Posted by: lrrp | June 28, 2014

බඹසරට නුසුදුසු දේ ඉගෙන ගත යුත්තේ ධර්මය තුළින්මයි

10401970_737324489639722_1225571904458730993_nඅප ඉපදිලා තියෙන්නේ මේ ලෝකයේ පිරිහෙන යුගයක යි. මනුස්සයාගේ නුවණ බුද්ධිය පිරිහිලා යන යුගයක තමා අප ඉපදිලා තියෙන්නේ. අද යුගයට සාපේක්ෂව අපට විශාල පිනක් තියෙනවා. ඒකත් අප පිළිගන්නට ඕන. මිනිස්සු කාමයන්ට ම ගොදුරුවෙලා කාමයන්ම වර්ණනා කර කර කාමයන්ටම පොළඹවන, කාමයන් මත්තේම නැසෙන අද වගේ යුගයක අපට යාන්තමට හරි ඒ කාමයන්ගෙන් වෙන්වීමට පුළුවන් කැමැත්තක් ඉපදිලා තියෙනවා. ඒ විදියට කැමැත්තක් ඉපදුනේ පෙර කළ පිනක විපාකයක් වශයෙන්. ධර්මය අහන්නට අපට කල්‍යාණ මිත්‍ර සම්පත ලැබිල තිබෙනවා. ඒකත් පිනක විපාකයක් වශයෙන්. ඒක අද යුගයට සාපේක්ෂව අතිශයින් විශාල පිනක්.

මේ සසරේ සැරිසරන සත්ත්වයාට ඇති එකම පිහිට පිළිසරණ තථාගත ධර්මය යි. යමෙක් ඒ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකර ගනීද, ගරු කරයිද, පිහිට පිළිසරණ ඇතිකර ගනීද ඔහුගේ ජීවිතයට ලැබෙන්නේ සතුට හා සැනසීම යි.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දී තිබෙන ආකාරයට ජීවිතයේ මූලික අර්ථය සංවරවීම යි. ඒ අර්ථය අප ඉස්මතු කර ගන්නට ඕන. ඉන්පසු අර්ථයට පැමිණ වාසය කරන්නට කැමැති වෙන්නට ඕන. ඒ නිසා බඹසර ජීවිතේ කිළිටි වන්නා වූ බඹසර ජීවිතයට නුසුදුසු වන්නා වූ යම් චර්යාවන්, යම් හැසිරීම් අප තුළ තිබෙනවානම් ඒවා බැහැර කර ගැනීමට අප වහ වහා කටයුතු කළ යුතුයි. බඹසරට නුසුදුසු දේවල් බඹසරට අදාල නැති දේ මොනවා ද කියා අප ඉගෙන ගත යුත්තේ ධර්මය තුළින්ම යි. අප ඒවා ඉගෙන ගෙන බඹසර කිළිටි කරන්නා වූ බඹසර ජීවිතයේ අර්ථය පෙන්වා නො දෙන්නා වූ දේවල් ආරම්භයේදී ම බැහැර කරන්නට ප්‍රමාද වුණොත් බඹසර ජීවිතය තුළින් අත්කර ගන්නට තිබෙන අර්ථය කවදාවත් අත්කර ගන්නට බැරි වෙනවා.

ඛුද්දක නිකාය පළමු පොත් වහන්සේට අයත් දේශනාවක් තිබෙනවා ‘පඨම ජනකුහන’ සූත්‍රය කියා. ඒ කියන්නේ ‘ජනයා රැවටීම’ ගැන වදාළ පළමු දෙසුම. මේ දේශනාවේ තිබෙන්නේ වුත්තං හේතං භගතා වුත්තමරහතා’ ති මේ සුතං. නයිදං භික්ඛවේ බ්‍රහ්මචාරියං වුස්සති ජනකුහනත්‍ථං ජනලපනත්‍ථං ලාභසත්කාර සිලෝකානිසංසත්‍ථං ඉති මං ජනෝ ජානාතු’ ති භාග්‍යවතුන් වහන්සේ තමා මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මේ කරුණ වදාළේ’ මේ විදිහටයි මා හට අසන්නට ලැබුණේ. පින්වත් මහණෙනි, නිවන පිණිස හේතුවන මේ උතුම් පැවිදි ජීවිතය (බ්‍රහ්මචරියාව) තිබෙන්නේ ජනතාව මා ගැන මේ ආකාරයට දැන ගනිත්වා!’ යි කියා ජනතාව මුලා කිරීමට නොවේ.

ඒ කියන්නේ මිනිස්සු මා ගැන මේ ආකාරයට දැන ගනිත්වා මිනිසුන් රවටන්නට නොවේ. ජනතාව ලවා ගුණ කියවා ගන්නටත් නොවේ. මිනිස්සු ලබා අපේ ගුණ කියවාගන්ටත් නොවේ. ඊළඟට අප සිතනවා මිනිස්සු අපේ ගුණ කිව යුතුයි කියා. අපේ හිත එතැන්ට වැටෙනවා. ඒ නිසා බඹසර ජීවිතයේ සැබෑ අර්ථය අප තේරුම් ගන්නට ඕන. පිළිගන්නට ඕන. ඒ සැබෑ අර්ථයම ඇතිකර ගැනීම පිණිස වෑයම් කරන්නට ඕන. කැමැති වෙන්නට ඕන. සැබෑ අර්ථය තේරුම් නො ගත්තොත් අනර්ථය ඇති කරගන්නට අප වෑයම් කරනවා. කැමැති වෙනවා. බඹසර අහිමිවෙලා යන්නේ අප දන්නේම නැතිව. බඹසර වගේ එකක් තමා අප පුරුදු කරන්නේ. එවිට ලෝකයත් රැවටිලා අපත් රැවටිලා වැනසිලා ඉවරයි. ඒ නිසා අප ආරම්භයේ දී ම බඹසර ජීවිතේ අර්ථය කුමක්ද කියන කාරණාව හොඳීන් දැන ගන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, නිවන් පිණිස හේතුවන මේ උතුම් පැවිදි ජීවිතය තියෙන්නේ ‘ජනතාව මාව මේ විදිහට දැන ගනිත්වා’! කියා ජනයා රැවටීමට නොවේ. ගුණ කියවා ගන්නටත් නොවේ. ලාභ සත්කාර කිර්ති ප්‍රශංසා ආදිය ලබා ගන්නටත් නොවේ. පින්වත් මහණෙනි, බ්‍රහ්මචාරී වූ මේ පිරිසුදු පැවිදි ජීවිතය තිබෙන්නේ සංවරවීම පිණිස යි. සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම පිණිසයි කියා.

භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා මුල් අවදියේ ශාසනයට ඇතුළත් වූ අය මේ දේවල් බහුල වශයෙන් කියා දෙන්නට අවශ්‍ය වුණේ නැහැ. ඒ අය එතරම් ප්‍රඥාවන්ත යි. ආර්ය සත්‍යය කියූ පමණින් ඒ අය අවබෝධ කර ගන්නා නමුත් කලක් ගතවෙන්ට ගතවෙන්නට ආර්ය සත්‍ය කියූ පමණින් අවබෝධ කිරීමේ හැකියාව, කුසලතාවය මිනිසුන්ට නැතිවෙලා ගියා. මිනිසුන්ගේ පිරිහෙන යුගය ආරම්භ වුණේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේදීම යි. භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහළවෙලා අවුරුදු විස්සක් ගත වූ පසු ඒ පිරිහීමේ ලක්ෂණ පහළ වුණා. නමුත් උන්වහන්සේ ඒ ධර්මය ඒ අයුරින්ම ප්‍රකාශ කළා. ඒක පුරුදු කර ගැනීමේ දක්ෂයෝ අඩුවෙන්නට පටන් ගත්තා. ඒකට හේතුවක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ අපට කියා දුන්නේ මිනිසුන්ගේ ප්‍රඥාව දුර්වලවෙලා යන කලක මෙසේ වන බවයි.

එසේනම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාලා මේ සා දීර්ඝ කාලයක් ගත වූ අද වගේ කලක අප, අප ගැනම ඉහළින් ‘මටයි තේරෙන්නේ, මට පුළුවන්, මම දන්නවා’ ආදි වශයෙන් ඉහළින් කල්පනා කළොත් අප කොතරම් මුලාවක ද ඉන්නේ කියා කල්පනා කළ යුතුයි. මේ කරුණු තේරුම් නො ගත්තොත් අපට භාග්‍යවතුන් වහන්සේගේ සමීපයටවත් යන්නට පුළුවන්කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඈතින්වත් දැක ගන්නට බැරිව යනවා. එ නිසයි අප තමා ගැන තමාම නිවැරැදි තක්සේරුවකට එන්න ඕන. එසේ කරන්නේ කොහොම ද? අප ඉපදිලා තියෙන්නේ මේ ලෝකයේ පිරිහෙන යුගයක යි.

මනුස්සයාගේ නුවණ බුද්ධිය පිරිහිලා යන යුගයක තමා අප ඉපදිලා තියෙන්නේ. අද යුගයට සාපේක්ෂව අපට විශාල පිනක් තියෙනවා. ඒකත් අප පිළිගන්නට ඕන. මිනිස්සු කාමයන්ට ම ගොදුරුවෙලා කාමයන්ම වර්ණනා කර කර කාමයන්ටම පොළඹවන, කාමයන් මත්තේම නැසෙන අද වගේ යුගයක අපට යාන්තමට හරි ඒ කාමයන්ගෙන් වෙන්වීමට පුළුවන් හෝ කැමැත්තක් ඉපදිලා තියෙනවා. ඒ විදියට කැමැත්තක් ඉපදුනේ පෙර කළ පිනක විපාකයක් වශයෙන්. ධර්මය අහන්නට අපට කල්‍යාණ මිත්‍ර සම්පත ලැබිල තිබෙනවා. ඒකත් පිනක විපාකයක් වශයෙන්. ඒක අද යුගයට සාපේක්ෂව අතිශයින් විශාල පිනක්. හැබැයි මේ ලෝක ඉතිහාසයත් එක්ක බැලුවොත් තිබෙන්නේ පොඩි පිනක්. එනිසා තව තවත් පින් රැස්්කළ යුතුයි බහුල වශයෙන්.

ඊළඟ දේ තමා මේ ප්‍රඥාව පිරිහෙන යුගයක ඉන්න අය විදිහට ‘මට තේරෙනවා’ මට පුළුවන් කියන මේ හීන අදහස්වලට කිසි දවසක අප පිළිගන්නට හොඳ නැහැ. මේ විදිහට අප, අප ගැනම තේරුම් ගන්නට ඕන. එසේ තමා ගැන නිවැරැදි තක්සේරුවකට එනතෙක් අපට ධර්මය තුළින් පුංචි හෝ පිළිසරණක් ඇතිකර ගන්නට බැරිව යනවා. අපට ප්‍රඥාව දියුණු කර ගන්නට බැරිව යනවා. යම් කෙනෙක් ‘මම දන්නේ නැහැ’ කියා තමන් ගැන තේරුම් ගත්තොත් ඒකම තමා ඔහුගේ ප්‍රඥාව. ‘මම දන්නවා’ කියා කල්පනා කළොත් ඒක තමා අනුවණකම. මේ ලෝකයත් එක්ක ගත්තොත් අප මොනවා දන්නව ද? අප දන්න මොකුත් නැහැ කියන අදහසින් මත් වූ පුද්ගලයාට ‘මම ගැන මිනිස්සු මේ ආකාරයට දැන ගත්තොත් හොඳයි කියන සිතුවිලි එනවා. මාව පිළිගන්නවානම් මගේ ගුණ කියනවානම් හොඳයි කියන සිතුවිල්ලට එනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ බඹසර තිබෙන්නේ ජනතාව ලවා ගුණ කියවා ගන්නට නොවේ කියලා.

එනිසා අප බඹසර ජීවිතයේ අර්ථ නිවැරැදිව හඳුනාගෙන ඒ අර්ථය කරා යෑමට බාධා කරන අපේ සිත තුළම උපදින ලාමක අදහස් බැහැර කර ගැනීමට අප්‍රමාදීව කටයුතු කළ යුතු වෙනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: