Posted by: lrrp | March 9, 2014

අසිරිමත් පසේබුදු පෙළහර

අපගේ ශාස්තෘන් වහන්සේ ඉසිගිලි පර්වතයේදී පසේබුදුවරුන් ගැන වදාළ ඉතා රමණීය දෙසුමක් ගැන ඔබ අසා ඇති. බාහිර උපදෙස් නොලබා තමා තුළ ක්ෂණිකව ඇතිවන අවබෝධයක් තුළින් නිවන් දැකීම පසේබුදුවරුන්ගේ ස්වභාවයයි. බොහෝ විට උන්වහන්සේලා පසේබුද්ධත්වයට පත්වන තුරු තමන්ගේ මේ ජීවිතය මේ සකස් වෙමින් යන්නේ පසේබුදුබවට බව දන්නා බවක් නොපෙනේ. එහෙත් ජීවිතාවබෝධය පිණිස උන්වහන්සේලා තුළ ඇති නොසන්සිඳෙන ආශාව විසිනුයි උන්වහන්සේලාව ඒ තත්වය කරා ගෙන යන්නේ. එමෙන්ම බොහෝ පසේබුදුවරුන් උපත ලබා තිබෙන්නේ රජ පවුල්වලයි. රජකම හැරදා අභිනික්මන් කොට විමුක්ති ගවේෂණයේ යෙදීම උන්වහන්සේලාගේ ස්වභාවයයි.
පසේබුදුවරුන්ගේ යුගයේදී බාහිරින් ශ්‍රවණය කළ යුතු චතුරාර්ය සත්‍යය ධර්මයක් අසන්නට නොලැබේ. නමුත් අභ්‍යන්තර කුසලතාව වන යෝනිසෝ මනසිකාරයෙහි තියුණු ලෙස යෙදීම ඒ උතුමන්ගේ ස්වභාවයයි. තම තමන් මුහුණ දෙන අත්දැකීම් ඇසුරෙනුයි ජීවිතාවබෝධය පිණිස සිත සකස් වෙන්නේ.
දැන් ඔබ ඉගෙන ගන්නේ ද එබඳු පසේබුදුවරයන් වහන්සේ නමක් පිළිබඳවයි. සසරෙහි පුරන ලද පින් ඇති දරුවෙක් බරණැස රජ පවුලෙහි ඉපදුණා. ඔහුට තරුණ වියෙහිදීම රජකම ලැබුණා. නමුත් රාජකීය ජීවිතයට මේ යොවුන් රජතුමාගේ සිත ඇලුණේ නැහැ. තම බිසව කෙරෙහි වත් සිත ඇලුණේ නැහැ. දිනක් ඔහු ඇමති මඬුල්ල රැස් කළා.
“ප්‍රිය ඇමතිවරුනි, මට ජීවිතාවබෝධය ලබන්න ආසයි. අපි වගේ රජකරපු අයගේ නොගිණිය හැකි ඉතිහාසයක් මේ අතීතයේ තියෙනවා. ඒ රජකළ හැමෝම තම තමන් කළ දේ රැගෙන ගියා. හැබැයි ජීවිතාවබෝධය පිණිස වෙහෙසුණු රජවරු නම් තම ජීවිතයට යම්කිසි වටිනාකමක් ලබාගන්න ඇති කියලයි මට හිතෙන්නේ. මේ දඹදිව ඉතිහාසය බලද්දී අභිනික්මන් කළ රජවරුන්ගෙනුත් අඩුවක් නැහැ. ඇත්තෙන්ම මට මේ කිසි දෙයක් ගැන දැන් ආශාවක් නැහැ. මං කැමැතියි විමුක්තිය සොයාගෙන යන්න.”
ඇමතිවරු කලබල වුණා. “අහෝ! මහරජතුමනි, අපේ රට විනාශ වේවි. ඔබතුමාගේ රාජකාලය තුළ රට සුඛිත මුදිත වුණා. ජනයා සැප සේ වාසය කරනවා. සැප සම්පතින් දැන් අපි ආඪ්‍යව ඉන්නවා. සාමන්ත රජවරුන් අපේ රාජ්‍යයට ඇස් හෙලාගෙනයි ඉන්නේ. ඔබතුමා වැනි උතුම් නායකයෙක් අපට නැතිවුණොත් මුළු රාජ්‍යයම අනතුරේ.”
රජතුමා කල්පනා කළා. බිසව රජතුමා අසළ සිටිමින් හඬ හඬා මෙහෙම කිව්වා.
“මා ප්‍රිය දේවයන් වහන්ස, ඔබවහන්සේ නැතුව මා ඉන්නේ කොහොමද? මේ රජපරපුර වඳ වෙන්නට නොදී ඉදිරියට ගෙන යාම අපගේ යුතුකමයි. ඉතින් ස්වාමීනී, අඩු ගණනේ රජ පරපුර පැවැත්වීම පිණිස අපි දරු සම්පතක්වත් ලබාගත යුතුයි.”
රජතුමා අනුකම්පාවෙන් එයට එකඟ වුණා. “ඒකත් ඇත්ත. පුත් කුමරෙක් සිටියොත් මගේ බන්ධන වලින් මට නිදහසක් ලැබේවි. එතකොට මට පෙර සෘෂිවරු විමුක්තිය සොයා ගිය පරිද්දෙන් අභිනික්මන් කරන්නට පුළුවන්” කියා කල්පනා කොට නිශ්ශබ්ද වුණා.
ටික දවසකින් දේවියට දරු සම්පතක් ලැබෙන ලකුණු පහළ වුණා. ඇමැතිවරු රැස්කළ රජතුමා මෙහෙම කිව්වා.
“ප්‍රිය ඇමැතිවරුනි, දැන් බිසවුන් වහන්සේට දරු ගැබක් පිහිටා තිබෙනවා. පුතෙකු උපන්නොත් ඔහුට ඔටුණු පළඳවා රාජ්‍ය විචාරන්න. මා පැවිදි වෙන්න යනවා.”
“අනේ මහරජතුමනි, එහෙම කරන්න එපා….! බිසවුන් වහන්සේට ලැබෙන්නේ දුවක් ද පුතෙක් ද කියා අපට තාමත් කියන්න අමාරුයි. දරුවා ලැබෙන කම් ඉවසන සේක්වා…!”
රජතුමා නිශ්ශබ්ද වුණා. බිසව පින්වත් පුත් රුවනක් බිහි කළා. ඇමතිවරු රැස් වී රජතුමාට බොහෝ කරුණු කිව්වා.
“භවත් මහරජාණෙනි, කුමරු තාම ළදරුයි. තාම දන්නේ සිනහසීමත්, හැඬීමත් පමණයි. එනිසා කුමරුට සුදුසුකල් එළැඹෙන තෙක් ඔබවහන්සේගේ ජනයා රැකගන්නා සේක්වා!”
රජතුමා නිශ්ශබ්ද වුණා. කුමරුට සුදුසු කල් පැමිණුනා. ඇමතිවරුන් රැස් කළ රජතුමා මෙහෙම කිව්වා.
“ප්‍රිය ඇමතිවරුනි, දැන් මට නවතින්න කලක් නැහැ. ජනතාවට ඇති අනුකම්පාව නිසයි මං මෙතෙක් කල් ඉවසා සිටියේ. කුමාරයාට ඔටුණු පළඳවන්න. මා රාජ්‍ය කළ ආකාරයෙන්ම කරගෙන යන්න. මා තවදුරටත් රාජ්‍යකරණයෙහි යෙදෙන්නෙ නෑ. මට සත්‍යාවබෝධය අවශ්‍යයි.”
රජතුමා කරණවෑමියන් ලවා කෙස් රැවුල් බා ගත්තා. ශ්‍රමණ පරිෂ්කාර ගෙන්වා ගෙන ගිහි වස්ත්‍ර ඉවත් කොට හැඳපොරොවා ගත්තා. මහාජනක රජු අභිනික්මන් කළා සේ මේ යොවුන් රජතුමා ද මාළිගාවෙන් නික්ම මහමගට බැස්සා. සියලු පිරිවර ජනයා මහත් සේ කම්පා වුණා. මුළු රාජධානිය ම කැළඹුණා. විමුක්තිය සොයමින් හුදෙකලාවේ වනඅසපුවකට පියමං කරන රජතුමා දකින්නට ජනයා රැස් කකා පැමිණුනා. ඔවුන් හඬා වැළපුණා. ළයෙහි අත්පැහැර ඝෝෂා කළා. රජතුමා නිශ්ශබ්දව පිටත් වුණා. ඔවුන් පසුපස්සේ ඒමේ නිමාවක් නෑ. රජතුමා බැරිම තැන සැරයටියෙන් පාර හරහට ඉරක් ඇන්දා.
“ඔන්න මං රේඛාවක් ඇන්දා. මෙතනින් එයාට කවුරුවත් එන්න එපා!”
මහාජනයා එම රේඛාව මත හිස තබා සිඹිමින් බිම වැතිරී හඬන්න ගත්තා. පුංචි කුමාරයාට හඬ නගා කිව්වා,
“අනේ රත්තරං කුමරුනේ… ඔබගේ පියාණන් වහන්සේගේ රජ අණ නිසා අපට මේ රේඛාවෙන් ඔබ්බට යන්න වරම් නැහැ. එහෙත් කුමාරයාණෙනි, ඔබට නම් තම පියාණන් ළඟට යා හැකියි නේද?”
එතකොට කුමාරයා ‘පියාණනේ…. පියාණනේ…. මාත් එනවා’යි කියමින් රේඛාව මැඬගෙන ගොස් රජතුමා වැළඳගත්තා. රජු මෙහෙම කල්පනා කළා.
‘මං මේ තාක්කල් මුළු මහා ජනකායම මගේ දරුවන් වගේ ආදරයෙන් රැකගත්තා. එහෙම එකේ මේ එක දරුවෙක් ආරක්ෂා කිරීම මට එච්චර ප්‍රශ්නයක් නැහැ.’
ඉතින් රාජඉර්ෂීන් වහන්සේ තම පුතාත් සමඟ කෙමෙන් කෙමෙන් ශ්‍රමණයන් වහන්සේලා වැඩසිටින වනයට පැමිණුනා. එහි හුදෙකලා කුටි තියෙනවා. මැටියෙන් තැනූ පිල් තියෙනවා. සක්මන් මළු තියෙනවා. හැබැයි රජමාළිගාවේ ඇති වටිනා සුඛෝපභෝගී ආසන කිසිවක් නැහැ. පුත් කුමරා මහත් අසීරුවකට පත්වුණා. සීතල හමන විට ‘පියාණෙනි, සීතලයි’ කියා හඬනවා. අව් රස්නය වැඩි විට ‘පියාණෙනි, අව්ව සැරයි’ කියා හඬනවා. මදුරුවන් කන විට ‘පියාණෙනි, මාව මදුරුවන් කනවා’ කියා හඬනවා. බඩගිනි, පිපාස දැනුන විට ‘පියාණෙනි, මට බඩගිනියි. පියාණෙනි, මට පිපාසයි’ කියා හඬනවා.
රාජඉර්ෂීන් වහන්සේට අභිනික්මන් කළ අරුත සපයාගන්න නොහැකි වුණා. මහත් කරුණාවෙන් යුතුව දරුවාට ඇප උපස්ථාන කළා. ඒ වෙනුවෙන් මුළු රැයත්, දවාලත් ගත වුණා. දරුවාව සනසා ගමට පිඬු සිඟා වඩිනවා. ගමෙන් ලැබෙන්නේ රජ බොජුන් නොවෙයි. තණ හාල්, කඩල, මුල් ඇට ආදිය මිශ්‍ර කළ ආහාරයයි. කුමාරයා ‘පියාණෙනි, මේවා මට වළඳන්න අමාරුයි’ කිය කියා ස්වල්පය බැගින් අනුභව කරද්දී කෙමෙන් කෙමෙන් සිරුර මැළැවී ගියා. අව්වෙහි කපා දැමූ නෙළුමක් මෙන් මැලවුණා. රාජඉර්ෂීන් වහන්සේට මේ දරුවා ගැන මහත් අනුකම්පාවක් ඇතිවුණා.
“පුතේ… එහෙනම් අපි ටික දවසකට නගරයට යමුද? එතකොට ඔයාට රසවත් ආහාර ටිකක් ලැබේවි.”
“අනේ පියාණෙනි, එහෙනම් අපි යමු.”
රාජ ඉර්ෂීන් වහන්සේ මේ දරුවාත් සමඟ පැමිණ සැරයටියෙන් රේඛාව ඇන්ද තැන නැවතුණා. ඒ වන විට බිසවුන් වහන්සේ ඇමතියන්ට මෙහෙම කියා තිබුණා.
“කුමාරයාට වනාන්තරයේ ජීවත් වෙන්න අමාරුයි. කීප දිනකින්ම ආපහු හැරී එන්න පුළුවන්. එහෙම ආවොත් නැවත මාළිගාවට කැඳවාගෙන එන්න ඕන” කියලා සේනාව රඳවලා තිබුණා.
රාජඉර්ෂීන් වහන්සේ එතැනට වැඩි වග බිසවට සැළවුණා. පුරාංගනාවන් පිරිවැරූ බිසව එතැනට පැමිණෙද්දී රාජඉර්ෂීන් වහන්සේ කුමරාට මෙහෙම කිව්වා.
“පුතේ, අන්න ඔබ මෑණියන් ඉන්නවා. පුතා එතනට යන්න. පුතාට කිසි හිරිහැරයක් නොවේවා!”
කුමරා දුවගොස් මෑණියන් වැළඳගත්තා. රාජඉර්ෂීන් වහන්සේ ආපසු හැරී පසේබුදුවරුන් වසන වනයට පැමිණියා. උන්වහන්සේට අමුතු නිදහසක් දැණුනා. සීතලයි, රස්නෙයි, බඩගිනියි කියා හඬන්නට දැන් කවුරුත් නැහැ. එකල තම දරුවා නිසා සිතෙහි හටගත් බැඳීමෙන් සිරවී සිටි අයුරු උන්වහන්සේට වැටහුණා. දැන් ඒ සියල්ලෙන් නිදහස්ව හුදෙකලාවේ සිටීමෙන් ලැබෙන සැපය ටිකෙන් ටික තේරුම් ගනිද්දී සිත සමාධිමත් වුණා. ජීවිතාවබෝධය පිණිස සකස් වුණා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පසේබුදුවරයෙක් බවට පත්වුණා.
හිමාලයේ ගන්ධමාන පර්වතයෙහි මංජූසක රුක් සෙවණේ දී අනෙත් පසේබුදුවරයන් වහන්සේලා මෙතුමාගෙන් තම ජීවිතාවබෝධයට පාදක වූ කරුණු ඇසුවා. එවිට මේ පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.
ඒවං දුතියේන සහා මමස්ස
වාචාභිලාපෝ අභිසජ්ජනා වා
ඒතං භයං ආයතිං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ
“මට දෙවැන්නෙක් සමඟ මේ විදිහට ජීවත් වෙන්නට සිදු වූ නිසා නිසරු වචන කිය කියා ඉන්න සිදුවුණා. අනිත් කෙනාට ඇලී ඉන්නත් සිදුවුණා. ඇත්තෙන්ම මේ තුළින් ඇතිවන අනාගත ප්‍රමාදය ගැන මට භයක් ඇතිවෙනවා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: