Posted by: lrrp | March 28, 2014

ආනන්ද මහ රහතන්වහන්සේ…

සම්බුද්ධ පරිනිර්වාණය සිදු වන තෙක් ද, එයිනුදු තෙමසක් ඇවෑමෙන් ප්‍රථම ධර්ම සංගායනාව ඇරැඹෙන මොහොත වන තෙක් ද ආනන්ද හිමියෝ සෝවාන් බව පමණක් ලැබූ උතුමෙකි; කාම විතර්කාදිය ප්‍රහීන නොවූ කෙනෙකි. එහෙත් බුද්ධෝපස්ථානයෙහි නිතර යෙදීම ද පටන්ගන්නා ලද වීර්යය හා සති ප්‍රඥාවන් ඇති හෙයින් ද කාම විතර්කාදි ක්ලේශයන් උන් වහන්සේ කෙරෙහි බලපැවැත්වූයේ නැත. සියලු කල්හි ම තථාගතයන් වහන්සේ කෙරෙහි මෛතී‍්‍ර සහගත සිතින් යුක්ත ව කල් යවන ආනන්ද හිමියෝ තථාගතයන් වහන්සේට කරන කථාව ද කරන කායික වතාවත ද ඉතා පී‍්‍රතියෙන් හා මෛත්‍රී සහගත ව ම කරන්නා හ. ඒ බව උන් වහන්සේ විසින් ම ථේරාපදානයෙහි මෙසේ ප්‍රකාශ කර තිබේ:

“පස්විසි වසරක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේට උවටැන් කළෙමි. කොයි ම විටක වත් මට කාම සංඥාවක් හෝ ද්වේෂ සංඥාවක් ඇති නො වී ය. ධර්මයක ඇති පිරිසිදුකම බලන්න! පසුපස යන සෙවණැල්ල මෙන් සම්බුදුරදුන් පසුපස ගමන් කරමින් උපස්ථාන කළෙමි.”

ආනන්ද හිමියන් කෙරෙහි පැවති ගුණ තවත් අප්‍රමාණ ය. එක්දිනක තථාගතයන් වහන්සේට කළ යුතු උවටැන් කොතෙක් ද? සම්පූර්ණ රාත්‍රියෙන් පැයකට වඩා නින්දට ගත නොකර බුද්ධ කෘත්‍යයන්හි යෙදෙන්නා වූ තථාගතයන් වහන්සේ ඒ සියලු කුදු මහත් කටයුතු කලට වේලාවට අවසන් කොට විවේක ගන්නා අවස්ථා ද කොතෙකුත් ඇති විය.

දිනක් කොසොල් රජු වෙහෙරට පැමිණ බුදුරදුන්ට ආරාධනාවක් කළේ ය. ඒ වනාහි දිනපතා මඳ වේලාවක් අන්තඞපුරයෙහි දී රාජකන්‍යාවන්ට දහම් දෙසනු පිණිස සම්බුදු රදුන්ට කරන ලද ආරාධනාවකි. සම් බුදු රජාණෝ එය ප්‍රතික්ෂේප කොට ආනන්ද හිමියන් අමතා “ආනන්දය, අන්තඞපුර කුමරියන්ට ධර්ම දේශනා කරනු පිණිස කොසොල් රජු විසින් කරනු ලබන ආරාධනය පිළිගෙන එය ඉටු කළ හැකි දැ?” යි විචාළහ. “ස්වාමීනි, ඔබ වහන්සේගෙන් නියමයක් ලැබෙතොත් එය ඉටු කරන්නෙමි” යනුවෙන් අනඳ හිමියෝ පිළිතුරු දුන්හ. මෙතරම් කටයුතු බහුල ව තිබියදීත් දිනපතා අන්තඞපුරයට ධර්ම දේශනා කිරීමෙන් ද ධර්මය ඉගැන්වීමෙන් ද ආනන්ද හිමියන් ඒ රාජකන්‍යාවන්ට කළ අනුග්‍රහය කොතරම් උදාර ද?

දිනක් රජුගේ සිළුමිණ (වොටුන්නෙහි මුදුනේ පැලඳී මැණික) සොරු ගත්හ. ආනන්ද හිමියෝ ආපසු මැණික රජුට ලැබෙන ලෙසින් එක් උපායක් යොදා ලූ හ. ඒ අනුව මැණික ලැබිණි (විස්තර මහාසාර ජාතකයෙන් දත හැකි යි).
ඒ ධර්ම දේශනාවට වඩනා කාලයේ දී ම උන් වහන්සේට අන්තඞපුර ස්ත්‍රීන්ගෙන් සළුපිළි පන්සියයක් ද කොසොල් රජුගෙන් සළුපිළි පන්සියයක් දැ යි එක් දිනක ම සළුපිළි දාහක් ලැබීම ද පන්සියයක් බිසෝවරුන්ට එක් වන් ආනන්ද හිමියන් වැනි කුමාරවරුන් පන්සියයක් ලැබීම ද (විස්තර පූජාවලියෙන් දත හැකි යි), ඒ කුමාරවරුන් පන්සියය ම ආනන්ද හිමියන් විසින් පැවිදි කරවනු ලැබීම ද, ජය ශ්‍රී මහා බෝධියෙන් ඵල ශාඛාවක් මුගලන් හිමියන් ලවා ගෙන්වාගෙන ආනන්ද හිමියන්ගේ නමින් ම ජේතවනාරාම දොරටුව හමුවෙහි රෝපණය කරවීම ද ආනන්ද හිමියන්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් ලෙස සැලකිය හැකි යි.

ආගන්තුක භික්‍ෂූන් හා ගිහියන් තථාගතයන් වහන්සේ කරා කැඳවාගෙන ගොස් ඒ අයට බුදුරදුන් බැහැදැකීමේ අවස්ථාව සලසා දෙන්නෝ ආනන්ද හිමියෝ ය. එවැනි අවස්ථාවන්හි දී මේ භික්‍ෂූන් විසින් එළඹිය යුතු කාලය, මේ භික්‍ෂුණීන් විසින් එළඹිය යුතු කාලය යි දන්නේ ය. රජවරුන්ට හා ඇමැතිවරුන්ට ද තීර්ථකයන්ට හා තීර්ථික ශ්‍රාවකයන්ට ද එළඹීමට මේ සුදුසු කාලය යි නියම දැනගෙන ඒ ඒ සුදුසු අවස්ථාවන්හි ඔවුන් බුදුරදුන් වෙතට කැඳවාගෙන යන්නා හ. එය ද උන් වහන්සේ තුළ පිහිටි විශේෂ දක්‍ෂතාවකි.

ආනන්ද හිමියන්ගේ සිහිබුද්ධියේ ද බහ්‍රශ්‍රැත භාවයේ ද තත්ත්වය ඉතා හොඳින් ප්‍රකට වූයේ ප්‍රථම ධර්ම සංගායනාවේ දී ය. ධර්මධර ත්‍රිපිටකධාරී බහුශ්‍රැත ෂඩ් අභිඥාලාභී මහරහතුන් පන්සියයක් දෙනා වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වනු ලබන කල්හි එහි දී සූත්‍ර පිටක අභිධර්මපිටක දෙක ම පිළිබඳ විස්සජ්ජක (පිළිතුරු දෙන) භික්ෂුව වශයෙන් මහ සංඝයා විසින් සම්මත කරනු ලැබුවාහු ආනන්ද හිමියෝ ය. උන් වහන්සේ ප්‍රශ්න විචාරක මහා කාශ්‍යප හිමියන් ප්‍රධාන එකුන් පන්සියයක් මහ රහතුන් වහන්සේ ම විස්මයට පත් වන අයුරින් තථාගත ධර්මය පිළිබඳ විසඳීම් කළ සේක.

ආනන්ද හිමියන් මෙසේ ධර්මය සංගායනා කරන කල්හි එහි පැමිණ සිටියා වූ ඇතැම් දේවතා කෙනෙක් ආනන්ද හිමියන් පිළිබඳ ව සැක පහළ කළහ. එනම් “මේ ආනන්ද ස්ථිවිර තෙම තථාගතයන් වහන්සේ විසින් ධර්ම භාණ්ඩාගාරික වශයෙන් එතදග්‍ර පාලියෙහි තබන ලදි. දැන් මෙතරම් ශ්‍රේෂ්ඨ අන්දමින් මහ සඟ පිරිස මැද විජිනි පතක් ගෙන ආසනාරූඪ ව ධර්ම දේශනා කරන්නේ සර්වඥ බවට වත් පැමිණියේ වනැ’ යි කියා යි.

දෙවියන්ගේ සිත්හි පහළ වූ මේ සැකය දුරු කරනු වස් තමන් වහන්සේ සම්බුදු නොවූ බවත්, මේ සියලු ධර්මය තථාගතයන් වහන්සේගෙන් අසා, උගත් බවත් අඟවනු පිණිස “ඒවං මේ සුතං ඒකං සමයං භගවා” ආදියෙන් නිදාන පාඨයක් ඇතුළත් කළහ. දෙවියන් තමන් වහන්සේ පිළිබඳ ව සිතන එවැනි සිතිවිලිවලින් තමන් වහන්සේට ගෞරවයක් ලැබීම නුසුදුසු බව සැලකීම ද උන් වහන්සේ තුළ පැවති තවත් උදාර ගුණයක් ලෙස සැලකිය යුතු ය. ආනන්ද හිමියන් විසින් කරන ලද මේ ධර්ම සංගායනාව පිළිබඳ කථාව සම්බුදුසස්න පවත්නා තෙක් ම ලෝකයා අතර අමරණීයත්වයෙන් පවතිනු ඇත.

ගිහියන්ට හා පැවිද්දන්ට ධර්මය උගැන්වීමෙන් ද ධර්ම ප්‍රචාරය කිරීමෙන් ද ධර්මධර බහ්‍රශ්‍රැතයන් දහස් ගණන් ඇති කරවීමෙන් දැ යි යන ක්‍රමයෙන් සම්බුද්ධ ශාසනයට මෙතරම් සේවයක් කළ ශ්‍රාවක නමක් නැතැ යි ප්‍රකාශ කිරීම සෙසු තථාගත ශ්‍රාවයකයන්ට අගෞරවයක් ද නොවනු ඇත. දෙවැනි ධර්ම සංගායනාවේ මූලිකත්වය දැරුවාහු ආනන්ද හිමියන්ගේ අතැවැසි (ගෝල) මහතෙරුන් වහන්සේලා ය. තථාගත පරිනිර්වාණයෙන් සියක් වසරක් ගිය කල වජ්ජිපුත්තක භික්‍ෂූන් විසින් ඉපදවූ ‘දස වස්තුව’ පිළිබඳ විනිශ්චයක් කොට එය අකැප වස්තූන් ලෙස සම්මත කොට කාලාසෝක රජුගේ දායකත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව කළා වූ පන්සියයක් මහරහතුන් වහන්සේලා අතුරෙන් ප්‍රධාන අට නමට ඇතුළත් වූ සබ්බකාමී, සාළ්හ, රේවත බුජ්ජසෝහිත, කාකණ්ඩකපුත්ත යස, සාණාවාසී සම්භූත යන මහ තෙරවරුන් වහන්සේලා ආනන්ද හිමියන්ගේ අතැවැසි මහ තෙරවරහු වූ හ. මෙයින් පෙනෙන්නේ ප්‍රථම ධර්ම සංගායනාව ආනන්ද හිමියන්ගේ සහායෙන් සිදු කළ බවත් දෙවැනි ධර්ම සංගායනාව ආනන්ද හිමියන්ගේ අතැවැසි තෙරුන් විසින් සිදු කළ බවත් ය.

මේ සම්බුදුසස්නෙහි ආනන්ද හිමියන් ලෙසින් රහත් වූ භික්‍ෂුවක් ද නැත. උන් වහන්සේ රහත් වූයේ ප්‍රථම ධර්මසංගායනාව පවත්වන්නට ආරම්භ කළ නිකිණි අව දියවක් දා අලුයම් වේලේ දී ය. එදිනට පෙරදින මහා කාශ්‍යප හිමියෝ ආනන්ද හිමියන් අමතා “ආනන්දයෙනි, ධර්ම සංගායනාව පවත්වන්නේ සෙට යි. තොප රහත් නුවූ හෙයින් එයට එක් විය ද නොහැක්ක. සම්බුදුහු ධර්ම භාණ්ඩාගාරය තොප අත තබා වදාළහ. එහෙයින් වීර්ය කරන්නැ”යි ඉල්ලා සිටියහ. ආනන්ද තෙරණුවෝ ද තුන්යම් රාත්‍රියෙහි සක්මන් කොට රහත් විය නුහුණු හෙයින් අලුයම් වේලෙහි මඳක් කය සතපා වීර්ය කෙරෙමියි සිතා දෙපා සෝදා සයනය වෙතට පැමිණ සයනය මත අත තැබීමත් දෙපය එසවීමත් රහත් වීමත් යන මේ තුන ම ඒ ක්‍ෂණයෙහි විය. නොහිඳ, නොසිට, නොනිදා, නොඇවිද රහත් වූ කෙනෙක් මේ ආනන්ද තෙරුන් හැර තවත් නැත්තා හ. අහෝ ආශ්චර්යයකි! ධර්ම ශක්තියක මහත.

රහත් වීම එසේ මෙන් ම, ආනන්ද හිමියන් මෙන් පිරිනිවන් පෑ අන් කෙනෙක් ද මේ බුදුසස්නේ තවත් නැත.

ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ එකසිය විසි අවුරුදු වයස් වූ පසු තමන් වහන්සේගේ ආයු පිරිහී ගිය බව දැන “ඇවැත්නි, මම මෙයින් සත්වන දා පිරිනිවන් පාන්නෙමි යි” දැන්වූ සේක. එවිට භික්‍ෂූහු “අහෝ! තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක බහුශ්‍රැත ධර්මධර ආනන්ද හිමියෝ පිරිනිවන් පානා සේක. දෙවැනි බුදුහු ද නිවන්පුර වඩනා සේකැ” යි කියන්නට වන්හ. මෙසේ කටින් කට මේ කථාව පැතිර යෑමෙන් උන් වහන්සේගේ ඥාතිවරු-විශේෂයෙන් රෝහිණී නදිය දෙපස විසූ ශාක්‍ය කෝලිය දෙකුලයට අයත් ඥාතිවරු “ස්වාමීනි, සම්බුදු රජාණන් වහන්සේ අපගේ ඥතිවරයා වුව ද පිරිනිවන් පානා පිණිස කුසිනාරාවට වැඩියහ. එනිසා නුඹ වහන්සේ වත් අපේ ගමෙහිදී පිරිනිවන් පානා සේක්වා” යි ඉල්ලා සිටියහ. එතෙර වැසියෝ “ස්වාමීනි මෙතෙර දී පිරිනිවන් පානු මැනව” යි කී හ. මෙතෙර වැසියෝ ද “ස්වාමීනි, අපගේ පැත්තෙහි පිරිනිවන් පානු මැනැව” යි අයැද සිටියහ.

ආනන්ද තෙරණුවෝ ඒ අසා, ‘දෙතෙර වැසියෝ ම මට උපකාරී ව සිටියහ. මා එක් පැත්තක පිරිනිවන් පෑවේ නම් අනෙක් පැත්තේ අය ධාතු ඉල්ලා සිටිනු ඇත. එවිට තවත් ධාතු කෝලාහලයක් විය හැකි ය. එහෙයින් දෙතෙර වැස්සන්ට ම පහසු වන අයුරින්, ප්‍රසාදය යෙදෙන අයුරින් පිරිනිවන් පෑ යුතු’ යි සිතූ සේක.

මෙසේ සිතා සත්වන දිනයෙහි හෙවත් තථාගතපරිනිර්වාණයෙන් සතළිස් වන හවුරුද්දෙහි වෙසක් පුර පසළොස්වක දා රෝහිණී නදිය මැද අහසෙහි පලක් බඳ වැඩ හිඳ, දෙපස එක් වූ පිරිසට ධර්මදේශනා කළ සේක. අවසානයෙහි, “මා විසින් ශාස්තෲන් වහන්සේ ආශ්‍රය කරන ලදි. තථාගතයන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ කරන ලදි. එහෙයින් ම සම්පූර්ණයෙන් කෙලෙස් බර බහා තබන ලදි. (සියලු කෙලෙසුන් නැසීම). නැවත මාගේ ඉපදීමක් නැත” යි ප්‍රකාශ කළහ.

ඉක්බිති මහ තෙරණුවෝ “මාගේ සිරුර මැදින් බිඳී කොටස් දෙක ගඟ දෙපසට වෙන් ව වැගිරේවා!” යි අධිෂ්ඨාන කොට, තේජෝ ධාතු කසිණ සමාපත්තියට සමවැද අනුපාදාපරිනිබ්බාණයෙන් පිරිනිවන් පෑ සේක. සිරුරෙන් ගිනිදැල් මතු වී දැවී අධිෂ්ඨාන බලයෙන් දෙකඩ ව ගඟ දෙපසට වැටුණේ ය.

මහජනයා දැවෙන සිරුර දෙස බලා හඬා වැලපුණාහු තථාගතයන් වහන්සේ පිරිනිවි දින මෙන් මහත් ශෝකයක් පළ කළහ. “අහෝ! සම්බුදුරදුන්ගේ පා-සිවුරු ගෙන ගිය, සම්බුදුරදුන් පසුපස ගමන් කළ ආනන්ද හිමියන් සිටින කල බුදුරදුන් වැඩ සිටිනා සේ විය. දැන් ඉතින් දෙවැනි බුදුරදුන් වහන්සේ ද පිරිනිවි සේක. අපි කෙසේ ඉවසමු ද?” ආදීන් කිය-කියා ශෝකයෙන් වැලපුණාහු, ගඟ දෙපසට වැටුණු ධාතු ගෙන චෛත්‍ය කරවූ හ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: