Posted by: lrrp | June 16, 2014

මං ප්‍රේතයෙක් නොවෙයි වැදගත් විදිහට ජීවත්වූ කෙනෙක්

ගෙවල් දොරවල් දේපළ පිළිබඳ තණ්හාවෙන්, බැඳුණු, ඇළුණු සිතින් මිය යන්නෝ ඒ වස්තු සම්පත් කෙරෙහි ආසාවෙන් ඒ අතර ම දුගතිගාමීව ඉපිද දුක් විඳිති. ඒත් ඒ ආසාවන් අත්හරින්නට කැමැති නැත. එයින් ඔහු හෝ ඇය නමින් ජිවත්වන අඹු – සැමි දූ දරුවන්ට ද දුකක් කරදරයක් හිරිහැරයක් ම මිස සිදුවන යහපතක් නැත.

“තාත්තා ගණකාධිකාරී කෙනෙක්. සමාජයට පෙනෙන්න ඉහළින් ජීවත් වෙන්න ගියා, අවුරුද්දකට දෙවතාවක් මුළු පවුල ම එක්ක පිටරටවල ඇවිදින්න ගියා. ව්‍යාපාර කීපයක් ම කළා. ආදායමට වඩා වියදම වැඩි වුණා. තාත්තා ඔක්කොම කළේ රෝලෙන්, නංගියි මමයි ඉගෙන ගත්තේ අම්මගේ ෆැන්ෂන් එකෙන්, තාත්තා පපුවේ අමාරුවක් හැදිලා හදිසියේ මැරුණා. දැන් මැරිලත් අපට කරදර කරනවා” යි මියගිය පියා ප්‍රේතාත්මයක ඉපදීම නිසා එළඹ ඇති කරදර පිළිබඳව පුතෙක් විස්තර කළේය.

විරාජි අඟුලානේ පදිංචි හැට හැවිරිදි දෙදරු මවකි. විශ්‍රාමික ගුවන් සේවා නිලධාරිනියකි, ඇගේ නිවස පුරා රාත්‍රියට ඉසිලිය නොහැකි දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. කෙනෙක් අඳුරේ ඇවිදින ඡායාවක් පෙනෙන්නට විය. සද්ද බද්ද ඇහෙන්නට විය. විරාජිගේ යහනේ තවත් කෙනෙකු නිදියන බවත්, එහාට මෙහාට පෙරළෙන බවත් දැනෙන්නට විය. විසි හැවිරිදි පුතාත් විසි දෙහැවිරිදි දුවත් සමඟ විරාජි ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියේ මේ අද්භූත කරදරවලින් මිදෙන්නට සහනයක් පතාය.

අධ්‍යාත්මීය උපදේශකවරයා ශක්ති කිරණ එල්ල කරන විට විරාජිගේ ශරීරය ගැහෙන්නට වූ අතර ඇය අඬන්නට ද වූවාය. එදින ඉන් එහා දෙයක් මතු කරන්නට තරම් ඇයට හෝ භූතාත්මයට ශක්තියක් නොවූයෙන් දින විසි එකක් ග‍ෙම් පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ විරාජි ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ නෝනගෙ ඇඟට රිංගාගෙන ඉන්නෙ?”

“මම සුනන්ද” යැයි කියූ ප්‍රේතාත්මය අඬන්නට වූයේය.

“කවුද මේ සුනන්ද කියන්නෙ?”

“මේ විරාජිගෙ මහත්තයා. මේ මගේ දුවයි පුතයි” කියමින් අත දිගු කොට දරු දෙන්නා පෙන්වීය.

“ඇයි මේ අඬන්නෙ?”

“මට දුකයි, අපි කොහොම හිටපු අය ද? දැන් මගේ පවුල අසරණ වෙලා.”

“තමුන්ට මොනව ද වුවමනා?”

“මේ අයට මම උදව් කරන්න ඕනෑ.”

“තමුන්ට පුළුවන් ද එහෙම උදව් කරන්න. ඔය වගේ දුර්වල ප්‍රේතාත්මයක ඉඳගෙන.”

“අනේ මහත්තයා මට ප්‍රේතයෙක් කියන්න එපා. මම ජීවත් වෙච්ච වැදගත් විදිහට. මට ලැජ්ජයි. ඇත්තට ම මම ප්‍රේතයෙක් ද?”

“ප්‍රේතයෙක් නේන්නම්. ප්‍රේතයෙක් නිසා තමයි ගෙදර පුරා දුර්ගන්ධයක් පැතිරෙන්නේ. ඒ ප්‍රේතයන්ගේ ශරීරයෙන් පැතිරෙන දුර්ගන්ධය, අනිත් කාරණය දෙවිවරු මිනිස්සුන්ගෙ ශරීරවලට රිංගන්නේ නෑ. දෙවියන්ට මිනිස් ශරීරය ගඳයි, මිනිස්සුන්ට ප්‍රේතයන් ගඳයි.”

ප්‍රේතයා නැවතත් අඬන්නට විය. “අනේ මහත්තයා මම අසරණයි. මම ණය වෙලා මැරුණෙ. ඒ ණය ගෙවන්න ඕනෑ.”

“තමුන් මොනවා වෙලා ද මැරුණේ?”

“මේ ණය ගෙවා ගන්න බැරුව කල්පනා කරල ම පපුවෙ අමාරුවක් හැදිලා” යි නැවතත් අඬන්නට විය.

ප්‍රේතාත්මය ඉවත් කොට විරාජිට පියවි සිහිය ලබා දී මියගිය ස්වාමි පුරුෂයා සහ ඔහුගේ තොරතුරු විමසුවේය.

“මගේ මහත්තයා එකවුන්ටන් කෙනෙක්. ඒ රැකියාවට අමතරව වාහන කීපයක් තියාගෙන ස්කූල් සර්විස් එකක් කළා. ඒ වාහන ගත්තෙත් ලීසිං කරලා. තව ගෑස් ඒජන්සියකුත් කළා. මෙයා බොහෝම ඉහළින් ජීවත්වෙන බව සමාජයට පෙන්නුවා. නෑදෑයො යාළුවො ණය ඉල්ලගෙන ආවා. ඒත් අපේ බැංකු ණය ගෙවන්න නොවෙයි පොළිය ගෙවන්නත් ආදායම මදි වුණා. මේ අතරෙ මහත්තයාගෙ යාළුවෙකුට ලක්ෂ අසූවක් ණයට ඇපවෙලා අරන් දුන්නා. ඒ මිනිහා ණය ගෙවා ගන්න බැරුව රට ඇරලා යන්න ගියා” යි කීවාය.

අම්මා ගේ කතාවේ ඌණ පූරණයක් කළ පුතා ‘අපේ තාත්තා සෝබනයට ජීවත් වුණේ රෝලෙන්. අවුරුද්දකට සැරයක් දෙකක් අපිවත් අරගෙන රට රටවල ඇවිදින්න ගියා. අන්තිමට ණය ගෙවා ගන්නත් තවත් ණය ගන්න සිද්ධ වුණා. ණයෙන් ණය ඉහළ ගිහින් හිර වුණා. අපට ඉගෙන ගන්න වියදම් කළෙත් අම්මාගෙ පැන්ෂන් එකෙන්. තාත්තා මැරිලත් දැන් අපට ක‍රදරේ” යි කීවේය.

“හොඳයි මම ආයෙත් එයාව අම්මගෙ ශරීරයට ගෙන්නන්නම්. එයාට තත්ත්වය පැහැදිලි කරන්න. පුතා කිව්වම පිළිගනීවි” යි ගවේෂකවරයා නැවතත් විරාජිගේ ඇඟට ප්‍රේතාත්මය දිෂ්ටි ගැන්වීය.

“දැන් තමුන්ට මොනව ද වුවමනා?” ගවේෂකවරයා ඇසීය.

“ණය ගෙවලා නිදහස් වෙන්න තමයි වුවමනා”

“එහෙනම් බලන්නකො පුතා එක්ක කතා කරලා” යි පුතාට කතා කරන්න දුන්නේය.

“මොකක්ද තාත්තෙ මේ කරන වැඩේ. ජීවත්ව ඉන්දැද්දි රටට පෙනෙන්න ලොකු වැඩ කළා. ආදායමට වඩා වියදම් කළා. යාළුවන්ට ණය දීලා අමාරුවේ වැටුණා. එදා ජීවත්ව ඉන්දැද්දි ණය ගෙවාගන්න බැරි වුණා නම් දැන් පුළුවන් ද? තාත්තා ඉන්නකම් කළේ විකාර වැඩ. දැන් අම්මයි අපි දෙන්නයි දුක් විඳිනවා. අපට ගෙදර ඉන්නත් බෑ. ග‍ඳේ ඉන්න බෑ. තාත්තා කරුණාකරලා අපට කරදර නොකර යන්න.”

“අනේ! අනේ! පුතේ! මම හිතුවා උඹ මට ඔහොම කියයි කියලා” ප්‍රේතයා කීවේය.

“ඉතින් මම කිව්වෙ බොරු ද? තාත්තා බොරු සෝබන වැඩ කළා මිසක් පිනක් දහමක් කළෙත් නෑ. අපට දහම් පාසලේදී උගන්නලා තියෙන්නේ මේ පුද්ගලයා නාම රූප දෙකෙන් හැදිලා තියෙන්නේ. රූප කොටස් ක්ෂණයක් පාසා ඉපිද නිරුද්ධ වෙමින් යනවා. මැරුණම ඒ රූප කොටස් විනාශ වෙලා යනවා. තාම කොටසක් ඉපිද නිරුද්ධ වෙමින් යනවා. අපේ තාත්තා මැරුණා. දැන් ඔය ඉන්නේ දුගතියට ගිය වෙන කෙනෙක්, අපේ තාත්තගෙ නාමයෙන් අපි පින් දෙන්නම්. ඒ පින් අරගෙන හොඳ තැනකට යන්න. අපට කරදර නොකර යන්න. අපි තුන් දෙනාට ජීවත්වෙන්න ඉඩ දීලා යන්න.”

“එතකොට ණය ගෙවන්නෙ කවුද?”

“ඔව් අපි ණය ගෙවන්නම්. අපේ ගේ කෝටි එකහමාරකට විකුණලා ඔය ණයෙන් නිදහස් වෙලා අපිට ගම්බදට ගිහින් ගෙයක් අරගෙන ජීවත්වෙන්න පුළුවන්.”

“අපොයි, අපොයි, ඔය ගේ විකුණන්න දෙන්න බෑ. ඔය ගෙදරට මම ආදරෙයි. ගේ විකුණන්න දෙන්න බෑ. මම දන්නවා ගේ බලන්න මිනිස්සු ආවා. ගේ ඒ මුදලට අරගන්නත් කැමැති වුණා. ඒත් මම ඒ මිනිස්සුන්ට ගේ ගන්න එපා කළා” යි ප්‍රේතාත්මය කීවේය.

ගවේෂකවරයා නැවත කතා කළේය.

“බලන්න තමන් කරන විකාර වැඩ, ජීවත්ව ඉන්දැද්දිත් තමන්ට ඔරොත්තු නොදෙන ලොකු වැඩ කරන්න ගිහින් ණය වුණා. ණය ගෙවාගන්න බැරුව හිතේ අමාරුවෙන් මැරිලා ගියා. දැන් පුළුවන් ද? ප්‍රේතයන්ට ණය ගෙවන්න පුළුවන් ද? ඔය ගේ ගැන හිතේ තියෙන තණ්හාව අත අරින්න. තමුන් හිතුවක්කාර වුණෙත් අපි කියන සාධාරණය පිළිනොගත්තොත් මට පුළුවන් තමුන්ව අල්ලලා බැඳලා මූදෙ දාන්න. එතකොට ගෙයක් නෑ. ණය ගෙවන්නත් නෑ. අඹු දරුවොත් නෑ. තමුන් හදපු ගෙය වෙන්න පුළුවන්. ඒ ගෙය විකුණලා කරන්නෙත් තමුන්ගෙ ම ණය ගෙවලා නිදහස් වෙන එක. හොඳට කල්පනා කරන්න, ගෙය විකුණලා ණය ගෙවලා මේ අය දානයක් දීලා තමුන්ට පින් අනුමෝදන් කරාවි. ඒ පින් අරගෙන ඔය ප්‍රේත භවයෙන් ඉහළ භාවයකට ගිහින් සැප විඳින්න. නැත්නම් තමනුත් අමාරුවේ. තමන් නිසා මේ නෝනත් දරු දෙන්නත් අමාරුවේ. මට පුළුවන් තමුන්ව පුච්චලා දුර්වල කරලා පන්නා දමන්නත්” යැයි කී ගවේෂකවරයා ප්‍රේතාත්මයට කිරණ ශක්ති එල්ල කොට පුච්චන්නට සූදානම් විය.

“අනේ! එපා! එපා මට තේරුණා. මම ගේ විකුණලා ණය බේරනවාට කැමැතියි.”

“ඔව් ණය බේරලා දානයක් දීලා නෝනයි දරුවොයි පින් අනුමෝදන් කරාවි. මීට පස්සේ ගෙය මිලදී ගන්න එන අයට බලපෑම් කරන්න එපා. ඒ වන තුරු දැන් ඉන්න ගෙදරින් ඉවත් වෙන්න ඕනෑ.”

“අනේ මහත්තයා මට යන්න තැනක් නැහැනෙ.”

“තමුන් කැමැති සිද්ධස්ථානයක් තියෙනව ද?”

“ඔව් මහත්තයා මම කැලණියට කැමැතියි.”

නිවස විකිණු සැණින් හෝ නිවස විකුණන්නට පෙර දැනට සිටින නිවසේ හෝ ස්වාමීන් වහන්සේලා දස නමක් වඩමවා අටපිරිකර සහිත සාංඝික දානයක් පිරිනමන ලෙස විරාජිටත් දරු දෙදෙනාටත් උපදෙස් දී එතෙක් සුනන්දගේ ප්‍රාණකාරයා කැලණියට යවන්නට සුදු නෙළුම් වට්ටියක් ගෙන්වා ඊට සම්බන්ධ කොට ඔවුන් ලවා කැලණියට යැව්වේය.

ලද දෙයින් සෑහීමකට පත් නොවී ධන සම්පත් හඹා යන්නට පෙළඹෙන අයත්, ලෝකයට පෙනෙන්නට ආදායමට වඩා වියදම් යොදාගන්නා අයත් එලොවත් මෙලොවත් දුකට පත්වන හැටි!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: