Posted by: lrrp | July 4, 2014

චිත්ත ගුත්ත තෙරුන්

මාගමට නුදුරු කුරුන්දක නම් ගම මහ ලෙනකි. ලෙන වටා වැවුණු මහ ගස් වැල් ලෙනට සිසිල ගෙන දුනි. ලෙන අවට සාන්තය, සුන්දර ය. ලෙන තුළ ද සාන්තය සිත්කලු ය. භික්ෂූන්ගේ වාසයට සුදුසු පරිදි ලෙන සකස් කොට තිබුණා පමණක් නොවෙයි, බිතුසිතුවමින් ලෙන අලංකාර කරන ලදී. විපස්සී, සිඛී, වෙස්සභු, කකුසඳ, කෝනාගම, කස්සප, ගෝතම යන සත් බුදුවරුන්ගේ අභිනිෂ්ක්‍රමණය එහි කදිමට සිත්තම් කොට තිබුණි. ඇතුළතත් පිටතත් එකසේ සාන්ත වූ සුන්දර වූ මේ ලෙන භාවනානුයෝගී භික්ෂූන්ට පි‍්‍රයමනාප තැනක් විය. මේ ලෙන චිත්ත ගුත්ත නම් තෙර නමක් සැට අවුරුද්දක් භාවනාවේ යෙදී සිටියහ.

වරක් කුරුන්දක ලෙනට පැමිණි භික්ෂූන් කණ්ඩායමක් මේ නෙත්කලු සිත්කලු බිතුසිතුවම් දැකැ, ප්‍රසාදයෙන් පිරි සිතින් යුතුව, “අනේ මේ සිතුවම් කොයිතරම් සිත්කළු දැ”යි ලෙන් වැසි චිත්ත ගුත්ත තෙරුන්ට පැවසීය. චිත්ත ගුත්ත තෙරණුවෝ මෙහි බිතුසිතුවම් තිබුණ බවක්වත් නොදනිති. භාවනාවෙහිම යෙදී සිටි උන්වහන්සේ කිසිම දවසක් ඇස් ඇර මේ සිතුවම් දෙස බලා නැත. එබැවින් උන්වහන්සේ “ආයුෂ්මතුනි සැට වසක් තරම් කාලයක් මා මෙහි වාසය කළත් සිතුවම් තිබෙන බව පවා නොදතිමි. ඇස් ඇති නිසා අද මම ඒවා තිබෙන බව දැන ගතිති” කීහ.

ඉඳුරන් දමනය පරමාර්ථ කොට භාවනානුයෝගී වූ චිත්ත ගුත්ත තෙරුන් වහන්සේ නෙත් අයා ලෙන වටා නොබැලූ හෙයින් ලෙන තුළ වූ සිත්තම්වත් ලෙන ඉදිරියෙහි ඇති මහ ගසෙහි මල් පිපී තිබෙන බවවත් කිසිදාක නුදුටුහ. ගසෙහි මල් පිපී ඇති බව දැන ගත්තේ වසක් පාසා බිමට වැටෙන මල් රොන් දුටු විටය. මල් ගස දෙස බැලීමට තරම්වත් නෙත් උඩුකුරු කොට බලා නැත.

චිත්ත ගුත්ත තෙරුන්ගේ සිල්වත්කම ගැන පැහැදුණු ආගන්තුක භික්ෂූහු තම අරම්වලට ආපසු ගොස් උන්වහන්සේගේ ගුණ කියන්නට පටන් ගත්හ. තෙරුන්ගේ සිල්වත්කම ගැන රජතුමාට ද ආරංචි වී උන්වහන්සේ දැක වැඳ පුදන්ට ආසාවක් ඇති විය. මාගමට වඩින ලෙස උන්වහන්සේට ආරාධනා කර රාජ දූතයින් යැවීය. චිත්ත ගුප්ත තෙරුන් නොවේ, රජුගේ ආරාධනය පිළි ගත්තෙ. තුන්වරක්ම රජතෙමේ ආරාධනා කළේය. තුන්වරම උන්වහන්සේ ආරාධනය ප්‍රතික්ෂේප කළහ.

රජ්ජුරුවෝ ද ඉන් පසු බට නොවූහ. මේ සිල්වත් ගුණවත් භික්ෂුව ෙ‍කසේ හෝ මාගමට ගෙන්වා ගනිමි ඉටා ගෙන උපායක් යෙදුවෝය. තන පොවන සියලුම මව්වරුන්ගේ තන බැඳ මුද්‍රා තබන්නැයි අණකොට චිත්ත ගුත්ත තෙරුන් මාගමට වඩින තාක් දරුවන්ට තනකිරි නොලැබෙන බව නියම කළෝය.

ළදරුවෝ බඩ ගින්නේ හැඬුවෝය. මව්වරු ළය ගින්නේ හැඬුවෝය. කඳුලු සැලීමත් සුසුම් හෙළීමත් හැර ඔවුන්ට වෙන කළ හැකි දෙයක් නැත. රට පුරා පැතුරුණු මේ පුවත කුරුන්දක ලෙනට ද පැතිරී ගියේ ය. ළදරුවන් කෙරෙහි උපන් අනුකම්පාවෙන් චිත්ත ගුත්ත තෙරුන්ගේ සිතද තෙත් වී මොළොක් වී ගියෙන් උන්වහන්සේ මාගමට වැඩියහ.

තෙරුන් වඩින බව අසා රජ තෙමේ පෙර ගමන්කොට උන්වහන්සේ රජගෙට වැඩම කරවා දන් වැළඳ වීය. රජු වැන්ද විටත් දේවිය වැන්ද විටත් තෙරුන් කීයේ “සුවපත් වේවා මහරජ” කියාය. මෙය බලා සිටි සෙසු භික්ෂූහු “රජතුමා වැන්ද විටත් දේවිය වැන්ද විටත්, ඔබ තුමා කියන්නේ සුවපත් වේවා මහරජ කියා ය. ඒ මන්දැ”යි ඇසීය. “මට රජුත් දේවියත් එකැ”යි චිත්ත ගුත්ත තෙරුන් ඕනෑවට එපාවට වගේ පිළිතුරු දුනි.

මේ පරිසරය තෙරුන්ට නො ගැළපෙන බව සතියක් තුළ දී රජුට වැටහුණි. එබැවින් එතුමාට පෙරළා හුරු පුරුදු කුරුන්දක ලෙනට වඩින්ට සැලැස්සූහ. ආපසු වැඩම කළ චිත්තගුත්ත තෙරුන් වහන්සේ එදා රෑම රහත් වූහ.

ඉඳුරන් දමනය පතන භික්ෂූන්ට ආදර්ශ ලෙස විසුද්ධිමග්ගයේ දක්වා ඇති කතාවකි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: