Posted by: lrrp | April 11, 2014

නගරසෝභිනී සිරිමා නිවන් දකී

මලොව උපන් මිනිස් ළඳකට තම හිතට එකඟව කළ හැකි දේ ද ඇත. නොහැකි දේ ද ඇත. උත්තරා කුමරිය කළේ කිසිදු ගැහැනියකට හිතට එකඟව කළ නොහැකි දුෂ්කර වැඩකි. සපත්නිරෝෂය නම් වන බරපතළ සිතැඟිය පින්කිරිය විෂයෙහි පරදුවට තබා ඒ දුෂ්කර ක්‍රියාව කරන්නට ඇයට හැකිවිය. ආත්ම හිතයෙහි කැමති නැණවත්හු බැරිදේ ද නොබැරි දේ කොට සලකා කටයුතු කරති.

දිළිඳු බවේ සිටි පුංචි සංදියේත් ඇය ගුණවත්ය. ධනවත් වූ කලත් එසේමය. ගුණවත් මවු-පිය දෙදෙනෙකු ඇසුරේ හැදුණු උත්තරා ඇස් පනාපිටම පින්පල අත්දුටු දියණියකි. පසළොස් දිනකට වුව තම ආදරණීය සැමියා ගණිකාවක ගේ බාරයට පත්කිරීම ගැන පුදුම විය යුතු නැත්තේ එබැවිනි. තවත් අතකින් බලන කල ඇය සෝවාන් පළෙහි පිහිටියක බව ද අමතක කළ යුතු නැත.

සිරිමාවිය තම සැමියාට බාර කළ මොහොතේ පටන් තම පරිචාරිකාවන් සමඟ දාන සංවිභාගයෙහි නියැලුණාය. ඒ දෙසතිය තුළ පින් සිහිය මිස අන් සිහියක් ඇයට නොතිබිණි. ඇය සියතින් දන් පිසිමින් සේවිකාවන් මෙහෙවමින් මුළුතැන් ගෘහ සංකීර්ණයේ දාන සංවිභාගයෙහි නියැලෙමින් සිටියාය.

සැමියාත් සිරිමාත් මොනවා කරනවාදැයි වරින් වර ගොස් සොයා බලන්නටවත් දාසින් ලවා රහසේ විමසා බලන්නටවත් උත්තරාවට වුවමනාවක් නොවීය.

ඒ දින කීපයේම සිටු මැදුර දෙසින් බැදුම් පිළිස්සුම් සූප ව්‍යංජන හා කැවිලි පෙවිලි ආදියෙහි සුවඳ පරිසරය හාත්පස පැතිර ගියේය. මේ වන විට උත්තරාවගේ සැමියාට උත්තරාව අමතකව ඇති සේය.

සිරිමා ඒ සිටු නිවසට පැමිණ දින දහහතරක් ගතවී ඇත. තව ඉතිරිව ඇත්තේ එක් දිනක් පමණි. මෙහි ගත කළ දෙසතියකට මේ සිටු නිවසෙහි ස්වාමි දියණිය තමන්ය යන හැඟීමක් ඇයට ඇතිවී තිබිණ.

උත්තරාවෝ පරිචාරිකාවන් සමඟ දැලි කුණු තැවරුණ ගතින් ඒ උදෑසන දන් පිසිති. ඇය තම සේවිකාවන් හා හරි හරියට දන් පිසීමෙහි නියැලුණාය.

ඒ උදයේ සිටු පුතුන් සිරිමාත් සිටු මැදුරේ මතු මහලේ සැඳැල්ලේ සිට විවේක සුවයෙන් පසුවූහ. ඔවුන් දෙදෙන සිටින තැනට මුළුතැන් ගෙවල් පේළියත් ඒවායේ සේවය කරන අයත් හොඳට පෙනෙයි.

මේ උත්තරා මෝඩිය දන් දෙනවා කියා මොනවා කරනවා දැයි විමසනු සඳහා සිටු පුතු මුළුතැන් ගෙවල් ඇති දෙසට අවධානය යොමු කළේය. දැලිකුණු වැකුණු ගතින් දහඩිය පෙරමින් මීමැස්සියක සේ ඒ මේ අත යමින් දන් පිළියෙළ කරන උත්තරාව ඔහුට දැකගත හැකිවිය. එවෙලෙහි උත්තරාව ද දන් පිසින තැන සිට තම සැමියා දෙස බැලුවාය. අතක් වැනුවාය.

සිටුපුතු උත්තරාව දෙස බලා ලොකු සිනාවක් සිනාසුණේය. උත්තරා කුමරිය ද තම සැමියා දෙස බලා මුවපුරා සිනාසුණාය.

එවෙලේ සිටුපුතු අසල සිටි සිරිමා ගණිකාව ඒ දෙදෙනා ගේ සිනාවත් අත් සලා සන් කිරීමත් දුටුවාය. ඇය උත්තරාවගේ සිනාසීම නොරිස්සුවාය. ඇගේ සිතෙහි ඊර්ෂ්‍යා හැඟීමක් ඇතිවිය. ඇයට හුන් තැන සිටිය නොහැකි විය. සිටු පුතු අසලින් මෑත් වූ ඕ පහයෙන් බැස ගොස් උත්තරාව දන් පිසින තැනට එමින් සිටියාය.

මේ සිරිමා කෝපයෙන් මෙන් එන්නේ හොඳකට නොවේයැයි නුවණැති උත්තරාවට සිතිණ. මේ සිරිමා නිසා මේ දෙසතියට මම කොපමණ පින් රැස් කර ගත්තාද? මැය කෙරෙහි මගෙ කිසි තරහක් නැත. මෑ සුවපත් වේවා යි සිරිමා කෙරෙහි මෙත් සිත පැතුරුවාය.

සිරිමා ලහි ලහියේ අවුත් එක පෙළට ළිප තබා තිබුණු තෙල් තාච්චියකින් ලොකු තෙල් හැන්දක් ගෙන උත්තරාව ගේ හිස සිට පහළට වත් කළාය. මෛත්‍රී සිතේ බලයෙන් ඒ කකියන උණුතෙල් සිහිල් දිය සේ විය. ඒ තෙල් නිවුණු ඒවා යැයි සිතූ සිරිමා ගණිකාව තවත් නටන තෙල් හැන්දක් ගෙන උත්තරාව ගේ හිස වත් කළාය. එය ද සිහිල් දිය සේ විය. සිරිමා කළ නපුරු ක්‍රියාව උත්තරාව ගේ පරිචාරිකාවෝ දුටහ. ඔවුහු වහා වටින් පිටින් දිවගෙන අවුත් සිරිමා ගේ දිගු කෙහෙවළියෙන් ඇද බිම හෙලා,

ඈ බල තෝ අපේ සාමිදූගෙ පස්ස හෝදන්නවත් වටින එකියක් දැයි අසමින්, තෝ මේ සුමාන දෙකට මේ සිටු ගෙදර සාමි දූ උනාදැයි අසමින් හොඳටම ගුටි බැට දුන්හ. අතින් පයින් තැලූහ. එවෙලෙහි උත්තරාවට කර කියා ගතහැකි දෙයක් නොවීය. ඕ වහා කෑ ගසා කෙල්ලන් ගේ පහරදීම වැළැක්කුවාය. කෙල්ලන් පසෙකට යැවූ උත්තරාව, දැලි අළු ගොඩේ බිම වැටී සිටි සිරිමාව නැගිටුවා, තැලුණු සීරුණු තැන්වල සියතින්ම තෙල් ගා තවා සුවපත් කොට,

“යෙහෙළිය සිරිමා මේ අහන්න, අප නුඹ වගේ නොවෙයි. අප මවුපියන් ඇතිව ලැජ්ජා බයට හැදුණු වැඩුණු අයයි. නුඹට මේ දින කීපයට තමා කවුරුන්දැයි අමතක වුණාට මා කුමක් කරන්නද? අප අත නොව වරද නුඹ අතම යැ”යි කරුණාවෙන් කීවාය.

සිරිමා තමන් කවුරුන් ද ඉන්නේ කොහිද ආවේ කුමකටදැයි වැටහුණේ එවිටය. එවෙලෙහි ඕ උත්තරා කුමරිය ගේ පාමුල වැටී ‘

“සාමිනී මට සමාවුව මැනවි” යි සමාව යැද්දාය.

“යෙහෙළිය, මගේ තරහක් නැත. මම නුඹට සමාව දෙමි. එනමුත් මගේ පියාණන් වහන්සේගෙන් සමාව ගත් කළ මගේ සමාව ද ලැබෙනු ඇත. මපියාණන් හමුවෙහි කමාකරව“ යි කීවාය.

එවිට ඒ සිරිමා නම් වූ ගණිකාව, ඇඳිලි බැඳගෙන, “සාමිනී මම සාමින් ගේ පියාණන් නොහඳුනමි. කොතැනට ගොස් සමාව අයදිම්දැ”යි ඇසුවාය. එවිට උත්තරාවෝ,

“යෙහෙළිය මගේ මේ ජාතියෙහි ජාත පියාණන් පුණ්ණ සිටාණෝය. මා ආර්ය ජාතියෙහි පිහිටු වූ පියාණෝ බුදුරජාණන් වහන්සේය. මට ආර්ය ජාතියෙහි උපත දුන් ඒ මුනිඳුන් කමා කරව“ යි කීවාය.

“සාමිණි, මට ඒ බුදු උතුමා සමඟ කතාබහ කොට පුරුද්දක් නැත. කෙසේ නම් බුදුහිමි දක්නට යම්දැ”යි සිරිමා ඇසුවාය.

“එසේ නම් නුඹ අද නුඹේ ගෙදරට ගොස් නුඹ ගේ වත් පොහොසත්කම් තරමට දාන වස්තුවකුත් සපයාගෙන සෙට උදයේ මෙහි අවුත් ඒ දන් තිගේ අතින්ම පූජා කොට, වැඳ සමාව ගැනීම හොඳ යැ”යි කීවාය.

දින දහහතරකට පසු සිරිමා ගණිකාව උත්තරාව ගේ මැඳුරින් පිටව ගියේ එතෙක් ජීවිතයේ ඉගෙන නොගත් පාඩමක් ද ඉගෙන ගෙනය. මනුස්සකම නම් කිමෙකැයි ඇය ඉගෙන ගත්තේ එහිදීය මෙත්තාව නම්, කරුණාව නම්, ඉවසීම නම්, ගුණ යහපත්කම නම් කිමෙක් දැයි ඉගෙන ගත්තේ එහිදීය.

එදින උදයේ සිරිමා උත්තරාව ගෙන් සමුගෙන තම නිවෙස බලා ගියාය. ධන ධාන්‍යයෙන් යස ඉසුරෙන් පිරිස් බලයෙන් කිසි අඩුවක් නැති සිරිමා, බොහෝ ධන වියදම් කොට දන් උයා පිහාගෙන, ගැල්පුරා පටවා ගෙන, දෝලාවක නැගී උත්තරාවගේ සිටු ගෙදර බලා පිටත්ව ගියාය. තමන් ගෙනගිය දානෝපකරණ උත්තරාවට පැවරුවාය.

එදින උදයේ බුදුහිමි මහ සඟන පිරිවරා උත්තරාව ගේ නිවසට වැඩියේය. උන්වහන්සේ බුද්ධසාසනයෙහි වැඩ උන්හ. උත්තරා කුමරිය තම සේවක සේවිකාවන් සමඟ බුදුපාමොක් මහ සඟනට දන් බෙදූහ. වතාවත් කළහ. සිරිමා ඉදිරියට නාවාය. ඇය දාන ශාලාවේ කොණකට වී තිරයකට මුවාවී නොපෙනී සිටියාය. බුදුහිමි දන් වළඳා අවසන් විය. ඉන්පසු උත්තරා සිරිමා නගරසෝභිනිය එහි කැඳවා ගත්තාය. බුදු සිරිපා වැඳ සමාව ගන්නට ඉඩ සලසා දුන්නාය.

සිරිමා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ, දොහොත් මුදුනේ තබා, වැඳ වැටී “ස්වාමීනි සම්බුදු රජාණන් වහන්ස, මා අතින් සිදුවූ වරදට සමාව දී වදාරණ සේක්වා” යි තුන් විටක් සමාව යැද්දාය.

බුදුහිමි කාරණය දන්නා නමුදු, “මේ කිමෙක් ද උත්තරාවෙනි” යි උත්තරා කුමරිය ගෙන් ඇසුවේය. එවිට ඕ සිදුවූ සියල්ලම බුදු හිමිට පැවසුවාය. එවිට බුදුරජාණෝ,

“උත්තරාවෙනි, මේ සිරිමා තොප ගේ හිස පටන් නටන තෙල් වත්කරද්දී ඈ කෙරෙහි කෝප සිතක් නොකෙළේදැ” යි ඇසූහ.

“ස්වාමිනී, බුදුහිමියනි, මේ ගතවුණ දෙසතිය තුළදී බුදුබණ අසා දන්දී, සීලයෙහි පිහිටා අපමණ පින් රැස් කරගන්නට මට ඉඩ ලැබුණේ මේ සිරිමා යෙහෙළිය නිසාය. ඇය මට කළ ඒ උපකාරය අතින් ගත හැකි වස්තුවක් බවට පත් කරන්න හැකිනම්, ඒ උපහාර ස්කන්ධය තබන්නට මේ සක්වළ ගැබත් ඉඩ මදිය. මේ යෙහෙළිය මට කළ උපකාරය එතරම් විශාලය. ඉතින් මම ඇයට කුමට කෝප කරම්ද? මම සිරිමා යෙහෙළිය කෙරෙහි මෙත් සිත් ඇතිකර ගතිමි” යි කීවාය.

එවෙලෙහි බුදුරජහු උත්තරාව ගේ ගුණයට තුන් වරක් සාධු කාර දී,

“ක්‍රෝධ කරන්නා මෙත් සිතින් ජයගත යුතු යැයි ද, දුෂ්ටකම් කරන්නා ශිෂ්ට ක්‍රියාවෙන් ජයගත යුතු යැයිද” වදාරා, නිවන් කුළු ගන්වා ධර්ම දේශනා කළහ.

මෙතෙක් කිසිදා බුදුන් හමුවට නොගිය, මෙතෙක් කිසිදා බණ පදයක් නෑසූ, මෙතෙක් කිසිදා දනක් නොදුන් සිරිමා, ඒ තුන් වාසනාවම උදා කරගෙන, ඒ බුදු බණ අසා සෝවාන් පලයට පත්වූවාය. හෙවත් නිවන් දුටුවාය.

එතැන් පටන් එතෙක් ජීවිතය පුරා කරගෙන ආ වෛශ්‍යා කර්මයට ද ආයුබෝවන් කීවාය. සිරිමාවිය ගේ පාප ජීවනෝපාය එතෙකින් නතර විය. කල්‍යාණ ගුණ ඇති උත්තරාවන් ගේ ඇසුර නිසා පාප ජීවිතයක් පව් මඩෙන් ගොඩ නැගුණ සැටි කොතරම් හාර්දිකද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: