Posted by: lrrp | April 28, 2014

විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිදුන් රැකුනේ මේ අයුරිනි

10014576_561856893911618_256409272_nබෞද්ධ ලෝකයේ අසහාය පූජ්‍යස්ථාන (පිදිය යුතු ස්ථාන) තෙවැදෑරුම් වේ. එනම් ශාරිරික, පාරිභෝගික, උද්දේශික යනුවෙනි. මෙම ත්‍රිවිධ චෛත්‍යස්ථානයන්ගෙන් බෝධින් වහන්සේ පාරිභෝගික චෛත්‍යය වෙයි
අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබා ගැණීමේ අධ්‍යාශයෙන් වැඩ සිටියෝ, අස්සත්‍ථ, (පාලි) අශ්වත්‍ථ (සංස්කෘත) ඇසතු, ඇහැටු, වෘක්‍ෂ මූලයේ යැ. බොධිදුම, බෝධිද්‍රැම, බෝ ගස ආදි වශයෙන් ව්‍යවහාර කරනු ලබන ගසක් ප්‍රාග් බෞද්ධ යුගයේ නැතහොත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර ලෝකයේ කොහෙවත් නොතිබුණි. එබැවින් Ficus rligiosa යන උද්භිද ගණ නාමයෙන් හැඳින්වෙන ඇසතු ගසට “බෝධිය” යන නාමය ලැබුණේ ගෞතම බෝසතාණන් වහන්සේ එම ගස මුල වැඩ හිඳිමින් ලොවුතුරා බුද්ධත්වයට පත්වූ බැවිනි. මෙම ව්‍යවහාරය හුදෙක් උපචාරනය අනුව සිද්ධයි. උපචාර යනු ළඟ හැසිරීමයි. එයට අභේදෝපචාරය යි ද කියනු ලැබේ. නිදසුනක් වශයෙන් “මූලාසනයෙන් අවසරයි” කී කල්හි මුල් අසුනේ සිටින පුද්ගලයා මිස අසුන (පුටුව) ඉන් අදහස් නොවේ. ඒ අනුව අප මහ බෝසත්හු යම් ගසක් මුල වැඩ සිටිමින් බුද්ධත්වයට පත් වූ සේක් ද?, එම වෘක්‍ෂය “බෝධි” නමින් වහරනු ලැබේ.

බුධ අවගමනෙ යන ධාතුන් කෙරෙහි ප්‍රත්‍යය යොදා තනා ගනු ලබන “ බෝධි” ශබ්දයෙහි විවිධ අර්ථ ගැබ්ව ඇත. මේ පිළිබඳ ආචාර්ය වැලමිටියාවේ සිරි ධම්මරක්ඛිත පඬි හිමියෝ ස්වකීය “ ශ්‍රී මහ බෝධින් වහන්සේ” යන ග්‍රන්ථයෙහි බෝධි ශබ්දයේ අර්ථය සංක්‍ෂිප්ත කොට මෙසේ දක්වති.
“බෝධි යන්නෙන් ගම්‍ය වන ධ්වනිතාර්ථ පද්ධතිය මීට වඩා පුළුල් එමෙන්ම ම විස්තෘත ද දාර්ශනික ද වේ. සත්‍ය වශයෙන් ම එම සූක්‍ෂම අර්ථ පද්ධතිය තුළ බුදු දහම මගින් පෙන්වා දී ඇති සිද්ධාන්තමය අර්ථ රාශියක් අන්තර්ගත වී ඇත. එහිලා විස්තර වන බෝධි, සම්බෝධි, සම්මා සම්බෝධි , අභිසම්බෝධි යන සමානාර්ථ පදවලින් සිදුහත් තාපසතුමන් විසින් සාක්‍ෂාත් කළ යථාභූත ඥාන දර්ශන සංඛ්‍යාත බුද්ධඥානය ද එහි ප්‍රතිවේධ කරනු වස් ප්‍රගුණ කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයද ඒ මගෙහි ගමන් කොට සාක්‍ෂාත් කර ගත් සොතාපත්ති, සකදාගාමී, අනාගාමි, අරහන්ත යන චතුර්විධ මාර්ගඥානය හා නිර්වාණය ද එම කර්තව්‍යය සඳහා අධාරභූත ගයාවේ පිහිටි අපරාජිත බෝධි නම් වූ අශ්වත්ථ වෘක්‍ෂය ද යන අරුත් රාශියක් අන්තර්ගතය “ බෝධි ශබ්දය පිළිබඳ පෙළෙ, අටුවාටීකා පාලි, නිඝණ්ඩු ආදි ප්‍රාමාණික ග්‍රන්ථවල ඉතා විස්තෘත විවරණ සපයා ඇති බව පෙනේ.

ශාක්‍ය මුනින්ද්‍රයාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ “ආනන්ද බෝධි රෝපණය” බෝධි සංකල්පය ව්‍යාප්ත වීමට බල පෑ තවත් සාධකයකි. පාලි ජාතකට්ඨ කථාවේ අන්තර්ගත කාලිංගබෝධි ජාතකය ආනන්ද බෝධියේ ආදිම මූලාශ්‍රය වෙයි. එය ම විචිත්‍ර ලෙස සිංහල බෝධිවංසයේද සඳහන් වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වන්දනමානන කිරීමට පැමිණෙන සැදැහැවතුන්ට සැමදාම උන්වහන්සේ මුණ නොගැසෙයි. එවැනි අවස්ථාවල දී ගඳ, දුම්, මල් පහන් ආදී පූජා ද්‍රව්‍ය, කණස්සල්ලට පත්ව ගඳකිලියේ දොරකඩ දමා යති. එවැනි අවස්ථා දුටු අනේපිඬු සිටුතුමා මේ සඳහා පිළියමක් බුදුරදුන්ගෙන් විමසන ලෙස ආනන්ද තෙරුන් වහන්සේට පවසයි. ඒ අනුව ගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් ලබා ගත් බීජයකින් රෝපණය වූ අංකුරයක් සැවැත්නුවර ජේතවනාරාමයේ දොරටුව සමීපයෙහි රෝපණය කෙරේ.

10177965_563555760408398_9092539780536239882_nමේ අයුරින් ව්‍යාප්ත වූ බෝධි සංස්කෘතිය, අශෝක රජු දවස අප රටට ද දායාද වූයේ ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ මැද භාගයේදී එනම් මින් වසර 2316 කට පමණ පෙරදීයැ. මහා රජ්ජුරුවෙනි….අපගේ බුදුරජාණන් වහන්සේගේ ඕජෝමත් වූ, අදත් මෑත් බලා දිවැයන බැවින් දිවි ඇතිතාක් බඳු වූ ධර්මාණ සර්වඥයන් වහන්සේගේ ශරීරයෙන්ම නික්මෙන්නා වූ රශ්මි කදම්බයක් හා සමාන වූ රශ්මිජ්වාලා විහිදුවන්නා වූ බෝධින් වහන්සේ මෙහි පිහිටි යැ යුතුයැ. එසේ හෙයින් තොපගේ සබඳ වූ ධර්මාශෝක රජ්ජුරුවන්ට, “යම් සේ සංඝමිත්‍රා නම් ස්ථවිරාව ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ මහා ශාඛාව ගෙන ඒ නම්, ඒ පරිද්දෙන් හසුන් යවවු, යනුවෙන් උන්වහන්සේ වදාළ බව සිංහල බෝධිවංශයෙහි අන්තර්ගත වේ.

මේ අනුව දේවානම්පියතිස්ස රජතුමා තම බෑණනුවන් වූ අරිට්ඨ ඇමැතිවරයා දඹලුතොටින් නැව් නැංගවා, දඹදිව පැළලුප් නුවර බලා පිටත් කරවීයැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දම්සෝ නිරිඳු මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ජය ශ්‍රී මහා බෝධියෙහි දක්‍ෂිණ (දකුණු) ශාඛාව රත්‍රන් භාජනයක රෝපණය කොට එකළොස්නමක් සමඟ සඟමිත් තෙරණිය හා පිරිස ලක්දිවට වැඩම කරවීය. දඹුලු තොටින් පිටත් වූ බෝධින් වහන්සේ රැගත් අසිරිමත් පෙරහැර ඒ ඒ ස්ථානයන්හි පුදසත්කාර පිණිස නවතිමින් වැඳුම් පිදුම් පී‍්‍රතිඝෝෂා මධ්‍යයේ මහත් හරසරින් දකුණ දොරින් පිටත්ව මහ මෙවුනා උයනෙහි රෝපණය කළේ බුද්ධ වර්ෂයෙන් 236 උඳුවප් මස පුර තුදුස්වක් දා සන්ධ්‍යාවෙහි රෝහණ නැකතින් උදා වූ වේලාවෙහි යි ස්ථීර ලෙස ම සිංහල බෝධිවංසයේ විස්තර කර ඇත. මේ අවස්ථාවේ ලක්දෙරණෙහි ආශ්චර්යමත් සිද්ධීන් බොහෝ සිදුවිය. එසේම දෙවන පෑතිස් රජතුමා සියලු ලංකාද්වීප රාජ්‍යයම බෝධින් වහන්සේ වෙත පිදුවේය. රාජ්‍යත්වයේ සංකේතය බවට පත් වූයේ ද ශ්‍රී මහා බෝධින් වහන්සේය.

විශේෂයෙන් බෝධින් වහන්සේ ලංකාවට වැඩම කිරීමේදී එහි ආරක්‍ෂාවට මෙන්ම නිතිපතා ක්‍රමානුකුල පුදසත්කාරයන් සඳහා පුහුණු අටළොස් කුලයක පිරිස් ද එවනු ලැබූ බව වංශකතා ආදි මූලාශ්‍ර ග්‍රන්ථයෝ සාක්‍ෂ්‍ය දරති. සමන්තපාසාදිකා නම් විනය අටුවාව කියන පරිදි දෙවනා කුල 18 ක්, අමච්ච කුල, බ්‍රාහ්මණ කුල, කුටුම්බක කුල, ගොපක කුල, තරච්ච කුල, කාලිංග කුල 8 බැගින්ද පැන් ඉසීමට රන් ඝට 8 ක්ද, ලංකාවට එවා ඇත. මේ සංඛ්‍යාත්මක විස්තරය දීපවංසය, මහාවංසය, බෝධිවංසය, වැනි ග්‍රන්ථයන්හි සුළු සුළු වෙනස්කම්වලින් යුක්තව එකිනෙකට වෙනස්ව සඳහන් ය.

කෙසේ වුවත් සිංහල බෝධිවංසයෙහි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සපයයි. සඟමිත් තෙරණිය මහ බෝ දකුණත් ශාඛාවත් සමඟ අටළොස් (18) කුලයක පිරිස ද ආරක්‍ෂාව සඳහා විධුරින්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එවනු ලැබූ බව එහි සඳහන් වේ. ඒ අනුව බෝධින් වහන්සේ සමඟ පැමිණ රාජකුමාරයන් අට දෙනාට පවරන ලද තනතුරු හා කාර්යයන්ද ඒ ඒ කුලයන්ට පැවරූ රාජකාරි බෝධිවංශයේ මෙසේ දැක්වෙයි.

බෝධිගුප්ත කුමාරයාට ශ්‍රී මහා බෝධි පෙරහැර කටයුතු භාර ලේකම් තනතුර පිරිනමා ඇත. එය හඳුන්වා ඇත්තේ “ජයමහ ලේනාවෝ” නමිනි. සුමිත්ත කුමරුට බාර වූයේ බෝධිගුප්තට සහාය වෙමින් ක්‍රියා කිරීමටයි. චන්ද්‍රගුප්ත කුමාරයාට, මහ බෝ සමිඳුන්ට රන් බෙරවැඩීමද, ගුවගුජන කුමාරයාට බෝධින් වහන්සේට ඉසින පිරිත් පැන් පිර වූ රන් කෙණ්ඩිය මගුලැතු පිට තබා නුවර ප්‍රදක්‍ෂිනා කොට ගෙන ඒමත් සක් පිඹීම ධර්මගුප්ත කුමාරයාට ද පැවැරුණි.

බෝධින් වහන්සේට රන් කෙණ්ඩියෙන් පැන් ඉසීම භාර වූයේ සූරියගුප්ත කුමාරයාටයි. ධවලච්ඡත්‍රය දැමීම ගෝතම කුමරුටත්, ආරක්‍ෂා කටයුතු භාර ප්‍රධාන තනතුර පුනිඛර කුමරුටත් පවරන ලදී. මීට අමතර දුමින්දාගමනයාන් සමඟ පැමිණි සෙසු කුලයන්ගේ තනතුරු පහත සඳහන් වේ.

1. කඩුපසඟනා තනතුර- රාත්‍රියෙහි කඩුපතක් අතින් ගෙන මහා බෝධින් වහන්සේ රැකීමේ තනතුර

2. බමුණු නා තනතුර – පිරිවර බමුණන් සමඟ පැමිණ බෝධින් වහන්සේට ශාන්ති කිරීමේ තනතුර

3. උතුරු පස්නා තනතුර- රන් ධජ, රදී ධජ ආදි ධජ එසවීමේ තනතුර

4. මහ වෙළඳ නා තනතුර – අබ මලා හා සුවඳ දුම්මලා සැපයීමේ තනතුර

5. මහ බෝ රැකිනා තනතුර – තමා පිරිවර දුනුවායන් ගෙනැ – දුනුහීතල දරා මහබෝධියට කපුටු ආදින් බැස්සා නොදීමට වග බලා ගන්නා තනතුර

6. සරස් නා තනතුර- මහා බෝධියට සේසත් වැඩීම

7. කලිඟුනා තනතුර- මහා බෝධියට අලුත් මල් සැපයීම

8. කපු නා තනතුර- ලද පස් මල් (සමන්, කැකුළු අබ,ඊතණ, සුන්සාල්, විළඳ) සැපයීම,

9. දොර නා තනතුර – මහබෝධියෙහි දොරටුව ආරක්‍ෂා කිරීම

10. පෙහෙරකරු නා තනතුර – මහා බෝධියට පෙරහන් කඩ හා හූරෑන් (නූල් ලනු විය හැකියි) සැපයීම

11. කුඹල්කරු නා තනතුර- මහා බෝධියට බත් ප්‍රධාන පා බඳුන් විල් මලා කරවා දීම

12. මල්කරු නා තනතුරු- මහා බෝධි පලඳවන මල් දම් මල් වඩම් ගොතා දීම

13. ගඳකරු නා තනතුර – මහා බෝධියට පුදන සිවු දෑ ගඳ (කොකුම්, යොන්පුප්, තුවරාලා, තුරුක් තෙල්) සැපයීම

14. මහසීනා තනතුර- මහා බෝධියට අවශ්‍ය ධජ පතාක, තිර මසා ගෙත්තම් කොට සැපයීම

15. මුළු රකිනා තනතුර– මුළුතැන් වැට සකස් කොට පුද බත් පිසවා දීම

16. කඹුරු නා තනතුර- මහා බෝධියේ පිළිල බේදුරු ආදිය ඉවත් කිරීමට අවශ්‍ය කරණ කතුර කියත් සකස් කර දීම

17. ලොකරු නා තනතුර – මහා බෝ මඟුලෙහිම අවශ්‍ය රන් රිදී කැටපත් කරවා දීම

18. අටතෙලිනා තනතුර- මහා බෝධියට අවශ්‍ය රන් වැට,රන් වළන්,රිදී වළන් ආදිය සැපයීම

19. ලක්දිව මහා අදුරු නා තනතුර –ලංකා මහා ආචාර්ය නායක) ප්‍රධාන වඩුවා විසින් මහබෝ මගුලෙහි හා මහ බෝ පුදෙහි රුවන් මඩළු සැපයීම

20. මුදුන්කරු නා තනතුර 21 .මහා පෙලවිනා තනතුර 22. සැත්කරු නා තනතුර

23. උයන් ගොවි වැදෑරුම් නා තනතුර – මහා බෝධියට පූජා කිරීම සඳහා අවශ්‍ය මල්රුක් රෝපණය කිරීම, යන තනතුරු ඒ ඒ කුලවල ප්‍රධානීන්ට දී ඔවුන්ගේ මූලිකත්වයෙන් පිරිස් යොදා ගනිමින් අවශ්‍ය කරන කටයුතු නොවළහා සම්පාදනය කළ යුතුයි.“ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කිරීමෙන් පසු එම ස්ථානයේ විවිධ ගොඩනැගිලි ඉදිකරවන ලද්දේ ආරක්‍ෂාව, ගෞරවණීයත්වය හා අලංකාරය සඳහාය.

මේවා පිළිබඳව විවිධ තොරතුරු ආදි මූලාශ්‍රය ග්‍රන්ථයන්හි සඳහන් වේ. එම තොරතුරු හකුළුවා, සිරිමල්, ලක්දුසිංහ සං .ක.දෙපා. මගින් නිකුත් කළ බෞද්ධ සංස්කෘතික ලේඛන – 1998 කලාපයේ මෙසේ සඳහන් ය. “ ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කිරීමෙන් පසු එම ස්ථානයේ විවිධ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ තොරතුරු වංසකථාවල සඳහන් වෙයි. බෝධින් වහන්සේ රෝපණය කර තිබූ මළුව චතුරශ්‍රාකාර එකකි. එය වටා ප්‍රාකාරයක්ද බැඳ තිබුණු අතර සතර දිශාවෙන් ම ඊට දොරටු හතරක් විය. පළමුව සලපතල මළුවක් දෙවනුව වැලි මළුවක්ද පිහිටා තිබිණ. පසු කාලයේ දී දකුණු දොරටුවෙහි ශෛලමය සිංහාසනයක් හා සිව් කොනේ ධර්මචක්‍රය යෙදූ කුළුණුද සවිකර තිබුණ බව සඳහන් වේ. මහානාග රජතුමා (ක්‍රි.ව. 569- 571) විසින් මළුව වටා දිය අගලක් තනන ලදී.දෙවෙනි සේන රජතුමා (ක්‍රි.ව. 851-885) එය පිලිසකර කොට උත්සවයක් පැවැත්විය.

දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර බෝධින් වහන්සේ වටා ඉදිකෙරුණු ප්‍රාකාරය අබලන් වී අලි, ඇතුන් ආදි සතුන් විසින් හානි පමුණුවා ඇති බව දුටු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1747 – 1781) එම ප්‍රාකාරය තහවුරු කිරීමට කටයුතු කළේය. ඉහත කී පරිදි ප්‍රකාර, දොරටු, දිය අගල් ආදි අංග අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ සම්බන්ධයෙන් පමණක් නොව සෙසු බෝධින් වහන්සේලා සඳහාද ඉදි කෙරිණි. බෝධිය මුල්කර ගෙන බිහිවුණ ඉතාමත් වැදගත් ගෘහ නිර්මාණාත්මක අංගය “බෝධිඝර” (බෝ ගෙය) නම ගොඩනැගිලි විශේෂයයි. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ බෝධිඝරයක් ගැන ද මහාවංසයෙහි සඳහන් වෙයි. 4 වන සියවසේදී ජෙට්ඨතිස්ස රජු බෝධිඝරයට තොරණ තුනක් දෑදවිය. 58 වෙනි සියවසේදී ධාතුසේන රජු බෝධිඝරය නැවත සෑදූ ලෙස දැක්වේ. දෙවෙනි සේන රජු විසින් එම බෝධිඝරය ප්‍රතිසංස්කරණය කරවන ලදී. එහෙත් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට සම්බන්ධව මෙම බෝධිඝරය අද දක්නට නැත.”
අසිරිමත් පූජාර්හ බෝ සමිඳුන් සැම කල්හි ආරක්‍ෂා කිරීම රාජ්‍ය වගකීමක් ව පැවැති බව ඉහත කරුණු කිහිපය තුළින් වුවත් හෙළි වේ. අරාජික කාලයන් හි පවා මහසඟරුවන මෙන්ම ජනතාව ද මහ බෝ හාමුදුරුවෝ රැකගත් අයුරු ඓතිහාසික කරුණුවලින් ප්‍රකට වේ. එවැනි අවස්ථාවකට අපූර්ව නිදසුනක් වශයෙන් “දරමිටි පෙරහැර” නමින් හැඳින්වෙන විශේෂ චාරිත්‍ර විධිය පෙන්වා දිය හැකිය.අලි ඇතුන් මෙන්ම වන සතුන්ගෙන් ශ්‍රී මහාබෝධීන් වහන්සේ රැක ගැනීම සඳහා දර විශාල ප්‍රමාණයක් සපුරා ගැනීම සඳහා ජනතාවගේ අලාමක දායකත්වය ලැබුණි. මෙහි ලා වන්දනාවේ පැමිණෙන පිරිස් ද දරමිටිය බැගින් ගෙන ඒමට පුරුදුව සිටියහ. එම නිසා බෝසමිඳුන් වැඳපුදා ගැනීම සඳහා පැමිණීමේ දී අවශ්‍ය කරණ පූජෝපකරණ ද්‍රව්‍යක් වශයෙන්ද දරමිටි පත් විය. බෝධි ආරක්‍ෂක විධිවිධාන ක්‍රමයක් වශයෙන් පැවැති මෙය පසුව දරමිටි පෝය, දරමිටි පෙරහැර නම් චාරිත්‍ර විධිය බවට පත්විය. කෙසේ වුවත් දරමිටි පෝය නමින් සළකන්නේ ඇසළ පෝයයි.

සිරිමා හාමුදුරුවෝ යන ප්‍රාණවාචක ගෞරවාර්ථ නාමයෙන්ද ව්‍යවහාර කරනු ලබන ශ්‍රී මහා බෝධින් වහන්සේ අවුරුදු දහස් ගණනක කාලයක සිට ලක් වැසියන්ගේ විවිධ ක්‍රමෝපායන්ගෙන් රැකගත් අයුරු මූලාශ්‍රය ග්‍රන්ථයන්ගෙන් මොනවට ඔප්පු වේ.

ලංකා ඉතිහාසයේ සෙංකඩගල සමය නියෝජනය කරන වර්තමාන සම්බුද්ධ ශාසනය පමණක් නොව සමස්ත රටේ ම සමුන්නතියේ ආදිකර්තෘ වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ දෙවැනි ශිෂ්‍යරත්නය වශයෙන් සැලකෙන ඉලුපැන්ගමුවේ මාහිමියෝ ද බෝ සමිඳු ඉතිහාසයේ අමරණීයහ. අනුධුරාපුර වන්දනාවේ ගිය උන්වහන්සේ අටමස්ථානයේ දියුණුව සඳහා අප්‍රමාණ මෙහෙයක් සිදු කළහ. එහි ලා ජය ශ්‍රී මහා බෝධිය වටා අදටත් දක්නට ලැබෙන ශෛලමය මහා ප්‍රාකාරය බඳවන ලද්දේ ඉලුපැන්ගමුවේ මාහිමියන් විසිනි.

ආරක්‍ෂාව මෙන්ම අලංකාරය පිණිස ද 1940 දශකයේ දී “ චීන චට්ටි” ලෝහයෙන් වැටක් ඉදිකර ඇත. 1950 දශකයේදි බෝධින් වහන්සේට පුස් වර්ගයක් වැලදී බෝපත් වියළෙමින්, වැටෙමින් විනාශ වන තත්ත්වයට පත්වෙමින් පැවැතින. මේ සඳහා විවිධ ප්‍රතිකාර සිදුකොට ඇතත් සම්පූර්ණයෙන්ම සුව නොවීය. කෙසේ වුවත් අහඹු ලෙස මව්කිරි මිශ්‍ර කිරීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුවවී ඇති බව අප අසා තිබේ.

රෝග කාරකය පිළිබඳ කරන ලද පරීක්‍ෂණ අනුව Giomerelia Cingnlaca බෝධින් වහන්සේට වැළඳුනේය. “ග්ලෝමරිල්ලා- සිංගිව්ලාටා” යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන දිලීර වර්ගය බව 1956 දී සොයා ගන්නා ලදී.

ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා ඉදිකරන ලද රන්වැටේ පුරාවෘත්තය 1961 වර්ෂය දක්වා දිවයයි. එවකට අටමස්ථානාධිපතිව සිටි උඳුරව හල්මිල්ලවැවේ රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පුස්තකාලායාධිපති යටිරාවණා නාරද මාහිමියන්ගේ අදහසක් අනුවම රන්වැට ඉදිවී ඇත.

යටිරාවණා නාරද හිමියන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 1961 දී මුල්ගල් තබා ආරම්භයේ කරන ලද මෙම සද්කාර්ය රුපියල් දහතුන්ලක්‍ෂ පණස්දහසක් (13 50 ,000) පමණ වියදමින් නිමවා 1969 අගෝ. 11 වන දින විවෘත කරන ලදී. මෙතැන් පටන් දිවයිනේ වෙහෙර විහාරස්ථානයන්හි බෝධින් වහන්සේ වටා “රන්වැට” බැඳීම ව්‍යාප්ත වන්නට විය.

රත්මලාන ධර්මපර්යේෂණාලයවාසි ගෞරව ශාස්ත්‍රවේදී
කෙත්සිරිගම සුජාත හිමි

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: