Posted by: lrrp | July 4, 2014

දුප්පතුන් ගේ මුනිවරයා වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධූතාංගධාරී භික්‍ෂූන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වූ මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන් ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද දිරා ගිය ඒ මහා පාංශුකූල චීවරය පෙරවීමට තරම් මහා භාග්‍යයක් ලැබුවේ මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. එපමණක් නොව බුදු සිරිපා හිස මත තබා ගැනීමේ දුර්ලභ අවස්ථාව ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට හිමි විය.

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ පිහිටා තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ ලක්‍ෂණ සතක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශරීරයේ ද පිහිටා තිබුණි. උන් වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් උසින් අඩු බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවන් පෑ පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කොට ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. උන් වහන්සේ වැඩ නොසිටියා නම් අද අපට පාලි ත්‍රිපිටකයක් නැත. සුත්‍ර පිටකයේ සංයුත්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසයි. සංයුත්ත නිකායේ සූත්‍ර හත්දහස් පන්සියයක් පමණ ඇත.

පළමු ධර්ම සංගායනාව

පළමු ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ මගධාධිපති අජාසත්ත මහ රජතුමාගේ දායකත්වයෙන් රජගහ නුවර දී එක් ධාතු නිධානයක් කරවා සර්වඥ ධාතූන් වහන්සේලා ගේ ආරක්ෂාව සැලසූ සේක. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි.

10352381_858132640881501_8368320692138709518_nමහා කාශ්‍යප තෙරණුවෝ ඉතා සරල දිවියක් ගත කළ සේක. පිරිස අතර ගැවසීමට පි‍්‍රය නොකළ උන් වහන්සේ සමූහයා ගෙන් ඈත් වී කාත් කවුරුත් නැති මහ වනාන්තරවල සමවත් සුව විඳිමින් නිහඬ දිවියක් ගත කළ සේක. ඇතැම් විට උන් වහන්සේ වැඩ සිටියේ සොහොන්පිටිවල ය. නගරයට වැඩියේ කලාතුරකිනි. පැවිදි බව ලැබූදා පටන් පිරිනිවන් පාන තුරු උන් වහන්සේ ඇඳක පිට තැබුවේ නැත. උන් වහන්සේ ගේ උතුම් ගුණ නොයෙක් අවසථාවල දී බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රශංසාවට පවා ලක් විය. බුදුරදුන් භික්‍ෂු සංඝයාට නිතර වදාළේ මහා කාශ්‍යප තෙරුන් ආදර්ශයට ගන්නා ලෙසයි.

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ අසරණ දුගී දුප්පතුන් මෙන් ම රෝගීන් කෙරෙහි දැක් වූයේ දැඩි අවධානයකි. රජමැදුරවලින් පමණක් නොව රටේ සුපිරි මහා ධනවත් බලවත් දායකයන් ගේ නිවාසවලින් දිව්‍ය භෝජන බඳු අතිප්‍රණීත දන් ලබාගැනීමට හැකියාව තිබිය දී ත් උන් වහන්සේ පිඬු සිඟා වැඩම කළේ අන්ත අසරණ දුගී දුප්පතුන් බහුලව ගැවසෙන මාර්ගවල ය. ඔවුන් ගේ අතුපැලවල් වෙත ය.

මහා කාශ්‍යප මහ තෙරුන් සමාපත්ති බහුල තෙරුන් වහන්සේ නමකි. උන් වහන්සේ නිරන්තරයෙන් ම සමාපත්තීන්ට සමවදිමින් වැඩ සිටියහ. උන් වහන්සේ කිසියම් නිවසකට පිඬු සිඟා වැඩියත් දොරටුව අසල දී සමාපත්තියට සමවැද ඉන් නැගී සිටිමින් ම දන් පිළිගනිති. උන් වහන්සේ මෙසේ කරන්නේ තමන් වහන්සේට දන් පුදන, වන්දනා කරන, පුදසත්කාර කරන ඒ අසරණ තැනැත්තන් ගේ පින තව තවත් බලවත් කිරීමට යි.

මහා තෙරුන්ට දන් පිදූ අසරණ දුගී මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් මරණින් මතු සුගතියෙහි උපත ලැබූහ. ඇතැමුන්ට එහි යහපත් විපාක එම ආත්මභාවයේ දී ම ලැබුණි. මේ සියලු කරුණු නිසා මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ “දුප්පතුන් ගේ මුනිවරයා “ යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

මහා කාශ්‍යප මහ තෙරුන් සතුව පැවති මේ උතුම් ගුණ සමුදාය නිසා බොහෝ මනුෂ්‍යයෝ උන් වහන්සේ අතිශයින් ම පි‍්‍රය කළහ. මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝ ද උන් වහන්සේ පි‍්‍රය කළහ. උන් වහන්සේට ආදර ගෞරව දැක්වූහ. වරක් දෙවියන්ට අධිපති ශක්‍ර දේවේÁද්‍රයා දිව්‍ය විලාශයෙන් දන් පිදීමට ගිය හොත් මහ තෙරුන් දන් නොපිළිගන්නා නිසා තම බිරිඳ වූ සුජාතාව ද සමගින් හිඟන වෙස් ගෙන මහ තෙරුන්ට දිව්‍ය භෝජන පිදුවේය. මහා කාශ්‍යප තෙරුන් කෙරෙහි දේවතාවන් කෙතරම් සැලකිල්ලක් දැක්වූවා දැ’යි කිව හොත් උන් වහන්සේ වඩින තුරු බුදුරජුන් ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩ නුදුන්හ.

විසිවැනි වියේ දී

මහා කාශ්‍යප මහ තෙරුන් පිරිනිවන් පෑවේ එකසිය විසිවැනි වියේ දී ය. උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ “කුක්කුටසම්පාත” (කුක්කුටපාද) පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව “සම්පිණ්ඩිතමහානිදාන” නමැති දුර්ලභ පාලි ග්‍රන්ථයේ මෙන්ම ෆාහියන් ගේ දේශාටන වාර්තාවේ ත් හියුං සියං භ්‍රමණවෘත්තාන්තයේ පැහැදිලි ව සඳහන් වේ. සැබවින් ම මෙය ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැති බෞද්ධයන් ගේ මහත් වූ පී‍්‍රති ප්‍රමෝදයට හේතුවකි. උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය තැන්පත් ව ඇති කුක්කුටසම්පාත පර්වතය අද හඳුන්වන්නේ “ගුරුපාදගිරි” යනුවෙනි.

මහා කාශ්‍යාප මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය කුක්කුටසම්පාත පර්වතය තුළ තැන්පත් ව තිබුණත් උන් වහන්සේ ගේ එක් දළදාවක් ලක්දිව තුළ වැඩ සිටිති. නමුත් මෙය බොහෝ දෙනා නොදන්නා කරුණකි. මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින්නේ බෙන්තර ගලපාත රජ මහා විහාරයේ ය. මේ බව චළවංශය, පූජාවලිය යන ග්‍රන්ථයන්හි පැහැදිලි ව සඳහන් ව ඇත. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ මේ දළදාව උන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දී වැටුණු දළදාවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ජීවිත කථාව අතිශයින් ම විසිතුරු ය. උන් වහන්සේ ගේ ජීවිතයෙන් අප සැමට උගත හැකි දෑ බොහොමයකි. සරල චාම් දිවියක් ගත කිරීම, ලද දෙයින් සතුටු වීම, පහසුවෙන් පෝෂණය කිරීමට හැකිවීම, දුක්වේදනා ඉවසීම, නිහතමානී බව, පමණ දැන ගැනීම, දුප්පතුන්ට අසරණ රෝගීන්ට හැකි පමණින් පිහිට වීම, බොහෝ වැඩ කටයුතුවල නිරත නොවීම, හැකි සෑම විට ම භාවනා කිරිම, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට ගිජු නොවීම, තමාට පැවරුණු කාර්ය නිසි පරිදි ඉටුකිරීම, වගකීම් පැහැර නොහැරීම, බුදුසසුනේ දියුණුවට හැකි පමණින් කටයුතුª කිරීම ඉන් කිහිපයකි.

ගයාන් චානුක විදානපතිරණ

කොළඹ මාලිගාකන්ද විද්‍යෝද පිරිවෙනේ ආචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්ය


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: