන් වහන්ස, ඔබවහන්සේ මේ රාජ්‍යය අත්හැර වඩින්න එපා! අපට අනුකම්පා කරන්න. ඔබවහන්සේගේ කරුණා මෛත‍්‍රියෙන් යුතු පාලනය අපි හැමෝටම සැපයක්. ඒ තුළින් අපට යහපත උදා වෙනවා.”

එවිට ඒ පසේබුදුරජාණන් වහන්සේ මෙම උදානය පහළ කොට අහසට පැන නැංගා.

මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ
හාපේති අත්ථං පටිබද්ධ චිත්තෝ
ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

”මිතුරන් සමඟ සුහද වෙලා ඔවුන්ට පමණක් අනුකම්පා කරන්නට ගියොත්, ඔවුන් කෙරෙහි දැඩි ලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත්, ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරුවෙලා යනවා. මිතුරන් සමඟ එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා. දැන් මං නිදහස්! ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: