Posted by: lrrp | April 19, 2014

පින් රැස්කර ගන්න ලැබෙන අවස්ථාවලදී එය මග හරින්න එපා …..

10013921_566390980124876_5547975830435162285_nඅපි මේ මනුස්ස ලෝකයේ ඉපදුණු දවසේ ඉඳලා ටික ටික ගෙවෙන්නේ පිනනේ. මව්කුසේ ලෙඩක් දුකක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, මව්කුසේ හිඳීමෙන් ඒක ඉවර වුණා. ඊට පස්සේ පුංචි කාලයේ කරදරයක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, ඒක ඉවර වුණා. ඊට පස්සේ ළමා කාලයේ ඉන්න යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. තරුණ කාලයේ යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. මේ විදිහට ඉවර වෙවී යන්නේ පින නේද? එතකොට මේ විදිහට පින ඉවර වෙවී යද්දී එයා අළුතින් පිනක් රැස් කරන්නේ නැත්නම් පින ඉවර වූ ගමන් පෙරට එන්නේ පවයි.

බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දීත් පින් රැස්කරපු නැති අය හිටියානේ. ඔබ අහලා තියෙනවනේ අපුත්තක සිටාණන් ගැන. දරුවෝ නැති එක සිටුවරයෙක් හිටියා. එයාගේ සිටුදේවියත් මැරුණා. එයා එතැන සම්පූර්ණයෙන් අධිපති වෙලා සිටියේ. නමුත් එයාගේ කරත්තේ හිටියේ නකුටු අශ්වයෝ දෙන්නෙක්. හණ වැහැරිවලින් තමයි කරත්තය සරසලා තිබුණේ. මෙයා ගෝනි පඩංගුවක් තමයි ඇන්ඳේ. ඊළඟට මෙයා නිවුඩු හාලේ බතුයි, කාඩි හොදියි තමයි කෑවේ. මෙයා එහෙම ජීවත් වෙලා මැරිලා ගියා.

ඊට පස්සේ සියලු වස්තුවම රජයට අයිති වුණා. ගණන් කරලා බලද්දී රත්තරං විතරක් කෝටි අසූවක් තිබුණා. ඉතින් දවසක් දවල් කාලයේ කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගියා.

එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා,

“රජතුමනි, මොකද මේ මහ දවල්…? මේ කොහේ ඉඳලා එන ගමන්ද..?”

“අනේ ස්වාමීනී, අර අපුත්තක සිටාණෝ මළා නෙව. එයාගේ දේපලවලට කවුරුවත් අයිතිකාරයෝ නෑ. ඒක රජය සතු වුණා. ඒකෙ ගණන් හිලව් බලන්න ගිය ගමන් මම මේ ගොඩවුණේ. ඒ සිටු මාළිගාවේ රත්තරං විතරක් කෝටි අසූවක් තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයා හරියට කාපු කෙනෙක් නෙවෙයි. හරි හමන් ඇඳුමක් ඇඳලත් නෑ. ගෝනි පඩංගු තමයි පොරවලා තියෙන්නේ. වාහනේ හැටියට තිබිලා තියෙන්නේ නකුටු අශ්වයෝ දෙන්නෙක් යොදවපු කරත්තයක්. ස්වාමීනී, ඔහුගේ පරලොව ජීවිතය කුමක් වේවිද?”

“රජතුමනි, දැන් එයා නිරයේ…” කොසොල් රජ්ජුරුවෝ උඩ ගියා.

“ඈ…! භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේද…?” කියලා තුන් වතාවක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ තුන් වතාවේම එයා නිරයේ කියලා කිව්වා.

බලන්න, එයාට සිටු පවුලක උපදින්න ඵල දුන්නේ සංසාරයේ කරන ලද පිනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මෙයා අතීත ජීවිතයක පසේබුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන්න අන් අයව පෙළඹෙව්වා. ගෙදර කට්ටියට දන් දෙන්න කියලා කිව්වා. හැබැයි පස්සේ දීපු දේ ගැන පසුතැවුණා. සිත අපහදවා ගත්තා. ‘අනේ… මේ දේ සේවකයෙකුට දුන්නා නම් අඩු ගණනේ උදලු ගා ගන්නවත් තිබුණා… එහෙම නම් වත්තේ පිටියේ හරි වැඩක් කරවා ගන්නවානේ…’ කියලා පසුතැවුණා. නමුත් දන් දෙන්න කියලා කියපු නිසා ඒ හේතුවෙන් හත් වතාවක් සිටු තනතුරු ලැබුණා. මේ හත්වෙනි වතාව.

ඉතින් අර තිබුණු පින් ඉවර වෙවී ගියා. එතෙක් කාලයකට පිනක් කරලා නෑ. ඒ අතර වාරයේ මෙයා එක වතාවක් ඉඩම් පළහිලව්වකට ළමයෙක් මරලා නිරයේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නිරයේ ගිහිල්ලා ඇවිල්ලා ආයෙමත් අර පින මතුවෙලා සිටු පවුලක ඉපදුණා. ඉපදුණාට දීපු දේ සතුටින් දුන්නේ නැති නිසා කන්න හිතෙන්නේ නෑ. අඳින්න හිතෙන්නේ නෑ. හොඳට ජීවත් වෙන්න හිතෙන්නේ නෑ. ඒ වගේම එයා අලුතින් පිනක් කරගත්තෙත් නෑ. ඒ නිසා අර මිනී මැරුමට සම්බන්ධ සංසාර කර්මයේ ඉතුරු ටික මතුවෙලා ආයෙමත් නිරයේ ගියා.

එතකොට බලන්න පින්වතුනි, මෙහෙම වෙන්නේ පින් රැස්කර ගන්න ලැබෙන අවස්ථාවලදී ඒ අවස්ථාව අත්හැරීම නිසා නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘අඩු ගණනේ කුසල් රැස්කිරීම පිණිස සිතක්වත් උපද්දවන්න’ කියලා. මම ඔබට නිතර නිතර කියලා තියෙනවා නේද, අඩු ගණනේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන සිත පහදවා ගන්න කියලා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, නිවන ගැන සිත පහදවා ගන්න කියලා. මොකද, ඒ සිත පහදවා ගැනිල්ලත් අපට යම්කිසි දවසක ධර්මාවබෝධ කරන්න උපකාර වෙනවා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: