Posted by: lrrp | March 5, 2014

අසිරිමත් පසේබුදු පෙළහර

අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ පසේබුදුවරුන්ගේ අතීත ගාථාවන් සැබැවින්ම අසිරිමත්! සුත්ත නිපාතයෙහි ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි ඇති දෙවෙනි ගාථාව සහ එහි අතීත ප‍්‍රවෘත්තියයි අද ඔබට කියාදෙන්නේ.

එක්තරා පින්වත් කුමරෙක් කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි වසර විසි දහසක් කල් මහණදම් පිරුවා. වත්පිළිවෙත් කළා. සමථ විදර්ශනා භාවනා පුරුදු කළා. නොඇල්ම පුරුදු කළා. නමුත් මඟඵල ලබන්නට බැරිවුණා. කරන ලද පුණ්‍ය මහිමයෙන් ඔහු බඹලොව උපන්නා.

කලක් ගතවෙද්දී නැවතත් පසේබුදුවරුන්ගේ යුගය පැමිණුනා. එතකොට මේ මහා පින්වතා බඹලොවින් චුතව දඹදිව් තලයේ උපත ලැබුවා. මොහු මෙවර පිළිසිඳගත්තේ බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස තුළයි. රජ පවුලට එක් වූ මේ අලූත් සිඟිත්තාට කවුරුත් ආදරය කළා. එහෙත් ‘මෝ ගැහැණියකි, මේ පිරිමියෙකි’ යන්න ටිකෙන් ටික තේරුම් යද්දී මේ දරු සිඟිත්තා තුළ අමුතුම වෙනසක් ඇතිවුණා. එනම්, ස්ත‍්‍රීන් ප‍්‍රතික්ෂේප කිරීමයි. දැන් මේ සිඟිත්තාට කිරිමවුවරුන් පවා රුස්සන්නේ නෑ. ස්ත‍්‍රීන් විසින් සුරතල් කරනු ලැබීම රුස්සන්නේ නෑ. ඔවුන්ගේ කටහඬවත් අසන්න කැමති නෑ.
මෙය හැමෝටම ප‍්‍රශ්නයක් වුණා. පුරෝහිත බමුණන් සමඟ සාකච්ඡාකළා. දරුවාට කිරි පෙවීම විසඳ ගන්නේ කොහොමද? අන්තිමේදී ඔවුන් උපක‍්‍රමයක් කළා. එනම් කිරිමව්වරුන්ට පිරිමින්ගේ වෙස්ගන්වා දරුවාට කිරි පෙවීමයි. දැන් මේ දරුවා වැඩෙන්නේ පිරිමින් අතරේ විතරයි. කැමති වන්නේ පිරිමින් සමඟ සිටීමට විතරයි.
රජතුමා ඇමතියෙක් කැඳෙව්වා.

”මාගේ පුත් කුමරා දැන් සොළොස් වස සම්පූර්ණයි. රාජ පරම්පරාව ඉදිරියට රැගෙන යාම කළ යුතුම දෙයක්…. එනිසා,.. කුමාරයාට ස්ත‍්‍රීන් කෙරෙහි ඇල්මක් ඇතිවෙන කුමක් හෝ දෙයක් කරන්නම ඕන” කියලා අණ කළා.

ඉතින් ඒ ඇමතියා උපායක් යෙදෙව්වා. කුමාරයාව සතුටු කරන්න ප‍්‍රසංගයක් සූදානම් කළා. ඒ ප‍්‍රසංගයේ ප‍්‍රධාන අමුත්තා වුණේ මේ කුමාරයයි. ඉතින් මොහු ඉතා සතුටින් ප‍්‍රසංගය නරඹන්න ගියා. වේදිකාව තිරයකින් වසා තිබුණා. ඒ තිරය පිටුපසින් ඉතාම මිහිරි ගීත ඇහෙනවා. වාදන ඇහෙනවා. ගෙජ්ජි සෙළවෙනවා ඇහෙනවා. හැබැයි ඒ හඬවල් ගොරෝසු නැහැ. කලක් තිස්සේ පිරිමි හඬ පමණක් ඇසූ කුමරුට මෙය අමුත්තක් වුණා.
”කාගෙද ඔය හඬ…?”

”කුමරුනි, ඔය තිරය පිටිපස්සේ ඉන්නේ කාන්තාවො කියල ජාතියක්… ඈලාගේ කටහඬ ඉතා මිහිරියි… ඈලා පින්වන්තයි… එබඳු පින්වතියන් ගැලපෙන්නේ ඔබ වැනි ලස්සන කුමාරයෙකුටයි. ඒ නිසා කුමාරයා කැමති නම්, ඒ කාන්තාවන් සමඟ සතුටු වෙන්න අවස්ථාවක් දැන් මං සළස්වලා දෙන්නම්…”

කුමාරයා තුළ පරණ අප‍්‍රසන්නකම ඇතිවුණා. අර ඇමතියාට තරවටු කොට එළවා ගත්තා. ඇමතියා අඬාගෙන ගොස් මහරජුට සැළකළා. කුමරු ලවා කමා කරවා ගත්තා. ඇමතිවරු ලවා මෙවැනි උපක‍්‍රම දිගින් දිගට කරද්දී කුමාරයාට මෙය මහා වධයක් වුණා. අන්තිමේදී කුමාරයා මෙහෙම කල්පනා කළා.

‘මට මහා වධයක්… මගේ ඇඟේ පටලවන්න හදන්නේ මං අකමැති දෙයක්මයි… හොඳයිකො! මං හොඳ වැඩක් කරන්න ඕන.’

කුමාරයා රන්කරුවන් කැඳෙව්වා. ලස්සන ගෑණු ළමයෙකුගේ රූපයක් අඹන්න අණ කළා. ඉතින් ඒ රන්කරුවනුත් දුටුදුටුවන් වසඟ වන මනමෝහනීය සුන්දර ස්ත‍්‍රී රූපයක් තැනුවා. මෙය දුටු කුමාරයා පුදුමයට පත්වුණා. කිසි දවසක නොවුණු වෙනසක් ඔහුගේ සිතේ ඇතිවුණා. කිසි ස්ත‍්‍රියකට ආසා නොකළ කුමාරයාගේ සිත මේ කාන්තා රූපයට වසඟ වුණා. පුදුම විදිහට ආශා කරන්න පටන් ගත්තා.
”ඔව්! මං කැමතියි…. හැබැයි මට මේ විදිහම ලස්සන රූපයක් ඇති කෙනෙක් ලැබෙනවා නම් විතරක්!”
එතකොට රජතුමාත්, බිසවත් මෙහෙම කතා වුණා.

”අපේ පුත් කුමරා මහා පින්වන්තයෙක්…. බඹලොවින් ආපු කෙනෙක් වෙන්න ඇති… කාලයක් මුළුල්ලේ ස්ත‍්‍රීන් නැති ලෝකෙක ජීවත් වුණ නිසා වෙන්න ඇති ස්ත‍්‍රීන්ව රුස්සන්නෙ නැත්තේ… හැබැයි අපේ කුමක්දෝ වාසනාවකට පුත් කුමරා අර රන්රුවට සමාන ස්ත‍්‍රියක් ලබන්න කැමති වුණා නෙව. මේ දඹදිව් තලයේ මෙවැනි ලස්සන රූපයක් ඇති කුමරියක් මුණ ගැසුණොත් අපේ කුමාරයාගේ පින තමයි…”
රාජසේවකයන් ලස්සන යහනාවක අර ස්ත‍්‍රී රූපය තබාගෙන පෙරහැරකින් ජනපද පුරා රැගෙන ගියා. මදුරට සාගල නුවර දක්වාම රැගෙන ගියා. එදා සාගල නුවර මාළිගාවේ දාසියන් දියනෑම පිණිස තොටුපළට ඇවිත් සිටියා. ලස්සනට සැරසූ රථයක බබලමින් තිබෙන ස්ත‍්‍රී රූපය බලන්න ඒ සේවිකාවන් ගියා.

”අපෝ…! අපේ කුමාරි තරම් මේ රූපය ලස්සන නැහැ නෙව… ඇත්තෙන්ම අපේ කුමාරිගේ රූප සෝභාවට තරඟ කරන්න රන් රුවකටවත් බැහැ…. ඒකමයි මේකෙන් ඔප්පු වෙන්නේ…”
ඇමතිවරු පුදුම වුණා. මෙතෙක් ජනපද පුරා වීදි ඔස්සේ මේ රන්රුව ගෙනයද්දී හැමෝම නෙත් විදහාගෙන බලා සිටියා. හැමෝම කසුකුසු ගෑවා. කවුරුත් කිව්වේ මෙවැනි ලස්සන රූපයක් ඇති ගෑණු ළමයෙකු මිනිස් ලෝකයෙන් සොයාගත නොහැකි බවයි. නමුත් ඒ රන්රුව පරදවා එයට වඩා අතිශයින්ම ශෝභමාන රූපයක් ඇති දියණියක් මදුරට සාගල නුවර රජුට සිටී!

ඇමතිවරු මදුරජු මුණගැසීමට ගියා. බරණැස් රජුගේ පුත් කුමරුට මදුරජුගේ දියණිය ගැලපෙන බවත්, එම දියණියට අනාගත බරණැස් රජුගේ අග‍්‍රමහේෂිකාව වීමේ දුර්ලභ වාසනාව උරුම වන බවත්, එනිසා එම දියණිය බරණැස් රජුගේ පුත් කුමරාට සරණ කොට දීම සුදුසු බවත් දන්වා සිටියා. රජතුමා කැමති වුණා.
මේ තොරතුරු ඇසූ බරණැස් රජු අප‍්‍රමාණ සතුටට පත්වුණා.

”රාජ පෙරහැරින් මේ බොහෝ ජනපද පසුකොට මා එන්නට ගියොත්, ඒ හේතුවෙන් හැමෝම අපහසුතාවයකට පත්වෙනවා. එනිසා ඔබම කුමරිය කැඳවා ගෙන එන්න. අපි මෙහෙ සියල්ල සූදානම් කරන්නම්” කියලා අණ කළා.

රන්කරුවන් ලවා තනවන ලද ඒ මනමෝහනීය සුරූපී කුමරියටත් වඩා ලස්සන මිනිස් දුවක් තමා වෙනුවෙන් මදුරට රජමැදුරේ සිට පැමිණෙන බව ඇසූ කුමරු අපමණ ප‍්‍රීතියට පත්වුණා. ඒ වෙද්දී කුමාරයා තනියම භාවනා කරන්න පුරුදු වෙලයි හිටියේ. රජ මැදුරේදී හුදෙකලාවේ භාවනා කොට ප‍්‍රථම ධ්‍යානය උපදවාගෙනයි කුමාරයා හිටියේ. නමුත් දැන් ඔහුට මතක් වෙන්නේ අර ලස්සන කුමාරි ගැනමයි. ඒ කාම අරමුණු සිහි කිරීම නිසාම කුමාරයා ධ්‍යානයෙන් පිරිහී ගියා. දැන් ඔහු කරන්නේ ‘කවදාද ඈ එන්නේ…’ කියමින් ඇඟිලි ගණන් කර කර ඉන්න එකයි. කුමාරයාට වෙන සිහියක් නෑ. ඔහුගේ සිතේ ලස්සන ලෝකයක් මැවිලා. ඔහු දැන් තනියම කල්පනා කරනවා. නිසඳැස් ලියනවා. සමණල තටුවල ගීත ලියනවා. වළාකුළුවල ඔංචිලි පදිනවා. ලස්සන කුමාරිගෙ පියකරු කෙස් කළඹේ මල් ගසනවා. සිහිනෙනුත් හිනැහෙනවා. ඉස්සර වගේ නෙවෙයි, හැම තිස්සෙම කැඩපත ළඟටත් යනවා. කුමාරයා හරිම කඩිසරයි. හිනාවුණ ගමන් ඉන්නවා. ඉබේට සිංදු කියවෙනවා.

රජ යුවලටත් හරිම සතුටුයි. රජතුමා ලහි ලහියේ රාජකීය විවාහ මංගලෝත්සවයට සූදානම් වෙනවා. පාර දෙපස සරසනවා. ශාලා පිරිසිදු කරනවා. අලූත් තිර රෙදි දමනවා. මල් හිටවනවා. වියන් බඳිනවා. රජතුමා ඇමතිවරුන්ට අණ කළා.
”කුමාරිව රැගෙන එන්න අලංකාර උත්සවයක් කරන්න ඕන. සියලූම ප‍්‍රාදේශීය රජවරුන්ට මේ මංගලෝත්සවය දැනුම් දෙන්න ඕන. කවුරුවත් නොකළ මෙය හොඳ සිහිවටනයක ආකාරයෙන් කරන්න ඕන. එනිසා එකවරම කුමාරිව මාලිගාවට ගෙන එන්න එපා. පළමුව කළ යුත්තේ රාජකීය උද්‍යානයේ පිහිටි විවේක මණ්ඩපයේ කුමාරිය රඳවා ඇප උපස්ථාන කිරීමයි.”

කුමාරිව රැගෙන එන පෙරහැර ටිකෙන් ටික රාජකීය උද්‍යානයට ළංවුණා. කුමාරයාට හරිම සතුටුයි. එහෙත් රාජකීය සිිරිත් විරිත් අනුව තවම ඇය බලන්න අවසර නෑ. නමුත් කුමාරයා දැන් රාජ උද්‍යානය දෙස බලාගෙන සිටිනවා. රාජකීය උද්‍යානයේදී ලස්සනට සැරසූ අශ්ව කරත්තයෙන් කුමාරිව බිමට බස්සවන්න ඇමතිවරු ළං වුණා. තිර ඈත් කොට කුමාරිට ඉතා ගරුසරු ඇතිව කතා කළා.

”පින්වත් ලස්සන කුමාරියේ…. ඔබතුමියගේ විවේකය පිණිස පිය රජ්ජුරුවන් වහන්සේ ලස්සන මණ්ඩපයක් හදලා තියෙනවා. ටික දවසක් මෙහි විවේක ගන්න. තවම රජ මැදුර සරසනවා…. ඒ නිසා දැන් ඔය අශ්ව කරත්තයෙන් බිමට වඩින සේක්වා…!”

ඇතුළෙන් කිසිම සද්දයක් නෑ. ඇමතිවරු ආයෙමත් කතා කළා. කිසිම සද්දයක් නෑ. ඇමතිවරු අශ්ව රථයේ තිර මෑත් කොට බැලූවා. එතකොට දුටුවේ අශ්ව කරත්තය තුළ මැළවී ගිය මලක් මෙන් කුමරිය මිය ගොස් සිටි ආකාරයයි.

”අහෝ….! අපේ ලස්සන කුමාරිට මේ මොකද වුණේ…? අයියෝ…! අපි මෙතෙක් වෙහෙස මහන්සි වී සිනිඳු රෝස මලක් මෙන් රැකගෙන ආ පින්වත් කුමාරිට මොකද වුණේ…? අයියෝ…! බරණැස් රාජවංශය අලංකාර කිරීමට අප රැගෙන ආ ලස්සන පුන් සඳ මඬලට මොකද වුණේ…?”
ඇමතිවරු වැළපෙන්න පටන් ගත්තා. කුමරියට හදිසියේ හැදුණු වාත රෝගයකින් තමයි ඈ මිය ගොස් සිටියේ. රන් රුවකටත් වඩා ලස්සන අතිශයින්ම රූප ශෝභාසම්පන්න දෙව්ලියට නිගා දුන් මේ පියකරු කුමරියගේ අතැඟිල්ලෙහි පේරැස් මුදුවක් දවටන්නට බලා සිටි කුමරාගේ සිහිනය බොඳ වී ගියේ සිතාගත නොහැකි වේගයෙන්. කුමරුට තේරුණේ තමන්ගේ මුළු ලෝකයම කඩා වැටුණු බවයි. පැතූ සියල්ල වෙනස් වී ගියේ ගසක ගෙඩියක් වැටෙනවාටත් වඩා වේගයෙන්. කුමරා තනියම සුසුම් හෙලන්න පටන් ගත්තා.

‘මං මුළු ජීවිතයටම ආදරය කළේ එකම එක්කෙනකුටයි… නමුත් ඒ කෙනා ජීවත් වුණේ මගේ සිහින ලෝකයේ විතරයි… සැබෑ ලෝකය තුළ මා පැතූ ඒ සොඳුරු රුව මට මුණගැහෙන්නේ සීතල වී ගිය මළ කඳක් වශයෙන් නේද…? ඇත්ත…! ඈ තුළ අපූරු ලස්සනක් තිබුණා. හැබැයි, ජීවත්ව සිටිද්දී විතරයි… දැන් ඈ දරකඩක් සේ දැඩිව ගිය සීතල මළකඳක්. ඒ රන්වන් සම වෙනස් වෙලා. දෑස් වියැළිලා. දෙතොල් පුපුරලා. නාසයෙන් දුගඳ වැගිරෙමින් තියෙනවා. රන්වන් කෙස් කළඹ අවුල් වෙලා. ඇත්තෙන්ම අලංකාර රූපයක් මෙතරම්ම වේගයකින් වෙනස් වුණේ මක් නිසාද?’
සිත වෙලාගත් දුක, ශෝකය අතරින් මේ පින්වත් කුමාරාගේ නුවණ සියල්ල විනිවිද ගියා. ඔහු කවුරුත් නොසිතන විදිහට ජීවිතය ගැන සිතන්න පටන් ගත්තා. ඔහු කලබල වුණේ නෑ. නිශ්ශබ්ද වුණා. ඔහු අමුතුම ලෝකයක තනිවුණා.

‘ඇයි මේ ශෝකය හටගන්නේ? මා ආසා කරන දෙය මගෙන් වෙන්වුණු නිසා නේද? ඇයි මෙය මගෙන් වෙන් වුණේ…? ඈ මැරුණ නිසා නේද? ඇයි ඈ මැරුණේ? ඉපදුණු නිසා නේද? ඉපදුණු හැමෝටම ශෝක, වැළපීම්, දුක්, දොම්නස් උරුමයි. ඉපදීමෙන් නිදහස් වුණොත් මේ සියල්ලෙන්ම නිදහස් නේද? ඉපදීමෙන් නිදහස් වෙන්න බැරිද?

ඔව්! උපතට හේතුව නැති කළොත් නිදහස් වෙන්න පුළුවන් වේවි. ඇයි එහෙනම් ඉපදුනේ? අපි සංසාරේ කරපු දේවල් තමයි මේ උපත ගෙනාවේ. භවය තමයි ඉපදීමට මුල….’
කුමරුට ක‍්‍රමක‍්‍රමයෙන් පටිච්චසමුප්පාදය තමා තුළින්ම අවබෝධ වෙන්න පටන් ගත්තා. දුක අවබෝධ වෙන්න පටන් ගත්තා. දුකට හේතුව අවබෝධ වෙන්න පටන් ගත්තා. හේතුව නැති වූ විට දුක නැතිවෙන බව අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ සඳහා කළ යුතු දෙය අවබෝධ වෙන්න පටන් ගත්තා. කුමරුට චතුරාර්ය සත්‍යය පූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. හුදෙකලාවේ තනිවම ධර්මය අවබෝධ කළ පසේබුදු කෙනෙක් බවට පත් වුණා.

පසේබුදුරජාණන් වහන්සේ ඉතාම සංසුන්ව, නිශ්ශබ්දව, ශාන්තව අර කුමරියගේ මළ මිනිය දෙස බලා සිටියා. ඇමතිවරු පැමිණ කුමරුට සැනසිලි බස් කියන්න පටන් ගත්තා.
”අහෝ…! පින්වත් කුමාරයාණෙනි, ජීවිතය ඔහොම තමයි. මේ විපත නිසා මුළු ජනපදයම හඬනවා…. මුළු මාලිගාවම කම්පා වෙනවා…. පින්වත් කුමාරයාණෙනි, ඔබතුමාගේ ශෝකය අපි හැමෝම බෙදා ගන්නවා. ආදරයක වේදනාව අපට වැටහෙනවා. දඹදිව කියන්නේ ජනපද රාශියකින් යුතු සුවිශාල දේශයක්. අපි ආයෙමත් අර රන් රූපය නංවාගෙන දඹදිව පුරා පිටත්ව යනවා. මේ වගේම ලස්සන කුමාරිකාවක් අපි ආයෙමත් රැගෙන එනවා…. අනේ අපේ පින්වත් කුමරුනි…. සෝක නොකරන සේක්වා!”

”පින්වත් ඇමතිවරුනි, කවුරු ගෙනාවත් මේ ස්වභාවය අපට උරුමයි. හැමෝම ඉපදෙන්නේ ජරා මරණ දෑතට රැගෙනයි. නැසෙන වැනසෙන දෙයට ඇලූම් කිරීමෙනුයි ශෝකය හටගන්නේ. මං ඒ ශෝකයෙන් නිදහස් වුණා. ඒ නිසා මට කුමරියකගේ අවශ්‍යතාවයක් නැහැ. කිසිවකට නොබැඳුණු අමුතුම ශාන්ත බවකින් මේ සිත පිරී ඉතිරී යනවා. මං හුදෙකලාවේම ජීවිතයේ යථාර්ථය අවබෝධ කළා.”
”කුමරුනි, ශෝකය හටගැනීම මිනිස් ස්වභාවයක්. අපි අසා තිබෙන්නේ ශෝක රහිත වන්නේ මුනිවරු කියලයි. හුදෙකලාවේ ජීවිතාවබෝධය ගැන අපි අසා තිබෙනවා. කුමරුනි, එය වනගත අසපුවක වෙන දෙයක් මිස, රජමැදුරක වෙන දෙයක් නම් නොවෙයි.”

”පින්වත් ඇමතිවරුනි, හුදෙකලාවේ ජීවිතාවබෝධය ලැබීම රජ මැදුරකදී සිදු නොවන බව ඔබ කියන්නේ මක් නිසාද?”
”කුමරුනි, ඒ මුනිවරු ජීවත් වෙන්නේ මෙවැනි රාජාභරණ සහිතව නොවෙයි. ඒ මුනිවරු කෙස් රැඑවුල් බාලයි ඉන්නේ. ගත පොරවා සිටින්නේ කසට පෙවූ චීවර නම් වූ වස්ත‍්‍රයකුයි. ඒ මුනිවරු ළඟ රන් බඳුන් නෑ… පිඬු සිඟා යෑමට නිසි පාත්තරයක් තමයි තියෙන්නේ. ඒ මුනිවරුන්ගේ ලෝකය තුළ නම් කුමරුන් පවසන ශෝක රහිත බව තියෙනවා. එතකොට කුමාරයා කියන්නේ තමා මුනිවරයෙක් කියාද?”
එතකොට පසේබුදු බවට පත් මෙතුමා තමන්ගේ සිරුර දිහා බැලූවා. හිස අතගෑවා. එසැණින්ම කෙස් රැවුල් නොපෙනී ගියා. රජ ඇඳුම් නොපෙනී ගියා. කෙස් රැවුල් බා ගත්, කසට පෙවූ චීවර පොරවා ගත්, පාත‍්‍රයක් අතැති ශාන්ත මුනිවරයෙක් දිස්වුණා.

සියලූ දෙනා පුදුමයට පත්වුණා. කරුණු වටහාගත නොහැකි බොහෝ දෙනෙක් හඬා වැළපෙන්න පටන් ගත්තා. සියල්ලන් සනසමින් ඒ පසේබුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.
සංසග්ග ජාතස්ස භවන්ති ස්නේහා
ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති
ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ
එ්කෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

”මේ සිතේ ආශාව හටගන්නේ අරමුණු සමඟ එක්වී සිටින කෙනෙක් තුළමයි. ශෝක වැළපීම් ආදී අනේක දුක්ඛයන්ගේ උපත ඔය ආශාවමයි. ආශාවෙන් උපදින ආදීනව ගැන නුවණින් විමසද්දී එයා එයින් නිදහස් වෙනවා. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
පසේබුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද මෙම ගාථාව එදා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ අතීතය ඉස්මතු කොට අනඳ හිමියන්ට දේශනා කරද්දී අනඳ හිමියන් තුළ මොන තරම් අද්භූත වූ සිතුවිලි පහළ වෙන්නට ඇද්ද? ලොව පහළ වූ අසිරිමත් තථාගතයන් වහන්සේ නමක් තමා හමුවේ වැඩසිටිමින් හුදෙකලාවේ බුදු වූ නිර්මල සිත් ඇති, ‘පච්චේකබුද්ධ’ නමින් ප‍්‍රකට මුනිවරුන් ගැන පවසද්දී පුදුමයට පත්නොවී සිටින්නේ කොහොමද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: