Posted by: lrrp | June 26, 2014

යාපනය මුහුදේ සැඟවුණු සිරිපා සටහන ඇන්ටික්වලට විකිණිලාද?

බුදුන් වහන්සේගේ සිරිපා සටහනක් යාපනයේ මුහුදේ සැඟවී ඇතැයි යන ඓතිහාසික පුවතේ සැබෑව සොයා “සිළුමිණ” ගවේෂණ කණ්ඩායමක් යාපනේ තිරුවඩිනිලෙයි මුහුදේ කිමිදී කරන අනාවරණයයි මේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද සටහනක් මෙරට පිහිටි ස්ථානය බවට පිළිගන්නේ සමනල කඳු මුදුන ය. මෙරට තිබෙන තවත් සිරිපා සටහනක් ගැන කියවුණ ද එය නිශ්චිත වශයෙන් තිබෙන ස්ථානයක් ගැන සඳහනක් නොමැත. මෙම ලිපියෙන් හෙළිදරව් කරන්නේ සිංහල වංශ කතා ආදියෙහි සඳහන් නොවන එහෙත් උතුරේ දෙමළ ඉතිහාස මූලාශ්‍රවල සඳහන් බුදුන් වහන්සේගේ සිරිපතුලක් පිළිබඳව ය.

එම දෙමළ මූලාශ්‍රවලට අනුව මෙම සිරිපතුල් සටහන තිබෙන්නේ උතුරු මුහුදේ පත්ලේ ය. මුලින් ම දෙමළ ඉතිහාස මූලාශ්‍රවලට අනුව සිරිපතුල ඇතැයි සැලකෙන ස්ථානය නිශ්චිතව හඳුනාගත් අපි සිරිපතුල් සටහන සොයා මහ සයුරේ කිමිදුනෙමු. මේ ‘තිරුවඩි නිලෙයි’ හෙවත් උත්තර සමුද්‍ර ශ්‍රී පාදස්ථානය සොයා කළ ගවේෂණය පිළිබඳ කතාවයි.

ඉකුත් දශකය තුළදී මම අවස්ථා ගණනාවකදී මිතුරන්, කාර්යාලයීය සගයන් හා විවිධ ක්ෂේත්‍රවල කිහිප දෙනකු සමඟ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රී පාද සටහනක් යාපනය මුහුදේ සැඟවී තිබෙන බව කියා ඇත්තෙමි. ඒ හැම අවස්ථාවකම ඒ සියලු දෙනා එක්වරම විශ්මය පළ කළහ.

එය පිළිගන්නට මැලි වූහ. එහෙත් මට එය අසන්නට ලැබුණු ආකාරය පැහැදිලි කළ විට ඔවුහු සැක දුරු කරගත්හ. ඒ ගැන තවදුරටත් සොයා බලන්නැයි මා උනන්දු කළහ. එබැවින් යාපනය මුහුදේ ඇතැයි සඳහන් බුදුන්වහන්සේගේ සැබෑ සිරිපා සටහන පිළිබඳ මේ ලිපිය ද ඒ අයුරින් ම ඉදිරිපත් කිරීම වඩා සාර්ථක බව මම අපේක්ෂා කරමි. මේ ගැන මගේ අත්දැකීම් ආරම්භවන්නේ මීට දශකයකට පෙර සිට ය.

සමනල කන්ද

වර්ෂ 2004 දෙසැම්බර් මාසයේදී පැනෝස් සවුත් ඒෂියා (Panos South Asia) නම් ආයතනයේ මාධ්‍යවේදී හුවමාරු වැඩසටහනක් යටතේ මම යාපනයේ මාධ්‍ය කලාව පිළිබඳ හැදෑරීමට මාසයක කාලයක් යාපනයේ ගත කෙළෙමි. මෙම වැඩසටහනට මා සමඟ දකුණේ තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකු එක්ව සිටි අතර අපට දෙමළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් ව්‍යාපෘතිය තුළට අයත් විය.

අපට දෙමළ ඉගැන්වූයේ වයෝවෘද්ධ දෙමළ භාෂා පඬිවරයෙකි. ඔහුත් සමඟ කතා බහ කරන අතරතුරක මම සමනල කන්දේ ශ්‍රී පාදස්ථානය හින්දුන් සිවනොලි පාදම් නමින් විශ්වාස කරන්නේ කුමක් නිසා දැයි විමසුවෙමි.

ඊට හේතු පැහැදිලි කළ ඔහු අවසානයේ ප්‍රකාශ කළේ තමන් හින්දු භක්තිකයෙකු වුවද සමනල කන්දේ ඇත්තේ සිවගේ පාදය නොව බුදුන්වහන්සේගේ පා සටහන බව විශ්වාස කරන බව ය. අනතුරුව ඔහු මා ඊට පෙර අසා නොතිබූ දෙයක් ද කීවේ ය.

“බුදු හාමුදුරුවෝ පා සටහන තැබුවේ සමනල කන්දේ විතරක් නෙමෙයි. යාපනයේත් තැබුවා. දැන් ඒ පා සටහන තියෙන්නෙ මුහුදෙ. අවුරුදු හතළිහකට පනහකට කලින් මමත් දැකල තියෙනවා. ඒක තියෙන්නෙ සංඝමිත්තා ගොඩ බැහැපු තැනට කිට්ටුව.”

දියමයිලගස්වැව අරියකිත්ති හිමියෝ ගවේශන කටයුතු නිරීක්ෂනය කරමින්

ඔහු කියූ දෙය මට අතිශය කුතුහලය දනවන්නක් විය. පසුව ඔහුගෙන් ඒ ගැන වැඩි තොරතුරු විමසීමට මා අදහස් කරගෙන සිටිය ද, දකුණෙන් ගිය මාධ්‍යවේදීන්ගේ උනන්දුව මදිකම නිසා. දින කිහිපයකින් දෙමළ පාඨමාලාව අතරමග නැවතුනි. එබැවින් එම දෙමළ ගුරුවරයා නැවත මුණ ගැසුණේ නැත.

එම කාලයේදීම (එවකට ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක වූ සමයයි) කොටි සංවිධානයේ ඉතිහාසඥයා ලෙස සැලකුණු හා එම සංවිධානයේ අධ්‍යාපන අංශ නායකයා වූ බේබි සුබ්‍රමනියම් හෙවත් ඉලංකුමරන් හමුවීමට අවස්ථාවක් ලැබ‍ුණේ ය.

මේ අවස්ථාවට වවුනියාවේ මාධ්‍යවේදී සනත් ප්‍රියන්ත ද එක්ව සිටියේ ය. මේ හමුවේදී අපි ඉලංකුමරන් හෙවත් බේබි සුබ්‍රමනියම්ගෙන් උතුරු නැ‍ෙඟනහිර දෙමළ ජනතාවට හිමි බවට තිබෙන ඓතිහාසික සාධක පිළිබඳව විමසුවෙමු. ඔහු එයට පිළිතුරු දුන්නේ ‘මණිමේකලෛ’ නම් පැරැණි දෙමළ කෘතියක් ඇසුරු කොටගෙන ය.‍

කෙසෙ‍් නමුත් මණිමේකලෛ කෘතියෙන් ඔහු උපුටා දැක්වූ කොටස්වලින් කියවුණේ යාපනයේ ඈත අතීතයේ සිටි බෞද්ධයන් ගැන ය. බේබි සුබ්‍රමනියම්ගෙන් ඒ ගැන විමසූවිට ඔහු කීවේ අතීතයේ යාපනයේ දෙමළ ජනයා බෞද්ධයන් වූ බව ය.

 

මේ සාකච්ඡාවෙන් පසු කොළඹට ආපසු පැමිණි විගස මම ‘මණිමේකලෛ’ කෘතිය පිළිබඳව සොයා බැලුවෙමි. එවිට දැනගන්නට ලැබුණේ ‍එම කෘතියේ සිංහල පරිවර්තන දෙකක් ඇති බව ය. ඒ හිස්සැල්ලේ ධම්මරතන හිමියන් ගේ හා ඇම්.එච්. පීටර් සිල්වා හෙවත් මුල්ලපිටිය රාලහාමිගෙන් ය.

මට සොයා ගත හැකි ව‍ූයේ ඇම්.එච්. පීටර් සිල්වා ‘මණිමේකලාව’ නමින් පරිවර්තනය කරන ලද මණිමේකලෛ කෘතියයි. මේ කෘතියේ කතා නායිකාව බුදු සමයෙහි පැහැදුණු දකුණු ඉන්දියානු කුමරියක වන මණිමේකලා ය. ඇය පත්තිනි දේවියගේ සැමියා වන කෝවිලන් ‘මාදවී’ නම් නලඟන සමඟ පැවැත්වූ අනියම් සබඳතාව නිසා ජනිත වූ දියණියයි.

සිය දෙමවුපියන්ගේ නොමනා දිවිය ගැන කලකිරෙන ඇය එකල දඹදිව පැවැති විවිධ ආගම් වාද ඉගෙන ඒවා නිසරු බැව් වටහාගෙන අවසානයේ කාවේරියෙහි විසූ දම්පල් නම්

මුහුදෙන් හමු වු බව කියන දේව ප්‍රතිමාව

හිමිනමකගෙන් බුදු දහම ඉගෙන ගෙන පැහැදී සසුන්ගතව පැවිද්ද ලබා තෙරණියක වන්නීය.

ඇය ලක්දිව නාගදීපයට වන්දනාවේ පැමිණෙන අයුරු මණිමේකලා කාව්‍යයේ සඳහන් ය. මෙම කෘතියේ යාපනයේ අතීතයේ විසූ බෞද්ධ ජනතාව පිළිබඳව බොහෝ තොරතුරු අඩංගු ය. එපමණක් නොවේ. එදා නාගදීප වැසියන් බුදුන්වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කළ බවට තොරතුරු ද කෘතියෙහි තැන් කිහිපයකම සඳහන්ව තිබුණි‍.

යාපනයට පැමිණෙන බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගත් මණිමේකලා තෙරණියට සිය ප‍ූර්ව ජන්මය සිහිපත් ව‍ූ බව ද කෘතියෙහි සඳහන්ව තිබේ. මේ ශ්‍රී පාද පද්ම වන්දනාව පිළිබඳව අවධානය යොමු කර ඇති පරිවර්තකයා පොතේ හැඳින්වීමෙහි ද මෙසේ සටහන් කර ඇත.

“බුදුන්වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිළිබඳ දෙමළ බෞද්ධයන් අතර පැවැති තොරතුරු රැසක් මෙහි (මණිමේකලෛ කෘතිය) සඳහන් වෙයි.‍ එම කරුණු පාලි, සිංහල පොත්පත්වල ද

ක්නට නොලැබේ.”

 

මණිමේකලාව කියවූ මට සිහි වූයේ යාපනයේ දී දෙමළ ඉගැන්වූ වයෝව‍ෘද්ධ ගුරුවරයා පැවසූ යාපනය මුහුදේ ඇති ශ්‍රී පාදස්ථානය පිළිබඳ පුවත ය. ඔහුගේ තොරතුරු මණිමේකලා ක‍ෘතියෙන්ද තහවුරුවීම මා මේ කෙරෙහි උනන්දු කිරීමට හේතු විය. එහි ප්‍රතිඵලය වූයේ මා යාපනය පිළිබඳ ලියවුණු විවිධ කෘති හා මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීම ය.

අවසානයේ යාපන මුහුදේ සිරිපා සටහන පිළිබඳ නිශ්චිත ඔත්තුව හමුව‍ූයේය. ඒ දෙමළ ඉතිහාසඥ මුදලියාර් සී. රාසනායගම් වර්ෂ 1926 දී ප්‍රකාශයට පත් කළ Ancient Jaffna (පුරාණ යාපනය) කෘතියේ 190 වැනි පිටුවෙනි. රාසනායගම්, අතීතයේ ‍මෙරටට සංචාරය කළ චීන ජාතික ෆාහියන් හිමියන් (ක්‍රි.ව. 413) ලක්දිව බුදුන්වහන්සේගේ සිරිපතුල් සටහන් දෙකක් ඇති බවත්, ඉන් එකක් අනුරාධපුරයෙන් උතුරින් ද අනෙක කඳු මුදුනක ද ඇතැයි කර ඇති සඳහන උපුටා දක්වමින් මෙසේ පවසයි.

“මේ පා සටහන් දෙක අතරින් කඳු මුදුනේ පිහිටා ඇති එක ආදම්ගේ කඳු මුදුනේ (සමනල කන්දේ) බවට සැකයක් නොමැත. එහෙත් අනෙක පිහිටා ඇත්තේ යාපනයේ ය. මණිමේකලෛ ක‍ෘතියෙහි වන්දනා කරන ස්ථානයක් ලෙස සඳහන්ව ඇති) සුලිපුරම්වලට නුදුරු වෙරළේ පිහිටි මෙම ස්ථානය ‘තිරුවඩි නිලයි’ (ප‍ූජනීය පා සටහන තිබෙන ස්ථානය) යනුවෙන් තවමත් හඳුන්වනු ලැබේ. පා සටහන පිහිටි ස්ථානය දැන් මුහුදු ජලයෙන් යටවී තිබේ. නමුත් තවමත් වෙරලේ සිට සුළු දුරකින් බඹයක් පමණ මුහුදු පතුලේ ගලක දැකිය හැකි බවට ගම්වැසියෝ තහවුරු කරති.”

මෙසේ රාසනායගම්ගේ කෘතියෙන් බුදුන් වහන්සේගේ සිරිපතුල් සටහන යාපනයේ තිබෙන තැන නිශ්චිතව හදුනා ගැනීමෙන් පසුව එය යාපනය නාගදීප විහාරාධිපති පූජ්‍ය නවඳගල පදුමකිත්ති හිමියන්ට දැනුම් දුන්නෙමි. උන්වහන්සේ කියා සිටියේ ‍‍‍‍‍‍‍‍‍තම ගුරු හිමි වන හිටපු නාග විහාරාධිපති බ්‍රහ්මණවත්තේ ධම්ම කිත්ති හිමි සුලිපුරම්හි වික්ටෝරියා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව ය.

කෙසේ නමුත් ‘තිරුවඩි නිලෙයි’ නම් ස්ථානය ගැන ද පදුමකිත්ති හිමියන්ටද අවබෝධයක් නොතිබිණි. ඒ වනවිට ඊළාම් යුද්ධය අවසන්ව නොතිබූ බැවින් එම ස්ථානය සොයා යාම ද කළ නොහැකි විය. එහෙත් යුද්ධය අවසන් වීමෙන් පසුව ද විවිධ හේතුන් නිසා ‘තිරුවඩි නිලෙයි’ සොයා යාම අතපසු විය.

කෙසේ හෝ අවසානයේදී ඉකුත් මාර්තු මාසයේදී නාගදීප විහාරාධිපති නවඳගල පදුමකිත්ති හිමියන් ද සමඟ යාපනයේ සුලිපුරම් හි ‘තිරුවඩි නි‍ෙලයි’ නම් ස්ථානය සොයා ගියෙමු. සුලිපුරම් හමුවන්නේ කරෙයිනගර් දෙස සිට කන්කසන්තුරේ දෙසට යන අතරමඟදී ය.

ප්‍රදේශවාසීන්ගෙන් විමසා සුලිපුරම් හි වෙරළ ඔස්සේ මාදගල් හෙවත් දඹකොළ පටුනට කිලෝමීටරයක පමණ දුරකින් ‘තිරුවඩි නිලෙයි’ නම් ස්ථානය සොයා ගැනීමට අපට හැකි විය. සුන්දර මුහුදු වෙරළක් වූ එහි කුඩා කෝවිලක් ද පිහිටා තිබේ. එය වෛරවර් දෙවියන් වෙනුවෙන් කැප කරන ලද්දකි. යාපනයේ ප්‍රධානම කෝවිල ලෙස සැලකෙන නල්ලූර්කෝවිල ඇතුළු බොහෝ කෝවිල් අනාදිමත් කාලයක සිට වාර්ෂික දිය කැපීමේ මංගල්‍යය සිදු කරන්නේ ද තිරුවඩි නිලෙයි හිදී බව වෙරළේ සිටි සන්දනගම් හා අයියන් ජෙයකුමාර් නම් ධීවරයින් දෙදෙනාගෙන් දැනගත හැකි විය.

“ඇයි මෙතනට තිරුවඩි නිලෙයි කියන්නෙ? මො

තිරුවඩි නිලෙයිහි වෛරවර් කෝවිල

කක්ද මෙතන විශේෂත්වය” පදුමකිත්ති හිමි­‍ෙයා් දෙමළ බසින් ඔවුන් දෙදෙනාගෙන් විමසූහ.

“ශ්‍රී රාමගෙ පාදය තියල තියෙන්නෙ මෙතනනෙ ඒකයි. ඒ පා සටහන මුහුදෙ ගලක තියෙනවා. ඒක පේන්නෙ එක කාලෙකට විතරයි. අනිත් කාලෙට මුහුද පැහැදිලි නෑ.”

ඔවුන් දෙදෙනා පැවසූහ. අපි සොයා ගියේ බුදුන්වහන්සේගේ සිරිපා සටහනකි. නමුත් හින්දු ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය අනුව අපට හමු වූයේ රාම කුමාරයාගේ පා සටහනක් ගැන තොරතුරකි. කෙසේ නමුත් පා සටහන කාගේ වුව ද වර්ෂ 1926 දී Ancient Jaffna ප්‍රකාශයට පත් කළ මුදලියාර් රාසනායගම් ට එදා මේ ගම්මානයේ සිටි ගැමියන් ද පා සටහන ගැන දී තිබුණේ ද අපට ලැබුණු පිළිතුරට සමාන එකකි.

සන්දගම් හා ජෙයකුමාර් නම් ධීවරයින් දෙදෙනා වැඩිදුරටත් පැවසුවේ ඊළාම් යුද්ධය ආරම්භ වීමට පෙර යුගයේ සිටි මේ ප්‍රදේශයේ ගැමියන් පා සටහන පිහිටි ස්ථානය හොඳින් ම දැන සිටි බව ය. යුද්ධයේ ආරම්භයත් සමඟ ධීවර කර්මාන්තය නැවතී ප්‍රදේශවාසීන් අවතැන් වූ බව ද ඔවුහු පැවසූහ.

ඔවුන් නැවතත් ගමට පැමිණ මුහුදු රස්සාව ආරම්භ කර ඇත්තේ යුද්ධය අවසන් වීමෙන් පසුව ය. එහෙත් මේ වනවිට දශක තුනකට පෙර යුගයේ සිටි වැඩිහිටියන් බහුතරයක් ජීවතුන් අතර නොමැති බව ද ඔවුහු පැවසූහ.

“ඉතින් පා සටහන ගැන අලුත් පරම්පරාවල හුඟක් අය දන්නෙ නෑ. බෙල්ලො කඩන්න කිමිදුනු කීපදෙනෙක් අහම්බෙන් වගේ තමයි දැකල තියෙන්නෙ…” ඔවුහු පවසති.

තිරුවඩි නිලෙයි හි සිට මාදගල් (දඹකොළ පටුන) දෙසට කිලෝමීටර් භාගයක පමණ දුරක් යද්දී පිහිටා තිබෙන සම්බුනාද ඊශ්වර් සිවම් කෝවිලේ නරසිංහ සිත්ත ස්වාමි පූජක තුමා ප්‍රකාශ කර සිටියේ ද තිරුවඩි නිලෙයිහි පිහිටා ඇත්තේ ශ්‍රී රාමගේ පා සටහන බව ය.

“මමත් අවුරුදු හතළිහකට පනහකට කලින් දැකල තියෙනවා” ඔහු පවසයි.

පා සටහන ඇතැයි පැවසෙන තිරුවඩි නිලෙයි මුහුදු පත්ලේ තිබී මෑතකදී හමුව‍ූවා යැයි කියන ශෛලමය දේව ප්‍රතිමාවක් ද මෙම කෝවිලේ ප්‍රදර්ශනයට තබා ඇත. එය වෛරවර් දෙවියන්ගේ ශෛලමය ප්‍රතිමාවකි. කෙසේ නමුත් ප්‍රතිමාවේ ගෙවී ඇති රූප ලක්ෂණ නැවත මතුකර ගැනීමට ගෙන ඇති උත්සාහයක් නිසා එහි පෞරාණික බවට හානි පැමිණ තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් කියවුණු තවත් තොරතුරක් වූයේ මුහුදු පතුලේ තිබී තවත් පුරාවස්තු හමුවූ බවත් ඒවා යුද්ධයෙන් පසුව එම ප්‍රදේශවල සංචාරය කළ ඇන්ටික් (කෞතුක භාණ්ඩ) වෙළෙඳුන්ට විකිණී ඇති බවත් ය.

දැන් යාපනයේ දෙමළ භාෂා පඬිවරයා පැවසූ තොරතුර ඓතිහාසික මූලාශ්‍රවලින් සනාථ කරගෙන ස්ථානය ද තහවුරු කරගෙන හමාරය. දැන් ඉතිරිව ඇත්තේ එම පා සටහන සොයා ගෙන එහි ඡායාරූපයක් ලබා ගැනීම ය. එහෙත් එය ගොඩ සිට කළ නොහැකි ය.

වතුරට බැස මුහුදු පත්ලට කිමිදීම අත්‍යවශ්‍යය. මේ සඳහා සහායට පැමිණියේ සමුද්‍රජීව විද්‍යාඥ ප්‍රසන්න වීරක්කොඩි සජිත් සුභාෂණ හා කේ. ලක්මාල් ය. පළපුරුදු කිමිදුම්කරුවන් වන ඔවුහු ඉකුත් සතියේදී අප සමඟ යාපනය සුලිපුරම් බලා පිටත්වූහ. මේ ගමනේදී භාෂා පරිවර්තකයා ලෙස එක්වූයේ වවුනියාවේ මාධ්‍යවේදී සනත් ප්‍රියන්ත ය.

අප කණ්ඩායම ධෛර්යවත් කිරීම සඳහා නාගදීප විහාරවාසී දියමයිලගස්වැව අරියකිත්ති හිමියෝ ද වැඩම කළහ.

අප කණ්ඩායම තිරුවඩි නිලෙයි මුහුදට බැස පා සටහන සොයා කිමිදුණේ ප්‍රදේශයේ තරුණ ධීවරයකු වන අයියන් ජෙයකුමාර් ගේ මග පෙන්වීම යටතේ ය. බෙල්ලන් කැඩීම සඳහා මුහුදේ කිමිදුනු පෙර අවස්ථාවක ඔහු එම පා සටහන දැක ඇති අයෙකි. කෙසේ නමුත් වෙරළේ රැඳී සිටි සමහර ධීවරයන් පැවසුවේ ඉකුත් වර්ෂයේදී මුහුදු ඛාදනය නිසා එම මුහුදු කලාපයේ පත්ලට වැලි තට්ටුවක් පැමිණ ඇති බව ය. එබැවින් පා සටහන ද වැසී තිබෙන්නට ඉඩ ඇති බව ඔවුහු පැවසූහ.

ඉකුත් 16 හා 17 දෙදිනේදී අප කණ්ඩායම ජලය පැහැදිලිව තිබෙන අවස්ථාවලදී මුහුදු පතුලේ කිමිදුනෙමු. ජෙයකුමාර් පමණක් නොව තවත් ධීවරයන් දෙතුන් දෙනෙකු ද අදාළ ස්ථානය පෙන්වා දීමට ඉදිරිපත් විය. එහෙත් එම කලාපයේ මුහුදු පත්‍ල වැලි තට්ටුවකින් වැසී තිබූ හෙයින් එය ඉතා අපහසු කාර්යයක් විය.

මේ අතරේ අප පා සටහන සොයන බවට ආරංචියට තවත් ධීවරයන් කිහිප දෙනෙකු ද වෙරළට පැමිණියහ. ඔවුන්ගෙන් ද කියවුණේ මෙම ස්ථානයෙන් හමුවී ඇති යමක් ඇන්ටික් වෙළෙඳුන්ට විකිණී ඇති බව ය.

අවසානයේ අප ගවේෂණ කණ්ඩායම පා සටහන පිළිබඳව නිගමන දෙකකට එළඹුණි. ඒ ඇතැම් ධීවරයන් පවසන පරිදි අතීතයේදී දක්නට ලැබුණු සිරිපා සටහන වැල්ලට යටවී සැඟවී ඇති බව ය. එසේත් නැතහොත් ඇන්ටික් කඩයට විකිණී ඇති බව ය.

දින දෙකක් මුහුදු පත්ල නිරීක්ෂණය කළ අප කණ්ඩායම එය නවතා කොළඹ බලා පැමිණෙන්නට තීරණය කළේ තවදුරටත් මුහුදු පැහැදිලි හා යහපත් කාලයක නැවත ගවේෂණ කටයුතු කිරීමේ අපේක්ෂාව ද සමඟ ය. එම දින දෙක පුරා අපට සහාය දැක්වූ දෙමළ ධීවරයන් පා සටහන ගැන තොරතුරක් ලැබුණු වහා ම දැනුම් දීමට පොරොන්දු විය.

බුදුන්වහන්සේ සමනල කන්දට වැඩි අවස්ථාවේ විවේක සුවයෙන් ගත ක‍ළ දිවා ගුහාව සොයන පිරිස් ගැන තවමත් අසන්නට ලැබේ. ‘තිරුවඩි නිලෙයි’ හෙවත් බුදුන්වහන්සේගේ යාපනය මුහුදේ සිරිපා සටහන දැකගෙන එහි ඡායාරූපයක් ගැනීමට නොහැකි වුව ද අප ආපසු පැමිණියේ යාපනය මුහුදේ බුදුන්වහන්සේගේ සිරිපා සටහනක් සොයා ගවේෂණය කළ ප්‍රථම කණ්ඩායම ලෙස ය.


Responses

  1. Ancient Jaffna: Being a Research Into the History of Jaffna from Very Early times to the Portuguese period – 189 -191 (http://goo.gl/ySqxz6)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: