Posted by: lrrp | April 20, 2014

රන්කරුගේ දුව නිවන් දකී

සුබා රහත් මෙහෙණීන් වහන්සේගේ උදාන ගීතයයි මේ. නිවනට මග හෙළි කරන එතුමියට සවන් දෙන්න.

ඇයගේ නම සුබා ය. ඇය උපන්නේ රජගහ නුවර ය. පියා රන්කරුවෙකි. ඇයගේ රුව මුළු නුවරට ම ප්‍රිය විය. සුබා යන නම ඇයට ලැබුණේ ඒ නිසා ය.

බුදු රජාණන් වහන්සේ මුල් වරට රජගහ නුවරට වැඩම කළ අවස්ථාවේ ඇය ද උන් වහන්සේ දක්නට ගියා ය.

ඇයට ගැළපෙන සේ බුදුහු දහම් දෙසූ හ. සෝවාන් වූ ඇයට ගිහි ගෙයින් මිදීමට දෙගුරුන්ගෙන් අවසර ලැබිණ. ඇය සෝවාන් වූවා ය. මහා ප්‍රජාපතී ගෝතමිය භික්ෂුණී ශාසනය ඇරැඹූ පසු එතුමිය හමු වූ සුබා පැවිදි වූවා ය. නිවන් සුව පතමින් ඇය විදසුන් වඩන්නට වූවා ය.
ඇයගේ නෑයෝ විටින් විට ඇය හමු වීමට ආ හ.

“ඔබ හරි ම ලස්සන යි; ධනවත්. මේ සිවුර විසි කොට ගෙදර ඇවිත් සැප විඳින්න,” ඔවුහු කී හ.
දිනක් ඇය ඔවුන්ට ගිහි ජීවිතයේ ආදීනව දක්වමින් ගාථා විසිහතරක් දේශනා කළා ය. ඔවුහු යළි යළි ගිහි සැප වැනීමට නො ආ හ.

විදසුන් වැඩුමෙහි යුහුසුලු වූ සුභා තෙරණිය ඉක්මනින් ම රහත් බවට පැමිණියා ය.
පසු කලෙක සිය අතීතය සිහි කළ එතුමිය නෑයන්ට දෙසූ ගාථා උදාන ගී ලෙස ඉදිරිපත් කළා ය.
නිමල වතින් සැරසුණු මා සිටියේ නව යොවුනේ
බුදු හිමියන් දෙසු සදහම් මා දෙසවන ගැටුණේ
නොපමා ව ම ඒ දම් මඟ ඔස්සේ සිත ඇදුණේ
උත්තම සෝවාන් මඟට එමොහොත මා වැටුණේ

කම් සැප පිළිබඳ ආසා සිතෙන් ගියයි ගිලිහී
පංචස්කන්ධය පිළිබඳ සිටියෙමි මම බිය වී
කෙලෙස් ලොවෙන් නික්මෙමි යන අදිටන සිත දැඩි වී
ආයෙමි හැම සම්පත් හැර පැවිදි බිමට රිසි වී

නෑදෑයන් දැසිදස්සන් ගම්බිම් මගෙ උරුමේ
අත් හැර මම පැවිදි වීමි සැදැහෙන් බුදු සසුනේ
ඒ කාමය පිළිකුල්, අම නිවනයි මා පැතුවේ
අත්හළ රන් මිණි මුතු වෙත යළි මා සිත නො ඇදේ

වස්තුව, රන් රිදී ලොවේ මග පල නැණ නො වඩයි
මහණකමට ගැළපෙනු නැත, ශාන්තියක් නො ගෙනෙයි
ආරිය දහමක් ද නොවෙයි, එය ලෝභය දනවයි
මුළාව සහ මදය මෙන් ම රාගය ඇති කරවයි

කාමය අනියත යි, එතැන නියත බවක් නො ම වේ
එහි ගැලුණහු කලහ කරති පමා බවින් නොමිදී
ඔවුනට හිංසා නියත යි, උවදුරු තැන් වැඩි වේ
සම්පත් හා බැඳි කාටත් දුක ම ය ඇති උරුමේ

නෑදෑයන් වූ ඔබ මට අද සතුරන් විලසින්
කාමය වෙත පොලඹවනුයෙ කිම දැ යි මට පවසන්!
එහි බිය දුටු මෙහෙණක් මා, මට හිරිහැර නොකරව්
රන් රිදියෙන් කෙලෙසුන් පහ නොවනා බව සලකව්

කාමය රුදු සතුරෙකි, වධකයෙකි ගෙනෙන පීඩා
යවුලකි සිත රිදුම් දෙවන, ගත යුතු එය වටහා
මුඩු හිස හා සිවුරු දරන පැවිදි රුවක් නොතකා
සම්පත් පා මගෙ නෑයන් මට සතුරු ව එනවා

පිඬු සිඟා ගොසින් ලබනා ඉඳුල් අහර පුරුදු යි
ගෙයින් ගෙට සිඟා යන්නට පැවිදි අපට පුරුදු යි
මළ මිනී එතූ රෙද්දෙන් මසන සිවුර පුරුදු යි
පැවිදි දිවියකට කැප වූ සියලු දෙය ම පුරුදු යි

දෙව් මිනිස් ලොව පිරුණු සියලු කම් සැප අතැර
ඉසිවරහු නිවන් සුව පතති කෙලෙසුන් දුරැර
අනියත වු කම් සැපය නසා ලූ එතුමනට
නියත සැප උරුම විය නිවන දැකුමත් සමඟ

මම දනිමි, නො වෙයි රැකවරණයක් කාමයේ
එහෙයින් ය කාමයට මා යළිත් නොයනුයේ
දැනගන්න, කාමයෝ සතුරෝ ය, දුක් දෙවන
එය රුදුරු ගිනි කඳට සමාන ය සිත් දවන

උවදුරකි, බියකි, එය සිත අදියි නපුරට ම
ගිජු ය, විෂම ය, ලාටු මෙන් බඳියි වරදෙහි ම
මුළා කරවන දොරටුවක් වගෙයි කාම සැප
එහි ඇලෙති බාලයෝ ඒ සැපත සප් හිසකි

කාම මඩ ගොහොරුවේ එරී ගිය දද දනෝ
මියෙන ඉපදෙන ලොවේ කෙළවරක් නොම දකිති
කම් සැපත නිසා දුක් පිරුණු දුගතියට යති
වේදනාවෙන් පිරුණු සසර ගමනේ යෙදෙති

කම් සුවය රුපු පිරිස තනයි, සිත් තුවාලයි
කිලිටි කරවයි, ලොවට ඇලෙන්නට පොලඹවයි
යළි උපත් සදාලයි, උමතු බව ඇති කරයි
‘අහෝ සැපයකි!’ කියා හිස් වදන් වගුරුවයි
මරු විසින් දමන ලද කෙමනකට සමානයි

දුක් දෙවන, විෂ පිරුණ, හීන සතුටක් ගෙනෙන
කෙලෙස් වඩවාලමින් යහ ගුණය වියළවන
කාම සුව හැරදමා පැවිදි බිම වෙත පැමිණ
යළි යළිත් ඒ මහා විපත වෙත නොයමි මම

සිහිල් සුව සෙවූ මම කම් සටන් පරදවා
දිනා සංයෝජන ද නිවන වෙත ඇදෙන්නෙමි
මුනිඳු මේ සසර සැඩපහර තරණය කෙරූ
ඒ නිබය මඟ අනුව මම ද පිය තබන්නෙමි

(පැවිදි වූ අට වන දින රහත් වූ සුබා භික්ෂුණිය සමාපත්තියකට සමවැද තුරු සෙවණක සිටිනු බුදු හිමියන්ට පෙනිණි. බුදුහු ඇය අනෙක් භික්ෂුණීන්ට පෙන්වා මෙසේ දෙසූ හ:)

ඇස යොමනු අන්න අර ගස මුලට, එහි හිඳින
රන්කරුගෙ දුව සුබා රහත් බව ලබාගෙන
දහමෙ සිත පිහිටුවා දැහැන් සුව විඳිනවා

උපුල්වන් රහත් මෙහෙණිය විසින් මෙහෙයවූ
සුබා දැන් තෙවිදු නැණ ලබාගෙන නිවී ඇත
පැවිදි වී දින අටෙන් රහත් බව ලැබූ ඇය
බුදු සසුන බබළවයි, පින් කෙතක් වෙයි ලොවට

දොසින් තොර, ණය රහිත, මැඩූ ඉඳුරන් සහිත
බැඳුම් නැති, සැබෑ මිදුමකින් යුතු නිවන් මග
ඇය සතු ය, දැන් ඇයට සසර ගමනක් නොමැත
සව් කෙලෙස් නසා ලූ ඇය ඉතින් නිදහස් ය

(සුබා භික්ෂුණිය බුදු රදුන්ගේ පැසසුමට ලක් වූ බව ඇසූ සක් දෙවිඳු දෙව් පිරිසක් සමග පැමිණ එතුමිය පිදූ හ. ඒ සිදුවීම ද මේ උදාන ගීයට ඇතළත් වේ:)

දෙදෙව් ලෝ අධිපතිඳු සක් දෙවිඳු ඉඳු බෙලෙන්
පිරිස හා පැමිණියා සුබාවන් දකින්නට
රන්කරුගෙ දුව සුබා රහත් මෙහෙණිය කියා
මහ බැතින් වැඳ ගියා යළිත් සුර ලොව වෙතට.

දෙනගම සිරිවර්ධන


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: