Posted by: lrrp | July 4, 2014

සිතින් අල්ලා ගැනීම හොඳ නැහැ

10487370_696509220422667_3125957868837501119_nබුදුරජාණන් වහන්සේ කපිලවත්ථු නුවර නිග්‍රෝධාරාමයේ වැඩ වසන කාලෙ එක දවසක් උදේවරුවේ පිණ්ඩපාතයේ වැඩල දවල්වෙලාව අසළ වනයක බෙලිගසක් යට වාඩි වී විවේක ගත්ත. ඒ වෙලාවෙ දණ්ඩපාණී කියන ක්ෂත්‍රිය කුමාරය ඇවිත් ප්‍රශ්නයක් ඇහුව.

“බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ කුමන වාදයක් දේශනා කරන කෙනෙක් ද?”

“දණ්ඩපාණීය, මම ලෝකය හා සත්වයා ගැන යථාර්ථය පැහැදිලි කරන කෙනෙක්. යථාර්ථය තේරුම් ඇරගෙන කාම, භව, විභව සඤ්ඤාවලින් වෙන් වෙලා ඉන්න කෙනෙක්” ඒක අහල දණ්ඩපාණී ක්‍ෂත්‍රිය ඔළුවත් සොලවා සැරයටියත් වනමින් යන්න ගියා. එදා සවස දම්සභා මණ්ඩපයේ දී භික්ෂූන් අතර මේ ගැන සාකච්ඡාවක් ඇතිවුණා. ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩියා. එක් භික්ෂුන් වහන්සේ නමක්

“ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ දණ්ඩපාණී ක්ෂත්‍රියාට දේශනා කළ කාම, භව, විභව සඤ්ඤාවලින් වෙන් වෙලා සිටින ආකාරය පැහැදිලි කරන්න” කියල ඉල්ලා සිටියා.

“මහණෙනි, යම් කිසි භික්ෂුවක් හෝ පුරුෂයෙක් කාමයන් හා සම්බන්ධකම් නැතිව සැකයක් කුකුසක් භව රාගයත් දුරුකරල සිටිනවා නම් ඔහු මේ ලෝකයේ ප්‍රමාදයට හේතුවන සඤ්ඤා හා නාම ව්‍යවහාරයන් ඇරගෙන නිතර හැසිරීම නැති වෙනවා.”

මෙසේ කෙටියෙන් ධර්ම දේශනා කරල බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒක තේරුම් ගන්න අපහසු වුණු භික්ෂූන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ සොයා ගෙන ගොස් විස්තර කරල දෙන ලෙස ඉල්ලා සිටියා.

“ඇවැත්නි, ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය ඇති වෙනවා. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය කියන මේ තුන ම එකතු වුණාම ඵස්සය හෙවත් ස්පර්ශය ඇති වෙනවා. ඇසට රූප ස්පර්ශ වුනොත් වේදනාවක් ඇතිවෙනවා. චක්ඛුවිඤ්ඤාණයට වේදනාව දැනුනාම ඒ වේදනාව සැප එකක් ද? දුක් සහිත එකක් ද? කියල දැනගන්නවා. මේ විදියට ස්වභාවය තේරුම් ගත්තාම ඒ වේදනාව ගැන කල්පනා කරනවා. ඒ වේදනාව ගැන කල්පනා කිරීම නිසා ඒ රූපයට සම්බන්ධ සඤ්ඤා හා නාම සමග නිතර හැසිරෙනව.

එහෙම සඤ්ඤා නාම සමඟ හැසිරෙන කොට අතීත, අනාගත හා වර්තමාන කාලවලත් ඒ රූපය හා සම්බන්ධව ගත් රූප මතක් වෙනවා. එනිසා ඇවැත්නි, ඇස තියෙනවා නම් ඇසට රූප හමු වී චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා. මේවා එක්වීමෙන් ඵස්සයත් එයින් වේදනා, සඤ්ඤා, විතක්ක හා පපඤ්චයත් ඇති වෙනවා. මේ පපඤ්චයන් හා සම්බන්ධ සඤ්ඤා හා නාම ව්‍යවහාර අල්ලා ගෙන ලෝකයා වෙහෙසට පත්වෙනවා. මේ විදියට ඇස, කණ, නාසය, දිව ශරීරය, මනස කියන ඉන්ද්‍රියයන් හයෙන් ම රූප, ශබ්ද, ගනධ, රස, ස්පර්ශ හා ධර්ම කියන අරමුණු හය අල්ලා ගෙන ලෝකය වෙහෙසට පත්වෙනවා කියල මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කළා.

මිනිස්සු ලස්සන කාන්තාවක් දැක්කොත් කැමරාවකින් වගේ ඇයගේ රූපය මනසට ගන්නවා. ඒ කාන්තාවගේ රූපයේ ලස්සන ගැන නැවත නැවතත් හිතල නොයෙක් අංග ලක්ෂණ නාම ව්‍යවහාර වශයෙන් හිතේ තියා ගන්නවා. ඒ කාන්තාව ඊට පෙර දැකල තියෙනවා නම් ඒ අතීත මතක සටහන් සමඟ සසඳල නැවත නැවතත් මතකයේ තබා ගන්නවා. මතකයේ රැඳුන ඒ ලස්සන කාන්තා රූපය පිළිබඳව අතීත අනාගත, වර්තමාන රූප ගැන සිහිපත් කරනවා. නාම ව්‍යවහාරයන් සම්බන්ධ කරගෙන කෙරෙන මේ සිහිපත් කිරීම නිසා ආශාවක් ඇති වෙනවා.

රූපයට ඇති ආශාව නිසා රූපය අල්ලා ගන්නවා. මෙසේ ආශාවෙන් අල්ලා ගන්නා රූප මතකයේ රැඳිලා ගොඩ ගැසෙනවා. ඒවාට කියන්නේ රූප උපාදානක්ඛන්ධ කියල. මේ විදියටම කණෙනුත් ශබ්ද රූප අල්ලා ගෙන ගොඩ ගහ ගන්නවා. නැහැයෙන් ගන්ධ රූපත් , දිවෙන් රස රූපත්, ශරීරයෙන් ස්පර්ශ රූපත් , මනසින් ධම්ම රූපත් අල්ලා ගෙන ගොඩ ගහගන්නවා. මෙසේ ඉන්ද්‍රියයන්ගෙන් රූප උපාදාන වශයෙන් අල්ලා ගෙන රූප ගොඩගසාගැනීම නිතරම මිනිස්සු කරනවා. කැමරාවක ඡායාරූප ගබඩාව වගෙ මේවා එකතුවෙලා තියෙනවා.

මේ මනස නැමැති කැමරාවට රූප ගන්න පුළුවන් කාච හයකින්. ඇස නැමැති කාචයෙන් ගන්නේ ලෝකයේ තියෙන රූපවල ඡායාරූප, කන නැමැති කාචයෙන් ගන්නේ ලෝකයේ තියෙන ශබ්දවල ඡායාරූප, නැහැය නැමැති කාචයෙන් ගන්නේ ගන්ධ නැමැති ඡායාරූප. දිව නැමැති කාචයෙන් ගන්නේ රස නැමැති ඡායාරූප. ශරීරය නැමැති කාචයෙන් ගන්නේ ස්පර්ශ නැමැති ඡායාරූප, මනස නැමැති කාචයෙන් ගන්නේ ධම්ම නැමැති ඡායාරූප, මේ කැමරාවේ මනස නැමැති කාචයට අනෙක් දොරවල් පහම සම්බන්ධයි. ඇස්, කන, නාසය, දිවන, ශරීරය කියන කාච පහෙන් ම ආවත් මනස නැමැති ඇතුල් කාචයෙන් තවත් ඇතුළට යන්න ඕනි. ඡායාරූප ගත වෙන්න මේ ඇතුලේ මනස නැමැති කාචය බාහිර කාචවල තනිවමත් ඡායාරූප ගන්න පුළුවන්. ඒත් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන කාචවලට ඇතුළෙ තියෙන මනස නැමැති කාචය නැතිව කිසිම ඡායාරූපයක් ගන්න බැහැ.

එනිසා සියලු ම ඡායාරූපවල ප්‍රධාන කාචය “මනස” නැමැති කාචයයි. ඉන්ද්‍රියන්ගේ ආධාරයෙන් හෝ ඉන්ද්‍රියයන්ගේ ආධාරයක් නැතිව ඇතුළත කාචයකින් හෝ ඇතුල් වූ ඡායාරූප ගබඩාවක එකතු වෙනවා. මේවා ලක්ෂ ගණනක් මතකයේ රැඳිලා තියෙනවා. ඒවා වෙන වෙනම ගබඩා හයක තියෙන්නෙ. එකක් රූප ගබඩාව, අනික ශබ්ද ගබඩාව, මේ විදියට ගන්ධ ගබඩාව, රස ගබඩාව, ස්පර්ශ ගබඩාව හා ධම්ම ගබඩාව කියල තියෙනවා. මේ ගබඩා තැන්පත් කරපු ඡායාරූප නැවත අවශ්‍ය වෙලාවක මතක කරල තෝරල ගන්න පුළුවන්.

සමහර ඒවා ඉක්මනට ගන්න පුළුවන්. ඒවා තමා ඉතාම ආශාවෙන් ගත්ත ඡායාරූප සමහර ඒවා ටිකක් අමතකයි. ඒත් ඒවා මතක් කරල සොයා ගන්න පුළුවන්. මේ ඔක්කොම ඡායාරූප ගබඩා හොඳට මනසේ ආරක්ෂා වෙලා තියෙනවා. කල්ගියාම ඒවා නරක් වෙන්නෙත් නැහැ. මිනිහා මැරුණත් රූප උපාදානස්කන්ධය ඉතිරි වෙනවා. ඒවා මිනිහාගේ හිතත් සමග පවතිනවා. නැවත ඒ මිනිහාටම ආපසු ලැබෙනවා. “කම්ම නියාම” ට අනුව ඒවා පිළිවෙළටයි ආපහු ලැබෙන්නේ.

අපි මේ එකතු කරන ඒවා කාමර හතක ගොඩ ගැහෙන්නේ. ඒක කාමරයක තියෙන ඒවා මේ ජීවිතයේ දීම විපාක හම්බ වෙනවා. ඒවාට කියන්නේ “දිට්ඨ ධම්ම වේදනීය” කියල තවත් කාමරයක් තියෙනවා. ඒකෙ තියෙන ඒවා දෙවෙනි භවයේ දී විපාක ලැබෙනවා. ඒවාට “උපපජ්ජ වේදනීය කම්ම” කියල කියන්නේ, අනෙක් කාමර පහේ තියෙන ගොඩවල් ඕනෑම වෙලාවක විපාක දෙන්න පුළුවන්. “අපරාපරිය වජ්ජකම්ම “ කියන්නේ ඒවාට යම්කිසි විදියකින් “දිට්ඨ ධම්ම වේදනීය” කම්ම කියන මේ ජීවිතයේ දී විපාක දෙන්න තියෙන කම්ම මේ ජීවිතයේදී විපාක නොදුන්නොත් ඒවා අහෝසිකම්ම වෙනවා. ඒ වගේම දෙවෙනි භවයේ දී විපාක දෙන්න ඕන උපපජ්ජ වේදනීය කම්ම දෙවන ජීවිතයේ දී විපාක නොදුන්නොත් ඒවත් දෙවෙනි භවයෙන් පස්සේ විනාශ වෙනවා. නමුත් අපරාපරිය වජ්ජකම්ම විනාශ වෙන්නේ නැහැ. කොහේදි හරි විපාක දෙන්න බලාගෙන ඉන්නවා.

රහත් වුනොත් නම් සියලුම කර්ම නැති කළ නිසා රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ “අහෝසි කම්ම” වෙනවා. නමුත් පාථග්ජන අය පසු පස කුසල හා අකුසල කර්ම ගමන් කරනවා. ඒ ඒ අයටම ඒ කර්මවල විපාක විඳින්න සිද්ධ වෙනවා. කර්ම විපාක දීමේ දී තවත් ලක්ෂණයක් තියෙනවා. එනම් ඒ ඒ කර්මවල ස්වාභාවය අනුව විපාකයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ කර්ම කරන කොට රූප අල්ලා ගෙන තියෙන්නේ ඉතාම ශක්තිමත් කාචයක් (ලෙන්ස්) තියෙන කැමරාවකින්. ඉතාම සියුම් කාචය නිසා ඡායාරූපය ඉතා තදට වැදිලා තියෙනවා.

දැඩිව අල්ලා ගෙන තියෙන ඒ ඡායාරූප දෙවෙන භවයේදීම විපාක ලැබෙනවා. ඒවාට කියන්නෙ “ගරුක කම්ම” කියල. පංචානන්තර්ය කර්ම වන මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙලවීම, සංඝ භේදය යන පහ ඉක්මණින් විපාක ලැබෙන ගරුක අකුසල කර්මයි. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීම ගරුක කුසල කර්මයක්.

සමහර කර්ම තියෙනව නිතරම කෙරෙන ඒවා. මේවා හොඳ නරක දෙකම වෙන්න පුළුවන්. ඒවාට කියන්නෙ “ආචිණ්ණ කම්ම” කියල. නිතරම ගන්නා ඡායාරූප වගේ ඒවාත් ගොඩගැහිල තියෙනව. ඒ ඡායාරූප ප්‍රමාණය ද වැඩියි. ඒ නිසා ගරුක කර්ම ළඟට බලවත් වන්නේ “ආචිණ්ණ කම්ම” යයි.

මරණය දක්වාම කර්ම රැස් කරන අය අවසානයේ මරණ මොහොතෙ කර්මයට කියන්නේ “ආසන්න කම්ම” කියල ඒක අන්තිමට ගන්න ඡායාරූපය වගෙයි.

වරින් වර ගන්නා විශේෂ ඡායාරූප වගේ, කරන කුසල අකුසල කර්මත් තියෙනවා. ඒවාට කියන්නෙ. “කටත්තා කම්ම” කියල ඒවත් ඒ ඒ අවස්ථාවල දී විපාක දෙනවා.

මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: