Posted by: lrrp | April 27, 2014

සිල්වතාට නැණවතාට ජය උරුමයි!

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි. ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි.

“ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත‍්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප‍්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

අරාබියේ වෙළෙඳ පවුලක උපන් පුණ්ණ අධ්‍යාපන කටයුතු හමාර කළ සැණින් සිය පියාගේ වෙළෙඳ ව්‍යාපාරයට හවුල් වූයේය. අරාබියත් දඹදිවත් අතර පැවැත්වෙන මහා වෙළෙඳ ව්‍යාපාරයකි එය. අරාබියේ සිට දඹදිව සැවැත්නුවර දක්වා මහ මුහුදෙන් ද ගොඩබිමෙන් ද සැදුණු දිගු ගමන් මඟක් පසු කිරීමට ඔවුන්ට සිදුවිය.

පියා සමග ගමන් කළ පුණ්ණ පුතුට නැව් සිය ගණනක් ද ගැල් සිය ගණනක් ද පාලනය කිරීමට සිදුවිය. පුතා එහිදී පෑ සපන් කම් දුටු පියා දිනක් මෙසේ කීය.

“පුතා නුඹට දැන් මා නැතිව වුවද දඹදිව ගොස් වෙළෙඳ්‍රමේ යෙදෙන්නට හැකියි. ඊළඟ වාරයේ සිට නුඹ තනිව මා නැතිව යන්න. මා නුඹට අරාබියෙන් බඩු එකතු කැර දෙන්නම්. දඹදිවෙන් ගෙන එන බඩු විකුණා දෙන්නම්”

පුණ්ණ පියාගේ බස පිළිගත්තේය. අරාබියෙන් රැස් කැර ගත් බඩු දඹදිවට ගෙන ගියේය. ප‍්‍රධාන නගරවල සල්පිල්වල බඩු තබාගෙන වික්කේය. අවසාන සල්පිල වූයේ සැවැත් නුවරය. සියලු බඩු විකුණා අවසන් වූ පසු නුවර වීදිවල ඇවිදින්නට ගියේය. වෙන දා ඔහුට ඒ සඳහා විවේකයක් ලැබුණේ නැත.

පියා සමඟ පැමිණි ගමන්වලදී බඩු විකුණා අවසන් වූ සැණින් අරාබියට ගෙන යාමට බඩු රැස් කිරීමට පියාගෙන් නියෝගයක් ලැබෙයි. ඇත්තටම ඔහු දැන සිටියේ සැවැත් නුවරට එන පාරත් නුවර මැද පිහිටි සල්පිලත් පමණි.

එදා ඔහු වීදියේදී සුදු වතින් සැරසුණු ගැහැනු, පිරිමි, සහ ළමයි මහ පිරිසක් සුවඳ මල් පොකුරු ගෙන ගමන් කරනු දුටුවේය.

“නුඹලා මේ කොහේද යන්නෙ ?” පුණ්ණ ඔවුන්ගෙන් ඇසුවේය.

“නුඹ මේ නුවරට අමුත්තෙක් වගෙයි. දැන් ලෝකයට බුදු රජාණන් වහන්සේ පහළ වෙලා. ජේතවනාරාමයේ දහම් දෙසනවා. දුකින් මිදීමේ මඟ උන්වහන්සේ ඉතා හොඳින් පැහැදිලි කරනවා. කැමති නම් නුඹටත් අප සමග යන්නට පිළිවන්” ඔවුන් අතර සිටි තරුණයෙක් කීය.

“කදිමයි. මා බුදු රජාණන් වහන්සේ ගැන අසා නැහැ. මාත් ඔබ සමග එනවා.”

පුණ්ණ ඔවුන් සමග ජේතවනාරාමයට ගියේය. බුදු රජාණන් වහන්සේ මහ පිරිසකට දහම් දෙසති.

පුණ්ණ ඒ පිරිස අග හිඳ ගත්තේය. ඒ දහම් දෙසුම සිදුවූයේ කොසොල් රජුගේ පෙරෙවී බමුණා අරමුණු කැරගෙනය.

1509265_570634026367238_7788607258129371112_n“යමෙක් බුදුන් දහම් සඟ සරණ ගියේ දුකත්, දුක ඇතිවීමේ හේතුවත් දුක නැති කිරීම නම් වූ නිවනත් නිවන් ලබන මඟ වූ අරි අටගි මඟත් යන ඇත්ත හතර විදසුන් නුවණින් දකින්නේ ද, මේ සරණ බිය රහිතය. මේ සරණම උතුම්ය. මේ සරණට පැමිණ සියලු දුකෙන් මිදේ.”

දහම් දෙසුමෙහි පැහැදුණු පුණ්න සසර දුකෙන් මිදෙමි යන අදිටනින් යුතුව පැවිදි විය. දිනක් උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස් මෙසේ පැවැසූහ.

“සසරින් එතෙර වීම සඳහා ස්වාමීනි මට කෙටියෙන් උපදෙස් දෙනු මැනවි. මා හෙට අනිද්දාම මා උපන් අරාබියට යනවා.”

බුදුරජාණන් වහන්සේ පුණ්ණ හිමියන් පරීක්ෂා කිරීම සඳහා ප‍්‍රශ්න කීපයක් ඇසූහ. නිවැරදිව පිළිතුරු ලැබිණ. උන්වහන්සේට අවශ්‍ය උපදෙස් ලැබිණ. ඉන්පසු උන් වහන්සේ අරාබියට වැඩම කොට විදසුන්හි යෙදී රහත්බව ලැබූහ.

එකල අරාබියේ බෞද්ධයෝ නොවූහ. පුණ්ණ රහතන් වහන්සේ දහම් දෙසන්නට වූහ. ගැහැනු පිරිමි දහසක් තෙරුවන් සරණ ගියහ. රත් සඳුන් ලීයෙන් විහාරයක් කැරවූ උන්වහන්සේ අරාබියේ සිට මෙසේ අදිටන් කළහ.

“මාගේ බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පන් සියයක් නමක් සමග මේ සඳුන් විහාරයට වැඩම කෙරෙත්වා.”

බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ සමග අරාබියට වැඩියහ. මකුළාරාමය නම් වූ ඒ සඳුන් ගඳකුටියක් සහිත විහාරයේ වැඩ සිටි උන්වහන්සේ සිරි පතුල ලකුණක් ද එහි පිහිටවූහ.

පුණ්ණ මහ රහතන් වහන්සේ අරාබියෙන් පිටතට නොවැඩියහ. උන්වහන්සේ නිසා අරාබියේ බුදු දහම පැතිරිණ. තෙරුවන් සරණ ගිය සැදැහැවතුන්ගෙන් අරාබිය පිරිණ. අසූ මහා ශ‍්‍රාවක පිරිසට ද අයත් වූ පුණ්ණ හිමියෝ සිය උදානය මෙසේ පළ කළහ.

මේ සසුනේ උතුම් දේ සීලය වේ.

නුවණ නැගුණු තැන
ඊටත් වඩා උතුම්
සුර නර මහ පිරිස් අතර
ශීලය සහ නුවණ සහිත
පින්වතාට ජය උරුමයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: