Posted by: lrrp | March 29, 2014

අනුරාධපුරේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

ධර්මාශෝක රජු ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරන්නේ කෙසේද? යන ප්‍රශ්නයට මැදිහත් වී සිටියදී මහාදේව නම්, බුද්ධිමත් ඇමැතිවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ මොග්ගලීපුත්ත තිස්ස මහරහරතන් වහන්සේගෙන් විමසීය. එවිට රහතන් වහන්සේ දේශනා කරන්නේ, මසැස, දිවැස, පණැස සමතැස බුදු ඇස යන පසැස ඇති බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය රජුට කීහ.

 

මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කොට මහමෙවුනා උයන පිළිගත් දවසේම අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් බණ අසා පැහැදී බුදු සසුනෙහි පැවිද්ද ඉල්ලා සිටියහ. නමුත් භික්‍ෂූන් වහන්සේලා විසින් කාන්තාවන්ට පැවිද්ද ලබාදීමට, නුසුදුසු නිසා මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙවනපෑතිස් රජුගේ ප්‍රධානත්වය මත දඹදිව සිට සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට තීරණය කළහ. එහිදී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ද වැඩම කරවීමට තීරණය කළහ. ඒ අනුව අරිට්ඨ ඇමැතිවරයා, මහණ කිරීමේ පොරොන්දුව මත අරිට්ඨ කුමරු පැළලුප්නුවර බලා පිටත් කරවීය.

ඔහු එහි ගොස් මෙහි රජුගේ හසුන ධර්මාශෝක රජුට දී අනතුරුව සංඝමිත්තා තෙරණියට ද දන්වා සිටියේ ය. සංඝමිත්තා තෙරණිය එය පිය රජුට දන්වා ශ්‍රී ලංකාදීපයට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ද රැගෙන යෑමට සුදුසු බව කියා අවසර ලබාගත්හ.

ඉක්බිතිව ධර්මාශෝක රජු ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරන්නේ කෙසේද? යන ප්‍රශ්නයට මැදිහත් වී සිටියදී මහාදේව නම්, බුද්ධිමත් ඇමැතිවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ මොග්ගලීපුත්ත තිස්ස මහරහරතන් වහන්සේගෙන් විමසීය. එවිට රහතන් වහන්සේ දේශනා කරන්නේ, මසැස, දිවැස, පණැස සමතැස බුදු ඇස යන පසැස ඇති බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය රජුට කීහ. එම අධිෂ්ඨාන මෙලෙස බෝධිවංශයෙහි දක්වයි. එනම් ධර්මාශෝක රජු දක්‍ෂිණ බෝධි ශාඛාව ගැනීමට යෑමේ දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්ම දක්‍ෂිණ ශාඛාව සිදී ස්වර්ණ කටාහයෙහි පිහිටීම, එය පළමු අධිෂ්ඨානයයි. දෙවන අධිෂ්ඨානය නම් එහි පත්‍රවලින් හා ඵලයෙන් සවනක් රැස් විහිදීමයි. තෙවන අදිටන වන්නේ, මහ බෝධිය වලා ගැබට වැදි සතියක් තිස්සේ වැඩ සිටීමයි. හතරවන අදිටන වන්නේ, ථූපාරාම දාගැබෙහි දකුණු අකුධාතු පිහිටන දවසේ යමාමහ ප්‍රාතිහාර්ය කෙරේවා යන්නයි. පස්වන අදිටන වන්නේ, ලක්දිව රුවන්වැලිසෑයෙහි මාගේ ද්‍රෝණියක් පමණ ධාතු පිහිටන දවස සර්වඥ වේශය මවාගෙන ආකාශයට පැන නැගී යමක ප්‍රාතිහාර්ය කෙරේවායි යන්නයි.

මෙම අධිෂ්ඨාන පස අසා රජු පැහැදි ජය ශ්‍රී මහා බෝධි ශාඛාව (දැනට අනුරපුරේ වැඩසිටින) තැන්පත් කිරීම පිණිස ස්වර්ණ කටාහයක් සැකසීමට රත්තරන් වෙන් කරන විට ඒ වේලෙහි ශක්‍ර දේවේන්ද්‍රයාගේ නියෝගය පරිදි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ස්වර්ණීකාර වේශයක් මවාගෙන ධර්මාශෝක රජතුමා ඉදිරියෙහි පෙනී සිට එම රත්තරන් ගෙන තමාගේ ආනුභාවයෙන් අතින් ස්පර්ෂ කොට රියන් නවයක් වට ඇති පස්රියනක් උස ඇති රියන් තුනක් අඟුලක් ඇති ඇත් නාම්බෙකුගේ සොඬය තරම් මුව ඇති හිරු මඬලක් හා සමාන කටාහය මවා රජතුමාට දී අතුරුදහන් විය. ඉක්බිතිව භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වර්ණ කටාහය රැගෙන ශ්‍රී මහ බෝධීන් වහන්සේ සමීපයට අලංකාර පෙරහරකින් ගියහ. එහිදී වටතිර ඇද දොහොත් මුදුන් දී අසීමිත ශ්‍රද්ධාවෙන් රජු ඇතුළු පිරිස වන්දනා කරන විට ජය සිරි මහා බෝධීන් වහන්සේගේ කඳ හා දක්‍ෂිණ මහා බෝ ශාඛාව ද රියන් හතරක් පමණ තැන් හැර සෙයු තැන් නොපෙනී ගොස් ප්‍රාතිහාර්ය පෑ සේක. එම අසිරිමත් සිදුවීම රජු දැක පැහැදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මුළු දඹදිව පූජා කළහ. ඉක්බිතිව රජු විසින් දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ගනු කැමැතිව සත්‍ය ක්‍රියා කොට සර්ව රත්නමය පුටුවක් උඩ ස්වර්ණ කටාහය තබා රජු රන් හිණිමගෙන් රන් පුටුවට නැග රන් තැල්ලෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් දක්‍ෂිණ ශ්‍රී බෝධි ශාඛාව වෙන් කරනු වස් ඉරක් ඇඳ අදිටන් කරන්නේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිට විය යුතු නම් බෝධීන් වහන්සේම සිඳී ස්වර්ණ කටාහයෙහි පිහිටන සේක්වායි යනුවෙනි. එවිට ජය මහ බෝධීන් වහන්සේ එතැනින් සිඳී මුල් සියයක් ඇතිව, උසින් කඳ දස රියනක් පමණ ද, රියන් සතරක් පමණ ශාඛා පහක් ද, ඵල වශයෙන් පහකින් ද, කුඩා අතු දහසයකින් ද යුතුව ස්වර්ණ කටාහයෙහි වැඩ සිටි සේක. මෙම අවස්ථාවේදී පොළොවේ පටන් අකනිටා බඹලොව දක්වා සියලු දෙවියෝ සාධුකාර දී දිව්‍ය බෙරය ද නාද කළහ. දක්‍ෂිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පඤ්ච ශාඛාවන්ගෙන් හා ඵලපත්‍රවලින් නීල පිතාදි වශයෙන් ෂඩ් වර්ණ රශ්මි ධාරාවන් ද බ්‍රහ්මලෝකය දක්වාම නික්මුණහ. මෙහිදී දක්‍ෂිණ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අහසට පැන නැගී සතියක් තිස්සේ නොපෙනී සිට ප්‍රාතිහාර්ය පෑ සේක. මේ අතරතුර රජු නොනවත්වා බෝධි පූජා පැවැත්වූහ.

අනතුරුව ස්වර්ණ කටාහයෙහි පිහිට ජය ශ්‍රී බෝධීන් වහන්සේ පැළලුප්නුවරට වැඩම කොට තම දියණිය වූ සංඝමිත්තා තෙරණියට බාරදී ලක්දිවට වැඩම කරන ලෙස කීවේ ය. එහිදී විධුරින්ද නම් රජකුමරු කැඳවා වැඩම කරන ලද ජය ශ්‍රී බෝධීන් වහන්සේට ආරක්‍ෂාව සපයන ලෙසට ද දැනුම් දුන්නේ ය. එසේම කුල ලෙස රජ කළ අටක් සිටු කුල අටක්, බමුණු කුල අටක්, කෙළෙඹි කුල අටක්, කපු කුල අටක්, බලක් කුල අටක්, ඔසු දවටු කුල අටක්, සන්නාසි කුල, අරක්කැමි කුල, කඹුරු කුල, ලෝකුරු කුල, බෙරවා කුල ආදී කුල ද සූර්ය වංශයෙහි උපන් වේධිස දෙවියන්ගේ සහෝදර වූ රාජ කුමාරවරුන් අට දෙනාට ප්‍රධාන වූ සුමිත්ත හා බෝධිගුත්ත යන ශාක්‍ය පුත්‍රයන් දෙදෙනාගෙන් සුමිත්ත රජකුමරුට කුලවාසීන් භාරදී බෝධිගුප්ත කුමරුට බෝධීන් වහන්සේ භාරදී බෝධීන් වහන්සේ ස්නානය කරනු පිණිස රාජවංශයෙන් බිසෝවරු හතර දෙනෙකුට ද භාරදී උඳුවප් මස පුරපෑලවියේ දී තාමුලිප් නම් නැව් තොටින් රජකුල ඇතුළු කුලයන් පිරිවරා ගෙන රජතුමා සමුද්‍රයේ කරවටක් ජලයට බැස, දක්‍ෂිණ  ජයශ්‍රී මහා බෝධිය හිස මුදුනින් වඩමවා නැවෙහි තැන්පත් කොට ඇති රන් පුටුවෙහි වඩා හිඳුවා සංඝමිත්තා තෙරණිය ද එහි නංවා සෙසු කුලවල අය ද සෙසු නැවකට නංවා අරිට්ඨ නම් ඇමැති රජු විසින් කැඳවා ‘දරුව මම දක්‍ෂිණ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේට දඹදිවම තුන්වරක් පූජා කොට කරවටක් පමණ සාගරයට බැස දක්‍ෂිණ ශාඛාව මාගේ යහළු වූ දෙවන පෑතිස් රජුට යැවීමි. ලක්දිව රජු ද එලෙසම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කරත්වායි යනුවෙන් ලක්දිව රජුට හසුනක් ද දුන්නේ ය. මෙලෙස සතියක් මුළුල්ලේ නාගයන්ගේ වැඳුම් පිදුම් මැද ලක්දිව දඹුලු තොටට වැඩම කළහ. මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේගෙන් එහි ඇති ආනුභාවය දැන සපිරිවර සහිතව පුද පූජා මැද ධර්මාශෝක රජු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තැන්පත් කළ අයුරින්ම ලක්දිව රජු සාගරයෙහි කරවටක් ගොස් හිස මුදුනින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිගත්තේ ය. අගනුවර දකුණු දොරෙන් වැඩම කොට තැන්පත් කරන විට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මි ධාරාවන් විහිදුවමින් අහසට පැන නැග ප්‍රාතිහාර්ය පෑ සේක. ඉක්බිතිව ස්වර්ණ කටාහයෙහි වැඩ සිටිසේක. මේ අතර ජනතාව බලා සිටියදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර ශාඛාවෙන් එක් ඵලයක් ගිලිහී මිහිඳු මහ රහතන් වහන්සේගේ දික් කරන ලද ශ්‍රී හස්තයෙහි පිහිටියේ ය. එම බෝධි ඵලය ගෙන රෝපණය කරන ලෙස රජතුමාට දුන් සේක. රජු එම බෝධි ඵලය ගෙන රන් කටාහයෙහි තැන්පත් කළේ ය. ඒවෙලෙහිම සියලු දෙනාම බලා සිටියදීම සතර රියනක් පමණ ඇති තරුණ බෝ පැළ අටක් පැන නැංගේ ය. රජු එම ආශ්චර්ය දැක ලක්දිව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කළේ ය. එම පැළ අට මෙලෙස රජු විසින් රෝපණය කළේ ය. එනම් දඹුලු තොටෙහි ද තිවක්ක බ්‍රාහ්මණ ගමෙහිද, ථූපාරාමයෙහිද, කසුන්ගිරි වෙහෙරෙහිද, ප්‍රථමක චෛත්‍ය ස්ථානයෙහි ද, සෑගිරියෙහි ද, රෝහණ ජනපදයෙහි කරදරගම ද සඳුන්ගම ද යන ස්ථාන අටයි. අනතුරුව ඉතිරි ඵල හතරෙන් ද අට අට බැගින් උපන් දෙතිස් ඵල රුහ ශාඛා බෝධීන් වහන්සේලා මල්වැස්ස වෙහෙර ද, තන්ත්‍රිමාල වෙහෙරද, මුහුදු බඩ මහා ජල්ලික නම් කෙවුල් ගමද, කොට්ටියාරාම ද, පොළොන්නරුවෙහි ද මාතලේ රයිගම ද, රුහුණු රට මාගමද, විල්වලද, මහියංගණයෙහි ද, සේරුවිල සමීපයෙහි ඇති නයින්ගේ විල්හම් වෙහෙර ද, සිතුල් පව්වේ ද, කටියාවෙහිද, කසාගලු වෙහෙර ද, බෙල්ලන්විල ද, වඳුරව ද, අඹලව රහත්ගල් වෙහෙර ද ආදී ස්ථාන තිස් දෙකක බෝධීන් වහන්සේලා රෝපණය කළහ. මෙලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු සමසතළිස් බෝධීන් වහන්සේලා රජු විසින් රෝපණය කොට ඒ වෙහෙර විහාරවලට ගම්බිම් ද පූජා කළේ ය. අනුරපුරේ වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීම පිණිස රාජ කුලවලට හා සෙසු කුලයන්ට තනතුරු හා රාජකාරි පැවරූහ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පෙරහර කිරීම සඳහා ශාක්‍ය වංශිකයන්ට තනතුරු ලබා දුන්හ. එහි කුමාරවරු හතර දෙනෙකු ගැන කියැවේ. එනම් මිහිඳු කුමරුට සුඵලිය මහලේනා තනතුරු ද, කාශ්‍යප කුමරුට මහසිටුනා තනතුරු ද, විධුරින්ද කුමරුට පිරිසිදුනා තනතුරු ද සංඝමිත්‍ර කුමරුට සුළුසිටුනා තනතුරු ද දී ගම්වරද ඔවුනට දුන් බව ඉතිහාසය සාක්‍ෂි දරයි.

පෙර රජ දරුවන්ගේ පුද පූජා ලැබ දැනට අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන්වැට මැද විරාජමානව දෙවි බඹු නරන්ගේ වැදුම් පිදුම් ලබමින් තේජාන්විතව වැඩ සිටිති.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: